මහින්දගේ පරාජයට අවශ්‍ය සියළු කොන්දේසි දැන් සැකසී අවසන්ය. මධ්‍යම පාන්තික උගත්, නාගරික සමාජ තීරුව අතුරින් පටන් ගත් මහින්ද විරෝධය මේ වන විට ඈත ගම්වලටද පැතිරී අවසන්ය. සන්ධානයේ ස්ථාවර ආධාර කරුවන් බවට පසුගිය කාලයේම පත් වී සිටි රජයේ සේවකයෝ අතරේද මහින්දගේ ජනප්‍රියත්වය කඩා වැටී ඇත. ආරක්ෂක, ගුරු, ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන රජයේ සේවකයින්ගේ තැපැල් ඡන්ද වලින් සියයට 65 ක් පමණ අති බහුතරයක් මෙවර මෛත්‍රීට හිමි වී ඇති බව සෑම අතින්ම වාර්තා වෙමින් තිබේ. දීර්ඝ සාකච්ජා වටයකින් පසුව මුස්ලිම් කොන්ග්‍රසයද මෛත්‍රීට සහාය දීමට ඊයේ තීරණය කර තිබේ. මේ අනුව සුළු ජාතික ප්‍රජාවගේ ඡන්ද මුළුමණින්ම මහින්දට අහිමි වී ඇත. මහින්දට ජය ගැනීමට නම් සිංහල ප්‍රජාවගේ ඡන්ද වලින් 63% වැනි ඉහල ප්‍රතිශතයක් ලබා ගැනීමට අවශ්‍ය ය. එය සපුරා ගැනීමට මහින්දට කිසිසේත්ම නොහැකිය. මහින්ද ජය කෙහෙලි නැංවූ පසුගිය පළාත් සභා මැතිවරණ වටයේදී පවා මේ ඉලක්කය සපුරා ගැනීමට සමත් වූයේ වයඹින් පමණි. ඒ උතුරු - නැගෙනහිර පළාත් විශාල ඡන්ද ප්‍රතිශතයකින් පරාජය වෙද්දීය. මේ අනුව රට පුරා ඇති වී තිබෙන මෛත්‍රී රැල්ල අමතක කළත් මහින්දට ජය ගැනීමට කිසිදු ඉඩක් නැත. ජනාධිපතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ දින 10 ක් පමණි. ප්‍රචාරක කටයුතු වලට ඉතිරිව ඇත්තේ සතියකට අඩු කාලයකි. ප්‍රතිහාර්යයකින් හෝ මහජන මතයේ වෙනසක් සිදු විය නොහැකිය.
තමන්ට නියත පරාජයක් ලැබීමට නියමිත බව රාජපක්ෂලා නොදන්නවා විය නොහැකිය. ඔවුන් අන්ධ ලෙස ජනතාව තමන්ව දිනවාවියැයි කල්පනා කරනවා විය නොහැකිය. වන්දි භට්ටයින්ගේ අතිශයෝක්ති කතා සහ සාස්තර කරුවන්ගේ අනාවැකි මත පමණක් ඔවුන් විශ්වාස තබාවි යැයි අපට සිතිය නොහැකිය. රටේ පවතින ඇත්ත තත්වය තමන්ට ආවාසිදායක බවත් මේ තත්වය මැතිවරණ දිනය දක්වා පැවැතුන හොත් නියත පරාජයක් හිමි වන බව ඔවුන් වටහා ගෙන සිටිනවාට සැකයක් නැත.
රාජපක්ෂලාට අහිමි වන්නේ ඉතිරිව තිබූ වසර දෙකක කාලය පමණක් නොවේ. ඔවුන්ගේ දිර්ඝ කාලීන පවුල් පාලනයක සැලසුම් සහ බාලාපොරොත්තු ද අහිමි වීමට නියමිතය. ඒ හා බැඳුනු අපේක්ෂාවන්, පුද්ගලික අභිලාෂයන්ද විනාශ වීමට නියමිතය. මහරජ පමණක් නොව, යුව රජ වරුන්, බිසෝවරුන්, කුමාරවරුන් ඇතුළු ඥාතී පරාම්පරාවක් සහ ඊට බැඳුනු වරප්‍රසාදිත ඇමති නඩයක්, නිළධාරී පැලැන්තියක් සහ ගජ මිතුරු ව්‍යාපාරික රැලක් ද තනතුරු සහ අවස්ථාවන් අහිමිව කරළියෙන් බැස යෑමට නියමිතය. ඔවුන් සැහැල්ලුවෙන් පරාජය බාර ගැනීමට සූදානම් ද?. මෙතෙක් කල් සැලසුම් කල පවුල් පාලනයේ අනාගතය එක් වර විනාශ වෙන්න ඉඩ දී බාලා සිටීද?. ඔවුන් සාමකාමී බල හුවමාරුවකට සූදානම්ද ? නැතිනම් බලය අත නොහැර සිටීමට උත්සාහ ගනීද?. එසේ නම් ඒ කුමන ක්‍රමයකටද?. රාජපක්ෂලා මහජන මතය නොසලකා බලයේ රැඳී සිටීමට උත්සාහ දරයිද?. මහජන මතය නොසලකා බලය පවත්වා ගෙන යාමට ඔවුන් සතුව දෙවන සැලැස්මක් තිබේද?. ඒ කුමන ආකාරයේ සැලැස්මක් විය හැකිද? කොටින් කියන්නේ නම් රාජපක්ෂලාගේ Plan B කුමක්ද..?
මේ ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරු මත ලංකාවේ ඉදිරි අනාගතයේ ඉරණම රැඳී ඇත. දේශපාලනය ගැන සංවේදී ප්‍රජාතන්ත්‍රවාදය අගයන කොටස් වඩා අවධියෙන් සිටිය යුත්තේ මේ සම්බන්ධවය.
එබැවින් රාජපක්ෂලාගේ Plan B පිළිබදව යම් ආකාරයක පුරෝකථනයක් සහ විග්‍රහයක් කළ යුතුව තිබේ. ඔවුන් කුමන හෝ වන්දියක් ගෙවා ජනාධිපතිවරණය ජය ගැනීමට උත්සාහ ගනු ඇත. ප්‍රශ්නය වන්නේ ඒ කෙසේද යන්නයි.
ඉදිරි දින කිහිපය තුල රාජපක්ෂලාට අවදානම් අවම එහෙත් පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයට හානියක් විය හැකි ක්‍රියාමාර්ග වලට යනු ඇත. මේ මැතිවරණයේදී ප්‍රමුඛ උපක්‍රමය වූ ඒ පැත්තෙන් මේ පැත්තට ගැනීමේ ක්‍රියාවලිය අනුව යමින් විපක්ෂයේ ඉහල පෙල නායකයෙක් කුමන හෝ මිලක් ගෙවා ආණ්ඩුවට ගැනීමට උත්සාහ දරනු ඇත. ඊට අමතරව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වනු ඇතැයි සිතිය නොහැක. මන්ද යත් ලංකාවේ කවර කලෙකවත් හමුදාව දේශපාලනිකව ශක්තිමත් වපසරියක රඟ පා නැති නිසාය. අනෙක් අතට ලංකාවේ හමුදාව වෙනත් රටවල මෙන් කුල වර්ග අනුව බලාධිකාර ගොඩ නගාගෙන නොමැති නිසාය. රාජපක්ෂ වරුන්ට හමුදාව තුල ඔවුන් සිතනා තරමේ කීර්තියක් ද නැත. ඔවුන් යුද නායකයන් ලෙස ඉහල නිල තල දී රැක ගත්තේ දූෂිතයන් බැවින් ඔවුන් කෙරෙහි පහල සාමාජිකයාගේ ශත පහක ගරුත්වයක් නැත. ඒ කිසිවක් නොතකා රාජපක්ෂලා හමුදාවේ සහ ආරක්ෂක අංශ වල තමන්ගේ හෙංචයියන් ගැන විශ්වාසය තබා හමුදාමය ක්‍රියා මාර්ගයකට ගියහොත් එය ඔවුන්ට මාරාන්තික වනවා නිසැකය. එය හරියටම තම සන්ධානය ගැන නිවැරදි තක්සේරුවක් නොමැතිව වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට ගත් තීරණය මත තම පක්ෂයේ ලේකම් වරයාද සන්ධානයෙන් තුනෙන් දෙකක්ම ද අහිමි කරගත්තාටත් එහා ගිය සිය දිවි නසා ගැනීමේ තීන්දුවක් වනවා නොඅනුමාන ය.
රාජපක්ෂලාගේ Plan B ගැන සාකච්ඡා කිරීමේදී ඒ සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ගැන සලකා බැලීම සුදුසුය. 2008 සිම්බාබ්වේ හි පැවති ජනාධිපතිවරණයේදී පාලක මුගාබේ පරාජය වන බවට සියළුම සමික්ෂණ වලින් තහවුරු කර තිබුණි. මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රතිවාදී අපේක්ෂක ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වූ ව්‍යාපාරයේ නායක මෝගන් ට්ස්වැන්ගිරායි ට විශාල මහජන සහායක් හිමි වී තිබුණි. අධික ජීවන බර විසින් කුපිත වී සිටි සිම්බාබ්වේ ජනතාවට පාලනයේ වෙනසක් අවශ්‍ය වී තිබුණි. නියමිත ලෙස 2008 මාර්තු 29 වන දින ජනාධිපතිවරණය පැවැත්විණි. මෙම මැතිවරණය අති දූෂිත මැතිවරණයක් බව මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරද්දීත් එහි නිල ප්‍රතිඵල නිකුත් කිරීමට මුගාබේ පාලනය කටයුතු කෙළේ නැත. දිගින් දිගටම එල්ල වූ විදේශීය පීඩනය හමුවේ අවසානයේ කළ හැකි සියළු ජිල්මාට් දමා මාස දෙකකට පසුව 2008 මැයි 02 වෙනිදා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙළේය. එම ප්‍රතිඵල අනුව විපක්ෂ අපේක්ෂක මෝගන් ට්ස්වැන්ගිරායි මුළු වලංගු චන්ද වලින් 48.87% ප්‍රතිශතයක් ලබා ජය ගන්නා විට රොබට් මුගාබේ ලබා ගෙන තිබුනේ 43.24% පමණි.
මෝගන් ට්ස්වැන්ගිරායි ජනාධිපතිවරණය ජය ගත්තද පලමු වටයේ දී 50% ලබා ගැනීමට අසමත් වී ඇති බැවින් දෙවන වටයේ මැතිවරණයක් පැවැත්වීමට එහි ප්‍රධාන මැතිවරණ නිළධාරියා තීරණය කළ අතර එය 2008 ජූනි 22 ට දින නියම කෙළේය. මෙම දෙවන වටයේදී රොබට් මුගාබේ කෙතරම් ම්ලේච්ඡ දැඩි ප්‍රචණ්ඩ ප්‍රහාරයක් ප්‍රතිවාදී අපේක්ෂකයාගේ පක්ෂයට එල්ල කලාද කියතහොත් තම පාක්ෂිකයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් ඉල්ලා අස්වීමට මෝගන් ට්ස්වැන්ගිරායි තීරණය කෙළේය. මේ අනුව තනිවම තරඟ කර ජනාධිපතිවරණයේ දෙවන වටය ජය ගැනීමට රොබට් මුගාබේ සමත් විය.
1994 දී මැක්සිකෝවේ පැවති ජනාධිපතිවරණයේ දී ආර්ථික විද්‍යාඥයෙක් වූ ප්‍රධාන ජනාධිපති අපේක්ෂක ඩොනාල්ඩෝ කොලොසියා මැතිවරණ රැළියකදී වෙඩි තබා ඝාතනය කළ බවද මෙහිදී සිහිපත් කළ යුතුය.
රාජපක්ෂලා සිම්බාබ්වේ ක්‍රමය අනුගමනය කරයි ද නැතිනම් මැක්සිකන් ක්‍රමය අනුගමනය කරයිද නොදනී. එසේත් නොමැතිව නව ශ්‍රී ලාංකික ක්‍රමයක් හඳුන්වා දීමට තටමනවා ද විය හැකිය.
කෙසේ නමුත් මැතිවරණ දූෂණයක් මගින් ජනාධිපතිවරණයක් ජය ගැනීමට අවස්ථාවක් අපගේ මැතිවරණ ක්‍රමය අනුව නම් නැත. පසුගිය දින කිහිපය තුල ස්වාධීනව, අපක්ෂපාතීව මෙන්ම නිර්භය කටයුතු කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරියට පැමිණීමත් සමගම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ හැකි තත්වයක් රට තුල වර පැන නැගින.
එසේනම් රාජපක්ෂලාට ඉතිරිව ඇත්තේ ප්‍රචණ්ඩ සහ එළිපිට කරන ප්‍රහාරයන් මගින් ඡන්ද කොල්ල කෑමය. රාජපක්ෂලා සාමකාමීව බලය හුවමාරු නොකර සාමකාමීව පලා යන්නේද නොමැතිව ලේ වැකි Plan B ක්‍රියා මාර්ගයක් තෝරා ගතහොත් එය නිරනුමානයෙන්ම පරාජය කිරීමට මේ පෙල ගැසී තිබෙන විපාක්ෂික ජන බලවේගය පෙරට පැමිණිය යුතුය.
අප මිය යන්නේ එක් වරක් පමණි. නිදහස වෙනුවෙන් සටන් නොකර ගෙදරට වී සිටියා කියා සදාකල් ජීවත් විය නොහැකිය.
LEN