මළවුන් හැඩ කරමි

Nov 28, 2011
35
3
0
මළවුන් හැඩ කරමි

මළවුන් හැඩ කරමි පිළිකුල ඉවතහෙළා
එනමුත් තිබේ කඳුළක්‌ මගෙ ඉතිරිවෙලා
එම්බාම්කරුවකුගේ කතාව
attachment.php

දිවි ගැට ගසාගැනීම සඳහා මිනිසුන් මොනවා නොකරන්නේද? ඉහළම කෝටිපතියාගේ සිට පහළම සිඟමන් යදින්නා දක්‌වා වූ විවිධ අවස්‌ථාවන්හි ජීවන වෘත්තීන්හි නියෑළී නොයෙක්‌ නොයෙක්‌ දේ කරති. කරවති. සමාජයේ අසම්මත වෘත්තීන් ද මේ අතර නොකෙරෙනවාම නොවේ. එහෙත් අපි මේ කතා කරන්න යන්නේ නම් සමාජ විරෝධී වෘත්තියක්‌ ගැන නොවේ. සමාජයට නිහඬ සේවයක්‌ කරන, එහෙත් සමාජයේ කිසිදු පිළිගැනීමක්‌ නොමැති අහිංසක වෘත්තියක්‌ ගැනය. වෘත්තියක අහිංසක බව මනින්නේ වෘත්තියේ ස්‌වභාවයෙන් නොවේ. ඊට පාදක වන්නේ එම වෘත්තියෙ යෙදෙන්නාගේ අසරණ බවය. එහෙත් මේ වෘත්තියේ යෙදී සිටින මිනිසුන් "අසරණ" වී සිටින්නේ ඔවුන්ගේ වෘත්තිය ගැන සමාජය කිසිදු පිළිගැනීමක්‌ නොකරන හෙයිනි. මේ කතා බහට පාදක වන්නේ එකී "සමාජයෙන් අසරණ" කළ එම්බාම්කරුවන් ගැනය.

තරුණ හිරුගේ කිරණින් කොළම්තොටේ මාර්ග ගිනි ගනිමින් තිබෙන මොහොතක අපි බොරුල්ලේ සුපිරි මල් ශාලාවකට ගොඩ වූයේ එම්බාම්කරුවන්ගේ යටිබිම්ගත ජීවිත අන්දරය ඔවුන්ගෙන්ම අසා දැනගැනීමටය. එහි පිළිගැනීමේ නිලධාරියෙක්‌ අපව සුහදව පිළිගත්තේය. යාබද සුවපහසු අසුන් දෙකක්‌ ද පෙන්වා අසුන් ගන්නා ලෙස ආරාධනා කර ඔවුන්ගෙන් අපට අවශ්‍ය සේවය කුමක්‌දැයි විමසා සිටියේය. මොහොතක්‌ ගත විය. ඉක්‌බිතිව අප ඉදිරියේ පෙනී සිටියේ සුදු කමිසයකින් සහ සුදු සරමකින් සැරසුණු මැදිවියේ පුද්ගලයෙකි. ඔහු ඒ මල්ශාලාවේ ප්‍රධාන එම්බාම්කරුය. හේ ඒ වෘත්තියේ වසර විසිපහකට වැඩි කාලයක්‌ නිරත වී සිටිය ද නම් ගම් හෙළිදරව් කිරීමට නම් අකමැති විය. එහෙයින් අපි ඔහුගේ නම් ගම් සටහන් නොකර සිටීමට තීරණය කළෙමු.

"මම මේ හදිසි බොඩි එකක්‌ එම්බාම්කරලා ඉවර වුණා විතරයි. "දිවයින" පත්තරෙන් ඇවිත් ඉන්නවා කිව්ව නිසායි ඉක්‌මනට ආවේ. ඇයි මහත්තයෝ අපි ගැන කතා කරන්න හිතුනේ. අපෙන් සේවය ලබාගත්තාට අපි ගැන කතා කරන්න කවුරුවත් කැමැති නැහැනේ."

