මාදුරුඔය සොරොව්ව

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මාදුරුඔය සොරොව්ව

    මාදුරුඔය සොරොව්ව

    මාදුරුඔය ජලාශය ආශ්‍රිතව බැම්මක්‌ බැඳ ඒ හරහා වූ සොරොව්වක්‌ මගින් ජලය ලබා ගැනීම සඳහා අදාළ භූමිය සකස්‌ කෙරුමේ දී නව සොරොව්ව සෑදීමට නියමිත වූ ස්‌ථානයේ දී ම පැරැණි සොරොව්ව මතු විය. මෙය සිදු වූයේ 1981 දී ය. මාදුරුඔය අපේ පැරැණි ජල කර්මාන්තයේ දී වැදගත් ස්‌ථානයක්‌ හිමි කර ගන්නේ මේ සමග ය. මේ පැරැණි සොරොව්ව හමු වීමත් සමග එය සුරක්‍ෂිත කර නව සොරොව්ව ඊට මඳක්‌ (යාර කීපයක්‌) ඔබ්බෙන් නිමවන්නට යෙදුණි. එසේම නූතන බැම්ම ද පැරැණි බැම්මට මීටර 150ක්‌ පමණ ඉහත්තාවෙන් නිමවා ඇත.



    madu1.jpg


    (රූපය 1)



    madu2.jpg


    (රූපය 2)


    මහාවංශයට අනුව මහසෙන් රජු (ක්‍රි.ව. 273) මහදරගල්ල නමැති ජලාශයක්‌ කරවා ඇත. පළමුවැනි විජයබාහු රජු (ක්‍රි.ව. 1055-1110) සහ පළමුවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව.1153-1186) මේ ජලාශය පිළිසකර කර ඇත. තව ද මෙහි මහදර යන්න මදාර වී පසුව මාදුරු වී ඇත යන්න එක්‌ මතයකි. සෙනරත් පරණවිතාන ශූරීන්ට අනුව මහවැලි ගඟ සහ මාදුරුඔය අතර ප්‍රදේශය අන්තර ගඟ නම් වූ අතර මෙහි ජලාශයක්‌ ඉදිකරනු ලැබ ඇත්තේ කූටකණ්‌ණතිස්‌ස (ක්‍රි.පූ. 44-22) රජු විසිනි. මේ කාල වකවානුව නිවැරැදි බව කාබන්-14 පරීක්‍ෂණ මගින් තහවුරු කෙරී ඇත. මාදුරුඔය ඉතිහාසය පිළිබඳව සෝමපාල ජයවර්ධන මහතා ගේ Hසිඑදරහ දෙ ඵ්dමරමදහ් පොතෙහි සහ අභය ආර්යසිංහ මහතා ගේ "එසඳ මාදුරුඔය" පොතෙහි විස්‌තර ඇත. "එසඳ මාදුරුඔය"හි දක්‌වා ඇති මාදුරුඔය බැම්ම සහ සොරොව්ව ඉතිහාසය පුරා විකාශනය වූ අයුරු දැක්‌වෙන රූප සටහන (රූපය 2) ද මෙහි දී වැදගත් ය.


    madu3.jpg

    (රූපය 3)



    මාදුරුඔය පැරැණි සොරොව්ව යනු දැවැන්ත ගඩොල් ව්‍යqහයක්‌ මධ්‍යයේ නිමැවූවකි. එහි ජලය ඇතුළු වන පැත්තේ ආරුක්‌කු දෙකක්‌ තුළින් ජලය සොරොව්ව තුළට ඇතුළු වීමට සලස්‌වා ඇත. (රූපය 3). මේ ගඩොල් ආරුක්‌කුවල ගඩොල් දෙස විමසිල්ලෙන් බැලීමේ දී පෙනී යන්නේ කළු ගලින් සැදි පහළ කොටසින් විනා ඉහළ කොටසින් (එනම් ගඩොල්වල ස්‌පර්ශ වන පරිදි) ජලය ගමන් කර නොමැති බව ය.



