මැද මාවත

DhammaFriend

Member
Dec 15, 2014
19
2
0
අද පටන් අලුත් එලකිරි ගිණුමකින්, ධර්මහිතකාමි සසර දුකින් එතෙර වීමට කැමති, නමුත් පඹගාලක පැටලී යන එන මග සොයාගත නොහැකිව අතරමං වී සිටින,මාර්ගය අමාර්ගය සොයා ගත නොහැකි, පිරිසකටයි මේ ලිපි පෙල ආරම්භ කරන්නේ. නිවන් මග ගඟක් නම්, එයට බැසීමට තොටුපලවල් රාශියකි. එයින් තොටුපලවල් කිහිපයක් පෙන්වා දෙන්නට කැමතියි. ගඟට බසින එක තමතමන් ගේ කාර්යයකි. ඒ වගේම අපි උනන්දු කරවන්නේ, මේ සසර දුකින් නිදහස් වීමට මග පෙන්වීම මිසක්, විවිධ ධ්‍යාන සමාපත්ති, ඉර්දි ප්‍රාතිහාර්යය ආදිය ගැන නම් නොවේ. ඍජුවම විදර්ශනා කරන විදියයි.
මේ දහම හරිම සරලයි. අමාරූම දේ තමයි, බණ අහල ,භාවනා කරල,විවිධ ගතානුගතික අදහස් වලින් පිරිච්ච මනස සුද්ද කරන එක.
හුඟක් දෙනෙක් උනන්දු වෙන්නේ භාවනා කරන්න,භාවනා කරල නිවන් දකින්න. භාවනා කල පමනින් නිවන් දකින්න බැහැ. මතක තියාගන්න මින් අදහස් කලේ භාවනා කරල නිවන් දකින්න බැහැ නොවෙයි, භාවනා කල පමනින් නිවන් දකින්න බැහැ.
ඇයි එහෙම කියන්නේ?

සිදුහත් බෝසතාණන්, ගිහි ගෙය අතහැර විවිධ ආචාර්ය වරු යටතේ භාවනාව ප්‍රගුන කලා, රූපි ධ්‍යාන 4 අරූපී ධ්‍යාන 4 සියල්ල ලබාගත්තා. බවාග්‍රයේ කෙලවර දක්වා සිත වැඩුවා. නමුත් උන්වහන්සේ මේ සියල්ල අතහැර ගයා ශීර්ෂයට වැඩියේ, "මේ මා සොයන මාර්ගය නොවේය" යන්න පවසමින්. උන්වහන්සේ බුද්ධත්වයට පත්වී ධම්ම චක්කප්පවත්තන සූත්‍රයේ දි දේශනා කලේ, "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු", පෙර නොඇසූ වීරූ දහමක් මා අවබෝධ කලා කියලයි.
එහෙනම් ඒ පැවසුවේ ,අර අතහැර දාලා ආපු භාවනා,ධ්‍යාන ගැන නම් නොවේ.
නමුත් අද අපි අල්ලගෙන දඟලන්නේ, සිදුහත් බෝසතානෝ අතහැරගිය භාවනා,ධ්‍යාන නම් කොහොමද අපිට හරි යන්නේ?

බුදුන් වහන්සේ අවබෝධ කලේ ,කලින් අසා ප්‍රගුණකල භාවනා,ධ්‍යාන නම්, "පෙර ඇසූ දහමක් මා අවබෝධ කලා" යැයි පවසනවා. නමුත් ලෝකයාට කිව්වේ, පෙර නොඇසූ වීරූ දහමක් මා අවබෝධ කලා කියලයි. එහෙනම් ,මොකද්ද ඒ දහම? ගවේශනය කල යුත්තේ එයයි. ඊට පස්සේ,දහම අවබෝධ උනාට පස්සේ, ගඟට බැස ගත්තට පස්සේ,ඕනම භාවනාවක් කලාට කමක් නැහැ.
අපිත් කලබල නොවී හෙමින් සැරේ ගවේශනය කරමු. මොකද්ද ඒ දහම කියලා.

ඇත්තම කියනවනම්, බුදුහාමුදුරුවෝ, උන්වහන්සේගේ පෞද්ගලික අදහසක් වත් නෙවෙයි,ධර්මය හැටියට දේශනා කලේ. ඒ වගේම පුද්ගලික අත්දැකීමක්වත් කොහෙවත් දේශනා කරල නැහැ. මොකද, පෞද්ගලික අත්දැකීම් කියන්නේ, ධර්මය නොවෙයි. ඒවා ,කෙනා කෙනා අනුව වෙනස් වෙනවා.
බුදුහාමුදුරුවෝ ඇත්තටම ධර්මය විදියට දේශනා කලේ ,ලෝකයේ පවතින ඇත්තම ඇත්ත.පවතින යතාර්තය.
ඒ වගෙම ,උන්වහන්සේ පෙන්නා දුන්නා,අපිට වරදින තැන.වරදින්න හේතුව,නිවැරදි කිරීම, නිවැරදි කරන මග.
එහෙනම් ,අපිත් ඒ දහම සොයමු.
පසුව ලියන්නම්,කොහෙන්ද පටන් ගන්නේ කියලා...
 
  • Like
Reactions: Lewke

DhammaFriend

Member
Dec 15, 2014
19
2
0
නිවන් සැප ලැබේවා

නිවන කියූ පමනින් බියවන බෞද්ධයෝ බොහෝය.මන්ද නිවන වැඩිපුර දැකිය හැක්කෙ මළ ගෙවල්වලය."නිවන් සැප ලැබේවා" දුටු විට මිනිසුන්ගේ සිත පරල වි යයි. නමුත් ඔවුන්ගේ උප්පැන්නේ ආගම "බුද්ධගම" යි.

නිවනත් මරණින් පසු ලැබෙන දෙයක් වෙලා.බුද්ධාගමත් අනෙකුත් ආගම් අතරත් වෙනසක් නැතිවෙලා.මොකද අනෙක් ආගම් වලත් සුගතිය ප්‍රාර්ථනා කරන්නේ මරණින් පස්සේ.

අපේ මිනිසුන්ට ධර්මය කියා දීමට ප්‍රථම ඔලු ගෙඩි සුද්ද කල යුතුය. ඉතාමත්ම අපහසු කාර්යය ධර්මය කියා දීම නොව ඔලුගෙඩි සුද්ද කිරීමය.

විවිධ ඇදහිලි,විශ්වාස ,පරම්පරා ගත ගතානුගතික අදහස් වලින් පිරි පල් වන ඔලුගෙඩි සුද්ද කිරීම අසුචි වලක් සුද්ද කිර්‍රිමට වඩා අපහසුය.
මදක් වෙහෙස වී අසුචි වල සුද්ද කිරිමට හැකි වුවත් මිත්‍යා දෘශ්ඨික අදහස් වලින් ගලවා ගැනීමට ඉතාමත් අපහසුය.
ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගතානුගතික පරම්පරා ගත චින්තන රටාවයි.

ලොව නොනගින ජාතියක් වී ඇත්තේ මේ නිසාය (භෞතිකව හෝ ආධ්‍යත්මිකව). අන්ධ විශ්වාස වලින් වල්මත් ව මල කුනක් දුටු සිවලුන් සේ පොරකමින් ආසවෙන් වල්මත් වී සිටින ජාතියකින් බලාපොරොත්තු විය හැක්කේ ඒකායන මාර්ගය සසරටයි.

කුඩා කල සිට දරුවන්ට උගන්වන්නේ එකිනෙකා පරයමින් ලොව ජයගන්නා ආකාරයි.සංසාරයේ භයංකාර බව පෙන්වා දී සසරින් ගැල වීම සඳහා කිසි කෙනෙකුන් පාර නොකියයි.
ලෝකයේ ආශ්වාදය ලබා ගැනීම සඳහා මනස මෙහෙයවයි. ඒ සඳහා අපද කුඩා කල සිට ගුටි කකා, ටොකු කකා ඉගෙනුම් කටයුතු කරයි. ඒ අනාගතයේ සැප ලඟා කරගැනීම සදහාය.
බහුතර පාසල් සිසුන් ඉගැනීමට අකමැතිය.හරක් දක්කනවා සේ පොත් කරගසා ගෙන පාසල් යන්නෙ ටියුශන් යන්නේ කුමක් ලබා ගැනීමට ද?අනාගතයේ සැප. ඉගෙන ගත්තොත් සැප. නැතිනම් දුක. මෙයයි අපේ මානසිකත්වය.
විභාග අවසන් වූ පසු සමත් සිසුවා සතුටක් ලැබුවත් ඔහුත් විවිධ ප්‍රශ්න හමුවේ දුක් විඳීයි. අසමත් සිසුවාත් ගැන කුමන කතාද? ඇයි මේ දුක? අනාගතයේ සැප ලබා ගැනීමට. ඉගෙන ගත්තොත් සැප. නැතිනම් දුක. මෙයයි අපේ මානසිකත්වය.
ඊලඟට රස්සාව.හැමෝම රස්සාවල් හොයති. ඇයි? රස්සාවක් තිබුනොත් සැපයි. නැතිනම් දුකයි.
යතාර්ථය නම් රස්සාවෙන් විඳින සැපක් නැත.
උදෑසන අවදිවී බස් වල තෙරපීගෙන අව්වේ වැස්සේ තෙමීගෙන දවස පුරා වැඩ කර හවස මැරීගෙන ගෙදර යයි. මාසෙ අවසානයේ පඩිය හම්බවෙන විට සන්තෝසයක් දැනුනත් එය සැබෑ සතුටක් ද? එය ගත් මොහොතේ එයින් කලයුතුව ඇති වියදම් මතක් වන විට....?මාසයක් පුරා දුක් මහන්සියෙන් වැඩ කර , අවසානයේ ප්‍රතිඵලය මෙය නම් සදාකාලික සැපයක් එතන තිබේද? මෙතරම් කටුක දුකක් විඳින්න අප සූදානම් වන්නේ අනාගතයේ සැප හම්බවේය.. යන අදහස අප තුල ඇති නිසාය. පඩිවැඩි වීම් ,promotion අනාගතයේ හම්බවේය.. යන අදහස නිසාය.

මේ ප්‍රශ්නයට පිලිතුරු සොයා ගැනීමට ප්‍රථම තව දුරටත් අපේ ජීවිත දෙස බලමු.

මෙතනින් ද නවතිනේ නැත. ඊලඟට කසාදයක් සොයයි. ඇයි? කසාදයක් කරගත්තොත් සැපයි.නැතිනම් දුකයි. විවාහ ජීවිතය දුකද සැපද යන්න තම තමන් දැන ගත යුතුය.

එයින් සැප නොලැබුනු විට දරුවකු හදාගනීයි. ඇයි? දරුවකු සිටියොත් සැපයි. නැතිනම් දුකයි.
දහසක් බලාපොරොත්තු පොදි බැඳ ගෙන දරුවකු හදයි. දරුවා ලොකු මහත් වන විට දෙමාපියන්ගේ බලාපොරොත්තු එකින් එක බිඳ වැටෙයි. එදීනෙදා කටයුතු වලදී ,විවිධ ලෙඩ රෝග,විභාග(ශිෂ්‍යත්ව,O/L,A/L විභාග ප්‍රථිපල). එන විට ඔවුන් දුක් විඳීයි.දරුවන් සිටින අය එය දුකක්ද නැතිනම් සැපද යන්න දන්නවා.
දැන් මුලසිට කරුනු විමසා සිටියහොත්, දරුවා කුඩා කලත් ,අනාගතයේ සැප හමුවේය යන අදහසින් දුක් විඳිමින් කටයුතු කරයි. ඔහු වැඩිමහල් වූවත් අනාගතයේ සැප හමුවේය.. යන අදහසින් දුක් විඳිමින් කටයුතු කරයි.

විඳපු සැපක් නම් නැත.

මේ මහා අඝෝර සංසාරයේ හැමදාම ගමන් කලේ මෙහෙමයි.සංසාරයේ ක්ෂේම භූමි හමු වුවත් මදක් හෝ නැවතී ඒ ගැන කරුනු සොයන්නට අප සිත් නොදුන්නේ , කිසිදා හමු නොවන සැපය, කවදා හෝ ලැබේය යන අදහස අප තුල ඇති නිසාය. සංසාර ගමනේ බුදුවරුන් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් අප සියැසින් දැක තිබුනත් තවමත් අප සංසාරයේ ගමන් කරන්නේ පින් මද නිසා හෝ පාරමී අසම්පූර්ණ නිසා නොව ලෝකයේ නොමැති සැපයක් , "ඇත" යන වැරදි අදහස නිසාය.

මේ ලෝකය දුවන්නේ දුක මතයි. යන්න බුදු වදනයි.
එසේනම් ලෝකයෙන් කවදාවත් සැපයක් හමු වේද?
කුෂ්ට රෝගියකු ගැන සිතන්න. ඔහු කුෂ්ටය නිසා මහත් වූ කායික හා මානසික පීඩනයක් විඳීයි. නමුත් කුෂ්ටය කසන විට ඔහුට මහත් සහනයක් දැනෙයි.කැසීමෙන් මහත් සහනයක් ඔහු විඳියි.මේ සැපය විඳීම සඳහා ඔහු දිවා රෑ කුෂ්ටය කසයි.
ioq71t.jpg

ඔහු විඳින සැපය සැබෑ සැපයක්ද?
ටිකක් විමසා බලන්න.
දුක් වූ කුෂ්ටයකින් සැපයක් විඳිය හැකිද? ඔහු විඳින සැපය සැබෑ සැපයක්ද? දුකින් සැප ලැබිය හැකිද?දුක් වූ කුෂ්ටයෙන් හමුවන්නේ දුකෙහි අඩු වැඩි බවක් මිස සැබෑ සැපයක් නම් හමු නොවේ. අපිත් මේ ලෝකයේ දුක් වූ දේවල් අල්ලාගෙන සැප විඳිනවා යැයි මිත්‍යා දෘෂ්ඨියෙන් සංසාරයේ යනවා. අපි දුකෙහි අඩු බවට "සැප" කියාද දුකෙහි වැඩි බවට "දුක" කියාද අවිද්‍යාවෙන් වැසී තන්හාවෙන් සංයෝජනය වී සංසාරයේ යනවා.

අපිත් හරියටම කුෂ්ට රෝගියා වගෙමයි.

දුකෙන් කොහොමද සැප හමුවන්නේ?.තමන් ගැන මදක් සිතා බලන්න.....
මේ අදහස තේරුම් ගැනීමට පුලුවන් නම්, එයම ප්‍රමාණවත් මේ හමුවී තිබෙන ක්ෂේම භූමිය ගැන මදක් නැවතී කරුණු සොයන්න.
ඔබ මඳක් නවතින්න......සංසුන් වන්න, මනස හිස් කරගන්න, ඔලුවේ තිබෙන බර පොදිය බිමින් තබන්න..දැන් කුෂ්ඨ රෝගියා තමන් යැයි සිතා , ඔබ කුෂ්ටය කැසීම නවතා ,කුෂ්ටය සුව කරගැනීමට වෙහෙසෙන්න,දුකින් නිදහස් වන මාවතක් සොයන්න.

සැබෑ සැපය ඇත්තේ කුෂ්ටය සුව කිරීමෙන් පමණයි . සැපයක් කියන දෙයක් හමුවන්නේ එවිටයි. කුෂ්ට රෝගය සුව වීමෙන් ලබන සැපයක් ගැන අප දන්නේවත් නැත.අප සෙවිය යුත්තේද එයයි.

සැබෑ සැපය නම් , දුක නොමැතිව සිටීමයි.සැබෑ සැපය නම් දුකෙහි නොඇලී සිටීමයි. දුකෙහි ඇලී සැපයක් ප්‍රාර්ථනා කිරීම,කලු ගලක් ලිඳකට දමා කලු ගල දියෙහි පාවේවා.. කියා ප්‍රාර්ථනා කිරීම හා සමානයි.
 

DhammaFriend

Member
Dec 15, 2014
19
2
0
දස්සනේන සම්පන්නෝ


විශාල වෙල් යායක් මැදින් ඇති නියර දිගේ යන පිරිසක් නියර අසල ඇති ගසක් යට විවේක ගන්න නැවතුනා. මේ පිරිසට , වෙල් යායේ ඈත කෙලවර ලස්සන කඩවසම් මිනිසෙක් හිටගෙන ඉන්න දර්ශනයක් පෙනෙනවා. ගස යට විවේකීව සිටින පිරිස ඈත සිටින ලස්සන මිනිසා මුල් කරගෙන මෙහෙම කතාබහක් අරඹනවා.
zydapk.jpg

"අර ඈත ඉන්න මනුස්සයා මවල තියෙන්නෙ දෙවියන් වහන්සේ " එක් පුද්ගලයෙකු කියනවා.

"නැහැ ඒ පුද්ගලය මැව්වේ මහා බ්‍රහ්මයා" තවත් පුද්ගලයෙක් කියනවා

"ඒ මනුස්සයා මැව්වේ ඊශ්වරයා" තවත් පුද්ගලයෙක් කියනවා.

"එ මනුස්සයා වෙන ලෝකයකින් ඇවිත් තියෙන්නේ" තවත් පුද්ගලයෙක් කියනවා.

"ඒ මනුස්සයා වෙන ලෝකයකට යනවා" තවත් පුද්ගලයෙක් කියනවා.

"ඒ මනුස්සයා ඉබේමයි හටගත්තේ" තවත් පුද්ගලයෙක් කියනවා.

"ඒ මනුස්සයා හරිම ලස්සනයි.බොහොම පින් පාටයි.දැකල වැඳගත්තත් මහ පිනක් සිද්ධ වෙන්නේ" තවත් පුද්ගලයෙක් කියනවා.

"ඔය මනුස්සයා තියන්න වටින්නෙ නැහැ.කපල කොටල මරල දාන්න ඕන." තවත් පුද්ගලයෙක් නපුරු අදහසින් කියනවා.

"මොනව උනත් ඔය මනුස්සයා අනිත්‍යයයි,දුක්ඛයි ,අනාත්මයි" තවත් පුද්ගලයෙක් කුසල් සිතක් උපදවාගන්නවා.

මෙසේ මේ සංවාදය යන විට ලස්සන කඩවසම් මනුස්සයා පසු කරමින් දකුණු දිශාවේ සිට නියර දිගේ උතුරු දිශාවට, සංවාද කරමින් ඉන්නා පිරිස අතරට ආගන්තුක මනුස්සයෙකු පැමිනෙනවා.

අර පිරිසෙන් එක් පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා දෙවියන් වහන්සේ මැවූ කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා මහාබ්‍රහ්මයා මැවූ කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා ඊශ්වරයා මැවූ කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා වෙන ලෝකයකින් ආපු කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා වෙන ලෝකයකට යන කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා ඉබේම හටගත් කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා බොහොම පින්වන්ත කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා තියන්න වටින්නේ නැහැ.කපල කොටල මරල දාන්න ඕන.

--- "එය නපුරු අදහසක්,දුරුකරගන්න" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා අනිත්‍යයයි,අනිත්‍යය නිසා දුකයි.අනිත්‍යයයි දුකයි නිසා අනාත්මයි"

-- "ඔබේ අදහසෙත් වැරැද්දක් තියෙනවා." ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර කන්ඩායමේ සියලු දෙනාගේම පිලිතුර ප්‍රතික්ෂේප කලා.කන්ඩායමේ සියලු දෙනා ආගන්තුක පුද්ගලයාට බනින්ට සැරසුනා."තමුසෙ මහ පිස්සෙක්.. අපි දුන්නු උත්තර සියල්ල ප්‍රතික්ෂේප කලා."

එවිට ආගන්තුක පුද්ගලයා : "රන්ඩු වෙන්න එපා.මං කිට්ටු පාරකින් අර ඈත පෙනෙන කඩවසම් මනුස්සයා ලඟට එක්කගෙන යන්නම්"

මෙසේ පිරිස කඩවසම් මනුස්සයාට ලං වනවිට අර වාද විවාද කරගත් පිරිසට තරු පෙනුනි.ඔවුන් ලඟට ගිහින් බලන විට දැක ගත හැකි වූයේ කවුරුද? පඹයෙකි.

මේ සියලු වාද විවාද දෘශ්ඨි ගොඩ නැගුනේ පඹයෙක් ඇති තැනක මනුස්සයෙක් ඇතැයි ගත් වැරදි දෘෂ්ඨිය නිසයි. ලෝකයේ සියලු ආගම් දර්ශන ගොඩ නැගී ඇත්තේ මනුස්සයා ,පුද්ගලයා කියන සංකල්පය මතයි. එය වැරදි දෘශ්ඨියකි.

අපට නියම බුදුදහම හමුවන විට මේ සියලු දෘෂ්ඨින් වලින් මිදිය යුතුය.
බලන්න, අපිත් කිනම් හෝ දෘෂ්ඨියක ඉන්නවා
දැන් මේ උපමා කතාවෙන් කියන්නේ බුදුදහමේ එන දර්ශනයයි.
එනම්, මෙතන වැරදි වැටහීම් 2ක් ඇත.

(1) පඹයා ,පඹයා හැටියට නොදැනීම
(2)පඹයෙක් ඇති තැන මනුස්සයෙක් දැකීම.

පඹයා ,පඹයා හැටියට නොදැනීම = අවිද්‍යාව
පඹයෙක් ඇති තැන මනුස්සයෙක් දැකීම = සක්කාය දෘශ්ඨිය.

බුදු දහමේ වැදගත්ම කොටස තමයි ."දර්ශනය".

නමුත් බොහෝ දෙනාට බුදු දහමේ වැදගත්ම කොටස තමයි "භාවනාව"????

ඒ නිසා අපිත් තරඟෙට භාවනා කරනවා,විවිධ ආචාර්ය වරු යටතේ උදේ ඉඳන් රෑ වෙනකන් භාවනා කරනවා.විවිධ කමටහන් මත භාවනා කරනවා. නමුත් මග ඵල ලැබූ කෙනෙක් නම් නැහැ. ආසාවටවත් එහෙම අහන්න ලැබෙන්නේ නැහැ.

ඇයි එහෙම වෙන්නේ,

අපට දහමක් අතහැරිලා තියෙනවා. ඒකයි. මොකද්ද අතහැරිච්ච දහම???

"දස්සනේන සම්පන්නෝ"

අපි දර්ශනයෙන් යුක්ත නැහැ.

එහෙනම් අපි පලමුව සොයන්නට ඕනා භාවනාව නොවේ. "දර්ශනය" කියන්නේ මොකක්ද කියලයි.

දර්ශනයෙන් තමයි ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. භාවනාවෙන් නම් නොවෙයි.
භාවනාවට එන්න ඕන පස්සේ.

දර්ශනයෙන් තමයි සක්කාය දෘශ්ඨි ,විචිකිචාඡා, සීලබ්බත පරාමාස දුරුකරන්නේ.
බලන්න සබ්බාසව සූත්‍රයේ "දස්සනා පහාතබ්බා" කියන කොටස.

භාවනාවෙන් නොවෙයි සක්කාය දෘශ්ඨි ,විචිකිචාඡා, සීලබ්බත පරාමාස දුරුකරන්නේ.
නමුත් අපි නිවන් යන්න ඕන නම් භාවනා කරන්න ඕනා ... කියන තැන තමයි ඉන්නේ.

ඒකයි කවදාවත් අපට නිවනක් හමු නොවුනේ.

බුදු හාමුදුරුවෝ නොකියූ මාර්ගයක අපි ගියාට,නිවන් මග නම් ලැබෙන්නෙ නැහැ."අයං ඒකායනෝ මග්ගෝ". බුදුහාමුදුරුවෝ පෙන්වූ මාර්ගයේමයි අපි යන්න ඕන.
දර්ශනය කුමක්දැයි සොයන්න. දර්ශනය ගවේශනය කරන්න.
දර්ශනය කියන්නේ ත්‍රිපිටකය කට පාඩම් කිරීම නොවේ.

මතක තියාගන්න....

ත්‍රිපිටකය මුල සිට අගටත් අග සිට මුලටත් කටපාඩම් කලත් ඔබට නිවන් මග නම් හමු නොවේ.

ඔබ කොතරම් ධර්ම දැනුමින් පිරුනත්, තවම මාර්ගය හමු වී නැතිනම් "ඔබත් තවත් එක් ණයට හරක් බලන්නෙකි."

ඒ නිසා, ධර්ම දැනුම පසෙකින් තබා "දර්ශනය කුමක්දැයි සොයන්න".

දාන,සීල,භාවනා කල්ප ගනන් කලත් ඔබට නිවන නම් ලැබෙන්නේ නැත.

ඔබ සියල්ල අනිත්‍යයයි.. කියා කල්ප ගනන් මෙනෙහි කලත් නිවන නම් ලැබෙන්නේ නැත.ඔබ මල් පහන් පූජා කර කල්ප ගනන් ගාථා කිව්වත් නිවන නම් ලැබෙන්නේ නැත.

මේ ක්‍රියාකාරකම් අනෙක් ආගම් වලත් තියෙනවා. එසේ නම් ඔවුන්ගේ සහ අපේ වෙනසක් නැහැ නේද?

මේවා කල විට ලැබෙන්නේ පින් ය. පිනත් අයිති වන්නේ සසරටයි.
"පුඤ්ඤ පාප පහීනස්ස"
නිවන සඳහා පිනත් පවත් 2ම නැති විය යුතුය.

දර්ශනයෙන් යුක්ත පුන්‍යවන්තයාට පම්ණයි නිවන් මගක් හමුවන්නේ.
ඔබටත් අවශ්‍ය පුණ්‍යවන්තයකු වීමටනම්, සොයන්න "දර්ශනය"

දර්ශනය ගැන පසුව ලියන්නම්.......
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ධම්ම ෆ්‍රෙන්ඩ්, පින් අත්වෙයි ත්‍රිලක්ෂණය ගැනත් පැහැදිලි කරන්න පුලුවන්ද?
 

DhammaFriend

Member
Dec 15, 2014
19
2
0
මාර්ගඵල මනින මීටරය

සංසාර භය දැනෙනවානම් දුකින් නිදහස් වෙන්න ඕන නම් ,ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් නම් පලමුව සිත නිදහස් කර ගන්න.සැහැල්ලු වන්න. නිවන් මග සරලයි .නමුත් සියුම්. අදියර 2යි තියෙන්නේ. පලමුව, අදියර 2 හොඳින් දැන ගන්න ඕන (ජානාති) .ඊලඟට පජානාති .එනම්, දැන ගත් දේ නුවනින් දැකිය යුතුය.
(1) පූර්ව ප්‍රතිපදාව (ආදි බ්‍රහ්ම චරියාව,විපස්සනා සම්මාදිට්ඨි)
(2) ප්‍රතිපදාව(බ්‍රහ්ම චරියාව,චතුසච්ච සම්මාදිඨි,නිවන් මග)

මේවා වෙනවෙනම පසුව කතාකරමු.

පලමු අදියර සම්පූර්න නොකර දෙවන අදියරට යන්න බැහැ. ඒ නිසා පලමු අදියර ජීවිත කාලයම හෝ වැයකර සම්පූර්ණ කරගත යුතුය. යම් හෙයකින් එය දැන නමුත් දැකිය නොහැකි උනොත් මරණ මොහොතේ හරි සිහිකරන්න. කවම දාවත් අසරණ නොවේ.එතනින් නොනැවතුනොත් සුගතියකමයි ඉපදෙන්නේ. ධර්ම කථික දෙවිවරුන්ගෙන් බණ අසා මාර්ග ඵල ලබනවා.නොමැතිනම් අනාගාමී වෙනවා.බ්‍රහ්ම ලෝකයේම නිවන් යනවා.නැතිනම් පසේ බුදු වෙනවා සංසාරයේ.නැතිනම් බුදුන් වහන්සේ නමකින් සතර පද ගාථාවක් අසා රහත් වෙනවා.එතරම් වටින්නා වූ ධර්මයක් මේ කියන්න යන්නේ.බුදුවරුන්ගේ පිහිට ,මහා කරුණාවට ගෝචර වන්නේ සංසාරයේ මේ ධර්මය දකින්න උත්සහ කල අයටයි.ඔබත් තාම මාර්ගයක් දන්නේ නැතිනම් මෙය කියවා තමන්ගේ නුවණින් දකින්න උත්සහ කරන්න.
ඉන්ද්‍රිය නානත්වය හා කැප කිරීම අනුවයි අවබෝධ වන කාලය තීරනය වන්නේ.
වෙනත් කවුරුන් හෝ මගඵල ලබලාද කියා නොව තමන් දුකින් නිදහස් වීමට වෑයම් ගන්න.අනුන් ගැන සොයන එක නවතන්න.තමන් ගැන සොයන්න.නිහඬතාවය අගය කරන්න.සිත නිදහස්ව විවේකීව තබන්න. එවිට මේ කියන ධර්මය දකින්න හැකිවේවි.
යම් කෙනෙකුට පහත පරිදි අතීත,වර්තමාන,අනාගත තුන් කාලය පිලිබඳ සැක පහල වේ නම් ඔහු තවමත් සසරේ අතරමං වූ පෘතග්ජන පුද්ගලයෙකි.
බලන්න ,පහත පරිදි ඔබටත් ඔබ ගැන මෙහෙම අදහස් පහල වෙනවද කියලා

අතීතයේ මම සිටියාද?
අතීතයේ මම සිටියේ නැද්ද?
අතීතකාලයෙහි මම කවරෙක් වූයෙම්ද?
අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද?
මම අතීත කාලයෙහි කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද?
---------------------------------------------------------------------------------------
මම අනාගතයේ ඉපදෙයිද?
මම අනාගතයේ ඉපදෙන්නේ නැතිද?
අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම්ද?
(මෙහෙමත් හිතෙන්න පුලුවන්.
මනුස්සයෙක් වෙයිද?,දෙවියෙක් වෙයිද? දෙපා සතෙක් වෙයිද?බහුපා සතෙක් වෙයිද? බඩගාන සතෙක් වෙයිද?)
අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද?
මම මතු කල්හි කවරෙක්ව කවරෙක් වන්නෙම්ද?
---------------------------------------------------------------------------------------
ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි.
කෙසේදයත් ,
මම ඉන්නවද?
මම නැද්ද?
මම කව්ද?
කිනම් සටහණක් ඇත්තෙක් වෙම්ද?
මේ සත්ව තෙමේ කොතනින් ආයේද?
හෙතෙම කොහි යන්නෙක් වන්නේද?
---------------------------------------------------------------------------------------
සබ්බාසව සූත්‍රයේ මේ ටික මුලින්ම කියා තිබෙනවා.
බලන්න ඔබත් මෙවැනි අදහස් වලින් යුක්තද කියලා.
අතීත ,අනාගත, වර්තමාන තුන් කාලය පිලිබඳ සැක මුසු අදහස් තියෙනවද කියලා. මෙයින් කියවෙන්නේ, ඔබ තවමත් යෝනිසෝමනසිකාරය හා අයෝනිසොමනසිකාර නොහඳුනන බවෙහි ලක්ෂණයයි. එනම් තවමත් නිවන් මග හමුවී නොමැති බවයි.
ඔබ කල්‍යාණ මිත්‍රයෙකුගෙන් සද්ධර්ම ශ්‍රවණය කර යෝනිසෝමනසිකාරය හඳුනාගත්තානම් මම ගැන මෙවැනි අදහස් පහල විය නොහැකිය.
අවවාදයයි. ඉහත දැක්වූ අදහස් තිබෙන මාර්ගඵල ලාභීන් ගෙන් ටිකක් ප්‍රවේසම් වන්න.
සෝතාපන්න ද නැද්ද කියලා දැන ගන්න තියෙන හොඳම විදියයි මේ.
මොකද සෝතාපන්න අංග (කල්‍යාණ මිත්‍ර ආශ්‍රය,සද්ධර්ම ශ්‍රවණය,යෝනිසෝමනසිකාරය,ධර්මානුදම්ම ප්‍රතිපදාව) දැනගත් පුද්ගලයාටයි ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවක් හමුවන්නේ. ඉහත පරිදි මම ගැන අතීතය ,වර්තමානය,අනාගතය ගැන විවිධ අදහස් පහල වෙනවානම් තවමත් ඔහු අශෘතවත් පෘතග්ජනයෙකි.
අශෘතවත් පෘතග්ජනයා ,
මෙනෙහි කලයුතු දේ නොහඳුනයි .
මෙනෙහි නොකල යුතු දේ නොහඳුනයි.
මෙනෙහි කලයුතු දේ මෙනෙහි නොකරයි.
මෙනෙහි නොකල යුතුදේ මෙනෙහි කරයි.
මෙය මිත්‍යා දෘශ්ටියයි.
පලමු අදියර(පූර්ව ප්‍රතිපදාව) ගැන මීලඟ කොටසින්....
 

DhammaFriend

Member
Dec 15, 2014
19
2
0
මෙම ලිපි පෙලින් ඔබට සෝතාපන්න මාර්ගය ඉතා පැහැදිලිව උදාහරණ සහිතව පෙන්නුම් කර දෙනවා.සෝතාපන්න මාර්ග අංගයක් වන සද්ධර්මශ්‍රවණය තමයි මේ ලිපි පෙලේ හරය.එය ප්‍රායෝගිකව පුලුවන් තරම් ගැඹුරු පාලි වචන අඩුවෙන් යොදා හැමෝටම තේරුම් ගත හැකි ආකාරයට ඉදිරිපත් කිරීමයි ,අපේ අරමුණ . බුදුන් දවස ජීවත් වූ මිනිස්සු චතුරාර්ය සත්‍ය,පටිච්ච සමුප්පාදය ආදිය දැන සිටියයි සිතන්න එපා.(අපිත් එහෙමයි කියල හිතාගන්නකෝ..)
බුදුහාමුදුරුවෝ අපේ ජීවිත වල සිදුවන එක් බරපතල වැරැද්දක් තමයි පෙන්නලා දුන්නේ.මුලු 84000ක් ධර්ම ස්කන්ධයම තියෙන්නේ,මේ සිදුවන 1ම 1 වැරැද්ද පෙන්වා දෙන්නයි.
මේ ලිපි පෙල කියවමින් යනවිට ඒ වැරැද්ද තේරුම් යයි.
ඒ වගේම ඒ වැරැද්ද හදාගන්න විදියත් අපි කියල දෙනවා. ඒ වැරැද්ද හඳුනා ගත්තායින් පසුවයි ,චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය, අනිත්‍ය-දුක්ඛ -අනාත්ම ,චිත්ත,චෛතසික, පංච උපාදාන ස්කන්ධ, නිවන... තවදුරටත් වචන මාත්‍රයක් නොවි (දැනට මේවා අපිට වචන විතරයි. අහසද පොලොවද දන්නැහැ. ගිරව් වගේ කට පාඩම් කරගෙන තමයි ඉන්නේ. ) ඔබටම මේ ධර්මතා ප්‍රායෝගිකව අත් දකින්න පුලුවන්.
ඉතින් ,අති දීර්ඝ භයංකාර කෙලවරක් නොපෙනෙන සසර ගමනට හේතුවන මේ වැරැද්ද පෙන්නලා දෙන එක අපේ යුතුකම. මේ පෙන්නන පාරේ යන එක ඔබේ වැඩක්.
 
  • Like
Reactions: sandaru1rox

DhammaFriend

Member
Dec 15, 2014
19
2
0
පූර්ව ප්‍රතිපදාව

මෙය ආදි බ්‍රහ්මචරියාව,විපස්සනා සම්මා දිට්ඨිය යන නම් වලින් හඳුන්වයි.

සිතන්න,අප සිටිනා තැනට ඈතින් අධිවේගී මාර්ගයක් තිබෙනවා.අධිවේගී මාර්ගය නිවන් පුරට යන මාර්ගය යැයි සිතන්න.අපි මාර්ගයට පිවිසුනොත් ,ඒකාන්තයෙන් නිවනටමයි යන්නේ.ඒ කියන්නේ අපි මාර්ගස්ථ වූවොත්,සෝවාන් වූවොත් ඒකාන්තයෙන්ම නිවනෙ තමයි නවතින්නේ.

නමුත් අපි ඉන්නේ මහා වනාන්තරයක.පඹ ගාලක පැටලිලා. අපි මෙතන ඉඳන් දන් දුන්නට සිල් රැක්කට භාවනා කලාට, අපට කියන්න බැහැ, අපි මාර්ගස්ථයි කියලා.අපිත් මග වඩනවා කියලා,අපි ආර්ය අශ්ටාංගික මාර්ගය වඩනවා කියන්න බැහැ. එහෙම කියන්න නම් අපි අර අධිවේගී මාර්ගයට පිවිසෙන්න ඕන නේද. එහෙනම් පලමුවෙන්ම අධිවේගී මාර්ගයට යෑමට පොඩි පාරක් දැනගෙන සිටිය යුතුය.

එහෙම පාර සොයන අතරමං වෙච්ච කෙනෙක්ට යන්නට දස දිශාවක් තියෙනවා.අපි සියලු දේ අතහැර නිවන් මග සොයමින් වේගයෙන් වෙන දිශාවකට ගියොත්, ඒත් අධිවේගී මාර්ගය කවමදාවත් හමුනොවේ.අධිවේගී මාර්ගය දෙසට හැරී බඩගාගෙන හරි ගියොත් කවදා හරි ඒ මාර්ගයට යා හැක.

එහෙනම් හරි පැත්තට හැරී හිමින් හිමින් හරි අපි යමු...
 

DhammaFriend

Member
Dec 15, 2014
19
2
0
Clutch Balancing හා ඤාණය වැඩීම

Clutch Balancing හා ඤාණය වැඩීම

සිදුහත් බෝසතාණන් වහන්සේ විවිධ ආචාර්යවරු යටතේ භාවනාව ප්‍රගුණ කලා.රූපී ධ්‍යාන විතරක් නොවෙයි අරූපී ධ්‍යානත් උපදවා ගත්තා.නමුත් උන්වහන්සේ මේවා අතහැර ගයා ශීර්ෂයට වැඩියේ මේ මම සොයන මග නොවේය ..යැයි පවසමින්. ඊලඟට උන් වහන්සේ බුද්ධත්වයට පත් වී ලෝකයට ප්‍රකාශ කලේ"පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු" පෙර නොඇසූ විරූ දහමක් මා අවබෝධ කලා .. කියලයි.එහෙනම් ඒ අර කලින් ලබා ගත් ධ්‍යාන ගැන නම් නොවේ ප්‍රකාශ කලේ.ධ්‍යාන වඩා බුද්ධත්වයට පත් වෙනවනම් ඒක අශ්ඨසමාපත්තිය ලැබුනු මොහොතේම වෙන්න තිබුනා. එහෙනම් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ "පෙර ඇසූ දහමක් මා අවබෝධ කලා" කියලයි. ඉතින් අපි බුදුහාමුදුරුවෝ අත හැරපු දෙයක් අල්ලගෙන දැඟලුවාට මාර්ගයක් හමුවෙයිද? නැත.
ඒනිසා සිල්රැක්කාට සමාධි වැඩුවාට ප්‍රඥාව නම් හමුනොවේ. හින්දු යෝගින් අදත් ඉන්දියාවේ හිමාලයේ සමාධි වඩමින් විවිධ ධ්‍යාන වඩමින් සිටිනවා. ධ්‍යාන ලබාගැනීමට සිත කෙසේ හෝ සංවර විය යුතුය. නමුත් ඔවුන්ට කවමදාවත් මාර්ගයක් නම් හමු නොවේ.
ඒඔවුන් දර්ශනයෙන් යුක්ත නොවන නිසයි. යොනිසෝමනසිකාරය හා අයොනිසෝමනසිකාරයනොහඳුනන නිසයි.
දර්ශනය කියන්නේ චතුරාර්ය සත්‍යයටයි .පස්සෙ බලමු චතුරාර්ය සත්‍යය ගැන..
දර්ශනය යනු කුමක්දැයි දැන එය ලැබීමට සමාධිය වැඩිය යුතුය.සිල් රැකිය යුතුය.
නිවන්මග නොදැන යන ගමනක් නොවේ.
ඒ මග ගිය ආර්ය පුද්ගලයකුගෙන් මිස වෙන කාටද ඒ මඟ කිව හැක්කේ? ඒ නිසා සොයන්න වෙහෙසෙන්න .එවැනි පුද්ගලයකු.ඔහුම තමයි කල්‍යාණ මිත්‍රයා.
නොදන්නමාර්ගයක් ගැන ,නොදන්න ඵලයක් ගැන ධර්මය කටපාඩම් කල කෙනෙකු කෙසේ කියන්නද?
මාර්ග ඵල ලැබීම ක්ෂනික කම්පනයකින්,ඔලුවට තද පහරක් වැදුන විට දැනෙන්නා සේ,සියල්ල එක විට අකුණක් ගසන්නා සේ, පහල වන දෙයක් නොවේ.කලක් යාතාර්තය දැකීම පිනිස සිත මෙහෙය වන වැඩ පිලිවෙලකි.
සිතන්න,ඔබ වාහනයක් එලව්පු මුල්ම දවස.

එදා ඔබ වාහනය පිලිබඳව සියලු දැනුමින් සන්නද්ද වුවත්,"වාහනය පැදවීම" නැමැති ඥාණය වැඩී නැති නිසා ඔබට නිසි ලෙස වාහනය හැසිරවිය නොහැක. ගියර් මාරු කිරීම,බ්‍රේක් යෙදීම,Clutch Balancing නිසි ආකාරයට සිදු කල නොහැක.ඒ ඥාණය වැඩී නැති නිසයි. නමුත් ඔබ ආයාසයෙන් කැමැත්තෙන් මහන්සියෙන් කලක් වාහනය පැදවීම ප්‍රායෝගිකව පුහුනු කරන විට කෙමෙන් කෙමෙන් ඒ ඥාණය ගොඩ නැගෙයි.එය ක්ෂනික දෙයක් නොවේ.ඥාණය කාලයත් සමග ගොඩ නැගෙන දෙයකි.ඉන්ද්‍රිය නානාත්වය මත කාලය තීරනය වේ. මෙසේ වාහනය එලවීම පුරුදු වන විට යම් දවසකින් පසු ඔබට නිරායාසයෙන්ම වාහනය පැදවිය හැක.ගියර් මාරු කිරීම, Clutch Balancing , බ්‍රේක් ගැසීම කිසිදු ආයාසයකින් තොරවම සිදුවෙයි. ඒ ඔබේ,"වාහනය පැදවීම" නැමැති ඥාණය වැඩී ඇති නිසයි. එය ජීවිත කාලයටම පවතී.නැවත වාහනයක්, අර මුල් දවසේ පැදවූ ආකාරයට කිසි කලෙක නොපදවයි.මැරෙන තුරු එය වෙනස් නොවේ
එලෙසම මේ දුකින් නිදහස් වීමේ ක්‍රියාවලිය තුල යොනිසෝමනසිකාරය ක්‍රියාත්මක කිරීමේදී එම ඥාණයන් ක්‍රමයෙන් වැඩෙයි. කාලය තීරණය වන්නේ කැපවීම මහන්සිය සිතේ නිසල බව මතයි
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔක්කොම හොඳා මචන් ෆොන්ට් එකත් 3,4 හරි කොටහන් ලොකු වැඩී ෆෝන් වලින් එන උන් ගැනත් හිතලා :yes:

    වැඩේ එල මචන් :D
     

    DhammaFriend

    Member
    Dec 15, 2014
    19
    2
    0
    බාහිර ලෝකයෙන් නොවේ.. දුක එන්නේ..

    මාර්ගයක් සොයන පුද්ගලයා දර්ශනයෙන් යුක්ත වෙන්න ඕන."දස්සනේන සම්පන්නෝ" කියල කියන්නෙ මේකයි. දර්ශනය කියන්නේ චතුරාර්ය සත්‍ය පිලිබඳ නුවණයි.

    චතුරාර්ය සත්‍ය හැමෝම දන්නවා.
    දුක්ඛ සත්‍යය
    සමුදය සත්‍යය
    නිරෝධ සත්‍යය
    මාර්ග සත්‍යය

    නමුත් අපි බලමු පලමු සත්‍යය.
    දුක්ඛ සත්‍යය :-
    ඉපදීම දුකයි.ලෙඩ වීම දුකයි.මරණය දුකයි.ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි.අප්‍රියන් හා එක්වීම දුකයි.කැමති දේ නොලැබීම දුකයි.පංච උපාදාන ස්කන්ධය දුකයි.

    දැන්.....
    ඉපදීම දුකයි.
    ලෙඩ වීම දුකයි.
    මරණය දුකයි.
    ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි.
    අප්‍රියන් හා එක්වීම දුකයි.
    කැමති දේ නොලැබීම දුකයි.

    මේවා බෞද්ධ වූ ඔබත් මමත් දන්නවා.අබෞද්ධ වූ අනෙක් අයත් දන්නවා. මොකද්ද එහෙනම් දුක්ඛ ආර්‍ය සත්‍යය?
    දුක්ඛ සත්‍යය මේ විදියෙන් බලන්න බැහැ.
    අපිට මරණය දුකද කියල බලන්න නම් මැරෙන්න වෙනවා.ලෙඩ වීම දුක නම් ලෙඩ වෙලා බලන්න වෙනවා.ඉපදීම දුකද කියල බලන්න මැරිලා ඉපදෙන්න වෙනවා.මේ සාසනයේ විමුක්තිය තියෙන්නේ මරණින් පසුව නොවෙයි.මේ මොහොතේ මේ ධර්මතා බලන්න ඕන.

    සංඛත හා අසංඛත.
    යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගැනීම් ස්වාභාව කොට ඇත්ද ඉපදීම් ලක්ෂණය කොට ඇත්ද එය සංඛත ධර්මයකි.
    නාම හෝ රූප වේවා ,යමක ඉපදීම් ලක්ෂණය හටගැනීම් ස්වාභාව කොට ඇතිනම් එයත් සමඟ ලෙඩ වීමේ ලක්ෂණය,ජරාවීමේ ලක්ෂණය,මරණ ලක්ෂණය අනිවාර්යෙන්ම ඇත.
    එය ආර්ය සත්‍යයකි. වෙනස් කල නොහැකි සත්‍යයකි. බුදුන්වහන්සේ පෙන්වා දුන්නේ මෙයයි.
    මෙවැනි ඉපදීම් ලක්ෂණ කොට ඇති කිසිම දෙයක් මම,මගේ ,මගේ ආත්මය කියා ගන්න එපා. ගත්තොත් දුක එනවමයි.
    දැන් බලන්න , අපි අල්ලාගෙන බදාගෙන ජීවිත කාලය පුරාවටම දඟලන්නේ මේ හටගැනීම් ස්වාභාව කොට ඇති දේවල් නොවේද? දුක ඇවිත් තියෙන්නේ මේවා අල්ලා ගැනීම තුල නොවේද?

    පුදුමය කියන්නේ....., මේක නොවෙයි.
    යමක් හට ගත්තානම් දිරන ,ලෙඩ වෙන එක , මැරෙන එක අනිවාර්යයි."නත්ථි ජාතස්ස අමරණං" ජාති ලක්ෂණය ඇතිනම් මරණය නියතයි.

    ඉතින් මේ සංඛත දේවල් අල්ලාගෙන ,
    අනේ මැරෙන්න නම් එපා.....
    ලෙඩ වෙන්න නම් එපා....
    වයසට යන්න එපා.....
    -- කියල ප්‍රාර්ථනා කරනවා

    කොච්චර මෝඩද අපි.....

    දිරීම , ලෙඩවීම , මරණය සංඛතයන්ගේ පොදු ලක්ෂණයි. ඒවා මගේ උනත් නූනත් දිරීම ,ලෙඩවීම, මරණය අනිවාර්යයෙන් වෙනවා.බුදුහාමුදුරුවන්ටවත් ඒක නවත්වන්න බැහැ.

    අපි ඒවා අල්ලාගෙන මුලු ජීවිත කාලයම දුක් විඳිනවා.ඉතින් දුක එන එක පුදුමයක් නොවෙයි.දුක නාවොත් තමයි පුදුමේ....
    ඉතින් මේ ජාති ලක්ෂණය ,ජරා ලක්ෂණය ,මරණ ලක්ෂණය යමක තිබේනම් නාම හෝ රූප වේවා...කවමදාවත් මම මගේ කියල අල්ලාගන්න නම් එපා.

    දුකට හේතුව වෙන්නේ,..මම මගේ කියල ගන්නා බව නේද?(දුක්ඛ සමුදය)

    ලෝකයේ දවසට දසදහස් ගණන් මැරෙනවා. නමුත් අපට දුක නැහැ. ඇයි ඒ? මැරෙන අය මගේ නොවන නිසා........
    33e0tq9.jpg

    ලංකාවේ බස් එකක බෝම්බයක් පිපිරිලා කිව්වොත්,ඔන්න අපි ටිකක් ගැස්සෙනවා..

    ඒ බස් එක අපේ ගෙවල් පැත්තෙ උනොත්, බය ,දුක දැනෙන්න පටන් ගන්නවා.

    ඒ බස් එකේ අපි හඳුනන එක්කෙනෙක් හිටිය කියල ආරංචි දුක වැඩියෙන් දැනෙනවා.

    ඒ බස් එකේ අපේ ඥාතියෙක් ගෙදර කෙනෙක් අම්මා තාත්තා සහෝදරයෙක් සහෝදරියක් හිටිය කියලා ආරංචි උනොත් දරා ගන්න බැරි තරම් දුක එනවා.

    දැන් බලන්න,දුක ආවේ මරණය නිසාද? මම මගේ කියලා දැඩිව අල්ලාගත්ත නිසාද කියලා.

    අර දස දහසක් දෙනා දවසට ලෝකේ මැරුනත් දුක නාපු අපට මගේ කෙනෙක් මැරුනාම දුක එනවා.

    ඉතින් මරණය නොවෙයි අපට දුක දුන්නේ.මගේ කියලා අල්ලාගැනීම තුලයි දුක ආවෙ.මරණය පොදුයි අපි හැමෝටම.ඒක නවත්වන්න දෙවියන්ටවත් බ්‍රහමයින්ටවත් බැහැ.බුදුහාමුදුරුවන්ටත් බැහැ.උන්වහන්සේ පෙන්නලා දුන්නෙ මේ යතාර්ථයයි.

    ඉතින් මේ සරල යතාර්ථය දැනගත්තාම ජීවීතේ විඳවීම ගොඩක් අඩුවෙනවා. මුලු ලෝකයම හඬා වැටෙද්දි අපට පුලුවන් නොසැලී සැහැල්ලුවෙන් ඉන්න. යතාර්ථය අපි දන්න නිසා....
    එහෙනම් අපි හොයන්න ඕන..... කොහොමද අපි අල්ලාගන්නේ,කොතනද අපි රැවටිලා මුලාවෙන්නේ, මම මගේ කියලා අල්ලාගන්නෙ කියලා.ඒ රැවටෙන තැන හොයාගත්තොත් තමයි දුකෙන් නිදහස් වන වැඩපිලිවෙලක් හමු වෙන්නේ.
     

    DhammaFriend

    Member
    Dec 15, 2014
    19
    2
    0
    හේතුං පටිච්ච සම්භූතා-හේතු භංගා නිරුජ්ජතී

    දවසකට කීපාරක් අපි කණ්ණාඩියට එබෙනවද?ඔබ දන්නවාද එහි තිබෙන යතාර්ථය?
    w86ud5.jpg

    භික්ෂූන් වහන්සේ නමක් ,බල්ලකු ලිඳට එබෙනවා දැක එහි ඇති ධර්මතාවය තේරුම අරගෙන රහත් වූ කතාවක් ධර්මයේ සඳහන් වෙනවා. අපිට එහෙම දෙයකින් යතාර්ථය තේරෙන්නේ නැත්තේ ඇයි? ඒ අපි "දර්ශනයෙන්" යුක්ත නොවන නිසයි.හේතුඵල දහම නොදන්නා කමයි.
    කණ්ණාඩිය ඉදිරියේද බල්ලා ලිඳට එබෙන විට සිදුවන ධර්මතාවයයි, සිදුවන්නේ.
    අපි පුලුවන් තරම් එතැන ඇති දහම තේරුම් ගැනීමට බලමු. මෙය ඔබට තේරුම් ගැනීමට පුලුවන් නම් එය ලොකු ජයග්‍රහණයකි.
    බලන්න, කණ්ණාඩියට එබුනු විට ප්‍රතිබිම්බයක් පෙනෙනවා.
    ප්‍රතිබිම්බය කොහොමද හැදුනේ?මොනවද හේතු?
    24cfapz.jpg

    (1)ආලෝකය
    (2)කණ්නාඩිය
    (3)කණ්නාඩිය ඉදිරියේ ඇති රූපය (මම හිටගෙන ඉන්නවා)

    දැන් බලන්න,
    ප්‍රතිබිම්බය තමයි ඵලය.හේතු තමයි ආලෝකය,කණ්නාඩිය,රූපය.

    හේතු සහ ඵලය අතර සම්බන්ධතාවය ටිකක් අපි විශ්ලේශනය කරල බලමු.
    ඉස්සෙල්ලාම ඵලය ,හේතුවලට අයිතිද කියල බලමු.
    ප්‍රතිබිම්බය කියන්නේ කණ්නාඩියද? නැත.(ප්‍රතිබිම්බය කණ්නාඩියට අයිති නම් ආලෝකයත්,රූපයත් නැතිවිට ප්‍රතිබිම්බයක් හට ගත යුතුය.)

    ප්‍රතිබිම්බය කියන්නේ ආලෝකයද?නැත.(ප්‍රතිබිම්බය ආලෝකය නම්,කණ්නාඩියත් රූපයත් නොමැතිව ප්‍රතිබිම්බය හට ගත යුතුය)
    ප්‍රතිබිම්බය කියන්නේ රූපයද?නැත.(ප්‍රතිබිම්බය රූපය නම්,කණ්නාඩියත් ආලෝකයක් නොමැතිව රූපය ඇතිවිට ප්‍රතිබිම්බයක් හට ගත යුතුය.)
    බලන්න . ප්‍රතිබිම්බය (ඵලය) හේතු වලට අයිති නැහැ.
    නමුත් මේ හේතු නොමැතිව හට ගන්නෙත් නැහැ.
    මේ හේතුවලින් තොරව ප්‍රතිබිම්බය කියල ධර්මතාවයක් හමුවෙන්නෙත් නැහැ.
    ප්‍රතිබිම්බය වෙනමත් හේතු වෙනමත් වෙන්කරන්නත් බැහැ.
    මේ හේතු ඇති තැනමයි හට ගන්නේ.එක හේතුවක් හෝ නැති උනොත් ඵලයත් නැතිවෙනවා.

    නමුත් අපි ප්‍රතිබිම්බය දිහා බලන්නේ,"මේ පේන්නේ මාවමයි.මගේ කොන්ඩෙ,මගේ මුහුණ" ආදී වශයෙන් ඵලය ,හේතුවට අයිතියි.. යන අදහසින් නොවේද? පෙනෙන්නේ රූපයයි කියන අදහසින් නොවේද අපි බලන්නේ? කණ්නාඩියෙන් පේන්නේ මාව නම්,ප්‍රතිබිම්බයත් බත්,පාන්,කිරි,බිත්තර කවල හදපු දෙයක් වෙන්න ඕන. ඉතින් අපි මෙතෙන හැමදාම රැවටෙනවා. ඵලය හේතුවට අයිති කරලයි, අපි හැම තිස්සෙම කණ්නාඩිය ලඟ කටයුතු කරන්නේ. වැරදි දෘශ්ඨියක්. සක්කාය දෘශ්ඨියක් මේක.
    "රූපං අත්තතෝ සමනුපස්සතී " කියන දෘශ්ඨියයි මේ තියෙන්නේ.ඒ ගැන පස්සෙ බලමු.
    බලන්න සරල නමුත් සියුම් ධර්මතාවයක් තියෙන්නේ.අපි මේ තුල ඇති ඵල හේතු සම්බන්ධතාවය හොඳින් මතුකරගත්තොත් දිනන්න පුලුවන්.
    තවත් මේ ධර්මතාවය විශ්ලේශනය කරමු.
    35d6bn8.jpg

    හිතන්න. අඳුරු කාමරයක තිබෙන කණ්නාඩියක් ගැන.අපි කණ්නාඩිය ඉදිරියේ සිටගෙන හිටියට ප්‍රතිබිම්බයක් පෙනෙන්නෙ නැහැ.දැන් කෙනෙක්ට අපි කියනවා, කාමරයේ බල්බය දල්වන්න කියලා.බල්බය දැල්වූ සැනින් ප්‍රතිබිම්බය හට ගන්නවා.පෙර පසු කාලයක් නොමැතිව.ආලෝකය ,කණ්නාඩිය ,රූපය ඇති සැනින් ප්‍රතිබිම්බය හට ගන්නවා.තත්පරයෙන් ලක්ෂයෙන් පන්ගුවක් වත් delay එකක් නැහැ.
    ඒ හේතු ඇති ක්ෂණයේම හට ගන්නවා.
    දැන් බල්බය නිවන්න කියනවා.එතකොට ඒ ක්ෂණයේම ප්‍රතිබිම්බය නැති වෙනවා,පුංචි ප්‍රමාදයක් හෝ නොමැතිව.
    මෙතෙන තිබෙන ලස්සනම කාරණය තමයි ,හට ගත්ත ප්‍රතිබිම්බය .කොහෙන්වත් ආවෙත් නැහැ. කොහේටවත් ගියේ නැහැ. හේතු ඇති තැන හටගත්තා.හේතු වෙන්වෙනකොට ඵලයත් නැති උනා.
    මෙතන ප්‍රායෝගික වෙමින් බලන්න.
    ඊලඟට,
    නැවතත්, බල්බය දල්වන විට ප්‍රතිබිම්බයක් හට ගත්තා.ඒ ප්‍රතිබිම්බය ,අර පලමුපාර බල්බය දල්වන විට හට ගත්ත ප්‍රතිබිම්බය නම් නොවේ. පෙර නොතිබීමයි හට ගත්තේ,හේතු නිරුද්ධවෙන කොට ඵලයත් ඉතුරුවක් නැතිවම නිරුද්ධවෙනවා.
    මෙතන ගත යුතු දහම තමයි, පෙර නොතිබීමයි ඵලය හට ගත්තේ,හේතුන් නිරුද්ධවෙන කොට ඵලයත් ඉතුරුවක් නැතිවම නිරුද්ධ වෙනවා.
    යම් ධර්මතායක් (නාම හෝ රූප) හේතු නිසා හට ගත්තානම්,ඒ පෙර නොතිබීමයි හටගත්තේ,හේතු වෙන් වෙනකොට ඒ හටගත්ත ධර්මතාවයත් ඉතුරුවක් නොමැතිව නිරුද්ධ වෙනවා.කොහේටවත් ධර්මතාවය ගියේ නැහැ.
    තෙලුත්,තිරයත්,දැල්ලත් ඇති තැන ආලෝකය නැමැති ධර්මතාවය හට ගනී.ආලෝකය කියන්නේ තෙල් හෝ තිරය හෝ දැල්ල නොවේ. තෙල් හෝ තිරය හෝ දැල්ල නැති උනොත් ආලෝකයද නැතිවෙනවා.ආලෝකය කොහෙවත් ගියේ නැහැ. "හේතුං පටිච්ච සම්භූතා-හේතු භංගා නිරුජ්ජතී"

    බලන්න පහත රූපය.
    1zqr59l.jpg

    1,2,3,4 යන කොටස්(හේතු) ඇති තැන වෘත්තයක් (ඵලය) නිර්මානය වෙනවා.

    1 වන කොටස ,වෘත්තය නොවේ.
    2 වන කොටස ,වෘත්තය නොවේ.
    3 වන කොටසද වෘත්තය නොවේ.
    4 වන කොටසද වෘත්තය නොවේ.
    නමුත් වෘත්තයයි, කොටස් ටිකයි දෙපැත්තට වෙන්කරන්නත් බැහැ.
    හේතු ඇති තැන වෘත්තය හටගත්තා.

    එක හේතුවක් හෝ නැති උනොත්......

    34ngv89.jpg


    වෘත්තයද නැතිවෙනවා.......


    තේරුම් ගන්න මේ හේතුඵල දහම...
    මේ ලෝකයේ හැම තැනම තිබෙන ධර්මතාවයයි මේ...
    තවත් උදාහරණ පස්සේ කතාකරමු.....
     

    DhammaFriend

    Member
    Dec 15, 2014
    19
    2
    0
    කෙස්,ලොම්,නිය ,දත්,සම්,මස්,නහර,අස්ථි.....

    මෝටර් රථයක් ලබා ගැනීම කාගෙත් සිහිනයකි.
    නමුත් එයින් ලෝක යතාර්තයක් දැකිය හැකිනම්,ඊටත් වඩා වටිනවා.
    ටිකක් විමසලා බලමු.
    පහත රූපයේ මොටර් රථයක සියලු කොටස් ගලවා ඇත.
    501c45.jpg

    මෝටර් රථය යනු කුමන කොටසද? කියලා විමසුවොත්, මේ එක කෑල්ලක් වත් නොවෙයි, මෝටර් රථය.
    කොටස් සියල්ල (හේතු) එකතු වූ විටයි මෝටර් රථය(ඵලය) හට ගන්නේ.
    එක කෑල්ලක් හෝ( හේතුවක්) නොමැති නම් මෝටර් රථයද(ඵලය) නැති වෙනවා.

    අපි හැමදාම තේ බොනවා.තේක තුලින් යම් ධර්මයක් දැකිය හැකිද බලමු.
    28koi82.jpg


    පිටි,සීනි,තේ කොල ,උණුවතුර (හේතු) ඇති තැන තේ (ඵලය) එකක් හමුවේ.

    තේක, පිටි නොවේ.
    තේක, සීනි නොවේ.
    තේක,තේ කොල නොවේ.
    තේක,උනුවතුර නොවේ.

    බලන්න ඵලය හේතුවලට අයිති නැහැ.
    නමුත් මේ හේතු නොමැතිව තේ කියල යමක් හමුවෙන්නෙත් නැහැ.
    එක හේතුවක් හෝ නැතිනම් ඵලයද නැතිවේ.

    මෙතන දැකිය නොහැකි තවත් විශ්මිත ධර්මතාවයක් තියෙනවා.
    අපි හැමදාම රසයි කිව්වේ... තේ එකයි(ඵලයයි)
    නමුත් අපි නොදැනුවත්වම ඇත්තටම රසයි කියල තියෙන්නේ, පිටි,සීනි ,තේ කොල, උනුවතුරයි.නොවේද?.. නුවණින් විමසිලිවෙලා පොඩ්ඩක් හිතල බලන්න.

    අපට හැමදාම මේ ලෝකයේ හමුවෙන්නේ...ඵලයයි. (හේතු ටික ප්‍රකට නැහැ.).
    අපි කැමතියි හෝ අකමැතියි කියන්නේ,...ඵලයයි.
    නමුත් ඇත්තටම අපි ඇලිල හෝ ගැටිල තියෙන්නේ,..හේතු සමගයි.

    අපිට හේතු ටික ප්‍රකට කරගෙන ලෝකය දිහා බලන්න පුලුවන්නම්, යම් කිසි යතාර්ථයක් හඳුනාගත්තා වෙනවා.
    කෙස්,ලොම්,නිය ,දත්,සම්,මස්,නහර,අස්ථි,ඇටමිදුලු,වකුගඩු,දලබු,අක්මා,පෙනහලු,ලේ,සැරව,සෙම්,සොටු,බඩවැල්,මල,මූත්‍රා,කෙල........... ආදී(හේතු) ඇති තැන,මනුස්සයකු,සත්වයකු (ඵලය) විද්‍යාමාන වේ.
    2j1287o.jpg

    කෙස් යනු,මනුස්සයාද?නැත.
    ලොම් යනු,මනුස්සයාද?නැත.
    නිය යනු,මනුස්සයාද?නැත.
    දත් යනු, මනුස්සයද?නැත.
    සම යනු, මනුස්සයද?නැත.
    මස් යනු,මනුස්සයාද?නැත.

    .............ආදී වශයෙන් බැලුවොත් ,මේ හේතු එකක් වත් නොවෙයි, මනුස්සයා.
    මේ හේතු ඇති තැන, හටගත් ඵලයයි,මනුස්සයා,සත්වයා.
    අපට හමුවෙන්නේ, ඵලයයි, හේතු ටික වැහිලා.
    අපි කැමති කියන්නේ, අකමැති කියන්නේ, මනුස්සයා (ඵලය).
    මම කියන්නේ....,මගේ කියන්නේ...., දාල යන්න එපා කියන්නේ...,මැරෙන්න එපා කියන්නේ...,ලෙඩ වෙන්න එපා කියන්නේ...ඵලයයි.
    නමුත් අපි ටිකක් නැවතිලා,..මෙතන තියෙන හේතුටික විමසල බැලුවොත්,
    නිකම්ම තේරෙයි..මම,මගේ කියන්න වටින්නේ නැති,,ඇහැටවත් දකින්න අකමැති අසුබ ආසාර දුඟන්ධ පිලිකුල් ඒවාමයි ,අපි නොදැනුවත්වම ආසාවෙන් ලංකරගෙන තුරුල්කරගෙන තියෙන්නේ. ඔබ දෑසටවත් දකින්න අකමැති කුණුවෙන සැරව ගලන,පොලවට පස් වෙලා යන හේතු ඇති තැන හට ගත්ත ඵලයක් තමයි සසර පුරාවටම අල්ලාගෙන ඉන්නේ.

    මේ ධර්මතාවය සිහි කිරීමෙන් රූපය පිලිබඳ රාගය ගොඩාක් දුරට අඩුවේ.
    නියම ධර්මය තියෙන්නේ මෙතනින් එහාටයි. හැබැයි ,මේ හේතු ඵල සිද්ධාන්තයමයි.මේ ටික හොඳින් පුරුදු කලොත් ඉතිරි ටික ගොඩක් පහසුවේයි.
     
    Last edited: