මිහිඳු හිමියන් වඩින්නට පෙරත් ලංකාවේ බුදු

monson

Well-known member
  • May 7, 2007
    25,796
    28,980
    113
    මිහිඳු හිමියන් වඩින්නට පෙරත් ලංකාවේ බුදු

    මිහිඳු හිමියන් වඩින්නට පෙරත් ලංකාවේ බුදු දහම පැවති බවට බලංගොඩින් සාක්ෂි?

    මහාචාර්ය රාජ් සෝමදේවගේ පුරා විද්‍යා ගවේෂණයක් පිළිබඳ සාකච්ඡාවකි

    (අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු)

    ඔබ විසින් මෑත කාලයේ බලංගොඩ කල්තොට ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ගවේෂණයක් පවත්වන බව දැන ගන්නට ලැබුණා. මෙම ගවේෂණයේ අරමුණ කුමක්ද?
    මෙම ගවේෂණයට පුළුල් අරමුණක් තිබෙන බව පළමුව පැහැදිලි කළ යුතුයි. ඇත්තෙන්ම එය ගැඹුරු පර්යේෂණ ගැටලුවක් පදනම් කර ගෙන වසර හතක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන දීර්ඝකාලීන පර්යේෂණ ව්‍යාපෘතියක එක් ඉසව්වක් පමණයි. මේ රටේ ඉතිහාසයට අදාළ ප්‍රධාන ගැටලුවක් වන්නේ වංසකතා මගින් පැහැදිලි කරන ඉතිහාසයේ ආරම්භයත් පුරාවිද්‍යාඥයින් විසින් ප්‍රමාණවත් ලෙස දැනට පැහැදිලි කර තිබෙන ගල්යුගයත් අතර සංක්‍රාන්ති කාලපරිච්ජේදයේ ස්වභාවය ගැන කිසිවක් අප නොදැන සිටීමයි. නිදසුනක් ඇසුරෙන් පැහැදිලි කරන්නේ නම් ගල්යුගයේ අවසානය පෙනෙන සීමාව දැනට දන්නා කරුණු අනුව ක්‍රිස්තු පූර්ව 1800ට යොමු කළ හැකියි. අප කවුරුත් දන්නා පරිදි වංසකතා ඉතිහාසය ආරම්භවන්නේ ක්‍රිස්තුපූර්ව හයවන සියවසේ සිදුවූ බවට පැවසෙන ඉන්දීය ජනසංක්‍රමණයකින් පසුවයි. මේ අන්ත දෙක අතර තිබෙන අවුරුදු 1200ක පමණ කාලයේ මෙරට පැවති තත්ත්වය විස්තර කිරීමට ශාස්ත්‍රීය මූලාශ්‍රයක් නොමැති වීම බලවත් අඩුපාඩුවක්. අපගේ පර්යේෂණ අරමුණ වී තිබෙන්නේ මෙම දැනුම අතින් අන්ධකාරයක තිබෙන මෙම කාලපරිච්ජේදය පුරාවිද්‍යාත්මකව පැහැදිලි කිරීමට උත්සාහ කිරීමයි.
    බොහෝ පුරාවිද්‍යාඥයින් මෙන්ම ඇතැම් ඉතිහාසඥයින් පවා බැලූ බැල්මට ගාම්භීර බවකින් යුත් ශාස්ත්‍රීය ගැටලුවලට පිළිතුරු සෙවීමට වෑයම් කරනවා. නමුත් ඒවායේ කිසිදු සමාජ උපයෝගීතාවක් දැකිය නොහැකියි. අවසානයේ ඒවා වාර්තාවලට පමණක් සීමා වෙනවා. විද්වතෙකු ලෙස මෙවැනි ප්‍රශ්නයකට පිළිතුරු සෙවීම මේ රටේ සමාජ භාවිතයට කෙතරම් අදාළ වේ දැයි තක්සේරුවක් ඔබට තිබෙනවද?
    ඕනෑම සමාජයක් ඓතිහාසිකයි. එනිසා සමාජයක ජීවත්වන කුමන තරාතිරමේ පුරවැසියෙකුට වුවත් ඓතිහාසික සවිඥානතාවක් තිබෙනවා. අද අපේ රටේ ඉතිහාසය සම්බන්ධයෙන් මතවාදී අර්බුදයක් තිබෙන බව එදිනෙදා පුවත්පත් දෙස බලන විට පෙනෙනවා. මේ රටේ අතීතය හැකි තරම් පසුපසට ගෙන යාමටත්, ඒ අතීතය සමෘද්ධිමත් සහ බලවත් කාලපරිච්ජේදයක් ලෙස විස්තර කිරීමටත් ඒ මතවාදවලින් වෑයම් කරන බවත් පෙනෙනවා. පසුගිය කාලවකවානුව තුළ මේ රටේ නිෂ්පාදනය වූ චිත්‍රපට, ලියැවුණු නවකතා ආදිය දෙස විපරමින් බලන්නේ නම් අතීතය කෙතරම් දුරට වර්තමාන අත්දැකීමක් බවට පත් වී තිබේදැයි අපට පැහැදිලි වෙනවා. සමාජයක් විසින් සිය අතීතය වර්තමාන අවශ්‍යතා සඳහා ආයෝජනය කරන සමාජ ප්‍රාග්ධනයක් බව අමතක නොකළ යුතුයි. මෙහිදී අදළ ක්ෂේත්‍ර පිළිබඳ විද්වතුන්ගේ වගකීම විය යුත්තේ අතීතය පිළිබඳ තථ්‍ය ඥානය ගොඩ නැගීමට හැකි සෑම විද්‍යාත්මක පරිශ්‍රමයක්ම දැරීමයි. මා කල්පනා කරන ආකාරයට මේ රටේ ඉතිහාසය යැයි සම්මත
    නිම්වළලුවලින් ඔබ්බට ගොස් අප්‍රකාශිත ඉතිහාසයේ ක්ෂිතිජය හෙළිදරව් කරන්නේ නම් එය සියලු පුරවැසියන් තමන්ට නිසි පරිමාණවලින් අවශෝෂණය කර ගනු ඇති කියලයි.
    ඔබ දැනට කරගෙන යමින් සිටින කල්තොට ප්‍රදේශයේ ගවේෂණ
    කටයුතුවලින් මහින්දාගමනයට පෙර බුදුදහම මෙරටට පැමිණි බව තහවුරු වන බව පවසා තිබුණා. මෙම සොයා ගැනීම සහ ඔබේ පර්යේෂණ අරමුණ අතර තිබෙන සබඳතාව කුමක්ද?
    මහින්දාගමනයට පෙර බුදුදහම මෙරට වැසියන් අතර ප්‍රචලිතව තිබෙන්නට ඇතැයි යන අදහස මවිසින් ප්‍රකාශ කරන ලද්දේ
    නිරීක්ෂණ කිහිපයක් පදනම් කරගෙනයි. විශේෂයෙන්ම එය අදාළ වන්නේ කල්තොට මෙහොර ප්‍රදේශයට අයත් කිරිමකුල්ගොල්ල, ටැම්කැටිය, වැලි‍පොතේයාය, දියවින්න ආදී ප්‍රදේශවල දක්නට තිබෙන පැරණි ගුහා, විහාරවල පිහිටීම සහ ඒවායේ ස්වභාවයේ ඇති විශේෂතාවලටයි. මෙම
    විශේෂතා ඉතිහාසයේ සිටම පැවති ඒවායි. එසේ වුවත් ඒවා නිරීක්ෂණය කිරීමට මේ වනතුරු ශාස්ත්‍රීය උත්සාහයක් ගැනීම ප්‍රමාද වී තිබුණා. මෙවර ගවේෂණයේදී
    අප එය මැනවින් නිරීක්ෂණය කළා. අප විසින් නිරීක්ෂිත ගුහාවිහාර අපට පෙන්වා දෙන ලද්දේ මැනවින් ස්ථාපිත බෞද්ධ සම්ප්‍රදායක් ක්‍රිස්තු පූර්ව 250 පමණ වන විට ඒ ප්‍රදේශවල පැවති බවයි. මිහිඳු හිමියන් මෙරටට වැඩම කර නොබෝ කලකින් ඒ තරම් දුෂ්කර රට අභ්‍යන්තරයට බුදුදහම පැතිරී ගොස් තදබල ලෙස ස්ථාපනය වුණා යැයි සිතීම තර්කානුකූල නොවන බවයි මගේ හැඟීම. කල්තොට ප්‍රදේශයේ තිබෙන ඇතැම් කටාරම් සහිත ගල්ගුහාවල සෙල්ලිපි කොටා නැහැ. ඒවා ඉතා පැරණි කාලයකට අයත් බව පෙනෙන්නේ එවැනි ඇතැම් ගල්ගුහාවල කටාරම් සහිත පියස්ස පවා කඩා වැටී තිබිම නිසයි. සෙල්ලිපි සහිත ගල්ගුහා වඩාත් නූතන බවක් පෙන්නුම් කරනවා. මා සිතන්නේ සෙල්ලිපි සහිත ගල්ගුහා අපේ රටේ සමාජ පරිණාම ඉතිහාසයේ වඩාත් මෑත කාලයකට අයත් විය හැකි බවයි. මේ අදහස තහවුරු කිරීමට විද්‍යාත්මක පරීක්ෂා කිරීම් මාලාවක් අවශ්‍යයි. විශේෂයෙන්ම එක් එක් ගුහාවල අභ්‍යන්තර ස්ථීර විකිරණශීලී ක්‍රම මගින් කාලනිර්ණය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්. ඒ සඳහා අප ඉදිරි කාලයේදී කටයුතු කිරීමට නියමිතයි.
    ඔබ කියන මෙම ලෙන් හා බුදුදහම අතර සම්බන්ධයක් ඇතැයි කියන්නේ කෙසේද?
    සාමාන්‍යයෙන් ගල් ලෙනක වැහි වතුර ඇතුළට නොයනු පිණිස එහි කටාරම් කොටන්නේ බෞද්ධ භික්ෂූන්ට පූජා කරන විටයි. මෙම ලෙන්වල ද ඒ ආකාරයෙන් කටාරම් කොටා තිබෙනු නිරීක්ෂණය කළ හැකි වුණා. ඒ වගේම එම කටාරම් සහිත කොටස් කඩා වැටී තිබිමෙන් අපට පෙනී යන්නේ මෙම කටාරම් කොටා ඇත්තේ ඉතා පැරණි කාලයේදී බවයි. ඒ නිසා මෙම විහාර ලෙන් ඉතා පැරණි යුගයකට අයත් බව අපට අනුමාන කරන්න පුළුවන්.
    මහින්දාගමනයට පෙර මෙරට බුදුදහම පැතිරී තිබිණි නම් එය සිදුවූ අයුරු පැහැදිලි කිරීම අවශ්‍යයි. ඒ සඳහා ඔබට යම් ප්‍රවේශයක් තිබෙනවාද?
    ඒ සඳහා මහත් වෑයමක් දැරීම අවශ්‍ය වන්නේ නැහැ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් වරාය තෙක් යාත්‍රා කළ ශ්‍රී ලාංකික නැවියන් ගැන ඒ ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් පර්යේෂණය කළ විද්වතුන් විසින් සඳහන් කරනු ලැබ තිබෙනවා. ඒ නිසා ඉන්දීය සාගරයේ යාත්‍රා කිරීමට අපේ රටේ වැසියන් බොහෝ ඈත කාලයක සිට පුරුදු වී සිටියා. ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ රචිත මෙරට ඇතැම් සෙල්ලිපිවල ඉන්දියාවේ භාරුකච්ඡ තොටුපළට යාත්‍රා කළ නාවිකයින් ගැන සඳහන් කර තිබෙනවා. එය පිහිටා තිබෙන්නේ වර්තමාන ගුජරාට් ප්‍රදේශයේයි. පැරණි භාරුකච්ඡ වරායේ සිට පාටලී පුත්‍ර නගරය දක්වා සෘජු මාවතක් තිබුණා. මෙවැනි වරායන් වෙත යාත්‍රා කළ ශ්‍රී ලාංකික නාවිකයින්ට බුදුදහම ගැන වැටහීමක් ලබා ගැනීම අපහසු දෙයක් නොවෙයි. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයේ පවා ඉන්දීය සාගරයේ වෙළෙඳ කටයුතුවලට සහභාගි වූ තපස්සු-භල්ලුක ආදී වෙළඳුන් ගැන අපට අසන්නට ලැබි තිබෙනවා. නිසැකයෙන්ම මෙරටට බුදු දහම පිළිබඳ අදහස් ගලා එන්නට ඇත්තේ මෙම වෙළෙඳ සම්බන්ධතා හරහායි. සමහර විට ඉන්දීය සම්භවයක් තිබෙන බෞද්ධ ස්වාමීන් වහන්සේලා සිය ධර්මප්‍රචාරක කටයුතු සඳහා වෙළෙඳ යාත්‍රාවල නැගී මෙරටට වැඩම කරන්නට ඇතැයි සිතීම නිරර්ථක අදහසක් නොවෙයි. අපට එහෙම සිතන්නට ඉඩ නොදෙන්නේ සම්මත ඉතිහාසය මගින් අපේ සිත් තුළ ස්ථීර කොට තිබෙන ආකල්පය නිසයි.
    ඔබ පවසන පරිදි එවැනි බෞද්ධ සම්ප්‍රදායක් අපේ රටේ පැවතියේ නම් ඒ බව වංසකතාවලට ඇතුළත් නොවූයේ ඇයි?
    මගේ කල්පනාවේ හැටියට එය ඇතුළත් වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තෙවරක් මෙරටට වැඩම කළ බව ඓතිහාසික මූලාශ්‍ර පුන පුනා ප්‍රකාශ කර තිබෙනවා. ඒ සෑම අවස්ථාවකම උන්වහන්සේ මෙරටට වැඩම කොට තිබෙන්නේ එක්කෝ මෙරට වාසය කළ යක්ෂයින්ගේ
    ප්‍රශ්නයක් විසඳීමට. එසේත් නොවේ නම් නාගයින්ගේ ප්‍රශ්නයක් විසඳීමට. මේ යක්ෂ සහ නාග කියන නම්වලින් හඳුන්වා තිබෙන්නේ විජයාගමනයට පෙර මෙරට විසූ ස්වදේශික ප්‍රජාවයි. මෙවර ක්ෂේත්‍ර කටයුතුවලදී යක්ෂයින් විසින් කරවන ලද සෙල්ලිපියක් අපට සොයා ගත හැකි වුණා. ඉතා පැහැදිලි ලෙස ඔවුන් එම සෙල්ලිපියේ තමන්ගේ අනන්‍යතාව අකුරෙන්ම සඳහන් කර තිබෙනවා. නාග පරම්පරාවට අයත් සෙල්ලිපි රාශියක් ද දැනට ලංකාවේ කිහිප තැනකින්ම සොයා ගෙන තිබෙනවා. මෙම ස්වදේශික ප්‍රජාව බුදුදහම සමග දැක්වූ සබඳතාව මහාවංස කර්තෘවරයා දැන සිටියත් එය ප්‍රතිජානනාත්මක අර්ථයෙන් කීමට ඔහු උත්සාහ දරා නැහැ. එය මහාවංසය රචනා වූ සමයේ මේ රටේ තිබූ සමාජ - දේශපාලනික සංකථනයක ප්‍රතිඵලයක් විය හැකියි.
    ප්‍රාග් මහින්දාගමන සමයේ බුදුදහම ප්‍රචලිත වීම සම්බන්ධයෙන් බලංගොඩ කල්තොට ප්‍රදේශය විශේෂ වන බව ඔබ විශ්වාස කරනවාද?
    එය එසේ නොවෙයි. මේ රටේ කඳුකර ප්‍රදේශ බොහෝමයක මෙම පරිවර්තනය දකින්නට හැකි වෙතැයි මම විශ්වාස කරනවා. කල්තොට ප්‍රදේශය වැදගත් වන්නේ අපි දැනට ක්‍රමානුකූලව පරීක්ෂා කොට තිබෙන්නේ ඒ ප්‍රදේශය වන නිසායි.


    Source: http://www.lakbima.lk/index.php?opt...014-06-13-13-02-55&catid=58:urumaya&Itemid=80

    මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටයි...

    පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවයෝ මහින්දාගමනයට පෙර ලංකාවේ පැවැති ප්‍රභාමත් බෞද්ධ සංස්‌කෘතියක්‌ පිළිබඳ පුරාවිද්‍යා සාධක ඇසුරින් කථිකාවක්‌ ගොඩනගති.

    මහින්දාගමනය පමණක්‌ ඉස්‌මතු කර දැක්‌වීමට වංසකථා රචකයන් විසින් දරා තිබෙන උත්සාහය නිසා ඊට පෙර අවධියක මෙරට විසූ බෞද්ධයන් යටපත් වීම සිතාමතා කළ සාහසික ඓතිහාසික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌....

    කල්තොට, කූරගල සහ දියවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුහාවිහාර මිහි`දු හිමියන් පැමිණෙන අවධිය වන විටත් ස්‌ථාවරව පැවති බවට උපකල්පනය කළ හැකි සාධක තියනවා

    රටේ ක`දුකර ජනාවාසවල විසු ජනතාව මිහි`දු හිමියන් මෙහි වැඩම කිරීමට පෙර බුදුදහම හ`දුනාගෙන සිටි බව මහාවංසයේ කර්තෘවරයා පවා දැන සිටියා.

    ප්‍රශ්නය - බුදුන්වහන්සේගේ පහළවීම බෞද්ධ බැතිමතුන් වන අපට නිසැක කාරණාවක්‌. එහෙත් තර්කයෙන් ලෝකය දකින බටහිර චින්තනය තුළ යමක්‌ පිළිගැනීමට තහවුරු කිරීමක්‌ අවශ්‍යයි. බුදුන්වහන්සේගේ ධරමාන සමය පිළිබිඹු කරන, බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය ඉන්දියාව තුළ සිද්ධවන ආකාරය හෙළිකරන, පුරාවිද්‍යාත්මක සාධක මොනවාද

    පිළිතුර - ගෞතම බුදුන්වහන්සේගේ ඓතිහාසිකත්වය ගැන ඇතැම් බටහිර විද්වතුන් අතර නොයෙක්‌ මතවාද තිබුණා. ඒ අතරින් සමහර දෙනා කල්පනා කළේ බුද්ධ යන සංකල්පය පවා නිර්මිතයක්‌ බවයි. බෞද්ධ දර්ශනය යනු එක්‌ පුද්ගලයකු විසින් අවබෝධ කර ගන්නා ලද එකක්‌ නොව දීර්ඝකාලයක්‌ තිස්‌සේ ඉන්දීය සමාජය තුළ පැවති දාර්ශනික අදහස්‌ මාලාවක සම්පිණ්‌ඩනයක්‌ ලෙස පැහැදිලි කිරීමට ඔවුන් වෑයම් කළා. මෙවැනි අදහස්‌ මතුවීමට බල පෑ ප්‍රධාන හේතුව නම් බෞද්ධ දර්ශනයේ තිබෙන පු`ඵල් ගැඹුරු චින්තාවයි. සමස්‌තය ආවරණය වන පරිදි ලෝකයේ සෑබෑ ස්‌වරූපය සහ මිනිසාගේ ඉරණම පිළිබ`ද එවැනි හේතුඵල දහමක්‌ තනි පුද්ගලයෙකුගේ මනසට ග්‍රහණය වීම විය නොහැක්‌කක්‌ ලෙසයි ඔවුන් කල්පනා කළේ.

    එවැනි අදහස්‌වල තිබෙන නිරර්ථක බව පෙන්වා දීමට යොදා ගත හැකි ප්‍රබලතම සාක්‌ෂියක්‌ වන්නේ ගෞතම බුදුන්වහන්සේගේ ජීවමාන සමයට අයත්ව පැවති බවට බෞද්ධ සාහිත්‍යයේ විස්‌තර කරන ස්‌ථානවලින් හමු වී ඇති පුරාවිද්‍යාත්මක සාක්‌ෂි යි. අප ගෞතම බුදුන්වහන්සේට ජීවක වෙදැදුරු විසින් ආරාමයක්‌ පුජා කරන ලද බවත් එය ජීවකාරාමය නමින් හ`දුන්වන ලද බවත් බෞද්ධ ඉතිහාසයේ විස්‌තර වෙනවා. මේ ගොඩනැගිල්ලේ නටබුන් සොයා ගැනීමට ඉන්දීය පුරාවිද්‍යාඥයින් සමත් වුණා. අද එය තහවුරු කොට මහජන ප්‍රදර්ශනය ස`දහා විවෘත කර තිබෙනවා. ඊට අමතරව සිද්ධාර්ථ කුමරු ඉපදුනු ලුම්බිණියේ ඓතිහාසිකත්වයත් මේ වන විට තහවුරු වී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් වැදගත් වන අනෙක්‌ සාක්‌ෂිය ලෙස සැලකිය හැක්‌කේ ඉන්දියාවේ පිප්රාවා නම් ස්‌ථානයෙන් සොයා ගත් ධාතු කර`ඩුවයි. එය එතැන තිබූ පැරණි ස්‌තූපයක්‌ කැණීමේදී සොයා ගන්නා ලද්දක්‌. එම ධාතුකර`ඩුවේ යට බ්‍රාහ්මී අක්‌ෂරකින් පාඨයක්‌ කොටා තිබුණා. එම ධාතුකර`ඩුවේ අඩංගු භෂ්මාවශේෂ ශාක්‍යමුනි බුදුන්ගේ බවත් එය තැන්පත් කරන ලද්දේ උන්වහන්සේගේ ඥාතීන් වන සුකීර්ති පවුලේ සාමාජිකයින් විසින් බව එහි ස`දහන් කර තිබෙනවා. ගෞතම බුදුන්වහන්සේ පිළිබ`ද තව බොහෝ පුරාවිද්‍යාත්මක සාධක තිබෙනවා. ඒ වුනත් මා කල්පනා කරන්නේ අපට වඩා වැදගත් වන්නේ උන්වහන්සේගේ ඓතිහාසිකත්වය සෙවීමට වඩා උන්වහන්සේගේ දර්ශනය නිසි පරිදි ජීවන දැක්‌මට අනුගත කර ගැනීම කියලයි.

    ප්‍රශ්නය- මහින්දාගමනයට පෙර මෙරට බුදුදහම පැවතුන බව ඔබ කියනවා. එහි පදනම කුමක්‌ ද?. ඔබට අනුව මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටද?.



    කූරගල ලෙන..



    පිළිතුර - මා එසේ අදහසක්‌ ප්‍රකාශ කළ බව සැබෑවක්‌. ඊට පදනම් වුණේ මේ දිනවල මවිසින් පවත්වා ගෙන යන පුරාවිද්‍යාත්මක ගවේෂණයක්‌. මීට පාදක වී තිබෙන්නේ මධ්‍ය ක`දුකරයේ දකුණු බෑවුම තැනිතලාවට සේන්දු වන කල්තොට සහ දියවින්න ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ ක`දුකරයේ බෑවුම් ප්‍රදෙAශය ඉතා පරීක්‌ෂාවෙන් අප සොයා බැලුවා. මෙහිදී මා නිරීක්‌ෂණය කළ විශේෂිත කාරණය වන්නේ කල්තොට සිට කොට්‌ටිඹුල්වල දක්‌වා කිලෝමීටර 12 කට වැඩි දිගකින් යුත් ප්‍රදේශයක විහිදෙන ක`දුබෑවුම්වල අවම තරමින් ගුහාවිහාර 200 කට ආසන්න ප්‍රමාණයක්‌ පිහිටා ඇති බවයි. ඒ අතුරින් 50 කට ආසන්න ප්‍රමාණයක්‌ අප විසින් දැනට පරීක්‌ෂා කොට ක්‍රමානුකූල වාර්තාගත කරනු ලැබ තිබෙනවා.

    මේ රටේ ගුහාවිහාර ගැන මෙතෙක්‌ තිබුණේ එකම අදහසයි. මිහි`දු හිමියන්ගේ වැඩම කිරීමෙන් පසු ගුහා විහාර සම්ප්‍රදාය ආරම්භ වූ බවත් එහෙයින්ම ඒවායේ කොටා තිබෙන සෙල්ලිපි උන්වහන්සේගේ ආගමනය සිදු වූ කාලයට සම්පාත වන හෙයින් ඒවා ක්‍රිස්‌තු පූර්ව 250 හෝ ඒ ආසන්න කාලයකට අයත් වන බවයි. මහාධිරාජ අශෝක විසින් ඉන්දියාව පූරා පිහිටුවන ලද සෙල්ලිපි මීට සමාන කාලයකට අයත් වන නිසාත් ඒවා ලියා තිබෙන බ්‍රාහ්මී අක්‌ෂර මෙරට ගුහාවිහාරවල කොටා ඇති සෙල්ලිපිවල දක්‌නට තිබෙන අක්‌ෂර සමග සැසදෙන නිසාත් මෙම අදහස ප්‍රශ්න කිරීමට කවුරුත් උත්සාහ ගත්තේ නැහැ. ඇත්තෙන්ම මෙම අදහස ව්‍යාප්ත වුණේ ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී සෙල්ලිපි ගැන අතිවිශිෂ්ට ශාස්‌ත්‍රීය ප්‍රකාශනයක්‌ කළ මහාචාර්ය සෙනරත් පරණවිතානයි.

    අප විසින් දැනට පවත්වා ගෙන යන ගවේෂණයෙන් අනාවරණය වී තිබෙන සහ වෙමින් තිබෙන සාක්‌ෂි අනුව මා විසින් නගන ප්‍රධාන ප්‍රශ්න දෙකක්‌ තිබෙනවා. ඉන් පළමුවැන්න නම් ගල්ගුහාවක්‌ මහාසංඝරත්නයට පූජා කිරීමේදී ගල්ගුහාවක කටාරමට යටින් සෙල්ලිපියක්‌ කෙටීම සහ නොකෙටීම තීරණය වූයේ කුමන සාධකයක්‌ පදනම් කර ගෙන ද යන්නයි. සෙල්ලිපි නොකෙටු ගල්ගුහාවල දක්‌නට තිබෙන කටාරම් වැඩිමනක්‌ම අතිශයින් ර`ඵ නිමාවක්‌ තිබෙන හා දැඩි ලෙස ඛාදනය වූ ඒවා බව නිරීක්‌ෂණය කළ හැකියි. මෙය සෙල්ලිපි කොටා තිබෙන ගුහාවලට වඩා වෙනස්‌ තත්ත්වයක්‌. සෙල්ලිපි කොටා තිබෙන ගල්ගුහාවල ඉතා ක්‍රමවත් නිමාවක්‌ දක්‌නට තිබෙනවා. සමහර විට සෙල්ලිපි නොමැති ගුහා සෙල්ලිපි සහිත ගුහාවලට වඩා පැරණී වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.

    ප්‍රශ්නය - මෙය විද්‍යාත්මක නිරීක්‌ෂණයක්‌ ලෙස ඔබ සලකනවාද?.

    පිළිතුර - ඇත්ත. මෙය එතරම් විද්‍යාත්මක නිරීක්‌ෂණයක්‌ නොවෙයි. මෙම කල්පිතය වඩාත් හො`දින් පැහැදිලි කිරීමට නම් එවැනි ගුහා දෙකක්‌ කැණීම් කොට ඒවායේ අභ්‍යන්තර ස්‌තර නිරීක්‌ෂණය කළ යුතුව තිබෙනවා. ඉදිරියේදී අප ඒ ස`දහා කටයුතු කිරීමට අදහස්‌ කරනවා. අනෙක්‌ කාරණය වන්නේ කල්තොට, දියවින්න ආදී රට අභ්‍යන්තරයේ පිහිටි ප්‍රදේශවල මිහි`දු හිමියන් වැඩම කළ ආසන්න යුගයේදීම මේ තරම් තදබල බෞද්ධ සම්ප්‍රදායයක්‌ ස්‌ථාපනය වූයේ කෙසේ ද යන්නයි. ඊට පසුබිම් වූ හේතු ඉතිහාසය තුළ තවමත් අප්‍රකටයි. මා මෙහිදී තදබල යන වචනය මෙහිදී භාවිත කරන්නේ හේතු සහිතවයි. අප දැනට මේ ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙන ඇතැම් ලිපිවල අන්තර්ගතය රටේ අන් කිසිදු ප්‍රදේශයක තිබෙන සමකාලීන ලිපිවල අන්තර්ගත දැවලට වඩා වෙනස්‌ බව පෙනෙනවා. ඒ වෙනස්‌කම පිළිබිඹුවන්නේ බුදුදහමේ තිබෙන ඇතැම් ගැඹුරු අදහස්‌ උපුටා දැක්‌වීමට එම ලිපි කරවූ දායක කාරකාදීන් විසින් දරා තිබෙන උත්සාහය වෙත සැලකිල්ල යොමු කරන විටයි. නිදසුනක්‌ ලෙස දක්‌වන්නේ නම් කිරිමකුල්ගොල්ලෙන් අප සොයා ගත් ලිපියක එය කර වූ තැනැත්තා අදාළ ගල්ගුහාව හඳුන්වා තිබෙන්නේ පටිභාන කුටිය යන නමින්. පටිභාන යන වචනය විවිධ අදහස්‌ දෙන්නක්‌. පාරිශුද්ධත්වය හැ`දින්වීමටත් එහි පර්යාය පදයක්‌ ලෙස එය පාලි සාහිත්‍යයේ යෙදී තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි පද හමුවන්නේ ගැඹුරු ධර්මශාස්‌ත්‍රිය සාහිත්‍යය තුළයි. තවත් සෙල්ලිපියක්‌ කෙට වූ තැනැත්තා එය පූජා කොට තිබෙන්නේ අපරිමිත ලෝකධාතුවේ වෙසෙන මහා සංඝරත්නය වෙතයි. ශ්‍රී ලංකාවේ ගුහාවිහාරවල දක්‌නට තිබෙන සෙල්ලිපි අතර මෙවැනි අදහසක්‌ ලියා තිබෙන එකම තැන මෙම සෙල්ලිපියයි. වෙනත් තැන්වල එය කියා තිබෙන්නේ සතරදිශාවෙන් ආවා වූ ද නොආවා වූද මහා සංඝයාට පූජා කළ හැටියටයි. කෙසේ වුවත් කල්තොට ප්‍රදේශයේ විසු දායකයින් සම්ප්‍රදායෙන් පිටත සිට කල්පනා කළ බව මින් පැහැදිලියි. ඉන් පිළිබිඹු වන්නේ ධර්මය ගැන ඔවුන් සතුව තිබූ ගැඹුරු අවබෝධයයි. මිහි`දු හිමියන් පැමිණි කාලයේම මෙතරම් ස්‌ථාවර ලෙස බුදුදහම මෙතරම් රට අභ්‍යන්තරයේ ස්‌ථිර වීම විශ්වාස කළ නොහැක්‌කක්‌. අනෙක්‌ අතට එවැනි තත්ත්වයක්‌ හදිසියේ ඇති විය නොහැක්‌කක්‌ බව කාට වුවත් පහසුවෙන් වටහා ගත හැකි කාරණයක්‌. මගේ අදහස නම් කල්තොට, කූරගල සහ දියවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුහා විහාර මිහි`දු හිමියන් පැමිණෙන අවධිය වන විටත් ස්‌ථාවරව පැවති බවයි. එවැනි ස්‌ථාවරයකට නොපැමිණ මෙම ප්‍රදේශයේ ගුහා විහාර විස්‌තර කළ නොහැකියි.

    අනෙක්‌ අතට මෙම ප්‍රදේශයේ තිබෙන සෙල්ලිපිවල දක්‌නට තිබෙන ඇතැම් අක්‌ෂර රූප රටේ වෙනත් තැන්වල තිබෙන සමකාලීන සෙල්ලිපිවල තිබෙන අක්‌ෂරවලට වඩා ඇතැම් සු`ඵ වෙනස්‌කම් පෙන්නුම් කරනවා. ඒ වෙනස්‌කම් සු`ඵ වුවත් ඉන් ප්‍රකාශිත අර්ථය ඊට වඩා විශාල වීමට බෙහෙවින් ඉඩ තිබෙනවා. ඒ ගැන යමක්‌ කිව යුත්තේ හො`දින් ඒ ගැන අධ්‍යයනය කිරීමෙන් පසුවයි.

    ප්‍රශ්නය- මිහි`දු හිමියන් මෙහි වැඩම කරවීමට පෙර ඔබ දැනට ගවේෂණ කටයුතු පවත්වා ගෙන යන බලංගොඩ ආශ්‍රිත රට අභ්‍යන්තරයට බුදුදහම ව්‍යාප්ත වූ ආකාරය ඔබ කියනවා. මහින්දාගමනයට පෙර සිද්ධවුණා යෑයි කියන මේ බුදුදහමේ ව්‍යාප්තිය සම්බන්ධ තර්කය සම්බන්ධ ප්‍රමාණවත් පැහැදිලි කිරීමක්‌ කළ හැකි ද?

    පිළිතුර - මේ සම්බන්ධයෙන් පළමුව මා කිව යුත්තේ දැනට මා ගවේෂණය කරන ප්‍රදේශය පමණක්‌ මීට අදාළව සුවිශේෂි භූගෝලීය කලාපයක්‌ ලෙස අවධාරණය කිරීමට මගේ අපේක්‌ෂාවක්‌ නොමැති බවයි. ක`දුකර ප්‍රදේශ ආශ්‍රිත රටේ සෙසු කලාපවලත් මෙවැනිම තත්ත්වයක්‌ පවතින බව මහාචාර්ය පරණවිතාන විසින් මීට පෙර ප්‍රකාශයට පත් කර තිබෙන සෙල්ලිපිවල භූගෝලීය ස්‌ථානගත වීම සැලකිල්ලට ගත් විට පෙනෙනවා. එසේ වුවත් මහාචාර්ය පරණවිතාන එහි පවතින සුවිශේෂීතාව යම් හේතුවක්‌ නිසා නිරීක්‌ෂණය කර නොමැති බව පෙනෙනවා.

    ඔබ ඇසූ ප්‍රශ්නයට සෘජු පිළිතුරක්‌ දීමට තරම් මේ සම්බන්ධයෙන් මගේ අදහස්‌ තවමත් පරිණත වී නැහැ. ඊට ශාස්‌ත්‍රීය විශ්ලේෂණයක්‌ අවශ්‍යයි. එය කළ හැකිවන්නේ මා ක්‌ෂෙත්‍රයෙන් පිට වී මගේ පුස්‌තකාලයට පැමිණි විටයි. තත්ත්වය එසේ වුවත් ඒ පිළිබ`ද අදහස්‌ කිහිපයක්‌ මා තුළ තිබෙනවා. එය අදාළ වන්නේ ඉතා ඈත කාලයකදී එනම් අඩුම තරමින් ක්‍රිස්‌තු පූර්ව 450 තරම් ඈත කාලයකදී වෙළෝදාම ස`දහා ඉන්දීය සාගරයේ යාත්‍රා කළ මෙරට යාත්‍රිකයින්ගේ ගමන්වලටයි. ඇතැම් විට ඔවුන් ඒ වෙළෝද ගමන්වලදී බෞද්ධ දර්ශනයට අයත් මූලික ඉගැන්වීම් ගැන අවධානය යොමු කරන්නට ඇති බව පෙනෙනවා. මේ රටේ ක`දුකර ප්‍රදේශවල ජනාවාස පැතිරීම පිළිබ`ද ඉතිහාසය දැන් ක්‍රිස්‌තු පූර්ව 2400 දක්‌වා පු`ඵල් කිරීමට මගේ පර්යේෂණවලට හැකි වී තිබෙනවා. ඔවුන් නව ආගමික ඉගැන්වීමක්‌ ගැන උනන්දු වීම පුදුමයට කරුණක්‌ නොවෙයි. මේ ක`දුකර ජනාවාසවල විසූ ජනතාව මිහිඳු හිමියන් මෙහි වැඩම කිරීමට පෙර බුදුදහම දැන සිටි බව මහාවංසයේ කර්තෘවරයා පවා දැන සිටි බව පෙනෙන්නේ බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වීමේ සිද්ධියට මෙරට ක`දුකරයේ විසූ යක්‌ෂයින් සම්බන්ධ කර තිබීමෙන්. බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්‌ථාවේ ක`දුකරයේ සිටි යක්‌ෂයින් බුරුතු පිටින් උන්වහන්සේ දැකීමට ගිය බව මහාවංසය රචනා කළ අවධියට වඩා පසුකාලයකට අයත් සමන්තකූට වර්ණනාවේ ස`දහන් කර තිබෙනවා.

    බුදුරජාණන් වහන්සේ විසින් යක්‌ෂයින් ගිරිදිවයිනට පලවා හැරි බවට වංසකථාවල දැක්‌වෙන ප්‍රවෘත්තිය මට පෙනෙන්නේ මිහි`දු හිමියන්ගේ ආගමනය ඉස්‌මතු කර හුවා දැක්‌වීමට වංසකථාකරුවන් විසින් දරන ලද දේශපාලනික උත්සාහයක්‌ ලෙසයි. යක්‌ෂයින් යනුවෙන් මෙහි අදහස්‌ කර තිබෙන්නේ ක්‍රිස්‌තු පූර්ව 2400 පමණ ඈත කාලයක සිට ක`දුකර ප්‍රදේශවල වාසය කළ මෙරට ස්‌වදේශීය පිරිසයි. ඔවුන් ඉතා ඈත කාලයකදී එනම් මීට අවුරුදු 1 25000 කට පමණ පෙර මෙරට ජනාවාස කළ ආද්‍ය හෝමෝසාපියන්වරුන්ගේ ජාන සංචිතයට අයත් වූවන් බව මෙතෙක්‌ අප කළ පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් යක්‌ෂයින් ගිරිදිවයිනට පලවා හැරීම යනු ඔවුන් බෞද්ධ සම්ප්‍රදායයෙන් පිටමං කිරීමට දරන ලද සවිඥානික උත්සාහයක්‌ ලෙස මා දකිනවා. අප ගෞතම බුqදුරජාණන් වහන්සේ වැනි මහාකාරුණිකයන් වහන්සේ කෙනෙකු මෙරටට වැඩම කොට මෙහි ස්‌වදේශික වැසියන් බිය ගන්වා පලවා හැරීම පිළිබ`ද සිද්ධිය මගින් උන්වහන්සේගේ කරුණාව ඉක්‌මවා වංසකථා රචනා කළ ඉන්දීය සම්ප්‍රදායට ලැදි කර්තෘවරුන් දේශීය ජනයා සහ සම්ප්‍රදාය සම්බන්ධයෙන් දැක්‌ වූ වෛරී ආකල්පය පැහැදිලි වෙතැයි මා සිතනවා.

    ප්‍රශ්නය - අවසාන වශයෙන් ඔබෙන් ඇසිය යුතු වන්නේ මෙයයි. මහින්දාගමනය පුරාවිද්‍යාත්මකව තහවුරු කළ හැකි යථාර්ථයක්‌ද?. නොඑසේනම් උත්කර්ෂවත් සාහිත්‍යයික නිර්මාණයක්‌ද?

    පිළිතුර- එය වැරදි අදහසක්‌. මහින්දාගමනය යනු මෙරට සංස්‌කෘතිය වෙත තීරණාත්මක බලපෑමක්‌ ඇති කළ ඓතිහාසික සිද්ධියක්‌. එය පුරාවිද්‍යාත්මකව සනාථ කිරීමට අවශ්‍ය සාධක තිබෙනවා. අම්පාර රජගලකන්දේ පිහිටි "යෙ ඉමදිප පඨමය ඉදිය අගතන" යන සෙල්ලිපිය ඊට කදිම නිදසුනක්‌. මා මෙහිදී අදහස්‌ දක්‌වන ලද්දේ ඊට පෙර පැවති තත්ත්වය පිළිබ`දවයි. මිහිඳු හිමියන් මෙහි වැඩම කළ විගස මේ රටේ බුදුදහම ඉතා හොඳින් පැලපදියම් වුණේ ඊට පෙර අවධියක සිට බුදුදහම මෙරට වැසියන්ට ආගන්තුක නොවූ නිසා යෑයි කල්පනා කිරීම සාධාරණයෑයි මම සිතනවා. මහින්දාගමනය පමණක්‌ ඉස්‌මතු කර දැක්‌වීමට වංසකථා රචකයින් විසින් දරා තිබෙන උත්සාහය නිසා ඊට පෙර අවධියක මෙරට විසූ බෞද්ධයින් යටපත් වීම සිතාමතා කළ සාහසික ඓතිහාසික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ ලෙසයි මා දකින්නේ. මේ ගැන මීට වඩා තොරතුරු හෙළිදරව් කිරීමට අපට තව කාලයක්‌ අවශ්‍යයි.

    සංවාද සටහන
    ජානක ලියනආරච්චි

    Source:http://www.divaina.com/2014/06/08/feature01.html
     
    • Like
    Reactions: castellain

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    මිහිඳු හිමියන් වඩින්නට පෙර විතරක් නෙමෙයි බං සිදුහත් උපතටත් කලින් ඉදං මේකේ බුද්දාගම තිබ්බා කියනවනි​

     
    • Haha
    Reactions: Bandolero1

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain

    මිහිඳු හිමියන් වඩින්නට පෙර විතරක් නෙමෙයි බං සිදුහත් උපතටත් කලින් ඉදං මේකේ බුද්දාගම තිබ්බා කියනවනි​