පෙළ ගැසුණු වදන් පෙළත් සමග අපි මොහොතක්‌ වික්‌ෂිප්ත වීමු. අපට කිසිවක්‌ කතා කිරීමට ඉඩ නොතබාම නැවත ඔහු හඬ අවදි කළේය.

"අපි සමාජයට ලොකු සේවයක්‌ කරනවා. නමුත් අපිව සමාජය පිළිගන්නේ නැහැ. ඒ අපි මැරිච්ච මිනිස්‌සු කපන කොටන නිසා වෙන්න ඇති. එහෙමයි කියලා අපි මේ රැකියාව කරන්නෙ නැතුව හිටියා නම් ඔය අයගේ අම්මා, තාත්තා, සහෝදරයා, බිරිඳ, ස්‌වාමිපුරුෂයා සහ ඥතීන් මැරිච්ච දවසකට දවස්‌ ගාණක්‌ ඕජස ගලන්නේ නැති වෙන්න බෙහෙත් දාලා ලස්‌සනට ඇඳුම් අන්දවලා පෙට්‌ටියක තියලා ගෙදරට ගෙනත් දෙන්නෙ කවුද? ඔයාලට කරගන්න පුළුවන්ද?

අපි මේ වෘත්තියේ නියෑළී ඉන්න නිසා මනුෂ්‍ය සත්වයා ගැන හොඳට දන්නවා. මෙතැනට ඇවිල්ලා මැරිච්ච මිනිසුන්ගේ ඔළු අත ගගා වැළපෙනවා. අන්තිමට යන්න ලෑස්‌ති වෙලා අපෙන් අහනවා අත සෝදගන්න ටැප් එක තියෙන්නෙ කොතනද කියලා. ඔන්න ඕකයි ඇත්ත. තමන් ආදරය කරපු ඥතියා මැරුණට පස්‌සේ කාට වුණත් ඒ මළකඳ පිළිකුල්. නමුත් අපි මැරුණු අයව පිළිකුල් කරන්නේ නැහැ. මිනි කපන එක අපේ රැකියාවනේ."

ඔවුන්ගේ නිහඬ සේවය සමාජයේ කිසිදු ඇගයීමකට ලක්‌ නොවේ. එහෙයින් ඔවුන්ගේ සිත තුළ උපන් දුක වේදනාව ඉහටත් උඩින් නැග ඇති බව ඔහුගේ කතාවෙන් අපි තේරුම් ගත්තෙමු. එහෙත් අපට කළ හැකි වන්නේ ඔවුන්ගේ ජීවිතවල සමාජයට විවර නොවූ පැතිකඩ හෙළිදරව් කිරීම පමණි.

ඔවුන්ගේ රැකියාව නිසා සමාජයේ විවිධ අවස්‌ථාවලදී අසරණ වන්නේ ඔවුන් පමණක්‌ නොවේ. තම දරුවන්ද, බිරින්දෑවරුන් ද සමාජයේදී විවිධ අවස්‌ථාවලදී අසරණ වෙති. එවැනි සිදුවීම් සමාජයට හඬ ගා පැවසීමට නොහැකිව ඔවුන්ගේ සිත තුළ තෙරපෙන බොහෝ දේ ඇති. අපි එවැනි සිදුවීම් දැනගැනීම පිණිස තව තවත් ඔහුගේ හදවතට කතා කළෙමු.

"අපි මුලින්ම පදිංචි වෙලා හිටියේ පොළොන්නරුවේ. එතකොට මගේ ලොකු දුව විතරයි අපට හිටියේ. එයා ගියේ ගමේ පාසලට. පහ වසර පන්තියේ ඉගෙනගත්තේ. එක දවසක්‌ පන්තිභාර ගුරුතුමිය පන්තියේ ළමයින්ගේ මව්පියන්ගේ විස්‌තර අහලා තියෙනවා. පන්තියේ ළමයි පිළිවෙළකට වාඩි ගෙන සිටි පුටුවෙන් නැඟිටලා පවුලේ විස්‌තර කියලා තියෙනවා. අපේ දුව පවුලේ විස්‌තර කියන්න නැඟිටින්න පෙර, පන්තියේ අනිත් ළමයි නැඟිටලා කියලා තියෙනවා "මිස්‌ මේ අර කොළඹ මිනී කපන එම්බාම්කාරයාගේ දුවනේ" කියලා. දුව ඉස්‌කෝලෙ හැරිලා ඇවිත් අඬ අඬා අපිට කිව්වා. එදා නම් මට සමාජය ගැන පුදුමාකාර කලකිරීමක්‌ ඇති වුණේ. මොනව කරන්නද? ජීවත් වෙන්න රැකියාවක්‌ කරන්නත් එපෑ. පස්‌සේ මම ඒ ගෙවල් දොරවල් විකුණලා වෙනත් පළාතකින් ගෙයක්‌ අරගෙන පදිංචි වුණා. දැන් දරුවෝ හතර දෙනෙක්‌ ඉන්නවා. එයලා කවුරුවත් දන්නේ නැහැ මම මේ වගේ රැකියාවක්‌ කරනවා කියලා. එයලා දන්නේ කොළඹ පෞද්ගලික ආයතනයක රියෑදුරු රැකියාවක්‌ කරනවා කියලයි.

අදටත් අපි ගෙදරකට මිනියක්‌ අරගෙන ගිහින් බොන්න වතුර ටිකක්‌ ඉල්ලුවත් ඒ ගෙදර මිනිස්‌සු ගේ ඉස්‌සරහා තියෙන ටැප් එකක්‌ පෙන්වනවා. ඒ තරමටම අපේ රස්‌සාව මිනිස්‌සුන්ට පිළිකුල්. දැන් දැන් මේ ක්‍ෂේත්‍රයට එන තරුණ පිරිස අඩුවෙලා තියෙන්නෙ මේ හේතු නිසා තමයි. සමාජයේදී අපේ වෘත්තියට ඇති තැන දැන දැනත් අපේ ආයතනවලින් අපට දීලා තියෙන හැඳුනුම්පත්වල රැකියාව ඉදිරියේ සටහන් කර තිබෙන්නේ එම්බාම්කරු කියලා. ඒ හැඳුනුම්පත් කොහොමද අපි කාටවත් පෙන්වන්නේ. ඒක පෙන්නුවොත් මිනිස්‌සු දන්නවා අපි මල් ශාලාවක මිනී කපන කෙනෙක්‌ කියලා. ඊට පස්‌සෙ අපිත් එක්‌ක හොඳට කතා කර කර ඉන්න අය ටික ටික ඈත් වෙනවා. ඒ වගේම තමයි ඔය මල්ශාලාවල මුදලාලිලාට කොච්චර සල්ලි තිබුණත් එයාලටත් සමාජයේදී කියන්නේ "පෙට්‌ටියා" කියලා. මේ සේවය ලබාගන්නකම් හොඳයි. පස්‌සේ නිකම්ම නිකම් එම්බාම්කාරයෙක්‌ විතරයි. නමුත් එහෙම කියලා සමාජයෙන් අපිව කොච්චර කොන් කරත් වැටෙන්නෙ නැහැ. සමාජය ගැන හොඳින් තේරුම් ගෙන අපිත් රැකියාව කරගෙන ඉන්නවා."

ඔහුගේ සිත තුළ සැඟ වී තිබූ අඳුරු මතකය නැවත ආවර්ජනය කරයි. අපි ඔහුගේ කතාවට බාධා කිරීමට අකමැති වීමු. එහෙත් ඔහුගෙන් මේ පැනය ඇසිය යුතුමයි කියා මගේ සිත මට පෙරැත්ත කළේය. ඔබ මෙවැනි වෘත්තියක්‌ තෝරාගත්තේ ඇයි?

"මට හොඳට භාෂා තුනක්‌ කතා කරන්න පුළුවන්. උසස්‌ පෙළ වෙනකම් ඉස්‌කෝලේ ගිහිල්ලා තියෙනවා. ඒ කාලේ කොච්චර නම් රැකියාවට ඉල්ලුම් පත්‍ර දාලා තියෙනවද? එකක්‌වත් හරි ගියේ නැහැ. හොර වැඩ කරලා ජීවත් වෙන්න බැහැනේ. මම පස්‌සෙ මේ රැකියාව තෝරගත්තා. හොඳ ආදායමක්‌ හොයාගන්න පුළුවන්. මල්ශාලාවලින් නම් දෙන පඩිය මදි. ඒ වුණාට එම්බාම් එකක්‌ කරලා බොඩි එක ලස්‌සනට ඥතීන්ට භාර දුන්නාහම ඒ අය සන්තෝෂමක්‌ දෙනවා. ඒ වගේ දවසකට පඩියට අමතරව සැලකිය යුතු ප්‍රමාණයක මුදලක්‌ හොයාගන්න පුළුවන්."

ඔවුන්ගේ වෘත්තියට සමාජයේ පිළිගැනීම කෙසේ වෙතත් සමාජය තුළ එම්බාම්කරුවන් පිළිබඳ පැතිර ඇත්තේ නම් යහපත් ප්‍රතිරූපයක්‌ නොවේ. ඔව්හු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට, මත්වතුරට ඇබැහිවූවන් බව සමාජය හඳුන්වයි. එමෙන්ම ඔවුන් තරුණ සුරූපී කාන්තාවන් මිය ගොස්‌ මල්ශාලාවකට එම්බාම් කිරීමට ගෙන ආ විට ඒ මළකඳ ඔවුන්ගේ තිරිසන් ආශාවන් ඉටුකරගැනීමට යොදාගන්නා බවට සමාජ තුළ රාවයක්‌ පැතිර යයි. ජීවිතයේ අඩකටත් වැඩි කාලයක්‌ "මළ මිනී" සමග ගනුදෙනු කළ ඔහුගෙන් ඒ කතාවේ සත්‍යතාව දැනගැනීමට අපි කැමැත්තෙමු.

"ඇත්ත. මේ රැකියාව සම්බන්ධයෙන් සමාජයේ විවිධ කතා පැතිරිලා තියෙනවා. මේ ක්‍ෂේත්‍රයේ ඉන්න ඇතැම් අය අරක්‌කු බොනව ඇති. කුඩු, ගංජා උරනවා ඇති. නමුත් අපේ ආයතනයේ රැකියාව කරන අයට නම් කිසිම මත්ද්‍රව්‍යයක්‌ පාවිච්චි කරලා එන්න තහනම්. මගේ ජීවිතේට මම මත්ද්‍රව්‍යයක්‌ හෝ මත්වතුරක්‌ අරගෙන නැහැ. මේ රස්‌සාව කරන්න අරක්‌කු බොන්න ඕනෑ නැහැ. මළ මිනී අතගාන්න හිරිකිතක්‌ තියෙනවා නම් මේ රැකියාව තෝරගන්නෙ නැතුව ඉන්න ඕනෑ. මිනිස්‌සු අරක්‌කු බොන්නෙ පෙරේතකමට. නැතුව වෙන හේතුවකට නොවේ. අරක්‌කු බොන්න බේබද්දෝ මොකක්‌හරි හේතුවක්‌ හදාගන්නවා. මේ වෘත්තියේ නියෑළී සිටින අය ඔවුන්ට අරක්‌කු බොන්න තම රැකියාව පාවා දෙනවා ඇති. මේ ක්‍ෂේත්‍රයේ ඉන්න ඇතැම් අයගේ බේබදුකම නිසාත් මේ වෘත්තිය පිරිහෙනවා. ඒක එහෙමයි කියමු. තරුණ කාන්තාවන් මැරිලා එම්බාම් කරන්න මල්ශාලාවකට ගෙනාවම ඒ මළකඳින් අයුතු ප්‍රයෝජන ඉටුකරගන්නවා කියන කතාව නම් අමූලික බොරුවක්‌. එහෙම කරන්නෙ කොහොමද? තරුණ කෙනෙක්‌ මැරෙන්නෙ රෝගාතුරව රෝහලක දින ගණනක්‌, මාස ගණනක්‌ නතර වෙලා ඉඳලා. නැත්නම් හදිසි අනතුරකින්. එක්‌කෝ වස විෂක්‌ බීලා. එහෙම බලන්න බැරි විදිහට විකෘති වුණු මළකඳකට, නැත්නම් සිරුර පුරා ලේ ගලා ගිය අතපය කැඩිච්ච මළකඳකට ඔය මිනිස්‌සු කියන තිරිසන් වැඩ කරන්න පුළුවන්ද? එම්බාකාරයොත් මනුෂ්‍යයෝ. අමනුෂ්‍යයෝ නොවේ. ඔවුන්ටත් ගඳ සුවඳ දැනෙනවා. උදේට නාලා කරලා සුවඳ ගාගෙන ගියාට හවස එනකොට දහඩිය ගඳ කොහොමද? එක දවසක්‌ නාන්නෙ නැතුව හිටියොත් තමන්ටම තමන් ළඟ පොඩි ගඳක්‌ එනවා නේද? මිනිසා කියන්නේ මොනතරම් පිළිකුල් සත්වයෙක්‌ද? එහෙම සත්වයෙකුගේ මළ මිනියක්‌ බදාගෙන ඉන්න නම් අමනුෂ්‍යයෙක්‌ම වෙන්න ඕනෑ. කට තිබුණු පළියට වචන කතන්දර කියන එක නරකයි. මේ වගේ රස්‌සාවක්‌ කරන්නේ මිනිස්‌සුන්ගෙ අසරණකමට. ඒ වගේ මිනිස්‌සුන්ට ඔය වගේ තිරිසන් කතා කියන එක නම් වැරැදියි."

ඔහුගේ හඬ ආවේගාත්මක විය. තවත් ඒ ගැන විමසුම නොකළයුත්තකි. ඒ කතාවේ ඇත්ත නැත්ත වෙනත් දවසක අපි විස්‌තරාත්මකව කතා කරමු. දැන් අපේ කතාව වෙනත් දෙසකට හැරවිය යුතුය. අප කථානායකයාට කෙසේවෙතත් සෙසු සමාජය ලොමු දැහැගන්වන ඉසව්වකට පිළිසඳර පිවිසෙයි. මානුෂිකත්වය, කුතුහලය, ජුගුප්සාව ආදී ඉසව් පසුකර අපි දැන් ත්‍රාසය, භීතිය දනවන පැනයට පිවිස සිටිමු.

මිනියක්‌ යනු තවත් මිනිසෙකුගේ අවසානය ලෙසින් නොව, හොල්මන් අවතාර ලෝකයේ ආරම්භක නිමිත්ත ලෙසිනි මිනිසුන් දකිනුයේ. කොතරම් සංවේදීව මරණය දරාගත්තද , මිනිය සමග ගනුදෙනුවේදී සෑම මිනිසෙක්‌ම පාහේ හැසිරෙන්නේ හිත යට සඟවාගත් අවතාර භියක්‌ සමගිනි. මේ මානසිකත්වය "මිනිය" ජීවිකාව කරගත් මේ මිනිසාට දැනෙනුයේ කෙසේද?

"හොල්මන් කියන්නෙ බොරු. දෙයිහාමුදුරුවනේ ඔය හොල්මන් තියෙනවා නම් සුනාමියට මැරිච්ච විදිහට මුහුද අද්දර ප්‍රදේශවල මිනිස්‌සුන්ට ඉන්න බැරුව ඇති නේ. ඔය අගේට මිනිස්‌සු ජීවත් වෙලා ඉන්නෙ. දුප්පත් මිනිස්‌සු පවුල්පිටින් ඇවිත් සොහොන් ගෙවල්වල ජීවත් වෙනවා පේනවා නේද? ඒ පවුල්වල පොඩි දරුවෝ සොහොන් කොත් උඩ සෙල්ලම් බත් උයනවා. ඒ මිනිස්‌සුන්ට ඔය කියන හොල්මන් පෙන්නෙ නැද්ද? එතකොට යුද්දෙන් විශාල ලෙස මිනිස්‌සු මැරුණු කිලිනොච්චිය පැත්තෙ මිනිස්‌සු ජීවත් වෙන්නෙ නැද්ද? මම මේ රැකියාවට ඇවිල්ලා දැන් අවුරුදු විසි පහක්‌ විතර වෙනවා. මහ රෑට තනියෙන් එම්බාම් කාමරය ඇතුළේ මිනි හතර පහ එම්බාම් කරන දවස්‌ තියෙනවා. මම නම් කිසිම හොල්මනක්‌ දැකලා නැහැ. මැරිච්ච මිනිහෙකුට මොනවද කරන්න පුළුවන්. බලන්න මිනියක්‌ අරගෙන ඒක කැපුවාහම ඇති දෙයක්‌ නැහැ. ලේ ටිකයි, බඩවැල් ටිකයි, ඇටකටු ටිකයිනේ. ඉතින් මොකක්‌ද මේකෙන් පණ තියෙන මිනිහෙකුට කරන්න පුළුවන්. ඕවා ඔක්‌කොම පුහු මිත්‍යා මත විතරයි. හොල්මන් විතරක්‌ නොවේ. මම නම් දකින්නෙ මුළු ලෝකෙම බොරුවක්‌ විදිහටයි. ලක්‍ෂ තුන හතරක්‌ වියදම් කරලා ලෑලි පෙට්‌ටියක්‌ ගන්නවා. ඒක සරුවපිත්තලවලින් සරසලා මැරිච්ච මිනිහත් ඒකේ තියාගෙන ගිහින් අඬලා වැළපිලා පස්‌සෙ පුච්චලා දනවා. නැත්නම් වළලලා දනවා. මොකක්‌ද මේකෙ තේරුම.

මමද රූපලාවන්‍ය ශිල්පියෙකි. එහෙත් දෛවයෙන් මට උරුමවූයේ ජීවය සුන් රූප හැඩකිරීමය. එනිසා මම එම්බාම්කරු වෙමි. සජීවී සිරුරක්‌ හැඩකරන රූපලාවන්‍ය ශිල්පියා නිවෙන පත්තුවෙන එලි අතර සොදුරු සිනා, කිත් පැසසුම්, අත්පොලසන් හඩ මැද සම්මාන ලබයි. එහෙත් එයට වඩා බෙහෙවින් බැරෑරුම් වූ මාගේ රූපලාවන්‍යයට සම්මාන පිරිනැමෙන සභාවක්‌ කොහිද?

"අනේ නිදන් ඉන්නවා වගෙයි"

එය මට ලැබිය යුතු සම්මානය වුවත් එම ගෞරවයද බැරවන්නේ මා විසින් හැඩගැන්වූ කඳට නොව මැරුණු අයගේ ගුණ කදටය. සදාකල්හීම සම්මාන වෙනුවට මට උරුම අවමාන පමණි.

-තරංග රත්නවීර-
උපුටා ගැනිම - දිවයින

 

Attachments

  • embam.jpg
    embam.jpg
    3.6 KB · Views: 76