හිස නොමැති අවතාරයක් මහනුවර කුණ්ඩසාලේ දම්බරාව ගම්මානයේ සැරිසරණ බවට ඇති කතාවක් නිසා ගම්වාසී බොහෝ දෙනෙක් දැඩි භීතියකට මෙන්ම කැළඹීකටද පත්ව සිටිති.
මාස දෙකක පමණ කාලයක් තිස්සේ සිට සැරිසරණ බවට කතාවක් ඇති මෙම හිස නොමැති අවතාරය කිහිපදෙනෙක්ම දැක ඇති අතර එයින් කිහිපදෙනෙක් රෝගාතුරවී යුකැදුරන් ගෙන්වා බලි තොවිල් ද කර ගෙන ඇත.
දම්බරාව ගම්මානයේ බොහෝදෙනෙක් ගොමං කළුවර වැටීගෙන එද්දීම ගෙවල් දොරවල් වසා දමා නිවසේ ඇතුළුවී සිටින්නට පවා පුරුදු වී ඇත්තේ හිසසුන් මේ අවතාරයට ඇති බිය නිසාය. කිසියම් අවශ්‍යතාවයකට ගෙදරකට ගොස් නිවසක දොරට තට්ටු කළහොත් කිසිම කෙනෙක් දොර නම් අරින්නේ නැත. ඒ වෙන කිසිවක් නිසා නොව හිසසුන් අවතාරය පැමිණ දොරට තට්ටු කරන බවට විශ්වාස කරන නිසාය.
සවස්යාමයේ සිට ඒ ගම්මානයේ පාරවල් පාළුවට යයි. කිසිම කෙනෙක් තනියම පාරේ ගමන් කරන්නේ නොමැත. සවස ගෙවල් දොරවල් වසා ගත් පසු නැවත ඒවා අරින්නේ පසුදින හිරු එළිය වැටුණු පසුවය.
ඒ තරමට ගමේ අය හිස නොමැති මේ අවතාරයට බියවී සිටිති.
හිස නොමැති මේ අවතාරය ඇඳසිටින්නේ කොට කලිසමක් හා කමිසයකි.
මාස දෙකක පමණ කාලයක් තිස්සේ මුළු ගම්මානයම කැළඹීමකට පත්කර තිබෙන මේ අවතාර කථාව ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාට දැනුම්දී ඇත්තේ දම්බරාව සමෘද්ධි සංවර්ධන නිලධාරී සුසිල් වීරසිංහ මහතාය.
වෛද්‍ය ජනක ජයසූරිය මහතා මෙවැනි අවතාර හොල්මන් හා අද්භූත සිද්ධීන් පිළිබඳ පර්යේෂණ කර ඒවා ගැන ජනතාවට ඇත්ත ඇති සැටියෙන් හෙළිකරන විද්වතෙකි.
හිස නොමැතිව සැරිසරන බවට කථාවක් ඇති දම්බරාව ගම්මානයට පසුගිය සිකුරාදා රෑ වෛද්‍යවරයාත් සමඟ ගියේ මේ සම්බන්ධයට ගවේෂණයක් කිරීම සඳහාය.
සමාජසේවා ඇමති පිලික්ස් පෙරේරා මහතාගේ උපදේශක සහ මාරවිල දිසා රෝහලේ මනෝ වෛද්‍ය ප‍්‍රියන්ත ගාමිණී ජයසිංහ මහතා ද අප සමග මේ අවතාර කතාවේ ඇත්ත නැත්ත සෙවීමේ කටයුත්තට එක්විය.
අප රාත‍්‍රියේ දම්බරාව ගම්මානයට යනවිට එක් පාරක එහාට මෙහාට වැනි වැනි යන පුද්ගලයකුගේ දර්ශනයක් නෙත ගැටුණු අතර ඡාරූප ශිල්පී හේරත් පැවසුවේ අවතාරය කියාය.
පාරේ වැනි වැනී යන ඒ පුද්ගලයා හොඳහැටි කසිප්පු පානය කර නිවස බලා යන අයෙකි. ඒ හැරෙන්නට දම්බරාව ගමේ පාරක මිනිස් පුළුටක්වත් අපට දක්නට නොලැබිණි.
වෙරිමර ගාතේ සිටි නිසා ඔහු යක්කුන්ට පෙරේතයින්ට හෝ අවතාරවලට බිය නැතුවා විය යුතුය.
හිස නොමැති අවතාරය ගැන සොයා බැලීමට යන මේ ගමනේ අපේ මග පෙන්වන්නා වූයේ සමෘද්ධි සංවර්ධන නිලධාරී වීරසිංහ මහතාය.
ගමේ අය හා මොහුත් අතර තිබෙන මිත‍්‍රත්වය අපට මේ ගැන තොරතුරු සොයාගැනීමට ලොකු පිටුවහලක් විය.
අප එන බව දැනුම්දී ගම්මු පිරිසක් දම්බරාවේ නිවසකට කල් ඇතිව රැස්කරවා තිබුණේද වීරසිංහ මහතා විසිනි.
