“ මහණෙනි මම ලෝකයා සමග වාද නොකරමි. මහණෙනි ලෝකයා වූ කලී මා සමග විවාද කෙරෙයි. මහණෙනි ධර්මවාදියෙක් ලොව කිසිවෙකු සමග විවාද නොකෙරෙයි.
මහණෙනි ලොව පණ්ඩිතයන් විසින් යමෙක් නැතැයි සම්මත නම් මමද එය නැතැයි කියමි. මහණෙනි ලොව යමක් පණ්ඩිතයන් විසින් ඇතැයි සම්මත නම් මමද එය ඇතැයි කියමි.
මහණෙනි මම යමක් නැතැයි කියමම්ද, ලොව එබඳු කුමක් පණ්ඩිතයන් විසින් නැතැයි සම්මතද යත්,
මහණෙනි නිත්‍ය ධ්‍රව ශාශ්වත අවිපරිණාමධර්ම රූපයක් ලොව නැතැයි පණ්ඩිතයන් විසින් සම්මතය. මමද එය නැතැයි කියමි. නිත්‍ය ධ්‍රව ශාශ්වත අවිපරිණාමධර්ම වේදනාවක් නැතැයි පණ්ඩිතයන් විසින් සම්මතය. මමද එය නැතැයි කියමි. සංඥාවක්.... සංස්කාර.... විඥානයක් ලොව නැතැයි පණ්ඩිතයන් විසින් සම්මතය. මමද එය නැතැයි කියමි. මහණෙනි මම යමක් නැතැයි කියම්ද මේ වූ කලී ලෝකයෙහි පණ්ඩිතයන් විසින් නැතැයි සම්මතයි.
මහණෙනි මම යමක් ඇතැයි කියම්ද, ඒ කිමෙක් ලොව පණ්ඩිකයන් විසින් ඇතැයි සම්මතද යත්,
මහණෙනි අනිත්‍ය, දුක්ඛ, විපරිණාමධර්ම රූපයක් ලොව ඇතැයි පණ්ඩිතයන් විසින් සම්මතය, මමද එය ඇතැයි කියමි. අනිත්‍ය, දුක්ඛ, විපරිණාමධර්ම වේදනාවක් ලොව ඇතැයි පණ්ඩිතයන් විසින් සම්මතය, මමද එය ඇතැයි කියමි. සංඥාවක්... සංස්කාර.... අනිත්‍ය, දුක්ඛ, විපරිණාමධර්ම විඥාණයක් ලොව ඇතැයි පණ්ඩිතයන් විසින් සම්මතය, මමද එය ඇතැයි කියමි. මහණෙනි මම යමක් ඇතැයි කියම්ද මේ වූ කලී පණ්ඩිතයන් විසින් ලොව ඇතැයි සම්මතය.
මහණෙනි තථාගත තෙමේ යමක් මොනවට අවබෝධ කරයිද, මොනවට දැනගනියිද, මොනවට අවබෝධ කරගෙන මොනොවට දැනගෙන කියයිද, දේශනා කෙරේද, පනවයිද, පිහිටුවයිද, විවරණ කෙරෙයිද, බෙදයිද, උඩුකුරු කරයිද ඒ ලෝක ධර්මය (පංච ස්කන්ධය) ලොව ඇත. මහණෙනි ඒ ලෝක ධර්මය කිමෙක්ද යත්,
මහණෙනි, රූපය ලොව ලෝක ධර්මයකි. තථාගත තෙමේ එය මැනවින් අවබෝධ කර ගනියි. මැනවින් දැන ගනියි. මැනවින් අවබෝධ කොට මැනවින් දැන ගෙන කියයි. දෙසයි, පණවයි, පිහිටුවයි, විවරණ කෙරෙයි, බෙදයි, උඩුකුරු කෙරෙයි. මහණෙනි තථාගතයන් විසින් මෙසේ කියනු ලබන කල්හි දේශනා කරනු ලබන කල්හි පනවනු ලබන කල්හි පිහිටුවනු ලබන කල්හි විවරණ කරනු ලබන කල්හි යමෙකු නොදනී නම් නොදකී නම් මහණෙනි, අන්ධ වූ ඇස් නැති නොදන්නා නොදක්නා ඒ බාල පුහුදුන්හට මම කුමක් කරම්ද?
මහණෙනි, වේදනාව ලොව ලෝක ධර්මයකි..... සංඥාව...... සංස්කාර...... විඥානය ලොව ලෝක ධර්මයකි. තථාගත තෙමේ එය මැනවින් අවබෝධ කර ගනියි. මැනවින් දැන ගනියි. මැනවින් අවබෝධ කොට මැනවින් දැන ගෙන කියයි. දෙසයි, පණවයි, පිහිටුවයි, විවරණ කෙරෙයි, බෙදයි, උඩුකුරු කෙරෙයි. මහණෙනි තථාගතයන් විසින් මෙසේ කියනු ලබන කල්හි දේශනා කරනු ලබන කල්හි පනවනු ලබන කල්හි පිහිටුවනු ලබන කල්හි විවරණ කරනු ලබන කල්හි යමෙකු නොදනී නම් නොදකී නම් මහණෙනි, අන්ධ වූ ඇස් නැති නොදන්නා නොදක්නා ඒ බාල පුහුදුන්හට මම කුමක් කරම්ද?
මහණෙනි, දියෙහි හටගත් දියෙහි වැඩුණු උපුලෙක් හෝ පියුමෙක් හෝ හෙළපියුමෙක් හෝ දියෙන් නැඟී දියෙන් නොගැටී යම් සේ සිටුනේද මහණෙනි, එසෙයින්ම තථාගත තෙමේ ලොවැ උපන්නේ
ලොවැ වැඩුනේ ලොව මැඩගෙන ලෝකයා හා නොගැටී වාසය කෙරෙයි.”
පුප්ප සූත්‍රය.
මගේ බුදුහාමුදුරුවෝ තමන් ගැන සිංහනාද කරන්නේ මෙන්න මේ විදියට. ඒ තුලින් ඒ උත්තමයා අපිටත් අපි ගැන සිංහ නාද කරන්න අවස්ථාවක් සලස්සලා දෙනවා. ඒ වෙනකක් නිසා නොවෙයි, බුදුහාමුදුරුවන්ගේ යථාවාදී තථාකාරී ගුණය නිසා.
අපි ආයිත් සැරයක් හැරිලා බැලුවාම අපි මෙතෙක් කල් ආපු ගමන් මග දිහා ලෝකය දකින්න අපිට පුළුවන් වුනාද නැත්ද කියලා පෙනෙයි. ඒ ගමනේදී අපි ලෝකය නියම විදියට දැකලා තියෙනවා නම් අපිත් ශ්‍රේෂ්ටයෝ තමයි.
මේ වෙනකන් අපි ඒ ලෝකය දැකලා නැත්නම් මෙන්න අවස්ථාව ලෝකය දකින්න. එහෙම නොවුනොත් අපිටත් සිදු වෙන්නේ අන්ධ බාලයෝ වගේ ජීවත් වෙන්න තමයි, බුදුහාමුදුරුවොම වදාරණ විදියට.
මේ ලෝකේ දැනට පවතින කිසිම ආගමික ඉගැන්වීමක හෝ වෙනත් මොනයම්ම ඉගැන්වීමක මේ ධර්මතා ඇතුලත් වෙන්නේ නෑ, බුද්ධ ධර්මයේ දී හැර. ඒ නිසා සීමිත අවස්ථාවක් තමයි අපිට තියෙන්නේ කියලාත් අපි දකින්න අවශ්‍යයි.
Last edited:
