මහා නශ්ඨවීම්(Mass Extinctions )

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    නීතිඥ සුපුන් ජයවීර මහතාගේ පරිනාමික දිනපොත නැමති එෆ්බී පිටුවෙන් මහා නශ්ඨ වීම් ගැන ලිපියක් තිබුනා. ඩයිනෝසරයන්ට ගේම දීපු ක්‍රිටැසියස් නශ්ඨ වීම පිලිබඳව මේකෙන් මේන්ලි ෆෝකස් කරන්නෙ.



    මහා නශ්ඨවීම්, එහෙම නැත්තන් mass extinctions කියන්නෙ යම් කිසි සංසිද්ධියක් හේතුකොටගෙන පෘථෘවිය මත පවතින ජීවයේ වඳව යෑමයි.

    විවිධ හේතුසාධක පදනම් කරගෙන යුග පහකදි සිදුවු මහා නශ්ඨවීම් සිද්ධිදාමයන් පහක් ප්‍රාග් යුගවලදි අපිට මුණගැසෙනවා. දේශගුණික විපර්යාස, උල්කා ගැටීම්, ගිණිකඳු විදාරණයන් ආදී හේතුන් වෙන් වෙන් වශයෙන් වගේම සාමුහික ක්‍රියාකාරිත්වය තුල මේ නශ්ඨවීම් සිද්ධි සඳහා විවිධ අයුරින් දායක වෙනවා. වසර බිලියන 4.6 පමණ පැරණි පෘථෘවි ඉතිහාසය තුල ජීවයේ පරිණාමික ගමන් මඟ විවිධ අයුරින් හැඩගැස්වීමට මේ නශ්ඨවීම් දායක වෙලා තිබෙනවා.

    ප්‍රධාන භු යුග පහකදි සිදුවු නශ්ඨවීම් මෙලෙස පෙලගස්වන්න පුළුවන්
    • වසර මිලියන 443 කට පමණ පෙර සිදුවු ඔර්ඩෝවිසියානු පසු අවධියේ මහා නශ්ඨවීම.
    • වසර මිලිය 375 කට පමණ පෙර සිදුවු පශ්චාත් ඩෙවෝනියානු අවධියේ නශ්ඨවීම.
    • වසර මිලියන 251 කට පමණ පෙර සිදුවු පශ්චාත් පර්මියානු අවධියේ මහා නශ්ඨවීම.
    • වසර මිලියන 200 කට පමණ පෙර සිදුවු ට්‍රියැසික් මහා නශ්ඨවීම.
    • වසර මිලියන 66 කට පමණ පෙර සිදුවු ක්‍රිටැසියස් මහා නශ්ඨවීම.
    දැන් මේ පෙර කී මහා නශ්ඨවීම් අවධි මහා නශ්ඨවීම් ලෙස හඳුන්වන්නේ පෘථිවිය මත ජීවත්වු ජීවි විශේෂ අති බහුතරයක් මිහිමතින් සදහටම තුරන් වීමට හේතුපාදක වුන නිසා.

    ප්‍රතිශත වශයෙන් ගත්තම (ආසන්න දත්තයන්)
    • ඕඩොවිසියානු නශ්ඨවීමෙදි 85%
    • ඩෙවෝනියානු 82%
    • පර්මියානු 96%
    • ට්‍රියැසික් 76%
    • ක්‍රිටැසියස් 60 -75% අතර
    ජීවි විශේෂ ප්‍රමාණයක් මේ අවධිවලදි පෘථිවියෙන් තුරන්ව තිබෙනවා. මහා නශ්ඨවීම යන නම කොතරම් සුදුසුද යන්න සිතා බලන්න.

    උදාහරණයකට පර්මියානු නශ්ඨවීමෙන් පසුව පෘථිවිය තුල ඉතිරිවන්නෙ පර්මියානු අවධිය ආරම්භයේදි සිටි සත්ව විශේෂයන්ගෙන් 4% ක් පමණයි. කොතරම් විනාශකාරී ක්‍රියාවලියක් වන්නට ඇත්දැයි සිතා බැලීමට මේ දත්ත ප්‍රමාණවත්.

    ක්‍රිටැසියස් මහා නශ්ඨ වීම(Cretaceous Mass Extinction)

    පෘථිවිය මත ජීවය බිහිවු දා ඉඳන් මේ වෙනකන් මහා නශ්ඨවීම් සිදුවීම් පහක් සිදුවෙලා තියෙන. මේ නශ්ඨවීම් සිද්ධි අතරින් සෑහෙන ප්‍රසිද්ධම සිදුවීම තමයි ඩයිනෝසරයන් මිහිමතින් අතුගා දැමීමට හේතුපාදක වූ ක්‍රිටැසියස් නශ්ඨ වීම.

    දැන් උල්කාපාත කතාව සෑහෙන ප්‍රසිද්ධ වුනාට මේ සිද්ධිය හරියටම මොකද්ද සහ වුනේ කොහොමද කියන එක ගැන ගැටලු තියෙන්න පුළුවන්. සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමා එක් තැනකට ගැටෙන උල්කාවකින් කොහොමද සමස්ථ පෘථිවියේ ජීවයටම බලපෑම් කරන්නෙ කියන එක. මේ සටහන ඒක ටිකක් සරල කරලා පැහැදිලි කිරීමක්.

    දැන් ඔය භූ විද්‍යාවෙදි පොලව කැණීම් කරද්දි පස්, මඩ, වැලි ආදිය අවසාධිත එහෙම නැත්තන් ලෙයර්ස් වලින් තමයි අපිට හම්බවෙන්නේ. කාලෙන් කාලෙට විවිධ පස් තට්ටු එක මත එක තැන්පත් වීම නිසා මේ ලෙයර්ස් හැදිලා තියෙනවා. මෙහෙම කැණීම් කරගෙන යද්දි මතුවෙන ලේයර් එකක මුණ ගැහෙනවා රේඛාමය සටහනක්. මේ රේඛාව ටිකක් විශේෂයි. හේතුව තමයි ප්‍රත්ශතයක් විදිහට ඉරිඩියම් කියන මූලද්‍රව්‍ය සංයුතිය මේ රේඛාවේ අධිකයි. මොකද්ද මේ හරුපේ ? ඉරිඩියම් කියන්නෙ පෘථිවි මතුපිට පෘෂ්ඨය තුල ඉතාමත් දුර්ලභ මූලද්‍රව්‍යක්. එතකොට ඉරිඩියම් කොහොමද මේ රේඛාවට ඇතුල් වුනේ?

    කැනඩාවෙ ඇල්බර්ටාවල දකින්න පුළුවන් K-pg රේඛාව (ඉරිඩියම් වැඩි ස්ථරය)


    නෙදර්ලන්තයේ K-pg රේඛාව



    මේ ගැටලුව විසඳන්න තියරියක් ඉදිරිපත් කරනවා ලුවී අල්වාරේස් කියන භෞතික විද්‍යාඥයා සහ භූ විද්‍යාඥයෙක් වන ඔහුගෙ පුත්‍රයා වෝල්ටර් අල්වාරේස්. සාමාන්‍යයෙන් ඉරිඩියම් බහුලව තිබෙන මූලාශ්‍රයක් තමයි උල්කාවන්. අල්වාරේස්ලගෙ තියරියට අනුව මේ ඉරිඩියම් පෙරකී භූ ස්ථරයට ලැබෙන්නෙ පෘථිවිය සමඟ සිදුවන උල්කාශ්ම ඝට්ටණයක් හේතුවෙන්. දැන් මේ ඉරිඩියම් බහුල භූ ස්ථරය කාළ නීර්ණයකට ලක් කලාම ලැබෙන දින වකවානු වෙන්නෙ වසර මිලියන 66 පමණ ප්‍රථම ඇතිවු සිදුවීම්ක් ලෙසයි.

    දැන් ඒ කතාව පැත්තකින් තියලා මෙක්සිකොවේ යුකටාන් අර්ධද්වීපය දිහාට ගියොත් මේ ප්‍රදේශයෙන් හොයාගන්නවා ඉතාමත් විශාල ආවාටයක් (impact crater). මේ ආවාටය ඇතිවෙලා තියෙන්නෙ ඉතාමත් විශාල උල්කාවක ඝට්ටණය නිසයි. දැන් මේකයි අර කලින් කිව්ව ඉරිඩියම් කතාවයි සම්බන්ධ වෙන්නෙ මෙහෙමයි. ඉරිඩියම් අධික භූ ස්ථරයෙන් එන කාළ නීර්ණයට සර්ව සමපාත කාළ නීරණයක් ලැබෙනවා යුකටාන් අර්ධද්වීපයේ හමුවෙන ආවාටයත් සමඟ. එයත් වසර මිලියන 66 ක් පැරණියි. අහඹුවක්ද ?







    දැන් මේ වසර මිලියන 66 කට පෙර වකවානුවෙ විශේෂත්වය මොකද්ද ? ඒ තමයි ක්‍රිටසියස් යුගයේ අවසානය සනිටුහන්වුන කාල සීමාව. ඒ කියන්නෙ මිහිමත වාසය කරපු දැවැන්තම සතුන්ගෙ අවසන් කාලය.

    දැන් මේ හයිපෝතීසිස් එක ගැන කතා කරද්දි මූලීකම දේ තමයි සාධක අනුව දැනට තිබෙන ශක්තිමත්ම මතය උල්කාවක් ගැටීම නිසා ක්‍රිටැසියස් වඳවීම සිදුවුන බව. විකල්ප මත වලට යන්න කලින් මේකෙ සම්පූර්ණ මතය ගැන සරල පැහැදිලි කිරීම මෙහෙමයි.

    ඇස්ටරොයිඩය කොහෙන් ආපු එකක්ද කියන මතය ගැන සංවාදයේදි එලියට එන කරුණු තමයි අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහයන් අතර තියෙන උල්කා පටියෙන් ඉවතට විස්ථාපනය වන උල්කාවක් බව. සාමාන්‍යයෙන් මේකෙ විශ්කම්භය කිලෝමිටර් 10 පමණ විශාලත්වයක් ඇති උල්කාවක්.

    දැන් මේ උල්කාව ගමන් අරඹනවා පෘථිවිය දිශාවට. ඒ වෙද්දි පෘථිවිය කියන්නෙ වර්තමාන දේශගුණයට වඩා අතිශයින්ම වෙනස් දේශගුණයකින් සමන්විත ලෝකයක්. දැනට වඩා උශ්ණත්වය සෑහෙන වැඩී. ජුරාසික් පරිණාමික උච්චස්ථානයකට පැමිණෙන ඩයිනොසෝරියාවන් මේ ⁣ක්‍රිටැසියස් යුගය වෙද්දි ලෝකය පුරාම පැතිරීම තහවුරු කරගෙන. උදාහරණයකට බොහොම ප්‍රසිද්ධ ඩයිනෝසරයන් ගත්තොත් ට්‍රයිසරැටොප්ස් ගනය මේ වෙද්දි උතුරු අර්ධගෝලයේ බහුලතම ශාඛභක්ෂකයා. ටිරොනොසෝරයන්, ඇන්කයිලෝසෝරයන් වගේම විශාලතම බල පියාසැරිය ලද ක්වෙට්සකෝට්ලස් වැනි සත්වයන් මේ අවධියේදි ඉතාමත් හොඳින් ව්‍යාප්තියක් දක්වනවා.
    ------ Post added on Jan 4, 2025 at 11:56 AM
     
    Last edited:

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com



    මේ වෙද්දි ක්ශිරපායින් බොහොම කුලෑටි සත්වයන්. ප්‍රමාණයෙන් ඉතාමත් කුඩායි. ඔවුන්ට ඩයිනෝසරයන් සමඟ තරඟ කරන්න අසීරුයි. ඒ නිසා පරිණාමිකව ඔවුන් අනුවර්තනය වෙනවා අනෙක් සතුන්ට සැඟව ජීවත් වෙන්න. ඔවුන් බොහෝමයක් නිශාචරයන්. 'මෙසෝඩ්මා' වගේ ක්‍රිටැසියස් ක්ශිරපායියෙක් ගත්තොත් මීයෙකුගෙ ප්‍රමාණය, ග්‍රැම් 30 -50 පමණ. දැන් ඕක තමයි ඔය වෙද්දි පෘථිවියෙ පසුතලය. (මීට වඩා අති සංකිර්ණයි, මේ සරලව)




    මෙසෝඩ්මා ප්‍රතිනිර්මාණයක්

    මයිල මිලියන කාලකට එහායින් තියෙනවා පෘථිවියේ අවසන් ආරක්ෂක වලල්ල. වසර බිලියන ගානක් පුරාවට ඇස්ටරොයිඩ සිය ගුරුත්ව ක්ෂේත්‍රයට නතු කරගෙන තමන් දෙසට ඇදගන්න සඳ. වාසනාවකට හෝ අවාසනාවකට ඇස්ටරොයිඩ් ගමන් පථයෙන් සඳ තියෙන්නෙ ඈතක.

    මේ උල්කාවේ වැදගත්ම දෙය තමයි එහි ස්කන්ධය. අති විශාල ස්කන්ධයක් ඇති උල්කාව 40mph වගේ ප්‍රවේගයකින් පෘථිවිය ආසන්නයට ආවට පෘථිවියේ ගුරුත්ව බලය ක්‍රියාත්මක වෙනකොට පෘථිවිය දෙසට මෙය ඇදගන්නවා. එවිට උල්කාවේ ප්‍රවේගය 40kmph සිට 40000kmph දක්වා ඉහල යනවා. සරල භෞතිකය අනුව චලනය වන වස්තුවක ස්කන්ධයෙත් ප්‍රවේගයෙත් ගුණිතය = ගම්‍යතාව. ඒ කියන්නෙ චලනය වන මේ උල්කාව සතු බලය පෘථිවි ගුරුත්වය මඟින් තව තවත් වැඩි කරනවා.



    දැන් ආයේ පෘථෘවිය දිහාවට හැරුනොත් අර කලින් විස්තර කරපු යුකටාන් අර්ධද්වීපය අයත් මධ්‍යම මෙක්සිකෝව බොහොම සාරවත් ප්‍රදේශයක්. සෝරෝපොඩ්ස් ගෝත්‍රයේ අවසන් පුරුක් වන ඇලමෝසෝරස් වැනි අතිවිශාල ශාඛභක්ෂකයන් මේ ප්‍රදේශයේ බහුලව ජීවත් වුනා. ඇස්ටරොයිඩය පෘථිවි වායුගෝලයට ඇතුල්වීමේ ප්‍රථම සංඥා සමහරවිට මේ සතුන්ට දැනෙන්න ඇති...



    ඇස්ටරොයිඩය පෘථිවි වායුගෝලය සමඟ ගැටීමත් සමඟම ඉන් නිකුත් වන වායුන් සහ දුහුවිලි අංශුන් පෘථිවි වායුගෝලය සමඟ ඇතිවන ඝර්ෂණය හේතුවෙන් දැවී, වේගයෙන් පෘථිවි පෘෂ්ඨය දෙසට ඇදෙන ඇස්ටරොයිඩය වටා අධික උෂ්ණත්වයකින් යුත් ප්ලාස්මාවක් බවට පරිවර්තනය වෙනවා. (ප්ලාස්මා කියන්නෙ පදාර්ථයේ ඝන, ද්‍රව , වායු යන අවස්ථා තුනෙන් ස්වායත්ත හතරවන අවස්ථාව)

    ආවාටයේ හැඩය, ගැඹුර වගේ දේවල් නිර්ණය කරාම ඇස්ටරොයිඩයේ පරාවක්‍රය ගැන කීමට පුළුවන්. ඒ අනුව පෘථිවි පෘශ්ඨයට අංශක 30 ආනතියකින් දකුණේ සිට උතුරු දිශානතව තමයි ඇස්ටරොයිඩය ගැටෙන්නෙ. එතකො⁣ට සමස්ථ ඝට්ටනයේම විනාශකාරී බලය දිශාගත වෙන්නෙ උතුරු දිශාවට.

    දැන් මේ ඇස්ටරොයිඩය පෘථිවිය පෘෂ්ඨයට ගැටෙන්න පෙර පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් මයිල පන්සීයක් පමණ ඈතින් ඉඳලම පෘථිවි ජීවය විනාශ කරනවා. ඒක වෙන්නෙ වායුගෝලය හා ගැටීමේදි නිපදවෙන උෂ්ණත්වය සහ ආලෝකය. ඉම්පැක්ට් පොයින්ට් එකේ හිටපු ඇලමොසෝරයන් වගේ සතුන් පෘථිවියට මයිල 500 ක් පමණ ඈතින් තිබෙන ඇස්ටරොයිඩයේ ආලෝකයෙන් අන්ධව යන්න ඇතැයි විශ්වාස කරනවා. දිවා රාත්‍රී වෙනස නැතිව ගොස් අපිකේන්ද්‍රයේ සහ ඊට ආසන්න ජීවීන් බොහොම දෙනෙක් වෙනදා දකින්න පුළුවන් ඉරට වඩා ඉතාමත් ප්‍රභාමත් ඇස්ටරොයිඩය දීප්තිය මැද අපහසුවෙන් දකින්න ඇති.

    1945 අගෝස්තු 9 ජපානයේ නාගසාකිවලට හෙලු ෆැට් මෑන් න්‍යෂ්ටික අවියේ පිපුරුම් බලය කිලෝටොන් 20. චික්සුලුබ් ආවාටය බිහිකරපු ඇස්ටරොයිඩ පිපුරුම් බලය මෙගාටොන් මිලියන 100 ක් පමණ. (සාමාන්‍යයෙන් දල අදහසක් ගන්න පුළුවන් මේ ගනන් වලින් පිපුරුමෙ ප්‍රමාණය ගැන)

    ඇස්ටරොයිඩය ගැඹුරු මුහුදට පතිත වුනානම් මේ විනාශකාරී ශක්තියෙන් සෑහෙන කොටසක් සාගරය මඟින් අවශෝෂණය කරගන්න තිබුනා. නමුත් නැවතත් 'වාසනාවකට හො අවාසනාවකට' ඇස්ටරොයිඩය පතිත වෙන්නෙ මෙක්සිකො බොක්කෙ නොගැඹුරු ජලය මතට.

    මේ ගැටුම නිසා සමස්ථ මෙක්සිකො බොක්ක සහ අවට වු සාගර ජලය සම්පූර්ණයෙන්ම වාෂ්ප වීමකට ලක්වී තිබෙනවා. ඒ වගේම අවට දුහුවිලි, ගල්, පර්වත 100000 mph පමණ වේගයකින් ඉහල අහසට විසිවි තිබෙනවා.

    දැන් මෙතන ඉඳන් මම විස්තර කරන්නෙ ඝට්ටනය නිසා විවිධාකාර බල ක්‍රියාත්මක වීමෙන් පෘථිවි ජීවය විනාශ වුන ආකාරය.

    ඝට්ටණය සිදුවන කේන්ද්‍රයේ සිට කිලෝමීටර 800 ක පමණ අරයක් ඇති ප්‍රදේශයෙ උෂ්ණත්ව සැනෙකින් ඉහල යනවා සෙන්ටිග්‍රේඩ් අංශක 600 ට පමණ. මේ අරය තුල සිටින ජීවීන්ගෙ සිරුරු තුල ජලය වාෂ්ප වෙනවා. සියළු ගහ කොල ආදියේ සියළු ජලය සැනෙකින් වාෂ්ප වී යනවා. මේ ආලෝක සහ උෂ්ණත්ව ප්‍රහාරය තමයි විනාශකාරී රැලි වල පලමුවැන්න.

    ඝට්ටනයෙදි 100000 mph වේගයෙන් ඉහලට ගල්, පර්වත විසිවුනා. විනාඩි ගනනක් දැන් ගතව හමාරයි. ඉහල ගිය දේවල් ආයේ පහල වැටෙන්න ඕන ගුරුත්වය අනුව. මේ දෙවන විනාශකාරී රැල්ල. අපිකේන්ද්‍රයෙ සහ ආසන්නයේ සියළු ප්‍රදේශවලට මේවා නැවත කඩා හැලෙනවා. ගැටුම් කේන්ද්‍රයේ සිට පලමු විනාශකාරි රැල්ලෙන් ගැලවුන සත්වයන් සිටියානම් ඔවුන් ඊලඟට ප්‍රහාරයට ලක්වෙන්නෙ මේ කඩා වැටෙන ගල්, පර්වත මඟින්.

    අතිවිශාල ඝට්ටණය පෘථිවි කබොල දෙදරවීමට සමත්. විද්‍යාඥයන්ට අනුව රිච්ටර් මාපකයේ 11.1 සටහන්වන භූකම්පනයක් හටගන්නවා. මේ තමයි තෙවන විනාශකාරී රැල්ල.

    ඝට්ටණය නිසා හටගත් ස්පන්දන තරංගය ශබ්දයේ වේගයටත් වඩා වේගයෙන් අවකාශය තුලින් ගමන් කරනවා. මේ ස්පන්දන තරංගයට හසුවන ජීවින් වෙතොත් තරංගය ගැටෙන ප්‍රවේගය මත ජීවීන්ගෙ සිරුරෙන් සම ගැලවී යාමට තරම් ප්‍රබලයි. මේ ස්පන්දනය අපිකේන්ද්‍රයේ සිට වෘත්තාකාරව විහිද යනවා. මේ සිව්වන විනාශකාරී රැල්ල.

    ක්ශුද්‍ර දුහුවිලි අංශු ඉහලට නැගීම නිසා දුහුවිලි වලාවක් හටගන්නවා. මේ දුහුවිලි අංශු ඉහල ස්ථරවලදි ඇති කරන ඝර්ෂණය හේතුවෙන් මේ දුහුවිලි වලාවෙ උශ්ණත්වය ඉතා සීග්‍රයෙන් ඉහල යනවා. මේකට කියනවා ඉජෙක්ටර් ක්ලවුඩ් (ejector cloud).



    ඝට්ටනයෙදි ඇතිවන බලය පෘථිවි කබොල හරහා ගමන් කිරීම නිසා තවත් භුකම්පන ඇතිවෙනවා. ඒ වගේම ගිනිකඳු ක්‍රියාකාරිත්වය වැඩිවීම වගේම නව ගිනිකඳු විදාරණයත් මේ කාලය තුල සිදුවෙනවා. අවට තිබෙන කැලෑ ගිනිබත් වීම ඇරඹෙනවා.

    දැන් මේ වෙද්දි ඉහලින් ඉජෙක්ටර් ක්ලවුඩ් එක. ඊට පහලින් පෘථිවි පෘෂ්ඨය මත ගිනිකඳු, ලැව්ගිනි. මේ හේතුවෙන් පෘෂ්ඨය සහ ඉජෙක්ටරය අතර උෂ්ණත්වය දැඩි ලෙස ඉහල යනවා. ඒ වගේම ඉතාමත් වේ⁣ගයෙන් මේ දුහුවිලි වලාව සමස්ථ පෘථිවියම වෙලාගන්නවා. මේ උෂ්ණත්වයට මැදි වෙන කිසිඳු සත්වයෙක් ඉතිරි වන්නෙ නෑ. මේ පස්වන විනාශකාරි රැල්ල.

    ඝට්ටණය ඉතාමත් විනාශකාරියි. මේ බලය හේතුවෙන් මහද්වීපික තටකයේ වු අවසාධිත පාෂාණ විනාශ වී ගොස් පතුලට ඇද වැටෙනවා. මේ හේතුවෙන් සාගර ජලය උස් පහත් වීමකට ලක් වෙනවා. මෙහි ප්‍රතිඵලය වෙන්නෙ මෙගාසුනාමි රළ ඇතිවීම. කිලෝමීටර ගනන් උස රළ වෙරළ තීරයට කඩා වදිනවා. මේ සයවන විනාශකාරී රැල්ල.

    ඝට්ටනය නිසා පෘථිවි කබොල හරහා ගමන් කරන බලය භූ තැටි දෙදරවීමට සමත්. මේ භූ තැටි හරහා ගමන් කරන භූ කම්පන තරංග (seismic ripples) හේතුවෙන් භූ තැටිවල නව පැලීම් නිර්මාණය වෙනවා. මේ පැලීම් තුලින් පෘථිවි කබොලට යටින් වූ මැග්මා මතුපිටට පැමිණෙනවා. (ගිනිකඳු නැතිව ලාවා ගැලීමක් වගේ) මේ සත්වන විනාශකාරී රැල්ල.

    දැන් මේ ඉහත සිදුවීම් සෑහෙන ප්‍රමාණයකට ගින්දර සම්බන්ධයි. දැවී හළුවන ජීවී පදාර්ථයෙන් නැගෙන දුම්, දුහුවිලි අංශූන්, ගිනිකඳු විදාරනයෙන් විමෝචනය වන විෂ සහිත දුම්, සල්ෆර් වායූන් වැනි ජීවයට අහිතකර වායුමය සංඝටක සියල්ලම අර කලින් කියපු ඉජෙක්ටර් ක්ලවුඩ් එක දිගින් දිගටම පෝෂණය කරනවා. ඒ වගේම මේ ඉජෙක්ටරය තුල ඇති අංශු ඝණත්වය නිසා අධි බලැති අකුණු සැර නිපදවෙනවා. ඉජෙක්ටරය දැන් පෘථිවියම වෙලාගෙන අවසන්....

    මේ තමයි ඉමිඩියට් ඉම්පැක්ට්ස්. අපිකේන්ද්‍රය ආසන්නයෙ වූ ඇලමොසෝරයන් ඇතුලු තවත් වි⁣ශේෂ ගනනාවක් මේ වන විට විනාශ වී අවසන්. අපිකේන්ද්‍රයෙන් පිටත ජීවීන් බහුතරය දැඩි උෂ්ණත්වය, විෂ වායුන්, සුනාමි, භුමිකම්පා, ගිණිකඳු ආදියෙන් විනාශව ගොස් අවසන්....

    ඇස්ටරොයිඩය පෘථිවිය හා ගැටී අවසන්. ගැටීමෙන් පසු වහා සිදුවන බලපෑම් දැන් හමාරයි. පෘථිවිය මත ජීවය දැඩි ලෙස විනාශ වෙලා. මධ්‍යම, උතුරු, දකුණු අමරිකානු භූ තැටි මත පැවති ජීවය ගැන දැන් බලාපොරොත්තු තියන්න හැකියාවක් නැහැ. ඒ ඝට්ටනයෙ අපිකේන්ද්‍රයේ සිට ආසන්න පෙදෙස් නිසා.

    නමුත් තාමත් ජීවය පවතිනවා. ලෝකයේ අනෙක් පස සයිබීරියානු, මොංගෝලියානු භූමි අවට ජීවීන් සැරිසරනවා. ඉජෙක්ටර් වලාව ඔවුන් වෙලාගෙන තිබෙන්නේ. බොහෝ ජීවීන් දුර්වලයි. නමුත් පෘථිවියේ අනෙක් අන්තයෙන් ඇරඹි ඉජෙක්ටරය මේ කෙලවරල ලඟා වන විට අපිකේන්ද්‍රයේ තරම් විනාශකාරී බවක් නැහැ. නමුත් තාමත් ජීවයට අහිතකරයි.
     
    Last edited:

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    කඩින් කඩ පොද වැසි සමඟ ඉහලට ගිය දුහුවිලි අංශුන් සමඟ වායුගෝලයේ පැවතී සල්ෆර් වැනි ජීවයට අහිතකර මූලද්‍රව්‍ය H2O අණු සමඟ සංයෝග වෙමින් සල්ෆියරික්, සල්ෆියුරස් වැනි ආම්ලික සංයෝග නැවත පෘථිවි පෘෂ්ඨය මතට ගෙන එනවා.

    ජීවයේ මුලීක අවශ්‍යතාවන් ආහාර සහ ජලය. එයිනුත් ජලය ඉතාමත් වැදගත්. පෘථිවි ජීවය ඊලඟට මුහුණ දෙන ගැටලුව පෙරැකී ආම්ලික සංයෝග අඩංගු විෂ ජලය පානය කිරීමට සිදුවීම. ප්‍රතිඵලය නොවැලැක්විය හැකියි...

    අපි ඝට්ටනයෙන් මාස කිහිපයක් ඉදිරියට යමු. තාමත් ඉජෙක්ටර් වලාව පෘථිවිය වෙලාගෙන. දැන් මාස ගානකින් පෘථිවි ජීවය හිරු එළිය දැකලා නැහැ. ඝට්ටනයෙන් පසු අන්ධකාරය පවතිනවා ඝන දුහුවිලි වලාවෙන් හිරු එලිය වලක්වක නිසා.

    හිරු එලිය නැහැ කියන්නෙ ප්‍රභාසංස්ලේෂණ දාමයන් බිඳ වැටෙනවා. ප්‍රභාසංස්ලේෂණ දාමයන් බිඳ වැටෙනවා කියන්නෙ පරිසර පද්ධතියක ප්‍රාථමික නිෂ්පාදකයන් අඩාල වෙනවා. දැන් පෘථිවිය තුල ආහාර නිපදවීම බිඳ වැටිලා.

    ඉන්පසු ගැටලුව 'ආහාර'. මේ ගැටලුව විස්තර කරන්න කලින් ආහාර දාම පිලිබඳව දැන ගත යුතුයි. ආහාර දාමයක මුල් පුරුක් වන්නේ ශාඛභක්ෂකයන්. ක්‍රමයෙන් දාමයේ ඉහලට යද්දි සර්ව භක්ෂකයන් සහ මාංශ භක්ෂක විලෝපිකයන් ස්ථානගත වෙනවා.

    ඩයිනෝසරයන්ගෙ ආහාර දාම ගත්තම ශාඛ භක්ෂක සත්වයන් සියල්ලක්ම පාහේ අති දැවැන්ත සතුන්. සෝරෝපොඩ්ස් වැනි අති දැවැන්තයන් පසෙකලා උදාහරණයකට ඊට වඩා සාපේක්ෂව කුඩා ට්‍රයිසරැටොප්ස්, ඇන්කයිලෝසෝර්, ඉගුවානෝඩොන්, ස්ටේගොසෝරියා වගේ ගනයන් සැලකුවත් ඔවුන් ශාඛමය ආහාර විශාල ප්‍රමාණයක් ගිල දමන්නවුන්. මේ වෙද්දි හරිත ආවරණය ලැව් ගිනි වලින් විනාශ වෙලා. එපමණක් නොව ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාදාමය ඇණහිට ඇති බැවින් ආහාර නිශ්පාදනය බිඳ වැටිලා. වෙනදා ආහාරයට ගත් ආහාර ස්කන්ධය ඔවුන්ට සොයාගැනීමට බැහැ. පරිණාමිකව ඔවුන්ට උරුම අතිවිශාල සිරුරු දැරීමේ පාඩුව ඔවුන් දැන් විඳිමින් පවතිනවා. ඉතිරි වී සිටින ශාඛභක්ෂක ගනයන් හාමතින් මියැදෙනවා.

    තවත් මාස කිහිපයක් ඉදිරියට. මැරී වැටුන ශෘඛ භක්ෂකයන් ආහාරයට ගනිමින් කුණප බුදින්නන් සහ විලෝපිකයන් දිවි රැක ගත්තත් දැන් ඒ ආහාර ප්‍රභවය අවසන්. ඔවුන් මිය යන්නෙත් හාමතින්.

    මේ භෞමික සිද්ධින් වන අතරේ මුහුදේ හිටපු සත්වයන් මිය ගියේ කොහොමද ?

    සාගරයේ පවතින ආහාර දාමත් රඳා පවතින්නෙ ප්‍රභාසංස්ලේෂණය මත. සාගර ජලයෙ නීල හරිත ඇල්ගාවන් ප්‍රාථමික නිශ්පාදකයන් ලෙස නිපදවන ආහාර දාමාකාරව විලෝපිකයන් දක්වා යනවා. හිරු එලිය නැහැ කියන්නේ සාගරික ආහාර දාම රටාවන් බිඳ වැටීම. ඔවුන්ගෙ ඉරණමත් භෞමික වාසීන්ට වඩා වෙනසක් නැහැ.

    පරිණාමික ගමන් මගේ පෘථිවි ආධිපත්‍යයේ හිනිපෙත්තටම ඩයිනෝසරයන් ලඟාවීමට වැය වුන කාලය වසර මිලියන 126 ක්. (ප්‍රයිමේටාවන්ගෙ මනුශ්‍ය පරිණාමයට තාම වසර මිලියන 8 යි. සංසන්දනය කරලා බලන්න කාලයේ දීර්ඝ බව) වසර මිලියන 126 ක පෘථිවියේ කාලපරිච්ඡේදය අවසන් වීමට බලපෑවෙ එක් ඇස්ටරොයිඩයක්.

    පෘථිවිය මතුපිට මේ සිද්ධි වෙන අතරේ පොලවට යටින් වූ ගුල්, බෙන, ගස් බෙන තුල බියෙන් වාසය කරන නිශාචර ක්ශීරපායින් සහ ඉන්සෙක්ටාවන් (කෘමි සතුන්) මේ දැඩි ව්‍යසනකාරී තත්වයන් තුල නිහඬව තමන්ගෙ සුපුරුදු චර්යාවන් වල. ඉතාමත් කුඩා ශරීර ප්‍රමාණයන් නිසා ඔවුන්ට අවශ්‍ය ආහාර ස්කන්ධය සීමිතයි. කුඩා ආහාර ප්‍රමාණයකින් සංතෘප්ත වන මොවුන් තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්නවා. (ඉන්සෙක්ටාවන් කියන්නෙ අති විශිෂ්ට දිවි රැකගන්නන්.වසර මිලියන 400 පෙර ඩෙවෝනියන් යුගයේ ඉඳන් මහා නශ්ඨවීම් වලින් දිවි රැකගත් අති විශිෂ්ට පරිණාමික නිපදවීමක් ඔවුන්)

    ඉජෙක්ටර් වලාවෙන් නැගුනු දුහුවිලි නැවත තැන්පත්ව පෘථිවි වායුගෝලය පිරිසිදු වන තෙක් කල් මැරීමට ඔවුන් සමත්. විශාල උරගයන් හමුවෙ කුලෑටි ජීවිතයක් ඔවුන්ට ප්‍රධානය කල පරිණාමය තවදුරටත් ඔවුන්ට අකාරුණික නැහැ. කුඩා ශරීර ඔවුන්ට වාසියක් වුනා, නිශාචර බව තුලින් අඳුරු කාලපරිච්ඡේදයන් තුල නොනැසී සිටින්නට හැකි වුනා. මියගිය සතුන්, ශාඛ ආහාරයට ගනිමින් ඔවුන්ගෙ ආහාර ගැටලුව විසඳගත්තා. දැන් තියෙන්නෙ අලුත් පෘථිවියක්. ඩයිනෝසරයන් පැවත නික්ම ගොස් රික්තයක් ඉතිරි වූ පෘථිවියක්...

    ඇස්ටරොයිඩය ඝට්ටනය සිදුවී සියළු පාරිසරික විපර්යාසයන් අවසන්. ක්‍රිටැසියස් යුගය තුල පෘථිවිය පුරා අණසක පැතිරවු ඩයිනෝසරයන් විශේෂ අති බහුතරය නශ්ඨව ගොස් ඇතැම් කොටස් සිය අවසන් පුරුක් වල.

    රිටැසියස් යුගය සහ ඊට පෙර අවධිවල ක්ශීරපායි පරිණාමය සිදුවුනත් ඔවුන් ඉතාමත් කුඩා ජීවීන් බවට පත්ව තිබුනෙ ඩයිනෝසරයන් හා තරඟ කිරීමට ඇති නොහැකියාව නිසා. ක්‍රිටැසියස් නශ්ඨ වීමේ සංසිද්ධියේදි ඔවුන් වඩාත් හොඳින් ඊට ප්‍රතිරෝධය දක්වනවා. නමුත් සියළු ක්‍රිටැසියස් ක්ශීරපායින් නශ්ඨ වීමට ප්‍රතිරෝධී වුනේ නැහැ. ට්‍රයිකොනොඩොන්ටිඩාවන්, ස්පැලකොතෙරොයිඩ්ස්, ඩ්‍රයොලෙස්ටිඩ්ස්, මල්ටිටියුබර්කලේටස් වැනි ක්ශීරපායි ගෝත්‍ර සහමුලින්ම ඩයිනෝසරයන් මෙන්ම නශ්ඨව යනවා.

    ඇස්ටරොයිඩය ඝට්ටනයෙන් පසු එළැඹෙන වසර මිලියන දහයක පමණ කාලය තුල ඉතිරි ක්ශීරපායින් සීග්‍ර ලෙස පරිණාමය වෙනවා. ඇස්ටරොයිඩය ගැටීමට පෙර වසර මිලියන 160 කාලය තුල නියත ලෙස පරිණාමය දැක්වු ක්ශීරපායින් ඉන්පසු එළැඹෙන වසර මිලියන 10 තුල අධික විශේෂණය වීම් සහ අනුවර්තනය වීම් දක්වමින් පැතිර යනවා. මීට ප්‍රධානම හේතුව වෙන්නෙ ක්‍රිටැසියස් යුගයට පෙර සිටි විලෝපිකයන් සහ තරඟකරුවන් ඒ වන විට නශ්ඨව ගොස් සිටි නිසා.

    ක්‍රිටැසියස් යුගයට පෙර ලොව ප්‍රමුඛ වන වැස්ම බවට පත්ව තිබුනෙ අපුශ්ප ශාඛ. කොනිෆෙරාවන්, ගින්කොෆයිටා, සයිකඩෝෆයිටා, නෙටොෆයිටා වැනි අපුශ්ප ශාඛ වලින් ප්‍රමුඛව තිබු පෘථිවිය ක්‍රමයෙන් වෙනස් වීම ඇ⁣රඹෙනවා. නව පෘථිවිය තුල ප්‍රමුඛ වන්නෙ සපුශ්ප ශාඛ (මල් පිපෙන).

    සපුශ්ප ශාඛවල ප්‍රමුඛත්වයත් සමඟ අනෙක් සැඟව ජීවත් වූ සත්ව කාණ්ඩය පරිණාමිකව ප්‍රමුඛ ⁣වීම ඇරඹෙනවා. ඒ ඉන්සෙක්ටාවන්. සපුශ්ප ශාඛ සමඟ සමනල් විශේෂ, මී මැසි විශේෂ වැනි ප්‍රධාන ඉන්සෙක්ටා කොටස්වල පිබිදීම හටගන්නවා.

    ක්‍රිටැසියස් යුගයෙ අවසානයත් සමඟම මීසෝසොයික මහා අවධිය අවසන් වෙනවා.එතනින් පසුව ඇරඹෙන්නෙ සෙනොසොයික අවධිය. වසර මිලියන 65 කට පමණ පෙර ඇරඹි සෙනොසොයික මහා අවධිය තමයි අපි දැන් ඉන්නෙ. සෙනොසොයිකය කියන්නෙ ක්ශිරපායීන්ගෙ කූටප්‍රාප්තිය. ක්‍රිටැසියස් අවධියෙන් පසු ඇතිවුන ක්ශීරපායි පිබිදීමේ එක අතුරුඵලයක් තමයි හෝමෝ සේපියන්වරු.

    මේ ලිපියේ ඇස්ටරොයිඩ ඝට්ටනය ගැන කතා කරද්දි 'වාසනාවට හෝ අවාසනාවට' යන පද කිහිපය භාවිතා කලා. ඒ ක්‍රිටැසියස් නශ්ඨවීම නොවන්නට ඩයිනෝසරයන් තවමත් මිහිමත සිය අණසකට නතු කරගෙන තිබෙන ලොවක්. එසේ නොවන්නට ක්ශීරපායි පිබිදීම කිසිම ආකාරයකින් සිදු නොවන්නට ඉඩ තිබුනා.

    භූ විද්‍යා කාල රාමුව තුල හෝමෝ සේපියන්වරු තවමත් ගත කර ඇති කාලය ඔබ පැය විසි හතරක් තුල එක් ඇස් පියවිල්ලකට ගතකරන කාලය හා සමානයි. ඩයිනෝසරයන්ටත් වඩා ආදිකාලීන නශ්ඨවීම් , ජීවය ගත කල අඳුරු යුග පවතිනවා. මේ සියළු හැදෑරීම් වලින් ගත යුතු කාරණය වෙන්නෙ ජීවත් වන පරිසරයෙ ක්ෂණික විචල්‍යතාවන් හේතුවෙන් නශ්ඨ වූ ජීවීන් සහ මනුෂ්‍යයා අතර එතරම් වෙනසක් නැති බව. පරිසර හා බැඳීම එතරම්ම ප්‍රබලයි. යම් හෙයකින් පරිසරය විනාශ වීම යනු කාබනික පදාර්ථය මත බිහිවු සියළු ජීවයේ අවසානයයි.
    ------ Post added on Jan 4, 2025 at 11:59 AM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,897
    113
    34
    Kalutara
    ඔය කියල තියෙන හැමදේම දාලා හදපු ෆිල්ම් එකක් එහෙම නැතුව ඇතිනේ බලන්න? පට්ට VFX දාලා හදපු එකක්.

    එතකොට තාම
    • ඕඩොවිසියානු නශ්ඨවීමෙදි 85%
    • ඩෙවෝනියානු 82%
    • පර්මියානු 96%
    • ට්‍රියැසික් 76%
    කියන නෂ්ටවීම් වෙලා තියෙන්නේ කොහොමද කියලා හොයාගෙන නැද්ද, එව්වයේ ඉඳලා තියෙන ජීවීන් මොන වගේළුද? ඒ සේරම ඩයිනො සෑර්ලා වෙන්න බැහැනේ..?
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,494
    113
    colombo
    ඔය කියල තියෙන හැමදේම දාලා හදපු ෆිල්ම් එකක් එහෙම නැතුව ඇතිනේ බලන්න? පට්ට VFX දාලා හදපු එකක්.

    එතකොට තාම
    • ඕඩොවිසියානු නශ්ඨවීමෙදි 85%
    • ඩෙවෝනියානු 82%
    • පර්මියානු 96%
    • ට්‍රියැසික් 76%
    කියන නෂ්ටවීම් වෙලා තියෙන්නේ කොහොමද කියලා හොයාගෙන නැද්ද, එව්වයේ ඉඳලා තියෙන ජීවීන් මොන වගේළුද? ඒ සේරම ඩයිනො සෑර්ලා වෙන්න බැහැනේ..?
    ඕනි තරම් තියෙන්නේ YouTube
     

    Similar threads