    madu5.jpg


    (රූපය 4)


    මේ ආරුක්‌කු දෙක සහිත උමඟ (සොරොව්) පළමුව අඩි 214ක්‌ පමණ දිග සමස්‌ත සොරොව්වේ මැදට වන්නට පිහිටි සෘජුකෝණාස්‍රාකාර ළිඳකට යොමු වේ. අනතුරුව තවත් සොරොව් මාර්ග දෙකක්‌ ඔස්‌සේ මේ ළිඳෙන් පිට වී සමස්‌ත ගඩොල් ව්‍යqහයේ එහා කෙළවරින් පිට වේ. (රූපය 4). ජලය පිට වන කෙළවරේ ගඩොල් ආරුක්‌කු නොමැත. එහි ඇත්තේ සෘජුකෝණාස්‍රාකාර විවර දෙකකි. (රූපය 5). මෙහි ළිඳ දැනට කොන්ක්‍රීට්‌ ලෑලි දමා වසා ඇති නිසා එහි වැඩි විස්‌තර දත නොහැකි ය. (කෙසේ වුවත් මෙය විවර කොට මේ පිළිබඳව වැඩි විස්‌තර ඉදිරියේ දී සොයා දැක්‌වීමට බලාපොරොත්තු වෙමු). මාදුරු ඔය සොරොව්ව පිළිබඳ ලිපියක්‌ ලියන ලෙස්‌ලි ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ සොරොව්වේ ජලය ඇතුලු වන විවර අසල ජල පාලන දොරටුවේ කොටස්‌ ලෙස සැලකිය හැකි දිරාගිය යකඩ කොටස්‌ හමුවු බවය. එසේම විවිර අසල බිමේ විවිර වලට සමාන්තරව කානුවක්‌ද තිබුණු බවය.
     
    Last edited:
    • Like
    Reactions: urajdrlk and SLSUN

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    madu4.jpg




    මාදුරුඔය සොරොව්ව ආශ්‍රිතව සම්මත ආකාරයේ බිසෝකොටුවක්‌ දැකිය නොහැකි ය. පරණවිතාන මහතාට අනුව මේ ජලාශය මුලින් ම නිමැවූයේ ක්‍රි.පූ. සමයේ නම් මෙහි බිසෝකොටුවක්‌ තිබීම අතිශය උගහට ය. මන්ද එකල බිසෝකොටුව යන්න නිමැවී නො තිබූ නිසා ය. මේ සොරොව්වේ අනෙක්‌ වැදගත් ම කාරණය වන්නේ එහි ඇති ගඩොල් ආරුක්‌කු ය. මේ ආරුක්‌කුවල ප්‍රයෝජනය කුමක්‌ ද? මේ පැරැණි සොරොව්ව නිමවා ඇත්තේ පිහිටි කන්දේ ද? එනම් සොරොව්ව තනා ඇත්තේ කන්ද හරහා උමඟක්‌ ලෙස ද? (රූපය 1) අනුව නූතන සොරොව්ව තනා ඇත්තේ පිහිටි කන්දේ උමඟක්‌ ලෙස ය. පැරැණි සොරොව්ව ඇත්තේ ද දැනට පෙනෙන පරිදි එම කන්දේ ම පාමුල ය. දැනට මේ ස්‌ථානය කන්ද පාමුල මෙන් තිබුණ ද එකල මේ ප්‍රදේශය ද කන්ද වූවා විය නොහැකි ද? මේ අනුව සොරොව්ව තනා ඇත්තේ කන්දේ උමඟක්‌ ලෙස නම් එහි දී ප්‍රථමයෙන් ගඩොල් ආරුක්‌කු සහිත උමං සාදා පසුව කළු ගලින් ජල මාර්ග සකස්‌ කළා විය හැකි ය. මේ ගඩොල් උමං අඩි 8-9ක්‌ පමණ උස ය.

    මෙහි දී සිහි කළ යුතු අනෙක්‌ කාරණය වන්නේ ගඩොල් ආරුක්‌කුවල ඉහළ කොටසින් ජලය ගොස්‌ නොමැති නිසා ජලාශයේ පිටවාන් ඊට පහළින් තිබිණිද යන්නය. එහෙත් එසේයෑයි කිව නොහැකි සොරොව්වේ හොඳින් ජලය ගලායන පරිදි සොරොව්වට ඉදිරිපස ඇටවුමක්‌ද තිබුනා විය හැකිය. ගඩොල් ආරුක්‌කු මගින් කළු ගල් ජල මාර්ගයට ආරක්‍ෂාවක්‌ ලැබෙන්නට ද ඇත. බැම්මේ (කන්දේ) පස්‌ මගින් ඇති වන විවිධ බලපෑම් මගින් එනම් තාප ආචරණ, ජල අවශෝෂණ මගින්, ගිලා බැසීම් මගින් ආදී වශයෙන් ජල මාර්ගය ආරක්‍ෂා වීම ය. මේ ගඩොල් ව්‍යුහයේ ගඩොල් පුළුස්‌සා ගත් ඒවා වුව ද ඒවා බැඳ ඇත්තේ අතිශය සියුම් බදාමයකිනි. බොහෝ තැන්වල කිසිදු බදාමයක්‌ නොමැති ව ගඩොල් එකිනෙක මත තබා ඇත. අප මීට කලින් ද පෙන්වා දී ඇති පරිදි මේ නිසා බල සංකේන්ද්‍රණය වීම්, අනවශ්‍ය පරිදි සම්ප්‍රේෂණය වීම් ආදිය වැළකේ. මේ ගඩොල් ව්‍යුහයේ දැනුදු පිපිරුම් දැකිය නොහැකි ය.
    එසේ ම මේ පැරැණි ගඩොල් ම සෑහෙන පමණ යොදාගෙන සොරොව්ව නැවත පිළිසකර කිරීම වුව අප්‍රායෝගික නැත. ඉතිහාසයක්‌ පුරා මේ සොරොව්ව පිළිසකර වෙමින් වෙනස්‌ කෙරෙමින් පැවත ඇත්තේ අතීත ඉදිකෙරුම්වල ඇති මේ ලක්‍ෂණය නිසා ය. නූතන ඉංජිනේරු සම්ප්‍රදාය තුළ කොන්ක්‍රීට්‌ මගින් ඉදි කෙරෙන සොරොව්වක මේ ලක්‍ෂණය නැත. එය බැම්මේ පස්‌ මගින් ඇති වන බලපෑම් නිසා එක්‌තරා සීමාවකින් පසු කැඩී බිඳී යයි. එවිට එය මුළුමනින් ම නැවත ගොඩනැඟීමට සිදු වේ. එසේ ම මේවා කාලය සමග අවශ්‍ය පරිදි වෙනස්‌ කළ නොහැකි ය. වෙනස්‌ කිරීමට නම් සමස්‌ත ව්‍යුහය ම කඩා බිඳ දමා නැවත අවශ්‍ය පරිදි ගොඩනැඟිය යුතු ය. එහෙත් අතීත ඉදිකිරීම් වසර දහස්‌ ගණන් පුරා වෙනස්‌ කෙරෙමින් පැවතී ඇත. වෙනස්‌ වෙමින්, වෙනස්‌ කෙරෙමින් සොබාදහම තුළ දිගින් දිගට ම පැවතීම අතීත ඉංජිනේරු සම්ප්‍රදායේ වැදගත් ලක්‌ෂණයකි.

