මරණ වරෙන්තුවක් වූ බෙහෙත් වට්ටෝරු

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මරණ වරෙන්තුවක් වූ බෙහෙත් වට්ටෝරු

    මාර වැඩක්නේ මට වෙලා තියෙන්නේ බං.” අපේ සමීප මිතුරෙක් අප හමු වූ විට එලෙස කතාවක් කියන්නට පටන් ගත්තේය. “මොකක්ද බං ඒ?” අපි ද කුතුහලයෙන් විමසීමු. කුතුහලය කොහොමත් පත්තරකාරයන් වන අපගේ ඇඟේ තියෙන තවත් ඉන්ද්‍රියයකි. අපේ කුතුහලය අවුලවමින් මිතුරා තම කතාව කීවේ මෙසේය.

    “මං මීට මාසකට විතර කලින් දොස්තර කෙනෙක් හමුවෙලා ඉරුවාරදයට බෙහෙත් ගත්තා. එයා දීපු බෙහෙත් වට්ටෝරුව අරගෙන අපේ පැත්තේ තියෙන ෆාමසියකට ගිහින් බෙහෙත් ගත්තා. ඉතින් මාසයක් තිස්සේ ඔය බෙහෙත් බිව්වා. ඔය අතරේ දවසක් හිතවත් වෛද්‍යවරයෙක් අපේ ගෙදර ආවා. ඔහු දැක්කා මං බොන බෙහෙත.”

    “ඈ බං මොකටද උඹ මේ බෙහෙත් බොන්නේ?”

    මං කිව්වා ඉරුවාරදයට කියලා. “පිස්සුද බං මේ ඉරුවාරදයට දෙන බෙහෙතක් ‍නෙවෙයි, මානසික රෝගියකුට දෙන බෙහෙතක්.” කියමින් “උඹට නිතර හිනා එහෙම යනවාදැයි මගෙන් ඇහුවා.

    මේ අපේ එක් මිතුරෙක් මුහුණ දුන් අකරතැබ්බයකි.

    තවත් මිතුරෙක් පැවසුවේ තම දියණියට වෛද්‍යවරයා නියම කළ බෙහෙතක මාත්‍රාව ඖෂධවේදියා නියම කිරීමේ අවුලක් දුටු හෙයින් යළිත් දොස්තරට කතා කර එය නිරවුල් කරගත් බවය. එහෙත් එබඳු යමක් කළ හැක්කේ දැන උගත්කමක් හා හොඳ විමසීමක් තියෙන අයට පමණි. එහෙත් දොස්තරලා නියම කරන ෆාමසිවලින් ලබා දෙන බෙහෙත් කිසිදු හා හූවක් නැතිව පිළිගෙන භාවිත කරන මෙරට සුවහසක් හුදී ජනයන්ගේ ජීවිතවලට වග කියන්නේ කවරෙක්ද යන බරපතළ ප්‍රශ්නය ඇති වීම නොවැළැක්විය හැක්කකි.

    බෙහෙත් විෂවෙලා එන්නත් වැරදිලා අසාධ්‍ය තත්ත්වයට පත්වූ ජීවිතවලින් වන්දි ගෙවූ රෝගීන්ගේ කතා රැසක් අප තිබේ. ඒ සමහර කතා කාලයත් සමග වැසී ගියේ එතරම් ශක්තිමත් පුරවැසි සමාජයක් අපේ රටේ නොමැති හෙයිනි. වෛද්‍යවරු හෙදියන්ගේ අයිතිවාසිකම් ගැන ප්‍රමාණවත් සංවාදයක් හෝ සැලකිල්ලක් මෙරට නොමැති වීම එබඳු කනගාටුදායක තත්ත්වයක් ඇතිවීමට එක් ප්‍රධාන හේතුවකි.

    එහෙත් ශක්තිමත් සමාජ පවතින රටවල රෝගියාද බලවත් චරිතයකි. රෝගීන්ගේ අයිතිවාසිකම් රැකීමේ පුළුල් යාන්ත්‍රණ එම රටවල තිබේ. වරක් මා කියවූ සඟරාවක බටහිර රෝගියෙක් තම දොස්තරට නඩු පවරා ලොකු වන්දියක් හිමි කරගත් කතාවක් විය. එකී කතාවේ එන පරිදි රෝගියාගේ රෝගී තත්ත්වය සලකා බැලූ වෛද්‍යවරයා ඔහුට නිර්දේශ කර ඇත්තේ මාස තුනක් ඇතුළත රෝගය උත්සන්න වී ජීවිතය අහිමි වීමේ අවදානමක් තිබෙන හෙයින් ව්‍යාපාර කටයුතුවලින් වෙන්ව විවේකීව ජීවත් වන ලෙසය. එහෙත් වෛද්‍යවරයාගේ රෝග විනිශ්චය හරි ගියේ නැත. මාස තුනක් ගත වුවද රෝගියාට කිසිදු හානියක් වූයේ නැත. ඒ නිසා රෝගියා ඉන්පසු ගියේ අධිකරණයටය. අධිකරණයේ ඔහු නඩුවක් පවරමින් ඉල්ලා සිටියේ තමා මාස තුනක් ව්‍යාපාරික කටයුතුවලින් ඉවත්ව සිටි හෙයින් එමගින් තමාට සිදුවූ අලාභය පියවා ගැනීමට වන්දියක් ඔහුගෙන් වන්දියක් ලබා දෙන ලෙසය. අධිකරණය රෝගියා රෝගියාගේ ඉල්ලීමේ යුක්තිසහගත බව සලකා බලා වෛද්‍යවරයාට නියෝග කළේ එම අලාභය ගෙවන්නැයි කියාය. මෙබඳු ආකාරයට රෝගීන්ගේ අයිතිවාසිකම් රැකෙන ලෝකයේ දියුණු රටවල තිබේ. එහෙත් අපේ රටේ සෞඛ්‍ය සේවය නියෝජනය කරන අයගෙන් රෝගීන්ට වන හානිවලට යුක්තිය ඉටු කර ගැනීමේ ශක්තිමත් වැඩ පිළිවෙළක් නැත.

    මෙසේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අතපසුවීම් දෝෂ ආදීන් රෝගීන්ට සිදුවන හානි තත්ත්වයන් ගැන කරුණු විමසන විට අන්තර්ජාලයේ සැරිසැරූ මට අපූරු පර්යේෂණ වාර්තාවක් කියවීමට අවස්ථාව ලැබිණ. Investigation of medication erros : A Prescription survey from Sri Lanka කේ.අයි.එම්. ද සිල්වා, කේ.පී.ආර්.සී. පරාක්‍රමවංශ, එස්.එච්.ටී. සුදේශිකා, චාමිනි බි. ගුණවර්ධන, එම්.එච්.එෆ්. සක්ශීනා යන වෛද්‍යවරුන් ප්‍රකාශිත එම පර්යේෂණාත්මක ලියැවිල්ල මගින් ඔවුන් අවධානය යොමු කර ඇත්තේ මෙරට බටහිර වෛද්‍යවරුන්ගේ අතින් ලියන බෙහෙත් වට්ටෝරු පිළිබඳ දත්ත විශ්‍ලේෂණාත්මක අධ්‍යයනයකි. බස්නාහිර පළාතට අයත් අලුත්ගම උප නගර සභා සහ මධ්‍යම පළාතට අයත් නුවර නගර සභා බල ප්‍රදේශවලට අයත් වෛද්‍යවරු නිකුත් කළ බෙහෙත් වට්ටෝරු 200ක් එකතු කර ගැනීමෙන් දත්ත අනාවරණය කරගෙන තිබේ. එකී විශ්‍ලේෂණයේදී රෝගියාගේ නම, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, වෛද්‍යවරයාගේ නම, ලියාපදිංචි අංකය, අත්සන, කෙටි යෙදුම් භාවිතය, ප්‍රතිකාර කළ දිනය ආදී කරුණු කෙරෙහි පර්යේෂකයන් තම අවධානය යොමු කර ඇත. එකී බෙහෙත් වට්ටෝරුවල රෝගියාගේ තොරතුරු සඳහන් කිරීම සතුටුදායක මට්ටමක නොමැති බව පර්යේෂයෝ සඳහන් කරති. නිදර්ශනයක් වශයෙන් රෝගියාගේ නම සඳහන් කිරීමේදී නමෙන් කොටසක් හෝ නම අසම්පූර්ණව හෝ සඳහන් කර ඇත. එකම වාසගම සහිත නම් භාවිත කිරීම නිසා රෝගීන් සේම ඖෂධවේදීන් ද අපහසුතාවට පත් වූ අවස්ථා බොහෝය. එසේම රෝගීන්ගේ වයස සඳහන් කිරීමේදී ද සමහර වෛද්‍යවරුන් සැලකිල්ලක් දක්වා නැති බව මෙම බෙහෙත් වට්ටෝරු විශ්‍ලේෂණයෙන් අනාවරණය කරගෙන තිබේ.

    ඉන්දියාව වැනි රටවල බෙහෙත් වට්ටෝරුවල නම් සඳහන් කිරීම ඉතාම අවම මට්ටමක පවතින බව ද වාර්තා වේ. එපමණක් නොව බෙහෙත් වට්ටෝරුවලින් 36.5ක කෙටි යෙදුම් භාවිත කර ඇත්තේ සම්මත ප්‍රමිතියට අනුකූලව නොවේ. දත්ත විශ්‍ලේෂණයට බඳුන් කළ බෙහෙත් වට්ටෝරුවලින් 51ක්ම අසම්පූර්ණ හා අවිධිමත් බව මෙකී වාර්තාවේ සඳහන් වේ. එසේම අලුත්ගම උප නගර සභා බල ප්‍රදේශයෙහි සහ නුවර නගර සභා බල ප්‍රදේශයෙහි සැලකිය යුතු වෙනස්කම් තිබෙන බවද වාර්තාව මගින් පෙන්වා දී ඇත. වෛද්‍ය විද්‍යානුකූලව පිළිගත් ප්‍රමිතීන්ට අනුව බෙහෙත් වට්ටෝරු නොලිවීම සහ අසම්පූර්ණ බව නමැති ලක්ෂණ දෙක මෙකී වාර්තාවේදී පර්යේෂකයන් දැඩිව අවධාරණය කර ඇත. මෙම පර්යේෂණ වාර්තාවේ සඳහන් වන පරිදි බෙහෙත් වට්ටෝරු 200න් පැහැදිලිව කියවිය හැකි වට්ටෝරු තිබි ඇත්තේ 99ක් පමණකි. එනම් ප්‍රතිශතයක් වශයෙන් 49.5කි. මෙම අධ්‍යයනයේ සීමා තිබුණ ද සමස්ත බෙහෙත් වට්ටෝරු පිළිබඳ යම් දළ අදහසක් ඇති කර ගැනීමට එය ඉවහල් වන බව පෙනේ. වාර්තාවේ එන පරිදි බෙහෙත් වට්ටෝරු ලිවීමේ පිළිගත් උසස් මට්ටමින් බැහැර වීම මෙබඳු අපැහැදිලි වට්ටෝරුවලට එක් ප්‍රධාන හේතුවක් බව පර්යේෂයෝ අවධාරණය කරති. කෙටි යෙදුම් සහ ඒකක භාවිතයේ තිබෙන පටලැවිලි අවුල තවත් වැඩි කර තිබේ.

    බෙහෙත් වට්ටෝරුවක් යනු ජීවිතයක් බේරාගැනීම සඳහා නිර්දේශ කරන්නක් බව අමුතුවෙන් ඔබට මතක් කළ යුතුවක් නැත. එහෙත් එකී බෙහෙත් වට්ටෝරුව ඔබට මරණ වරෙන්තුවක් වුවහොත් ඇති වන තත්ත්වය හිතා ගත හැකිය. එහෙයින් මෙකී කරුණු පිළිබඳ තවදුරටත් විමසීමට අපි ඉකුත් දිනෙක කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති හමු වුණෙමු.

    “අපැහැදිලි බෙහෙත් වට්ටෝරු පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. මේක සැලකිය යුතු කාරණයක්. දියුණු රටවල නම් රෝගීන්ට ලබා දෙන්නේ විද්‍යුත් බෙහෙත් වට්ටෝරුවක්. අපට පුළුවන් බෙහෙත් වට්ටෝරු පරිගණකගත කරලා ලබා දෙන්න. සමහර තැන්වල එහෙම ලබා දෙනවා. එහෙත් රජයේ රෝහල්වල මෙය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කළත් ඊට ප්‍රතිපාදන තියෙන්න ඕන. හැබැයි මේ බෙහෙත් වට්ටෝරු පිළිබඳ අවුල වෛද්‍ය ක්ෂේත්‍රයේ දෝෂවලින් රෝගීන්ට හානි විය හැකි එක් හේතුවක් පමණයි. ආරක්ෂිතව ඖෂධ භාවිත කිරීම තවම අපි ජයගෙන නැති අභියෝගයක්. මේක ලංකාවේ පමණක් නොවෙයි ලෝකයටම බලපා තිබෙන ප්‍රශ්නයක්. ‍පොදුවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ දෝෂ නිසා ලෝකයේ සංවර්ධිත රටවල පවා රෝගී මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා ඇමෙරිකාවේ පමණක් වර්ෂයකට එක් ලක්ෂ අසූදාහසක් මිය යන බව අලුත්ම වාර්තාවල සඳහන් වෙනවා. එහි සැබෑ තත්ත්වය හාරලක්ෂයක් බව නොනිල වාර්තාවල සඳහන් වේ. මේ මරණවලින් 50ත් 78ත් අතර ප්‍රමාණයක් වළක්වා ගන්න පුළුවන් ඒවා. එක්සත් රාජධානියේ මේ තත්ත්වය කොතරම් උග්‍ර වෙලාද කියුවහොත් ගුවන් ගමනකදී මිය යා හැකි අවදානම මිලියනයකට එකක් වුවත් එක්සත් රාජධානියේ රෝහලකදී වෛද්‍ය ක්ෂේත්‍රයේ දෝෂ නිසා මිය යා හැකි අවදානම තුන්සීයට එකක් බවත් වාර්තා වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ තත්ත්වය මෙහෙම නම් ලංකාවේ තත්ත්වය කෙබඳු එකක්දැයි අපට සිතා ගන්න පුළුවන්.”

    ඒ මහාචාර්යවරියගේ පැහැදිලි කිරීමය. ඇය අප සමග තවත් කරුණු මෙසේ පැහැදිලි කළාය.

    “අප මුලින් කී පරිදි බෙහෙත් වට්ටෝරුවල අවුල ගැන සලකා බැලුවොත් වරක් එක් බෙහෙත් වට්ටෝරුවකින් කිලෝ විස්සක් බර සහිත වයස අවුරුදු හයක දරුවකුට පැරසිටමෝල් එකක් දවසකට තුන්වරක් දීමට නියම කරලා.

    ඇත්තෙන්ම එබඳු දරුවකුට නියම කළ යුත්තේ වරකට මිලිග්‍රෑම් 300ක පැරසිටමෝල් ප්‍රමාණයක්. පැරසිටමෝල් එකක මිලිග්‍රෑම් 500ක් තියෙනවා. අවසානයේ මේ දරුවාගේ අක්මාවට හානි වෙලා ළමා රෝහලට ඇතුළු කළා. අනෙක් අතට ඖෂධ භාවිතය පිළිබඳ හරි මග පෙන්වීමක් සමහර තැන්වල නෑ. වෛද්‍යවරුන් බෙහෙත් ලියන කොට වැරදි වෙන්න පුළුවන්. ඖෂධවේදීන් බෙහෙත් දෙන කොට වැරදි වෙන්න පුළුවන්. හෙදියන් වෛද්‍යවරයා නිර්දේශ කළ බෙහෙත රෝගියාගේ බෙහෙත් සටහනේ ලියන විට වැරදෙන්න පුළුවන්. රෝහල්වලදී මෙවැනි වැරදි වෙනවා. සමහර විට රෝගියාගේ ඇඳේ වෙන කෙනෙක් හිටියොත් ඔහුට ඒ රෝගියා නියම කළ බෙහෙත් දෙන අවස්ථාත් තියෙනවා.”
    මේ තත්ත්වය වළක්වා ගත හැකි මගක් නැද්ද? මම මහාචාර්ය ප්‍රියදර්ශනීගෙන් ඇසීමි.

    “මා එංගලන්තයේ රෝහල්වල සේවය කරලා ලැබූ අත්දැකීම් අනුව එහේ රෝහල් වාට්ටුවල ඖෂධවේදියෙක් ඉන්නවා. වෛද්‍යවරයා බෙහෙතක් නියම කළාම ඔහුත් ඒ ගැන විමසා බලනවා. ඖෂධවේදියා රෝගියාගේ රුධිර වාර්තා පවා බලනවා. වෛද්‍යවරයා නිර්දේශ කළ බෙහෙත තවදුරටත් රෝගියාට දිය යුතු ද යන්න ගැන ඔහු වෛද්‍යවරයාගෙන් විමසනවා.

    මෙවැනි තත්ත්වයක් ලංකාවේ නෑ. ලංකාවේ සරසවි හතරකින් උපාධිධාරි ඖෂධවේදීන් වාර්ෂිකව පිට කරනවා. නමුත් ලංකාවේ ෆාමසිවල සුදුසුකම් නැති ඖෂධවේදීන් ගොඩක් ඉන්නවා. සමහර ෆාමසි ළඟට ගියාම අපට පේනවා විශාල සෙනඟක්. මේ නිසා ඖෂධවේදීන් රෝගියාට දෙන බෙහෙත් වට්ටෝරුව දෙවරක් පරීක්ෂා කරන්නේ නෑ. මොකද ඔවුන්ට ඒකට වේලාවක් නෑ. ඒ විතරක් ‍නෙවෙයි අපේ ජනතාවටත් ඖෂධ ගැන නිසි අවබෝධයක් නෑ. උදාහරණයක් වශයෙන් මගේ ගාවට බෙහෙත් ගන්න එන රෝගියකුගෙන් බොන බෙහෙත මොකක්ද කියා ඇහුවාම ඔවුන් කියන්නේ අර සුදු ලොකු පෙත්ත බොනවා කියලයි. ඇත්තෙන්ම තමන් මාස හය හතක් තිස්සේ භාවිත කරන බෙහෙතේ ඖෂධීය නාමය ගැන ඔවුන් දන්නෙ නෑ.”

    වෛද්‍යවරුන් ඖෂධ නාමයෙන් බෙහෙත් වට්ටෝරු ලියන්නේ නැති තරම් නේදැයි මේ අතර මම ඇයට තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කළෙමි.

    “ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි අපේ ගෝලයන්ට නම් හැම විටම කියන්නේ ඖෂධීය නාමයෙන් පමණක් බෙහෙත් නියම කරන්න කියලයි. එහෙම නොවුණොත් ලොකු පටලැවිල්ලක් ඇති වෙනවා. මොකද එක බෙහෙතකට වෙළෙඳ නම් තිහ හතළිහක් තියෙන්න පුළුවන්.” ඇය එසේ කියයි. එසේ වුවද අන්තර්ජාතික ඖෂධ ජාවාරමට හසුවූ සමහර වෛද්‍යවරුන් වඩාත් ප්‍රිය කරන්නේ බෙහෙතක් වෙළෙඳ නමින් ලිවීමටය. මේ නිසා රෝගියාට සත ගණනකින් මිලදී ගත හැකි බෙහෙතට රුපියල් හතළිහක් දීමට සිදුවන අවස්ථා ඕනෑ තරම් තිබේ.

    “ඖෂධ භාවිතය නිසි පරිදි කිරීමට නම් ඖෂධ ගබඩා කිරීම ගැනත් නිසි අවධානය දක්වන්න ඕන. එක සමාන බෙහෙත් තිබෙනවා. ගබඩා කිරීම අවුල් නම් මේවා දීමේදී පැටලැවෙන්න පුළුවන්. තවත් සමහර බෙහෙත්වල නම් වෙනස් වෙන්නේ එක අකුරකින් දෙකකින්. ඒ නිසා වැරදීමට ඉඩකඩ තිබෙනවා. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෑ. ඒ විතරක් ‍නෙවෙයි වෙන රටවල තිබුණත් මෙහෙ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඇති වන දෝෂ ගැන දැන ගන්න ක්‍රමවේදයක් නෑ. ඒවා වාර්තා වෙන්නේ නෑ. ඒ සඳහා අප ක්‍රමවේදයක් යෝජනා කරලා තියෙනවා. අපේ සමහර රෝගීන් වෛද්‍යවරුන්ට කරුණු වසන් කරනවා. තමන්ගේ තියෙන ලෙඩ දුක් ගැන හරියට කියන්නේ නෑ. සමහරු ගර්භණීව හිටියත් ඒකත් වහනවා. එහෙම වුණාම භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. බෙහෙත් ගන්න ගියාම රෝගයට අදාළව සියලු තොරතුරු කියන්න ඕන. අවසාන වශයෙන් මගේ අදහස නම් වෛද්‍ය ක්ෂේත්‍රයේ ඇතිවන දෝෂ වළක්වා ගැනීමට වෛද්‍යවරයා, හෙදිය, ඖෂධවේදියා, රෝගියා ඇතුළු සියලු දෙනාම එකතු වෙන්න ඕනෑ.”

    මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති අවධාරණය කරයි.

    රෝගීන්ගේ යහපත කෙරෙහි අවධානය යොමු කරන පසුබිමක් පමා වී හෝ ඇති විය යුතුය. මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයම විටෙක අවුල් ජාලාවකි. එක් පැත්තකින් දේශපාලන පටලැවිලිය. අනෙක් පැත්තෙන් බහුජාතික සමාගම්වල බලපෑම්ය. අපට පෙනෙන්නට ඇත්තේ මේ සියල්ලටම මැදිව පීඩාවට පත් රෝගී ජනතාවය. කෙසේ නමුදු රෝගියා තමන්ගේ ජීවිතය පිළිබඳ වගකීම වෛද්‍යවරුන් පිටම නොතබා පළමුව ඒ වගකීම තමා තුළ ඇති කර ගෙන කටයුතු කළ යුතුය. එසේම රෝගීන් හැටියට තම අයිතිවාසිකම් පිළිබඳ මීට වඩා දැනුවත්ව සංවිධානාත්මකව කටයුතු කිරීමට කාලය එළැඹ තිබේ.

    වරුණ අබේසේකර