මිහිතලයේ_යටගියාව

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මිහිතලයේ_යටගියාව

    මිහිතලයේ යටගියාව

    earth.jpg



    පෘථිවිය නමැති අප ග්‍රහ ලොව සන්තකව ඇති, අති දැවැන්ත ඉතිහාස පොතේ හෙවත් පෘථිවි මතක පොතේ පිටු පෙරළීම තරම් ආශ්වාදනීය ජෛව විද්‍යාත්මක අධ්‍යයනශීලී අත්දැකීමක්‌ තවත් නැති තරම් ය.

    එහි සෑම පිටුවක ම රැඳී ඇති දේ කියවූ සැණින් මනස තුළ සියල්ල සජීවීකරණය කරගත හැකි තරමට අදාළ කරුණු ආකර්ෂණීය ය.

    පොතට ලොල් වූ අතකට, පොතක්‌ ලැබුණු විට වහා සිදු වන්නේ පොතෙහි පිටු අතරින් පතර පෙරළා බැලීමයි.

    අති දැවැන්ත පෘථිවි මතක පොතේ ද පිටු අපිළිවෙළට පෙරළන විට හිටි හැටියේ ම පිටුවක්‌ තුළින් මතු වන්නේ මාංශ භක්‍ෂක යෝධ උරගයෙකි. ඒ Tyrannosaurus rex (ටිරනොසෝරස්‌ රෙක්‌ස්‌) හෙවත් T. rex ය. තම යෝධ අපර ගාත්‍රා මත රැඳෙමින් දේහ තුලනයට දැවැන්ත වලිගය ද යොදා ගනිමින් මතක පොතේ පිටු අතුරින් T.rex එබී බලයි. උගේ දේහයේ ඉහළින් පිහිටන සිහින් පූර්ව ගාත්‍රා යුගල ගොදුරක්‌ රඳවා ගැනීමට පමණක්‌ යොදාගත හැක්‌කකි. පිටතට යොමු කළ හිසෙහි ශක්‌තිමත් හනු දෙකකි. ඒවායින් පිටුපසට යොමු වුණු උලැති දත් ඇත. මේ බිය රැඳි දසුන මැකී යන්නේ මතක පොතේ පිටු ඉදිරියට පෙරැළීම නිසා ය.

    dinosaurs17.jpg


    පෙරළී ගිය පිටු නතර වූ තැන, මානව පරිණාම ඉතිහාසයේ අඳුර දුරලමින් ගිනි සිළුව දැල්වීමේ මංගල්‍යය නිරූපණය වේ. අප වගේ වුවත් අපට වඩා වෙනස්‌ Home erectus ආදි මානවයා ගින්දරෙන් වැඩ ගැනීම ආරම්භ කළ වග එම පිටුව දැනුම් දෙයි.

    පොත තුළ රැඳි කරුණු රසවත් ය. මෙතැන් සිට පිළිවෙළකට අනුව මුල සිට ම එහි පිටු පෙරැළීම උචිත යෑයි හැඟේ.

    අදින් වසර මිලියන (දස ලක්‌ෂ) හාර දහස්‌ පන් සියයකට පමණ පෙර බිහි වූ පෘථිවියේ සත්‍ය ඉතිහාසය රැඳී මතක පොතේ පිටු අතර පළමු වරට පණැති යමක්‌ දැකිය හැක්‌කේ, වසර මිලියන 3500ක්‌ පමණ ගිය තැන වගතුග ලියවුණු පිටුවක දී ය. පොත ඉතා පැහැදිලි පරිච්ඡේද 6කින් යුක්‌ත ය. ඇතැම් පරිච්ඡේද ඉතා කුඩා අතර ඇතැම් පරිච්ඡේද ඉතා දිගු ය.

    පොතෙහි පළමු පරිච්ඡේදය නම් කොට ඇත්තේ AZOIC Era - ඒසොයික යුගය ලෙසට ය. මේ නුහුරු වදන ග්‍රීක වදනකි. එහි සිංහල අරුත "ජීවයෙන් තොර" යන්නයි.

    භූ කාල මාපකයට අනුව අප ග්‍රහ ලෝකයේ ආරම්භක කාල වකවානුව එසොයික යුගය යටතේ දැක්‌වේ. එකල පෘථිවිය අතිශය තාපවත් ය. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 4000-8000 අතර තිබී ඇත. ආරම්භක පෘථිවිය වායු ගෝලයක්‌ නො දැරී ය. එහි මතුපිට ගිනි කඳු බහුල විය. ක්‍රමයෙන් පෘථිවිය මතුපිට උෂ්ණත්වය අඩු වීම නිසා පෘථිවි කබොල තැනුණු අතර, ඊට ඇතුළතින් පෘථිවි මධ්‍යයේ හරය පිහිටියේ ය. පෘථිවි මධ්‍යයයේ පිහිටි හරයේ සිට ද්‍රවමය පාෂාණ හා වායූන් ගිනිකඳු තුළින් පිටතට පැමිණියේ ය. පෘථිවි ග්‍රහලෝකයේ මුල් ම වායු ගෝලය තැනුණේ පෘථිවි මධ්‍යයේ සිට පිටතට පැමිණි වායූන් ගෙන් ය.

    homo-sapiens.jpg

    එම ආරම්භක වායු ගෝලය නිදහස්‌ ඔක්‌සිජන්වලින් තොර ඔක්‌සිහාරක වායුගෝලයක්‌ විය. එහි ප්‍රධාන සංඝටක අතර H2 , CH4 , NH3, H2S, ජල වාෂ්ප ආදිය විය.

    සීතල සුළං රැල්ලකින් පෘථිවි මතක පොතේ පිටුව පෙරැළී යයි. නව පිටුවෙහි දැක්‌වෙන්නේ පෘථිවි පෘෂ්ඨයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වන බව ය. වායු ගෝලයේ උෂ්ණත්වය ද අඩු වෙමින් පවතී. තවදුරටත් උෂ්ණත්වය අඩු වීම හේතුවෙන් වායුගෝලීය ජලවාෂ්ප ඝනීභවනය වී, පළමු වරට ආදි පෘථිවි අහසට වලාකුළු එක්‌ කොට ඇත. සැතපුම් ගණනාවක්‌ දිගු යෝධ වැහි වලාකුළුවල ජල වාෂ්ප ඝනීභවනය වීමෙන්, මෙලොව සනහන වර්ෂාව උපත ලැබී ය. සියයට සියයේ භෞතිකමය සංසිද්ධියක්‌ වන වැස්‌ස උපත ලැබුවේ එදින ය.

    මේ ඇදහැළෙන්නේ ආරම්භක මහා ධාරානිපාත වර්ෂාවයි. එහෙත් වලාකුළුවලින් ඇදහැළෙන වැස්‌ස පෘථිවි කබොල වෙත මුල දී ළඟා නො වී ය. කබොලෙහි තවදුරටත් රැඳී ඇති ගිනියම් ස්‌වභාවය නිසා ම එම මහ වැසි පෘථිවි බිම් තලය පෙනෙන මානයේ අහසේ දී වාෂ්ප වී ධූම ගෝල බවට පත් විය. එනම් ජල වාෂ්ප බවට පරිවර්තනය විය. වසර ලක්‍ෂ ගණනාවක්‌ ගත වන තුරු ම වැස්‌ස පැමිණ ඇත්තේ අතරමඟට ය.

    පෘථිවි කබොලේ දිළිසෙන ගිනියම් ගතිය, වසර ලක්‍ෂ ගණනකට පසු අඩු වීමත් සමඟ පෘථිවි කබොල වැසි ජලය, ජලය ලෙස රඳවා ගත්තේ ය. එහි ප්‍රතිඵලය පෘථිවියේ පහත් බිම් වැසි ජලයෙන් පිරී ඉතිරී ගොස්‌ ආදි සාගර තැනීමයි. මේ ආදි සාගර ලවණවලින් සරුසාර විය. ඊට හේතුව පෘථිවි කබොලෙහි රැඳි විවිධ වූ ලවන හා අයන වැසි දිය හා එක්‌ ව සාගර වෙත ඇදී ඒමයි.

    ඒසොයික යුගයේ අවසානය කරා ළඟා වන විට සිදු ව ඇති දේ පෘථිවි මතක පොතෙහි තවත් පිටුවක සජීවීකරණය වේ. ආදි ඔක්‌සිභාරක වායුගෝලය තුළ ප්‍රතික්‍රියාකාරී කැළඹීමකි. ප්‍රතික්‍රියා ඇරඹීමට අවැසි සක්‍රියන ශක්‌තිය සපයන මහා ශක්‌ති ප්‍රභව 3කි. අකුණු ගැසීම් හෙවත් විද්යුත් විසර්ජන ආදි පෘථිවි අහස ඒකාලෝක කරමින් ශක්‌තිය ලබා දේ. ඕසෝන් වැස්‌මක්‌ නොමැති, ඔක්‌සිභාරක වායුගෝලය තුළින් නිරුපද්‍රිතව පැමිණි පාරජම්බුල කිරණ මගින් ද ශක්‌තිය ලබා දේ. පෘථිවි බිම් තලයේ ගිනිකඳු පුපුරා යැමෙන් තාප ශක්‌තිය මුදා හැරේ. මේවායින් සක්‍රියන ශක්‌තිය ලබාගෙන ආදි වායු ගෝලයේ ප්‍රාරම්භක ප්‍රතික්‍රියා සිදු වී සරල කාබනික අණු සංස්‌ලේෂණය වී ඇත. එකී අණු අතර විවිධ ඇමයිනෝ අම්ල, නයිට්‌රජනීය භෂ්ම ආදිය ද තිබී ඇත. ඒවා වැසි ජලය සමග පොළොවට වැටී, ආදි මහා සාගර ජලයට එක්‌ වේ. සරල කාබනික අණු සාන්ද්‍රණය වුණු ආදි සාගර, ආදි සූපය ලෙස නම් කෙරේ.

    මතක පොතෙහි ඵ්සොයික යුගය දැක්‌වෙන පරිච්ඡේදය එතැනින් අවසන් වේ.

    අසංග අබේසුන්දර
    (ප්‍රවීණ සත්ත්ව විද්‍යා දේශක/ලේඛක)


    sea_of_galilee.jpg
     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    නියමයි
    48041.gif


    +රෙප්! බෑනෙ මචං.
    [You must spread some Reputation around before giving it to **cut again]