මනුස්ස උපත බුදු දහම ට අනුව කෙටියෙන්.
බුදු දහමට අනුව මනුස්ස උපතක් ලබා ගැනීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා වැනි දුර්ලභ අවස්ථාවකි. ජාති ලෙසින් මෙය සරලව හැඳින්වේ. ජාතිය ඇති වෙන ආකාර 4 ක් බුදු දහමේ පෙන්වා දී ඇත. ඒ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික වේ. මින් මනුස්ස ජාතිය අදාළ වන්නේ ජලාබුජ ආකාරයට ය. මේ ජාතිය දුකක් ලෙසින් ධම්මචක්කපවත්තන සූත්‍රයේ දී දක්වා ඇත. කෙසේවෙතත් ඒ අනුව ජාතිය ඇති වන්නේ භවය නිසාවෙනි. ජාතිය හේතුවෙන් ජරා මරණ ආදී අප එදිනෙදා විඳින සියළු දුක් විඳීමට හේතු වේ. මෙනිසා ජාතිය බුදුරජාණන්වහන්සේ නම් අගය කොට නොසැලකුවේ ය. පුදුමයට කරුණ නම් එවැනි දුක් කඳකට හේතුවන උපත අප විසින් මහා ඉහළින් අවුරුදු පතා සැමරීමයි. ඔබ බොහෝදුරට දන්නා සූත්‍රය කරණීයමෙත්ත සූත්‍රය පමණක් විය හැක. මේ සූත්‍රයේදී අත් හැරිය යුතු කරුණක් ලෙසින් බුදුරජාණන්වහන්සේ වැනි ශ්රේෂ්ඨතයින් අත් හරින ලෙසින්, නොවඩන ලෙසින් දක්වා ඇති දේ නොකර සිටීම, අත් හැරීම දක්වා ඇත.
ක්‍රි.පූ 3 වන සියවසට පෙර බෞද්ධ සාහිත්‍යය තුළ උපත ගැන බොහෝ දේ සාකච්ඡා වී ඇත. ඉන්දියාව තරම් උපත ගැන කථා කළ අතීත රටක් පවතින්නේ යැයි මා නොසිතමි. බුදු දහම තුළ පමණක් නොව හින්දු දහම තුළත් ආයුර්වේදය තුළත් උපත පිළිබඳව විද්වත් සාකච්ඡාවක් තිබී ඇත. දැන් ඉන්නා මහණුන් මුෂාවාදා කීමේ ආදීනව ලෙසින් ගැහැණු සහ පිරිමි දරුවන් ඉපැදීම ගැන බණ කියන්නේ මේ සාකච්ඡාවට සම්බන්ධ වී නැති නිසාවෙනි. මේ පිළිබඳව කෙටි සාකච්ඡාවක් ඒ ගැන උනන්දුවන්නන් වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කිරීමට මෙයින් උත්සාහ කරමි.
ක්‍රි.පූ. 3 වන සියවස වන විට ජාතියට අදාළව ‘අන්තරාභවය‘ ලෙසින් ද වාදයක් ඉස්මතු විනි. තෙවන ධර්ම සංගායනාවේදී අන්තරාභවයක් ගැන බුදුරජාණන්වහන්සේ දේශනා කර නොමැති බවට ධර්මය සංග්‍රහ කළ භික්ෂූන්වහන්සේලා එකඟතාවකට පැමිණිනි. කථාවත්ථුවේ ඊට අදාළව කරුණු දැක් වේ. එසේවීත් අන්තරාභය ගැන අදත් ඕනා තරම් කථා කරනවා ඔබ අසා ඇතුවාට සැක නැත. ඒ ද ජාතිය සම්බන්ධයෙනි.
ප්‍රථමයෙන්ම බුදු දහමට අදාළ නොවන වෙනත් සාහිත්‍යය තුළ ජාතිය පිළිබඳව දක්වා ඇති කරුණු පිළිබඳව කෙටි විමසුමක් කරමු.
දැන් ඔබ ජාතක කථා නැත්නම් බුදු රජාණන්වහන්සේට අදාළ උප්පත්ති කථා කියවද්දී උන්වහන්සේගේ උපත පිරිසිදුව සිදු වන අයුරු කියවා ඇතැයි මා සිතමි. නමුත් අපි ඇසින් දකිනා උපත් සිදුවන්නේ එලෙසින් නොවේ. උපදින දරුවා ගැහැණු වේවා පිරිමි වේවා ඉක්මණින් පිරිසිඳු කළ යුතු වෙයි. යෝනි මාර්ගයෙන් පිටතට පැමිණෙන දරුවා ගර්භාෂය තුළ සිටින්නේ ද්‍රව තරලයක් තුළ නිසාවෙනි ඒ. මේ තරලය ගර්භාෂයේ සිට මෙලොවට පැමිණෙන දරුවාගේ හෝ දැරියගේ සිරුරේ ඇලී ගැලී තිබෙයි. සීවලී මහරහතන්වහන්සේගේ උපත පිළිබඳව කථාව ඔබ අසා ඇති. ඒ කථාවට අනුව දරුවාත් දරුවාගේ මවත් යන දෙදෙනාම ජාතිය නිසා දුකට පත්ව තිබේ. නමුත් මහාමායා දේවියට සිදුහත් කුමරා උපදින්නේ එලෙසින් නොවේ. ඒ බෝසත් කුමරාට ජන්මදුඛ නම් නැත. අනේ එහෙත් අප වැනි සාමාන්‍ය දරුවන් උපදිද්දී සමහරක් අවස්ථාවලදී ජන්මය ලබා ගන්නේ යකඩ අඬුවලින් ඔළුවෙන් අල්ලා එළියට අදිමිනි. මවත් කෑ ගසයි. වැඩිම වේදනාව මවට ය. සංසාරේ හැටි. බෝසත් කුමරාට ජන්ම දුඛ නොමැතිවීම නිසා උපදින අවස්ථාවේදීත් පෙර සසර සිහිපත් වේ. මව්කුසින් පැමිණි විගස ඒ කාරණය බෝසත් කුමරා ලොවටම පවසයි. යෝනි මාර්ගයේ පළල ආදී කරුණු නිසා දරුවා ගර්භාෂයේ සිට පැමිණෙන්නේ නොයෙක් වද විඳිමිනි. ක්‍රි.පූ.3 වන සියවසේ දී සිසේරියන් සැත්කම් නොතිබූ බව අමුතුවෙන් නොකිවමනා ය. සැත්කම සිසේරියන් නිසා දරුවාට නොරිදෙන්නේ ද? මවට නොරිදෙන්නේ ද? ඒ අත්දැකීම ලත් අයකුගෙන්ම අසා දැනගත්තොත් වටී. මේ වේදනාව නිසාම සංසාර දුක සාමාන්‍ය දරුවකුට හෝ දැරියකුට දැනෙන්නේ නැත. එම්. හාරා විසින් කළලය කුසේ පවතිද්දී සිදුවන සංසිද්ධීන් පිළිබඳව බෞද්ධ නොවන වෙනත් සාහිත්‍යය තුළ දැක්වෙන අවස්ථා ගණනාවක් ගැන “Note on the Buddha’s Birth Story” කෘතියේ දක්වා තිබේ.