මල්ලිකා හීන්කෙන්ද මහත්මිය අප සමඟ අවතාර කථාව ගැන තොරතුරු හෙළිකරමින් මෙසේ කීවාය.
හිස නොමැතිව සැරිසරන මේ අවතාරය දැකපු හුඟ දෙනෙක් මේ ගමේ ඉන්නවා. මේ අවතාරය නිසා ගමේ ගොඩක් දෙනෙක් මාස දෙකක් තිස්සේ හොඳටම බයෙන් ඉන්නේ. අවතාරයක් විදිහට ගමේ රෑට සැරිසරනවා කියන්නේ ගෙලවැල දාගෙන සිය දිවිනසාගත් අපේ ගමේම කෙනෙක් කියලා මේ අය කියනවා. මම නම් ඔය අවතාරය දැක්කේ නැහැ. ඒ මොකද කියනවානම් රෑට එළියට බහින්නේ නැති නිසා. ඔය සියදිවි නසාගත් කෙනාගේ ආත්මය ගාර්මන්ට් එකක වැඩට යන අවුරුදු 18 ක විතර ගැහණුළමයකුට කිහිප වතාවක්ම වැහිලා තිබුණා. එතකොට ගැහැණු ළමයා කතාබහ කරන්නේ හැසිරෙන්නේ ඒ මියගිය කෙනා වගෙයි. අන්න ඒ නිසා තමා මේ අවතාර කතාව මා විශ්වාස කරන්නේ.
ගමේ ළමයි තනියම කාමරයකට වෙලා පාඩම් කරන්නේ නැහැ. අවතාරය එයි කියලා බයට. හවස්වරුවේ ළමයෙක් සෙල්ලම් කරන්නවත් ගෙයි මිදුලට බහින්නේ නැහැ. ඒ තරම් බයකින් තමා ගමේ වැඩි දෙනෙක් පසුවෙන්නේ යැයිද මල්ලිකා හීන්කෙන්ද මහත්මිය පැවසුවාය.
උදේ පාන්දරම නැගිටලා ගැහැණු අය රස්සාවට යන මනුෂ්‍යාට කෑම ටික හදන්න නැගිටින්නේ නැහැ. හිස නැති අවතාරය ගෙදරට එයි කියලා බයට. හවස් වෙනකොට පාරක තොටක මිනිස් පුළුටක් දකින්න නැහැ යැයිද අප සමඟ කතා බහ කළ ගම්මුන් පිරිසක් පැවසූහ.
පන්තිවලට සහභාගිවී -සමගි මාවත” දිගේ ගෙදර එද්දී කළුවරේ පුද්ගලයෙක් ඉස්සරහට එනවා දැක්කා. කොට කලිසමකුයි ටී ෂර්ට් එකකුයි එයා ඇඳලා හිටියේ. ළඟට එද්දීනම් දැක්කේ ඒ කෙනාගේ හිස නොමැති බව. හොඳටම බය වෙලා කෑගහගෙන දිව්වා යැයි අවතාරය දුටු සිසුන් තිදෙනකු අප සමඟ පැවසුවේ බියෙන් තැතිගත් ස්වරූපයකිනි.
මේ සිසුන් තිදෙනා අවතාරය දැක ඇතැයි කියන්නේ අවස්ථා දෙකකදීය.
ගෙල වැළ දමාගෙන සියදිවි නසාගත් කෝසල නැමැත්තාගේ මව සහෝදරයෙක් සහ නෑනා දෙනෙක්ද මේ අවතාර කථාව ගැන තොරතුරු සොයා බැලීමට පැමිණි බව දැනගෙන අප හමුවීමට පැමිණියේ අප කියන කතාවද පත්තරේ පළකරන ලෙස ඉල්ලමිනි.
යූ.ජී. හීන්මැණිකේ (68) මහත්මිය මියගිය අයගේ මව වන්නීය. ඇය තවමත් පසුවන්නේ සිය ආදරණීය පුතු මියගිය ශෝකයෙනි.
මගේ පුතා අවතාරයක් වෙලා ගමේ හැම තැනම රෑට ඇවිදින කතාව නිසා මුළු ගමම බයට පත්වෙලා. මගේ පුතා අවතාරයක් වෙන්න තරම් පවු කරපු කෙනෙක් නෙමේ. එයාගේ නෝනා මැදපෙරදිග රටක රැකියාවකට ගිහින් ඉන්නේ. පුතාට දරුවෙක් ඉන්නවා. එයා දරුවාත් බලාගෙන හොඳට ජීවත්වුණා. රට ඉන්න බිරිඳට කරදරයක් වෙලා කියලා දැනගෙන තමාගේ ළඟ තියෙන වත්තක කෝපි ගහක එල්ලිලා මැරුණේ. අපේ පවුලේ කිසිම කෙනෙක්නම් පුතාගේ ඔය කියන අවතාරය දැකලා නැහැ. මැරිච්ච පුතාගේ දරුවත් එක්ක මම ?ට තනියම ගෙදර නිදාගන්නේ. ගමේ හැමතැනම අවිදිනවා යැයි කියන අවතාරය ඇයි අපේ ගෙදරට එන්නේ නැත්තේ කියලයි මම අහන්නේ. මේ අවතාර කතාව ලොකු බොරුවක් යැයි ඒ හීන්මැණිකේ මහත්මිය පවසන්නීය.
