මිසදිටු ගත් බමුණෙක්

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සම්මා සම්බුදුරජානන් වහන්සේ දෙව්රම් මහා වෙහෙර වැඩ වසන දවසෙක මිසදිටු ගත් එක් බ්‍රාහ්මණයෙක් ගඟබඩට ගොස් කුඹුරක් සකස් කරන්නේ ය. බුදුරජානන් වහන්සේ ලොව බලා වදාරණ සේක් ඒ බමුණාහට සෝවාන් වීමට තුබූ හේතු සම්පත් දැක ඔහු වෙතට වැඩියහ. ඔහු බුදුරජානන් වහන්සේ දැකත් සැලකිලි පමණකුත් නො කොට නිහඩ විය. එහෙයින් බුදුරජානන් වහන්සේ පළමු කොට බමුණාට කතා කොට “බමුණ කරන්නෙහි කිමැ?” යි ඇසූහ. “ගෞතමයන් වහන්ස! කුඹුරක් සකස් කරමි” යි හේ කීය. බුදුරජානන් වහන්සේ එ දවස අන් කිසිත් නො බැණ විහාරයට වැඩම කළහ. පසුදාත් උන්වහන්සේ බමුණා කෙත සකස් කරත් ම, ඔහු වෙතට වැඩියහ. වැඩ “බමුණ! කුමක් කරන්නෙහි?” යි ඇසූහ. “ගෞතමයන් වහන්ස! කුඹුරක් සාන්නෙමි” යි කී විට පෙරළා විහාරයට වැඩියහ. පසු පසු දවස්වලදී ද එහි වැඩම කොට එසේම බමුණා විචාරත් ම, “ගෞතමයන් වහන්ස! කුඹුර වපුරමි, කුඹුර නෙලමි, ගොයම් රකිමි” යි ඈ විසින් බමුණු කී බස් අසමින් විහාරයට වැඩියහ.
    මෙසේ කිහිප දවසක් ගෙවා එක් දවසෙක බමුණු තෙමේ “භවත්! ගෞතමයන් වහන්ස! ඔබවහන්සේ මේ කුඹුර සකස් කරන්නට පටන් ගත් දා සිට දිනපතා මෙහි අවුත් ඒ ගැණ මාගෙන් කරුණු විචාරන්නාහු ය, යම් ලෙසකින් මාගේ අදහස් ලෙස ගොයම් පැසී ගියේ නම්, ඔබවහන්සේට ද කොටසක් බෙදා දෙන්නෙමි, ඔබවහන්සේට නො දී මම මෙය එකලා ව නොකමි, මෙ තැන් පටන් ඔබවහන්සේ මාගේ යහළුවෙකැ” යි කීයේ ය. ටික දවසක් යත් ම ගොයම් පැසින. බමුණා පැසී ගිය ගොයම බලා සෙට ගොයම දවනෙමි යි දැවුමට කළයුතු කටයුතු සියල්ල පිළියෙල කොට තිබීය දී එදා ම රැයෙහි වට මහා වැස්සෙක් සියලු ගොයම දියෙහි පා කොට හැරියේ ය. කුඹුර සැස තබන ලද්දක් මෙන් වී ය. බුදුරජානන් වහන්සේ එහි පළමු වැඩිය දිනයෙහි ම ගොයම නැසී යන බව දුටු සේක.
    බමුණා පසුදා උදෑසන කුඹුර බලන්නෙමි යි එහි ගියේ සිස් කුඹුර දැක උපන් බලවත් ශෝක ඇත්තේ එදා මම “ශ්‍රමණ ගෞතම! ඔබවහන්සේ මා මේ කුඹුර සකස් කරන්නට පටන්ගත් දා සිට මෙහි ආවහු ය, මමත් ‘මේ ගොයම පැසී කපා කොටා ගත් විට ඔබවහන්සේට කොටසක් බෙදා දෙන්නෙමි, ඔබවහන්සේට නො දී නො කන්නෙමි, මෙතැන් පටන් ඔබවහන්සේ මාගේ යහළු’ යි කීමි, මාගේ ඒ අදහස මුදුන් පැමිණියේ නැතැ” යි සිතමින් කෑම් බීම් වළකා ඇඳ වැතිර හොත්තේ ය. බුදුරජානන් වහන්සේ බමුණා නො කා නො බී ඇඳ වැතිර නිදන කල්හි ඔහුගේ ගෙදොරට වැඩිය සේක. ඔහු බුදුරදුන් එහි වැඩිය බව අසා “මාගේ යහළු මෙහි කැඳවා ගෙණ අවුත් වඩා හිඳුවාලවූ” යි පිරිවර දෙනාට කීයේ ය. ඔවුහු එසේ කළහ. බුදුරජානන් වහන්සේ වැඩහිඳ “බමුණු කොහි ද?” යි අසා “කාමරය තුළ නිදන්නේය” යි කී කල්හි “බමුණු මෙහි කැඳවවු” යි කැඳවා ඔහු අවුත් පසෙක හුන් කල්හි “බමුණ! මේ කිමැ?” යි අසා වදාළ සේක. “භවත් ගෞතමයන් වහන්ස! ඔබ වහන්සේ මා කුඹුර සකස් කරන්නට පටන් ගත් දා සිට එහි ආවහු ය, මමත් ගොයම් පැසී ගිය කල්හි ඔබ වහන්සේටත් කොටසක් බෙදා දෙන්නෙමි යි කීමි, එහෙත් මාගේ ඒ අදහස නො ද නිපන්නේ ය, එයින් මා තුළ හටගත් ශෝකය බලවත්ය, මට බත් ද නො රුස්නේ ය” යි බමුණා කී කල්හි බුදුරජානන් වහන්සේ “බමුණ! දනිහි ද ශෝකය කුමක් නිසා උපනි දැ?” යි විචාරා “නො දනිමි භවත් ගෞතමයන් වහන්ස! ඔබවහන්සේ දන්නහු නම් කිය වූ” යි කී කල්හි “බමුණ! මම දනිමි, ශෝකය ඉපදෙනුයේ තෘෂ්ණාව නිසා ය, භයෙක් හෝ වේ නම් එයද ඉපදෙනුයේ තෘෂ්ණාව නිසාය” යි වදාරා මේ ධර්‍ම දේශනාව කළ සේක.
    තණ්හාය ජායති සොකො තණ්හාය ජායතී භයං,
    තණ්හාය විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයන්ති.
    තෘෂ්ණාව හේතු කොට ශෝකය උපදි. තෘෂ්ණාව හේතු කොට බිය උපදී. තෘෂ්ණාවෙන් මිදුනහුට ශෝකයක් නැත. බියෙක් කොයින් වේද.
    තණ්හාය ජායති සොකො = තෘෂ්ණාව නිසා ශෝකය උපදී.
    තණ්හාය ජායති භයං = තෘෂ්ණාව නිසා බිය උපදි.
    තණ්හාය විප්පමුත්තස්ස = තෘෂ්ණාවෙන් මිදුනහුට.
    නත්‍ථි සොකො කුතො භයං = ශෝකයෙක් නැත. බියෙක් කොයින් වේද.
    එහි තෘෂ්ණා නම්: ඇස් - කන් - නාස් ඈ සදොර උපදනා භේද විසින් අටෝරාසියක් වූ ලෝභය යි. රූප - ශබ්දාදී වූ අරමුණුවල ගැලීම බැඳීම බැස ගැණීම නිසා සත්ත්‍වයන් තුළ තෘෂ්ණාව උපදී.
    මෙසේ උපදනා මේ තෘෂ්ණාවෙන් මිදී සිටියේ රහතුන් වහන්සේ ය. එහෙයින් උන්වහන්සේට ශෝක - භය තබා සසර කිසිත් ගැහැටෙක් නො වන්නේ ය. නැත්තේ ය.
    ධර්‍මදේශනාවගේ අවසානයෙහි බ්‍රාහ්මණ තෙමේ සෝවන් ඵලයෙහි පිහිටියේ ය.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේවා කියවන්න අපිට පිණ තිබුනට මේ අනුව ජිවත් වෙන්න අපි තාම සියලු කෙලෙස් නසලා නෑ අපි අපේ දරුවන්ට කොච්චර බැදිලද?? උන් ගැන කොච්චර ලෝබද. ඉතිං තණ්හාව නිසා දුක උපදින එක නැති කරන්න අපිට තව කල්ප කාලෙකට බැරිවෙයි
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේවා කියවන්න අපිට පිණ තිබුනට මේ අනුව ජිවත් වෙන්න අපි තාම සියලු කෙලෙස් නසලා නෑ අපි අපේ දරුවන්ට කොච්චර බැදිලද?? උන් ගැන කොච්චර ලෝබද. ඉතිං තණ්හාව නිසා දුක උපදින එක නැති කරන්න අපිට තව කල්ප කාලෙකට බැරිවෙයි

    දරුවො, මාලිගා, රාජධානි තිබුණ මිනිසුන්ම තමා සියලු කෙලෙසුන් නසලා රහත් උනේ. මිනිසත්බව ලැබුවානම් වැඩෙන් 50% සම්පූර්ණයි කියලා හිතාගන්න. දරුවා දෙමාපිය සෙවනෙ ඉන්නෙ වයස දහයක් දොලහක් වෙනකන් තමා. ඊටපස්සෙ ඒ අය ඒ අයටම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න යොමුවෙනවා. මෛත්‍රියෙන් ආදරයෙන් හදපු දරුවා, කරුණාවෙන් තරවටු කරලා හදාපු දරුවා, එයාලගේ රුචි මාර්ගවල යනකොට මුදිතාව ප්‍රගුණ කරන්න වෙනවා. අවසානයේදී දරුවාට ඔවුන්ගේ ජීවන ක්‍රමය අනුව කුමන හොඳ හෝ නරක පැමිණියත් උපේක්ෂාවෙන් බලා සිටින්නත් සිද්ධ වෙනවා. අපි කැමති උනත් අකමැති උනත් දරුවන් සම්බන්ධව ඔය පෙරලි හතර දෙමවුපියන් තුල සිද්ධ වෙනවා. ඉතින් ඔය පෙරලි වලට ශක්තිමත්ව මුහුණ දෙන්න නම් දාන සීල වලින් අත්හැරීම සහ වැලකීසිටීම පුරුදු කලා වගේම භාවනාවෙන් සිත වඩලා නොසැලෙන මට්ටමකට දියුණු කරගෙන තියෙන්නත් ඕනෙ. තෘෂ්ණාව කපනවා කියන්නෙ දාන සීල භාවනා ප්‍රගුණ කරන එකම තමා. විශේෂයෙන්ම භාවනාව.

    ගිහි ජීවිතය ගෙවන ගමන් සතිපට්ඨාන භාවනාව වඩන්න අපහසු නැහැ. ඒකෙදි ගිහි අපෙන් මහා ලොකු සමාධියක්, පැය ගනන් වාඩිවී සිටීමක් අපේක්ෂා කරන්නෙ නැහැ. සක්මන් භාවනාව උනත් දවසකට පැය කාලක් කරලා පටන් ගන්න පුළුවන්. බුද්ධ පූජාවට පැය භාගයක් වැය කළා නම්, විනාඩි පහකින් බුද්ධ පූජාව තියලා ඉතිරි විසිපහේ භවනාව කරන්න පුළුවන්. බුදුන් අපෙන් අපේක්ෂා කරන්නෙත් ඒක.

    ඒ වගෙම සමාජයට පෙන්වන්න යන්නත් එපා "මම භාවනා කරනවා" කියලා. මොකද සමාජයට මේක "නුහුරක්, බයක්, සම්මතයට විරුද්ධව යාමක්, අහේනියක්, අනතුරක්" විදිහට පෙනෙන්න තියන සම්භාවිතාව වැඩියි. සමාජයට ඕනෙ "කාලා බීලා සැපේ ඉන්න ඕනෙ" කියන මිනිස්සු. උපතින්ම හම්බුන පුටුව වෙච්ච පර්යංකය ගොතාන වාඩිවෙලා "මොකුත් නොකර සිටීමෙනුත්" සැපේ ඉන්න පුළුවන් බව ලෝකයා පිළිගන්න සූදානම් නැහැ.