මහ පාරක වී පොරි ඇහිඳ කන කුරුල්ලන් රැසකි. එකිනෙකා තරගෙට මෙන් විනෝද වෙමින් පොරකකා වී පොරි කති. මේ කුරුල්ලන් අතර එක් තරුණ කුරුල්ලෙකු සිය මවු කිරිල්ලියගෙන් ‘මේ හැටි මේ පාරේ වී පොරි තියෙන්නේ කෙසේදැ’ යි ප්‍රශ්න කළේය. මව නෑසුනාක් මෙන් නිහඬව ම පොරි කයි. දෙතුන් වරක් මෙලෙස මේ තරුණ කුරුල්ලා නැවත නැවත අසද්දී කෝපයට පත් මව නිහඬව ඔය පොරි කාපල්ලායි පිළිතුරු දුන්නා ය.
මද වේලාවකට පසුව යළිත් ‘කොහෙන්ද අම්මේ මෙතරම්ම වී පොරි’ ප්‍රශ්න කළේය. ‘වරක් දෙවරක් ඔබට මා කිවා නිහඬව වී පොරි කාපල්ලා.’ තරමක් අසහනයටත් , කෝපයටත් පත් මේ තරුණ කුරුල්ලා දැඩි ස්වරූපයෙන් ‘කොහෙන්දැයි මේ වී පොරි කියාපල්ලායි’ තර්ජනය කළේය. එවිට ‘උඹට ඇහෙන්නේ නැද්ද බන්, අර ඈතින් ඇහෙන රණ බෙර හඬ, යුද්ධයෙන් මියගිය උන් සොහෙන් බිමට ගෙනයන ඒ මල පෙරහැරයි මේ. උන් වෙනුවෙන් ඉසින මේ වී පොරි නිහඬව කාපල්ලා.’ මේ පිළිතුරෙන් තරමක් සන්සුන් වූවත් ඒ නිසි පිළිතුර නොවන බව දත් මේ තරුණ කුරුල්ලා මව සන්සුන් වූ පසු ‘යුද්ධයේ දී මේ මිනිසුන් මැරෙන එක නවතින ක්‍රමයක් නැද්ද ‘ ප්‍රශ්න කළේය. එවිට මව ‘ඇයි මෝඩ පුතේ මේ යුද්දේ නැවතුනොත් මිනිසුන් නොමැරේවී. මිනිසුන් නොමැරුණොත් ගමට එන මිනී නැතිවේවි. උන් වෙනුවෙන් වී පොරි නො ඉසිවි උඹට ත් මට ත් වී පොරි නැතුව ලත වෙන්න සිද්වේවි. එහෙයින් වටපිට නොබලා කෑ කෝ නොගසා ඉක්මණින් ම යුද්ධයේ නාමයෙන් වී පොරි කාපල්ලා.’