    මාදුරුඔය සොරොව්වේ ගඩොල් ව්‍යුහය නිසා ජල මාර්ගයේ කළු ගල් සහ බැම්මේ පස්‌ අතර මනා සබැඳියාවක්‌ ගොඩනැඟෙන්නට ඇත. කළු ගල් මාර්ගයට යාබදව පස්‌ තිබුණේ නම් ජල කාන්දු සහ ඉහත දැක්‌වූ වෙනත් හේතු නිසා කළු ගල් සහ පස්‌ වෙන් වී පස්‌ බැම්ම ගැලවී සේදී යා හැකි ය. එහෙත් කළු ගල් වටා ඇති දැවැන්ත ගඩොල් ව්‍යුහය නිසා මේ තත්ත්වය වළකී. විශේෂයෙන් ම මේ ව්‍යුහය සකසා ඇත්තේ ගඩොල් අතරේ දැඩි බැඳීමක්‌ නොමැති ව නිසා කළු ගල් සහ පස්‌ අතරේ ඇති වන සාපේක්‌ෂ චලනයන්a (සහ ඇති වන බලයන්) ගඩොල් ව්‍යුහය මගින් සමනය කෙරේ. මේ ගඩොල් ව්‍යුහය නූතන ගඩොල් බැම්මෙන් දෘඪව (දැඩි ඝනකම බදාම සහිතව) නිමවා තිබුණේ නම් එය අද වන විට ඉතිරි වන්නේ නැත. ඊට වෙනස්‌ වෙමින් පැවතීමට නොහැකි ය. එසේම එම ගඩොල් නැවත භාවිත කෙරුමට ද නොහැකි වනු ඇත. නූතන බැම්මක්‌ කැඩී යැමේ දී ගඩොල් ඉතිරි වන්නේ නැත. සොබාදහම තුළ චක්‍රීයත්වය රැක ගනිමින් වෙනස්‌ වෙමින්, වෙනස්‌ කෙරෙමින් පැවතීම පිළිබඳව කදිම උදාහරණයක්‌. මාදුරුඔය සොරොව්ව සපයයි. පැරැණි ඉංජිනේරු සම්ප්‍රදායේ සුවිශේෂී ලක්‍ෂණයක්‌ වන්නේ එහි ඉදිකිරීම් වෙනස්‌ වීමට මෙන්ම වෙනස්‌ කිරීමට ද හැකි වන පරිදි නිමැවීම ය.

    නූතන සම්ප්‍රදාය වන්නේ වෙනස්‌ වීම් පුරෝකථනය කළ හැකි යෑයි උපකල්පනය කර (විද්‍යාව මගින්) ඒ අනුව ඒවාට ඔරොත්තු දෙන පරිදි එනම් වෙනස්‌ වීම් අවම වන පරිදි ව්‍යුහ ගොඩනැඟීම ය. එහෙත් මේ උපකල්පනය

    නිවැරැදි නැත. පුරෝකථනය කෙටි කලකට සීමා වේ.ව්‍යුහ නො සිතු පරිදි විනාශ වේ. වෙනස්‌ වීම්වලට වෙනස්‌ වෙමින් මුහුණ දෙන ව්‍යුහ වඩා වැදගත් වේ.

    පෙර සඳහන් කළ පරිදි මාදුරුඔය සොරොව්ව මෑතක දී කතා බහට ලක්‌ වන්නේ නව සොරොව්වට යෝජනා වූ තැන ම පැරැණි සොරොව්ව පිහිටීමෙනි. එහෙත් මෙය එතරම් වැදගත් සාධකයක්‌ නො වේ.

    අපේ පැරැණි ජලාශ්‍රිත ව්‍යුහ සහ නූතන එවැනි ව්‍යුහ අති විශාල සංඛ්‍යාවක මේ තත්ත්වය දැකිය නොහැකි ය. පැරැන්නන් ජලාශ්‍රිත ඉදිකෙරුම් කරනු ඇතැයි යෑයි කිසි දා නො සිතිය හැකි ස්‌ථානවල නූතන ඉංජිනේරුවන් ව්‍යුහ සාදා ඇත. පැරැණි ව්‍යුහ විනාශ කර දමා ඇත. එසේ කර ඇත්තේ පැරැණි ව්‍යුහ නූතන සම්ප්‍රදායට පටහැනි බැව් පෙන්වමින් ය. මේ අනුව මාදුරුඔය

