මුරලි මෙරටදී යැවූ අවසන් පන්දුවෙනුත් පෙළහර පායි
කිසිදා නොසිඳුණු කඩුළු උල්පත සමුගත්තෙත් වාර්තාවක් සමගින්
ලොව එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ලංකාව වෙනුවෙන් මෙරටදී තරග වැදුණු අවසන් එක්දින තරගයේ අවසන් පන්දුවේදී තමාගේ දක්ෂතා සිඳී නොමැති බව යළිත් විදහා පාමින් අපූර්ව වික්‍රමයක් පෑවේය.
එනම්, ඔහු මෙරටදී යැවූ අවසන් පන්දුවේදී නවසීලන්තය වෙනුවෙන් අද දිනයේ වැඩිම ලකුණු රැස්කළ ස්කොට් ස්ටයිරීස්ගේ (ලකුණු 57) කඩුල්ල දවා ගනිමිනි.
ස්ටයිරීස් කඩුළුල්ල මුවා කිරීමේ වරදට දැවී යනවිට ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් පැවසුවේ සිය ටෙස්ට් දිවියේ අවසන් පන්දුවේදීද කඩුල්ලක් දවාගත් මුරලි අවිවාදයෙන්ම ලොව බිහිවූ අද්විතීයම පන්දු යවන්නා බවයි.
ශ්‍රී ලංකාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් මුරලි ලංකාව වෙනුවෙන් තවත් එක්දින තරගයක් ක්‍රීඩා කිරීමට නියමිත අතර එය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේයි.
නවසීලන්ත ඉනිම නිමාවී ක්‍රීඩාගාරය වෙත පියනගන විට සිය හිස් වැසුම ගලවා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට රැස්ව සිටි දහසකුත් නරඹන්නන්ට ආචාර කිරීමට මුරලි අමතක නොකළේය.
මෙම තරගයේදී නවසීලන්තය පන්දුවාර 48.5 කදී සියල්ලන් දැවී ලකුණු 217 ක් රැස්කළ අතර මුරලි පන්දුවාර 10 කදී ලකුණු 42 කට කඩුළු 02 ක් දවා ගත්තේය.

