"මුලින් නිෂ්පාදකවරු මාව ප්‍රතික්ෂේප කළා,

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    "මුලින් නිෂ්පාදකවරු මාව ප්‍රතික්ෂේප කළා,

    මුල්ම කැසට්‌ එක කළේ බිරිඳගේ රත්තරන් බඩු උකස්‌ කරලා..

    අපි පිටකොටුවට ඇවිත් රුපියල් දහයක කෑම කෑවා..

    ඒ වෙනකම් මම දැනගෙන හිටියෙත් නැහැ මම කව්ද කියලා.. දශක ගණනකට පෙර...

    දශක ගණනකට පෙර කණ්ඩායම් සංගීතයට ඇතුළත් වෙන කිර්ති පැස්කුවල් බොහෝ දෙනෙක් ආදරේ කරන ගායකයෙක් බවට පත් වෙනවා. සංගීතයේ සිටින ලයාන්විත හඩට බොහෝ දෙනා ආදරේ කරන්න පටන් ගන්නේ "කදුළ ඉතිං සමාවෙයන් " ගීතයත් එක්කයි. මේ ඔහු ගැන අතීතයේ තොරතුරු පුවත්පතක සදහන් වූ අයුරුයි.

    මගේ පුංචි අම්මාගේ පුත්‍රයා වන බන්දුල රණසිංහ හා අපි කිහිප දෙනෙක්‌ එකතු වෙලා පොඩි සංගීත කණ්‌ඩායමක්‌ පිහිටුවා ගත්තා. මගේ පුංචි අම්මාගේ පුතා තමයි මට ඉස්‌සරවෙලාම ගිටාරයේ කෝඩ් එකක්‌ කියලා දුන්නේ. හේලියන්ස්‌ සංගීත කණ්‌ඩායමේදීයි මම පළමු වරට වේදිකාවක ගීතයක්‌ ගායනා කළේ. ඒ සනත් නන්දසිරි මහතාගේ මහද වීණා ගීතයයි. ඉන්පසුව නුවර අවට පොඩි පොඩි උත්සව වලට අපි සංගීතය සැපයුවා. මේ වෙත්දී අපේ සංගීත භාණ්‌ඩ වල ප්‍රමිතිය වැඩිවෙන්න පටන් ගත්තා. හැබැයි අපිට ඒ කාලේ නුවර සංගීතය ඉගෙන ගන්න තැනක්‌ තිබුණේ නැහැ. අපි දන්න දේවල් තමයි අපි බෙදාගත්තේ.

    මගේ අයිය පද්මසිරි පැස්‌කුවෙල් එයා කොළඹ ගිහින් සංගීතය ඉගෙනගෙන ආව නිසා එයාගෙන් අහල අපි ඉගෙනගත්තා. මගේ අයියා ෆොචූන්ස්‌ වාදක කණ්‌ඩායමේ ගිටාර් වාදකයෙක්‌ව හිටියා. 74 අවුරුද්දේ අයියා විදේශගත වෙනවා. ඔය කාලෙම පෝචූන්ස්‌ වාදක කණ්‌ඩායමේ ස්‌ටැන්ලි පීරිස්‌ මහතාට පෙයාලඩින් කියන මහත්මයෙක්‌ ඇරයුම් කරනව අලුත් සංගීත කණ්‌ඩායමක්‌ අරඹන්න. 76 අවුරුද්දෙ මට අවස්‌ථාව ලැබෙනවා ස්‌ටැන්ලි පීරිස්‌ මහතා අරඹන ගැලැක්‌සීස්‌ කණ්‌ඩායමේ බේස්‌ ගිටාරය වාදනය කරන්න. එතැනදී තමයි මට රූකාන්න ගුණතිලක, මහින්ද බණ්‌ඩාර හමුවන්නේ. අපි තුන්දෙනාම නුවර ගැලැක්‌සීස්‌ කණ්‌ඩායමේ. අපි වාදකයෝ විදිහට කටයුතු කළා. ඒ කාලෙ අපි ප්‍රසිද්ධ නැහැ.

    මට ඉස්‌සරවෙලාම පටිගත කිරීමකට බේස්‌ ගිටාරය වාදනය කරන්න අවස්‌ථාව ලැබුණේ ග්‍රේෂන් ආනන්ද මහත්මයා බිසොප් පැලස්‌ ජුනියර් ශබ්දාගාරයේදී ඒ ග්‍රේෂන් ආන්නදගේ ඈත දුරක දෑස පාවෙලා ගීතයේ පිටගත කිරීමේදී. ඒ කාලෙ එක ගීතයකට වාදනය කළාම රුපියල් විසිපහක්‌ ලැබෙනවා. මහින්ද බණ්‌ඩාරයි මමයි සරත් වික්‍රමයි ගීත හතරකට වාදනය කළා. එතැනදී එක්‌කෙනෙකුට රුපියල් සීයක්‌ ලැබෙන්න ඕනෑ. නමුත් අපි තුන්දෙනාටම ලැබුණේ රුපියල් සියයයි. රුපියල් සීය තුනට දෙන්න බැහැනේ. අපි පිටකොටුවට ඇවිත් රුපියල් දහයක කෑම කෑවා. ඊට පස්‌සෙ ඉතිරි රුපියල් 90 රුපියල් තිහ ගානෙ තුනට බෙදාගත්තා.