    පැරැණි සහ නව සොරොව් සම්පාත වීම හුදු අහඹුවකට වැඩි දෙයක්‌ නො වේ. මින් අදහස්‌ කෙරෙන්නේ පැරැන්නන් සොරොව්ව පිහිටුවිය යුතු තැන අහඹු ලෙස තෝරාගෙන ඇති අතර එය නිවැරැදි බව නූතන ඉංජිනේරු විද්‍යාව මගින් තහවුරු කෙරී ඇත යන්න නො වේ. මෙහි දී පැරැණි සම්ප්‍රදාය තුළ සොරොව්ව පිහිටීම නිර්මාණය කෙරුම නූතන සම්ප්‍රදාය සමග සම වී ඇත. මෙහි දී අපට කිව හැක්‌කේ නූතන සම්ප්‍රදාය එක්‌ අවස්‌ථාවක දී හෝ අපට අපේ පරිසරයට ගැළපෙන පරිදි ක්‍රියා කර ඇත යන්න ය. අපේ ඉංජිනේරු සම්ප්‍රදාය තුළ වැව් බැමි සොරොව් ආදිය පිහිටුවීම තීරණය කෙරී ඇත්තේ සමස්‌ත පරිසරය ම චක්‍රීයත්වය තුළ අඛණ්‌ඩව යහපත්ව පවත්වා ගැනීම සැලකිල්ලට ගනිමින් ය. නූතන සම්ප්‍රදාය එසේ නො වේ. ඊට වැදගත් වන්නේ පොළොවේ පාංශු තත්ත්වය, භූමියේ උස්‌ පහත් බව, ජලය ටැංකියකට මෙන් එක්‌රැස්‌ වීම ආදී පරාමිති කීපයක්‌ පමණි. මාදුරුඔයහි දී මේ ක්‍රමවේද දෙක කෙලෙසක හෝ සම්පාත වී ඇත.

    ඇත්තට ම මාදුරුඔය පැරැණි සොරොව්වේ අපට ඇති වැදගත්කම වන්නේ පෙර සඳහන් කළ පරිදි එහි ඇති ගතික ලක්‍ෂණ, චක්‍රීයත්වයට ඇති සබැඳියාව, ගඩොල් ව්‍යුහයේ සොබාවය ආදියයි. අප වැරැදි නිර්ණායක ඔස්‌සේ අපේ ඉංජිනේරු නිර්මාණ අගය නො කළ යුතු ය.

    නූතන සම්ප්‍රදාය ක්‍රියාත්මක වන්නේ සොබාදහම පරාමිතීන් කීපයකට ඌණනය කොට ඒ පරාමිතීන් ඔස්‌සේ සොබාදහම ආකෘතිගත කොට ඒ ආකෘතිය අනුව විවිධ නිර්මාණ කරමින් ය. මේ ක්‍රමයේ ඉතා පැහැදිලි සීමාවක්‌ ඇත. එහෙත් අපේ ඉංජිනේරු සම්ප්‍රදාය එසේ නො වේ. එය සොබාදහම සොබාදහම ලෙස ම ගෙන අදාළ කටයුත්ත ඒ තුළ කර ගනී. අපේ

    පැරැන්නන් වැව් බැමි, සොරොව් ආදිය පිහිටුවිය යුතු ආකාරය, තැන ආදිය නිර්ණය කර ගෙන ඇත්තේ අදාළ ප්‍රදේශයේ එම ක්‍රියාවලීන් (ජල ගැලීම් ආදිය) සිදු වන අයුරු සොයා බැලීමෙන් ය. එසේ නොමැති ව නූතනයේ දී මෙන් වියුක්‌ත නියම ඇසුරෙන් නො වේ. එදා මෙදා මේ කටයුතුවල දී හුදු ජල ආචරණ පමණක්‌ නො ව අදාළ ගහ කොළ සතා සීපාවා මේ තුළ හැසිරෙන අයුරු පවා සැලකිල්ලට ගෙන ඇත.

    Source : Vidusara
     
    Last edited: