You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සංසාරයෙන් ගැලවෙන මාවත දෙසට යමු....
කුඩා දරුවකු යම් හෙයකින් පිහියක් අතට ගත්තොත්, එය මහත් අනතුරක් කරගැනීමට ඉඩ තියෙනවා.ඒ පිහිය ඉවත් කර ,කුඩා දරුවාව සුරක්ෂිත කරන්නට නම්,දරුවාගේ අවදානය වෙනතකට යොමු කරවා, පිහිය ඉවත් කරන්න ඕන.සෙල්ලම් බඩුවක් ඔහුගේ අනිත් අතට දීලා,පිහිය ගන්න ඕන.මෙන්න මේ වගේ දෙයක් තමයි බුදුහාමුදුරුවෝ ලෝකයාට කරල තියෙන්නේ.අකුසල් වලින් මිදී,කුසල් වැඩීමට උපදෙස් දුන් සේක. එයිනුත් නොනැවතී,සිත දමනය කරන්නයි,බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම.
පෙර ලිපි වලින්(link) ඔබ යම් යම් කරුණු දැන ගැනීමට හැකි වෙන්න ඇති.ඒවත් මේ හා සමානයි.ඒ ලිපි සියල්ල, යම් යම් දෘශ්ටි වලින් යුක්තවයි, ලිපි සැකසී තියෙන්නේ.නමුත් ඒවායේ ඇති දෘශ්ටි ,නිවැරදි කරගැනීමයි අපට අවශ්‍ය වන්නේ. බුදුදහමේ යතාර්තය පෙලින් පෙලටයි අවබෝධ වෙන්නේ.
පෙර ලිපි වලින් නොකියූ දහමක් පිලිබඳවයි,මෙතැන් සිට කියැවෙන්නේ...එනම් පූර්ව ප්‍රතිපදාවෙන් බලාපොරොත්තු වන දහමයි, ඉස්මතු කරගන්නට අපි උත්සහ කරගත යුත්තේ.එයින් තමයි කැලේ අතරමං වෙච්ච අපිට කැලෙන් පිට වෙන දොරටුව දෙසට හැරී ඒ දෙසට ගමන් කරන්නට හැකි වන්නේ.
පුටුව.කොච්චර අපේ ජීවිතයේදි පරිහරනය කරනවද? අපි කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ පුටුවට.මොකද ,ඉඳගන්නවා ඇරෙන්න තව මොනවද අපේ ජීවිතයකට ගන්න තියෙන්නෙ?නමුත් දහමක් අවබෝධ කරගන්න තියෙනවනම් පුටුවකින්, කෙතරම් දෙයක් ද?
බලන්න මේ පැහැදිලි කිරීම තුල, ඔබට යතාර්තයක් තේරුම් ගන්න පුලුවන්ද කියල.එහෙම පුලුවන්නම් ඔබට ජයගන්න පුලුවන්.
අවස්ථාව 1
පුටුව යනු ඉදිරිපස කකුල් නොවේ.
පුටුව යනු පසුපස කකුල් නොවේ.
පුටුව යනු කුශන් එකද නොවේ.
පුටුව යනු ඇන්ද ද නොවේ.
මේ එකක් වත් නොවේ.පුටුව.
කෙනෙකුට කියන්න පුලුවන් මේ සියල්ලම එකට ගත්විටයි පුටුව කියලා.
ඒක දෘශ්ටියක් "රූපං අත්තතෝ සමනුපස්සතී"
තව කෙනෙකුට කියන්න පුලුවන්,පුටුව කියන්නේ මේ කෑලි ටික කියලා.
ඒකත් දෘශ්ටියක් "රූපවන්තං වා අත්තානං"
තවත් කෙනෙකුට කියන්න පුලුවන්.කෑලි ටික තුල පුටුව ඇත, .. කියලා.
ඒකත් දෘශ්ටියක්. ""අත්තනීවා රූපං"
තවත් කෙනෙකුට කියන්න පුලුවන්.පුටුව තුල මේ කෑලි ඇත,.. කියලා.
ඒකත් දෘශ්ටියක්. "රූපස්මිංවා අත්තානං"
දැන් තම තමන් බලන්න කුමන දෘශ්ටියකටද වැටෙන්නෙ කියලා.
අපි හැම විටම මේ දෘශ්ටි වලින් එකක ඉන්නවා. එකකින් එකකට මාරු වෙනවා.
මේ දෘශ්ටි වලට නොවැටී අපට බලන්න විදියක් නැද්ද?
ඊට අමතරව,
හැමදාමත් අපි "ඇත" හෝ "නැත" යන අන්ත වල තමයි ඉන්නේ. සාස්වත හා උච්චේද දෘශ්ටි.
මම ඉන්නවා හෝ මම කියල කෙනෙක් නැහැ....මෙහෙම තමයි අපි හිතන්නේ.
ගොඩක් භාවනා කරන අය පටන් සාස්වත දෘශ්ටියෙන්.අවසන් කරන්නේ උච්චේද දෘශ්ටියෙන්.
මම ඉන්නවා,සත්වයෙක් ඉන්නවා,ආත්මයක් ඇත.. කියන තැනින් පටන් අරගෙන,අවසානයේදි භාවනා කරල නවතින්නේ, මම කියල කෙනෙක් නැත,සත්වයෙක් නැත.ආත්මයක් නැත....කියන තැනින්.
දෘශ්ටිය මාරු වෙලා විතරයි අවසානයේ.හැබැයි මාර්ගඵලත් ලබලා 
අර භාවනා කරන්න කලින් හිටපු දෘශ්ටිය හොඳයි.භාවනා කරල මහ භයානක තැනකටයි වැටිල තියෙන්නේ.මොකද බුදුහාමුදුරුවෝ,සාශ්වත දෘශ්ටිය හොඳයි කිව්වා,උච්චේද දෘශ්ටියට වඩා.
මම ඉන්නවා..කියලා හිතන එක හොඳයි..මම කියල කෙනෙක් නැහැ..කියනවට වඩා.
මොකද සාස්වත දෘශ්ටිය මග්ගාවරනයි,සග්ගාවරන නැහැ. නිවන ආවරනයි.නමුත් සුගතිය ආවරන නැහැ.
නමුත් උච්චේද දෘශ්ටිය මග්ගාවරණයි.සග්ගාවරණයි. නිවනත් ආවරණයි.සුගතියත් ආවරණයි.
පේනවා නේද,ගොඩක් භාවනා කරන අය ඉන්න තැන .මේ අයම තමයි,මාර්ගඵල ලබලා කියන්නේ.
අපට නියම බුදුදහම හමුවන විට ,මේ සියලු අන්ත වලින් මිදිය යුතුය."ඇත නැත" අන්ත වලින් මිදෙන්නේ කොහොමද කියලා,මේ ලිපිය අවසානයේ කෙනෙකුට තේරෙන්න පුලුවන්.එහෙම නොතේරුනොත් පසු ලිපි වලින් තවදුරටත් ඒ ගැන විග්රහ වෙන හින්දා,පස්සේ තේරුම් ගන්න පුලුවන්.
ආයෙත් "පුටුව" දෙස බලමු.
පලමු අවස්ථාවේ,
පුටුව යනු ඉදිරිපස කකුල් නොවේ.
පුටුව යනු පසුපස කකුල් නොවේ.
පුටුව යනු කුශන් එකද නොවේ.
පුටුව යනු ඇන්ද ද නොවේ.
නමුත් මේ ටික ඔක්කොම එකතු උනාම "පුටුව"............
ඊට පස්සේ,
පුටුවේ ඉස්සරහ කකුල,
පුටුවේ පස්ස කකුල,
පුටුවේ කුශන් එක,
පුටුවේ ඇන්ද.
බලන්න පලමු අවස්ථාවේ අවයව ටික, පුටුව නොවෙයි.
මේටික එකතු උනාම "පුටුව" කියලා...දැන්,ඉස්සෙල්ලා අයිති නොවුනු ටික පස්සේ අයිති වෙලා.
මේ දෘශ්ටි වලම එහා මෙහා යමින් දෘශ්ටියෙන් දෘශ්ටියට මාරුවෙමින් ඉන්නවට වඩා දෙයක් තියෙනවනම් ඒක තමයි වටින්නේ.බුදුදහම අනික් ආගම් අතර ඉහලින්ම තියෙන්නේ මේකයි.මනුස්සයෙක් වෙලා,බුදුදහම තියෙන කාලෙක,සද්ධර්මය ඇසෙන කාලෙක මේ ලෝකේ ජීවත් වෙනවනම්,බුදුදහමේ හරය වටහාගෙන නැතිනම් ,ජීවත් උනත් මැරුණා හා සමානයි.
බලමු, දෘශ්ටි වලට නොවැටී "පුටු ප්රශ්නය" විසඳන විදිය.
යතාර්තය තමයි,
මේ අවයව යම් ආකාරයකට සකස් වී ඇති ආකාරය දකින විට "පුටුව" යන "අදහස" අපේ හිත තුල ජනිත වෙනවා."පුටුව" කියන්නේ,අදහසක් ,දෘශ්ටියක්,ඒක අපේ හිතේම හටගන්න ක්ලේශයක්. ඒ දෘශ්ටිය "නාම" ධර්මයක්. අර අවයව ටික "රූප" ධර්මයක්.ඒක සතර මහා ධාතුන්ගෙන් සැදුන එකක්. "පුටුව" චිත්ත චෛතසික ඇති තැන නිර්මාණයක්(මේ ගැන පසුව කතා කරමු)
ඔබට මේක සමහර විට මුලදි ප්‍රකට නොමැති වෙන්න පුලුවන්.නමුත් ප්‍රකට වෙන විධියට බලන්න පුරුදු වන්න.
ඉතින් "පුටුව" නැමැති දෘශ්ටියත්(නාම) අර අවයව ටිකත් (රූප) දෙකම එකක් වෙලා.
නාම-රූප නිසා විඤ්ඤාණ.(සරලව ගත්තොත්.)
මේ නාමයත් ,රූපයත් දෙකම එකක් ලෙස බලනකං සංසාරයේ තමයි යන්නේ.මෙච්චර කල් කලෙත් ඒකයි.
රූපය සතර මහා ධාතුවෙන් හැදිච්ච එකක්.සතර මහා ධාතුවේ එක එක ආකෘති වලට ,එක එක හැඩයන්ට අපි හිතින් නම් පනවනවා.
එහෙනම් ,මේ දෘශ්ටිය වෙන්කර ගන්න ඕන...රූපයෙන්.
යම් දකින ,අහන,දැනෙන(රස,පහස,සුවඳ),දැනගන්න බවක් ඇති උනාම, බලන්න දෘශ්ටිය (නම් සිහිකිරීම) හට ගන්න විදිය.
කාක්,කාක් ... කියල සද්දෙ ඇහෙන කොට "කපුටා" කියලා සිහිවෙනවා.ඇහුනෙ සද්දයක්.(රූප).නමුත් සිහි කලේ දෘශ්ටියක්.(නාම).
නාමය ,රූපයට අයිති නැහැ.නමුත් මෝඩකම හා අවිද්‍යාව නිසා නාමයත් රූපයත් දෙකම එක් කරලයි අපි සංසාරයේ බලල තියෙන්නේ.කවමදාවත් එක් කරන්න බැරි දෙයක් තමයි, එක් කරලා බලල තියෙන්නේ.
දුක ,දුක හැටියට නොදැක්ක තැන, සමුදය ("කපුටා") හට ගෙන.එහෙනම් කොහෙද නිරෝධයක් හා මාර්ගයක්?
දැන් බලන්න,
අපි පුටුවක් හෙව්වා,අර අවයව වල.කවමදාවත් හම්බ උනේ නැහැ පුටුවක්.ඒ මොකද කියලා දැන් දන්නවා අපි."පුටුව" නැමැති අදහස,දෘශ්ටිය,නාම ධර්මය තිබ්බේ අපේ සිතේ.
මේකෙන් විවරණය වන දහම සුලුපටු නොවේ. මොකද මේ නාමය හා රූපය වෙන් වෙන්වෙන විදියට බලන්න බලන්න,අපි අතරමං වෙච්ච වනාන්තරයෙන් පිටවන දොරටුව අසලටයි යන්නේ.ආර්ය අෂ්ඨාංගික මාර්ගය වෙතටයි මේ යන්නේ.,සංසාරයෙන් ගැලවෙන මාවත දෙසටයි යන්නේ.
ඒ නිසා, බලන්න මේ කරුණ, ප්‍රායෝගිකව ජීවිතේ ක්‍රියාත්මක කරන්න.ඔබට තේරේවි,ලෝකය කොහෙද ගොඩනැගෙන්නේ කියලා.ඔය භාවනා කරනවාට වඩා ගොඩක් වටිනවා.
තමාගේ සිත තුලම හට ගන්න දෘශ්ටිය ප්‍රකට කරගන්න.
එය රූපයට අයිති නැති බව ප්‍රකට කරගන්න.
මේක ප්‍රකට කරගන්න පුලුවන් නම් ඔබට දිනන්න පුලුවන්.
ඊට පස්සෙ බලමු ,..දහමේ ඉතාම වැදගත්ම කොටස..... "දෘශ්ටිය" හැදිල තියෙන්නේ කොහොමද කියලා.
නිවන හැම තිස්සේම අපි ලඟ තියෙනවා
අපි ජීවත් වෙනවා කියන්නේ දැකීම,ඇසීම,දැනීම(ගන්ධ,රස,පහස ),දැන ගැනීම යන කාරනා සතරයි.
දිට්ඨ ,සුත,මුත,විඤ්ඤාත.
මීට වඩා දෙයක් නැහැ,ජීවත් වෙනවා කියන්න.
ඇසින් රූප බලනවා.
කනින් ශබ්ද අහනවා.
දිවෙන් රස බලනවා.
කයෙන් පහස් ලබනවා.
නාසයෙන් ආඝ්රානය කරනවා.
මනසින් සිතුවිලි දැනගන්නවා.
මෙය තමයි ජීවත් වෙනවා කියන්නේ.මීට වඩා දෙයක් නැහැ.
ලෝකය ගොඩනැගෙන්නේ මේ ආයතන 6 හරහායි.සසර ගොඩ නැගෙන්නේ මේ ආයතන 6 න්.එහෙනම් නිවන තියෙන්නෙත් මේ ආයතන 6ත් සමගයි.වෙන කොහෙවත් නොවෙයි.
අවිද්‍යාව කියන්නේ,ආයතන 6හි ක්‍රියාකරිත්වය නොදැනීමයි.ආයතන 6හි ක්‍රියාකරිත්වය නොදැනීම නිසයි ,හැම තිස්සේම ලෝභ ද්වේශ හටගන්නේ.
වැරදි දෘශ්ටිය නිසයි ලෝභ ද්වේශ හට ගන්නේ. යම් දවසක මේ ආයතන 6හි ක්‍රියාකරිත්වය දැක්කොත්,ඔබ වැරදි දෘශ්ටිය ප්‍රහානය කල කෙනෙකු වෙනවා.
අපි මේ ආයතන 6හි ක්‍රියාකාරිත්වය දැනගෙන ගැනීමයි කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් ලබාගන්න ඕන.
එහෙම දැනගෙන ආයතන 6 හි ක්‍රියාකාරිත්වය දැකීමයි කලයුත්තේ.
නිවන හැම තිස්සේම අපි ලඟ තියෙනවා. අපිට, අවිද්‍යාව නිසා නිවන හැමතිස්සේම මග හැරෙනවා.
සරලව කිව්වොත්, නිවන කියන්නේ,මේ ආයතන 6 හි හට නොගැනීමයි.නූපන් බවයි නිවන කියන්නේ.අසංඛත ධාතුව කියන්නෙ ඒකයි.හට නොගැනීම.
එහනම් අපි බලන්න ඕන , ඇයි මේ ආයතන හට ගන්නේ කියලා. සරලව කිව්වොත්, මේ ආයතන6හි ක්‍රියාකාරිත්වය නොදන්න නිසයි.යම් දවසක මේ ආයතන 6 හි ක්‍රියාකාරිත්වය දැන(ජානාති ),දැක ගත්තොත් (පජානාති-නුවණින් දැකීම ), එදාට ඔබට මට ආශ්‍රවක්ශය කරන ප්‍රතිපදාවක්,නිවනට යන මගක්,ආර්ය අශ්ඨාංගික මාර්ගයක් හමුවෙවි.
එහෙනම් ,අපි පුලුවන් තරම් ආයතන 6හි ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීමට බලමු.
පලමුව අපි දැනගන්න ඕන,එක මොහොතක මේ ආයතන 6න් සවිඤ්ඤානික වෙන්නේ එක ආයතනයි.මොකද විඤ්ඤාණ හට ගන්න තැන් තමයි මේ ආයතන 6.එතකොට විඤ්ඤාණ 2ක් එකවිට හට ගන්නේ නැහැ.ඒක චිත්ත නියාමයක්.
අපි TV බලද්දී රූපත් පේනවා.සද්දයත් ඇහෙනවා.නමුත් මේ 2 දෙපාරකට තමයි වෙන්නේ.ටිකක් මහන්සි උනොත් ,මේක අත්දකින්න පුලුවන්.ඇස සවිඤ්ඤාණික වෙලාවට ,කනින් ශබ්ද ඇහෙන්නේ නැහැ.
කනින් ශබ්ද ඇහෙන විට රූප පේන්නේ නැහැ.ඇහෙන් රූප බලනකොට කණ විතරක් නොවෙයි,අනිත් ආයතන 4ත් නිරුද්ධයි.
එතකොට බලන්න, එක ආයතනයක් අරමුනක් ගන්නා විට(සවිඤ්ඤාණ වනවිට) අනික් ආයතන 5ම නිරුද්ධයි.මේක ප්‍රායෝගික වෙමින් අපි බලන්න පුරුදු වෙන්න ඕන. එතකොට නුවණ වැඩෙනවා.
අපි බලමු ඇස ගැන. චක්ඛු විඤ්ඤාණය හට ගන්නේ ඇසෙයි. ඇහැ කිව්වාම ,මේ සුදු පාට ගඩුව නොවෙයි,ධර්මයේ සඳහන් ඇස. චක්ඛු විඤ්ඤාණය හට ගන්නේ,චක්ඛු ප්රසාදයේයි.චක්ඛු ප්‍රසාදය තමයි ඇහැ.අනිත් ආයතන වලටත් එහෙමයි.
ඇහැට රූපයක් ගැටුනාම චක්ඛු විඤ්ඤාණය හට ගන්නවා (චක්ඛුං පටිච්ච රූපේච ච්ක්ඛු විඤ්ඤාණං )
මෙතන වැදගත් කාරනයක් තියෙනවා. කලින් ලිපි(හේතුං පටිච්ච සම්භූතා-හේතු භංගා නිරුජ්ජතී) කියෙව්වනම්, මෙතන තේරුම් ගැනීම අපහසු නැහැ.
ඒ තමයි, මේ හට ගත්ත විඤ්ඤාණය කොහෙන්වත් ආවෙ නැහැ.වෙනත් ආයතනයකින් ආවෙ නැහැ.අපි අහල තියෙනවා සමහරු භවයෙන් භවයට යන විඤ්ඤාණ ගැන බණ කියනවා.භවයෙන් භවයට තියා ,ආයතනයෙන් ආයතනයට යන විඤ්ඤාණයක් වත් නැහැ.
බුදුහාමුදුරුවෝ සාති නම් භික්ෂුව අරබයා කරන ධර්මය පැහැදිලි කිරීමක් සඳහන් වෙනවා.
සාති භික්ෂුව ,භවයෙන් භවයට යන විඤ්ඤාණයක් ගැන අදහස් දරමින් ඉන්නවා.
බුදුහාමුදුරුවන්ට මෙය සැල වී,සාති භික්ෂුව කැදවා ,මෙහෙම අදහසක් තමන්ට තිබේදැයි විමසා භවයෙන් භවයට යන විඤ්ඤාණයක් තියා ආයතනයෙන් ආයතනයට යන විඤ්ඤාණයක් ගැන තමන් වහන්සේ කොහේද දේශනා කලේ යැයි විමසනවා.
සාති භික්ෂුවට සම්මා දිට්ඨියේ උණුසුමවත් දැනී නැතැයි බුදුහාමුදුරුවෝ පවසනවා.
ඉතින් ඇසට රූපයක් ගැටුනවිට,පෙර නොතිබීම විඤ්ඤාණයක් හට ගන්නවා.ඒ සමඟම වේදනා,සංඥා,සංචේතනා යන චෛතසික ධර්මයන්ද පෙර නොතිබීම හටගන්නවා.කොහෙන්වත් ආවේ නැහැ.
දැන් බලන්න,ස්කන්ධ පංචකය ( රූප,වේදනා,සංඥා,සංචේතනා,විඤ්ඤාණ ) හට ගෙන තියෙන්නේ.
ඔන්න දුක ඉපදුනා.ධර්මයේ "ඉපදීම" කියලා පෙන්නන්නේ,මෙතනයි.මේ ක්ෂණයේ ඉපදීමයි.ආයතනයක හට ගැනීමයි.
"කතමංචාවුසෝ ජාති? කන්ධානං පාතුභාවෝ,ආයතනානං පටිලාභෝ,ඉදං වුච්චසාවුසෝ ජාති"
ස්කන්ධයන්ගේ පහල වීමක්,ආයතනයන්ගේ හට ගැනීමක් වේද,එය ජාතියයි.මැරිලා ඉපදෙන්න ඕන නැහැ,ජාතිය බලන්න.මේ මොහොතේ බලන්න පුලුවන් ජාතිය.
දැන් තමයි නියම කාරණාව තියෙන්නේ.
අපිට මේ රූප,වේදනා,සංඥා,සංචේතනා,විඤ්ඤාණ වෙන වෙනම හම්බ වෙන්නේ නැහැ.මතක තියාගන්න.
අපිට හැම විටම හමුවෙන්නේ රූප,වේදනා,සංඥා,සංචේතනා,විඤ්ඤාණ මේ 5 ඇති තැන "දැකීම" නැමැති ඵලයයි.ඵලය තමයි හම්බ වෙන්නේ..කලින් ලිපි බලලා තිබ්බානම්(කෙස්,ලොම්,නිය ,දත්,සම්,මස්,නහර,අස්ථි.... ලිපිය),හේතු හා ඵල සම්බන්ධතාවය ගැන මනා වැටහීමක් ලබගන්න තිබුනා.
"දැකීම" යනු, රූපය නොවේ.
"දැකීම" යනු, වේදනාවද නොවේ.
"දැකීම" යනු, සංඥාවද නොවේ.
"දැකීම" යනු, සංචේතනාවද නොවේ.
"දැකීම" යනු, විඤ්ඤාණයද නොවේ.
මේ හේතු 5 ඇති තැන හට ගත්ත ඵලයයි ,"දැකීම"
බලන්න,අපිට හැමතිස්සේම හමුවෙන්නේ, "දැකීම" නැමැති ඵලයයි.
කණ්ණාඩිය ලඟ ප්‍රතිබිම්බය ගැන හොඳින් STUDY කරන්න.(හේතුං පටිච්ච සම්භූතා-හේතු භංගා නිරුජ්ජතී..... ලිපිය)
ඵලය හම්බ වෙනකොට අපි ගාව නුවණක් තියෙන්න ඕන,මෙතන යතාර්ත වශයෙන් ඇත්තේ,රූප,වේදනා,සංඥා,සංස්කාර,විඤ්ඤාණ බවට.
තවත් වැදගත් දෙයක් තියෙනවා මෙතන.ඇහැට පුලුවන් දැකීම සඳහා දායක වෙන්න පමනයි.දැකීම් මාත්‍රයක් පමණයි ඇහැ ආශ්රයෙන් ලැබෙන්නේ.දැක්ක දේ ගැන හිතන්න ,ඇහට බැහැ.
රූපය ලස්සනයි/කැතයි,අහවල් දේ තමයි දකින්නේ හො රූපය පිලිබඳව කුමක් හෝ සිතන්න ඇහැට බැහැ.
සිතන කාර්යය කරන්නේ වෙනත් ආයතනකින්.(මනායතනය) .එතකොට දැක්ක දේට නමක් පනවන කාර්යය වෙන්නේ,මනායතනය මඟිනි.
මනායතනය සවිඤ්ඤාණ වෙනකොට ඇහැත් රූපයත් ,ඒ නිසා හට ගත්ත වේදනා,සංඥා,සංචේතනා,විඤ්ඤාණ නිරුද්ධ වෙලා.
ඒවා කොහෙටවත් ගියේ නැහැ.හේතු නිසා හට ගත්තා.හේතු නිරුද්ධ වීමෙන් ඵලයද නිරුද්ධයි.දැන් මනායතනය ක්‍රියාත්මක වෙනකොට "දැකීම" නිරුද්ධයි.
ඇහැ මැරිලා.මරණය කියන්නේ මේකයි.මනස ඉපදිලා (ජාතිය).
මනසින් නම පනවන කොට "දැකීම" මැරිලා.මැරිච්ච දෙයකට තමයි,මනසින් නම පනවන්නේ.
ඒ වගේම "දකින්නේ රූපයයි" කියන තැන ඉන්න හින්දයි දැක්ක දේට "නම" පනවන්නේ.
මනසට බැහැ රූප දකින්න.මොකද මනස,ඇහැ නොවේ.ඇහැට විතරයි රූප දකින්න පුලුවන්.
මනසට පුලුවන් සිතුවිලි දකින්න. වේදනා,සංඥා,සංස්කාර තමයි මනසට අරමුණු වෙන්නේ.මේවා ධම්ම ,ධම්මායතන ආදී නම් වලින් හඳුන්වනවා.
ඇහේ වගේම ,ධම්මායතනය මනායතනයත් සමඟ ගැටුනු විට ,මනෝ විඤ්ඤාණය ඇති වෙනවා,ඒ සමගම වේදනා,සංඥා,සංස්කාර හට ගන්නවා."දැන ගැනීම" ඵලය හමු වෙනවා එතකොට.
තව දුරටත් මේ ගැන පසුව කතා කරමු.
----------------
සාරාංශ වශයෙන් ගත්තොත්,
අපි ඉන්නේ "දකින්නේ රූපයයි", කියන තැන.පේන්නේ රූපයයි කියලයි අපි හිතන්නේ.
හේතු ඵල දහම නොදන්න නිසා සක්කාය දෘශ්ටිය.
කණ,නාසය,දිව,ශරීරයත් මෙහෙමයි.
කණ-ඇහෙන්නේ ශබ්දයමයි,කියන සක්කාය දෘශ්ටියේ අපි ඉන්නේ.
නාසය-දැනෙන්නේ සුවඳයි.,කියන සක්කාය දෘශ්ටියේ අපි ඉන්නේ.
දිව- දැනෙන්නේ රසයයි.,කියන සක්කාය දෘශ්ටියේ අපි ඉන්නේ.
ශරීරය-දැනෙන්නේ පහසයි.,කියන සක්කාය දෘශ්ටියේ අපි ඉන්නේ.
ඵලය හේතුවට අයිති කරලයි බලන්නේ.සක්කාය දෘශ්ටිය .
-------------------
සක්කායදෘශ්ටියේ ඉන්නකං රූප ,ශබ්ද,ගන්ධ,රස ,පහස භාහිර ලෝකයෙන් හොය හොය සංසාරයේ අපි යනවා.නමුත් ඇත්ත දකින කෙනා දන්නවා,දකින්නේ රූපය නොවේ.ඇහෙන්නේ ශබ්දය නොවේ.දැනෙන්නේ ගන්ධය,රස,පහස නොවේ. හේතු ඇති තැන හට ගත්ත ඵලයක් තමයි හැමදාම හම්බ උනේ කියල දන්නවා.මේ අරමුණු සොයා යන එක නවතිනවා.රූප,ශබ්ද,ගන්ධ,රස ,පහස කවමදාවත් හමුනොවන බව ඔහු දන්නවා.හමු නොවන දේවල් පසුපස යන එක නවතිනවා. අවදානය මේ ආයතන 6ටම යොමුකරනවා.