කේ.පී රංජිත් සමන්ත ගෙල වැල දමාගෙන සිය දිවි නසාගත් තැනැත්තාගේ සහෝදරයෙකි.
මේ අවතාර කතාව ගැන ඔහු අපූරු හෙළිදරව්වක් කළේ ඒ කතාව අසා සිටි අයද සිනාගස්සවමිනි.
මම පසුගිය දවසක උදේ පාන්දර වැඩට යන්න ලෑස්ති වෙන්න නැගිට්ටා. ඇඟිලි වලින් දිව මැද්දා. එතකොට ඔක්කාරයට වගේ එනවානේ. ඒ හඬ ඇහිලත් ගමේ කට්ටියක් බය වෙලා. මම වැඩට යද්දී අහනවා ඔයාගේ මියගිය මල්ලී ගේ ළඟට ඇවිත් ඔක්කාරය කරනවා අපට ඇහුනා. අපි හොඳටම බයවුනා. ඔය ගොල්ලන් ඒ හඬ ඇහිලා බය වුනේ නැද්ද කියලා. පස්සේ මම වෙච්ච සිද්ධිය ඒ අයට පැහැදිලි කර දුන්නා.
මම නම් මල්ලි අවතාරයක් වෙලා ගමේ සැරිසරන බව කියන කතාව විශ්වාස කරන්නේ නැහැ. මම මෙතෙක් මල්ලිගේ අවතාරය දැකලා නැහැ. ඔය කියන කතාව ඇත්ත නම් මල්ලිගේ අවතාරය ඇයි අපේ ගෙදරට එන්නේ නැත්තේ. මට තියෙන ලොකුම ප‍්‍රශ්නය එය යැයි සමන්ත මහතා පවසයි.
මල්ලි එල්ලී මියගිය කෝපි ගහ පවා බයට කපා දාලා. ඒ ළඟ කොස් ගහක් තියෙනවා. මිනිස්සු කොච්චර බයද කියනවා නම් ඒ ගහේ තියෙන කොස් ගෙඩියක්වත් කඩාගෙන ගිහින් කන්නේ නැහැ යැයිද ඔහු පැවසීය.
යූ.ජී. අනෝමා මහත්මිය සමන්තගේ බිරිඳ වන අතර ඇය අප සමග කතාබහට එක්වෙමින් පැවසුවේ මෙවැනි කතාවකි.
මියගිය මගේ මස්සිනාගේ ආත්මය ආරූඪ වෙනවා යැයි කියන අවුරුදු 18 ගැහැණු ළමයා මගේ හොඳම මිතුරියක්. මස්සිනාගේ ආත්මය එයාට ආරූඪවෙච්ච වෙලාවක මම මල්ලීගේ ආත්මය සමඟ කතා බහ කර තිබෙනවා. මස්සිනා කිව්වේ නාගයෙක්වෙලා ළඟදීම ගමට එනවා කියලයි. මේ බව කියන්නේ අරූඪයෙන් ගැහැණු ළමයයි. මේ අවතාර කතාව නාගයෙක් වෙලා එනවා කියන කතාව නම් මම විශ්වාස කරන්නේ නැහැ. මස්සිනාගේ ආත්මය මේ ගැහැණු ළමයාට අරූඪවෙනවා කියන කතාව විශ්වාස කරන්නත් බැහැ. මස්සිනාගේ ආත්මය අපේ පවුලේ කෙනෙකුට ආරූඪනොවී පිටස්තර කෙනෙකුට ආරූඪ වෙන්නේ.
ගෙල වැළ දමා මියගිය අයගේ ආත්මය ආරූඪ වෙනවා යැයි කියන 18 හැවිරිදි තරුණියගේ පුංචි අම්මාට දේවාලයක් තිබෙන බවත් ඒ දේවාලයට ප‍්‍රසිද්ධියක් ලබාගැනීමට මෙවැන්නක් කරනවා විය හැකි බව ගමේ සමහර දෙනෙක් අප සමඟ කියා සිටියා.
මියගිය අයගේ ආත්මය නාගයකු වී ඉදිරි කාලයේ ගමට ඒමෙන් වළක්වා ගැනීමට යාගයක් කිරීමට මේ දේවාලය කරගෙන යන කාන්තාව සූදානමක් පවතින බවද ගම්මුන්ගෙන් අපට දැනගැනීමට ලැබිණි.
read more
https://www.lankadeepa.lk/features/දමබරව-ගමමනය-ඇවදන-හස-නමත-අවතරය/2-124062