    කොළඹ ආවට පස්‌සෙ මම පැටි්‍රක්‌ දෙණිපිටිය මහතාගේ සංගීත කණ්‌ඩායමේ ගායකයෙක්‌ විදිහට කටයුතු කළා. ඊට පස්‌සෙ ගල්කිස්‌සේ තිබුණ මවුන්ට්‌ චයිම්ස්‌ කියන සංගීත කණ්‌ඩායමේ බේස්‌ ගිටාර් වාදකයා විදිහට වැඩ කළා. සුනිල් ඇන්ඩ් ද ට්‍රැන්ගල් සංගීත කණඩායමේ වාදනය කළා. ඔය අතරේ පටිගත කිරීම් වලට සහභාගිවෙනකොට ඉඩ ලැබෙන වෙලාවල් බලල මගේ ගීතයකුත් පටිගත කරනවා. මගේ මුල්ම ගීතය පටිගත කිරීමට අවස්‌ථාව ලැබුණේ අමිල ලේබලයෙන් නිකුත්කළ කැසට්‌ පටයකට ඒ 1981 දී. හන්තාන මේ කඳුවැටිය අතරේ තමයි ඒ ගීතය. කේ. ඒ. ධර්මසේන මහත්මය තමයි මට මේ අවස්‌ථාව ලබාදුන්නෙ. එය තමයි මගේ මුල්ම පටිගත කළ ගීතය. 81 අවුරුද්දෙන් පස්‌සෙ ස්‌ටැන්ලි පීරිස්‌ රූකාන්ත මහින්ද බණ්‌ඩාර මිල්ටන් පීරිස්‌ ලෝරන්ස්‌ ප්‍රනාන්දු වැනි මගේ සහෝදර වාදන ශිල්පීන් මා වෙනුවෙන් ගීත පටිගත කළා.

    මම මගේ ගීත කැසට්‌ පටයකට එකතු වුණාට පස්‌සෙ මම කැසට්‌ නිෂ්පාදකවරු ළගට ගියා කැසට්‌ පටයක්‌ කරන්න ඉල්ලීම් කරමින්. නමුත් කැසට්‌ නිෂ්පාදකවරු මාව ප්‍රතික්‌ෂේප කළා. බැරිම තැන මගේ බිරිඳගේ කණකර උගස්‌ කරල අතේ තියෙන සියලුම මුදල් ටික යොදවලා මගේ මුල්ම කැසට්‌ පටය නිෂ්පාදනය කළේ.

    83 අවුරැද්දෙ මගේ නීල අහසෙ කියන ගීතය විකාශය වුණා. පී. එල්. ඒ. සෝමපාල මහත්මය තමයි මට ඒ අවස්‌ථාව ලබාදුන්නේ. ඒ ගීතය රූපවාහිනියේ ප්‍රචාරය වීමත් සමඟම රසිකයන් අතරේ උන්මාදනීය ජනප්‍රියත්වය මා කරා ළඟා වෙන්න පටන් ගත්තා. ඊට පස්‌සෙයි මගේ මුල්ම කැසට්‌ පටය වෙළෙඳ පොළට නිකුත් කළේ. මට මතක එදා මගේ ගීත කැසට්‌ එක නිෂ්පාදනය කිරීම ප්‍රතික්‌ෂේප කරපු පිරිස පෝලිමට එතැනට ඇවිත් හිටියා. ඒ කැසට්‌ පටය රැගෙන යන්න. . ඒක මට ලොකු අත්දැකීමක්‌ වුණා. ඒ දේවල් එලෙස සිදුවුණේ මගේ උත්සාහය නිසා වුණත් රූපවාහිනියේ මාව දැක්‌කට පසුවයි මම ඒ තරම් ජනප්‍රිය වුණේ. ඊට පස්‌සෙ නීල අහසේ කැසට්‌ පටයේ ගීත 12 ම ජනප්‍රිය වුණා. ඉන් පසුව නිකුත් වුණ තරු දහසක්‌ ගීත 14 සදලතා නිල් උපුලි මේ හැම කැසට්‌ පටයකම තිබුණ ගීත වලින් සියයට අනූවක්‌ විතර ජනප්‍රිය වුණා. එදා කැසට්‌ පටයකට ගයන ගීතවලින් සියයට අනූවක්‌ම මිනිසුන් අතරට යනවා. මොකද එදා සීමිත මාධ්‍ය ප්‍රමාණයක්‌ තිබුණත් අපේ නිර්මාණයක්‌ මාධ්‍යයට ලබා දුන්නම ඒවා ප්‍රචාරය වෙනවා.

    89 අවුරුද්දෙ ෆොචූන් වාදක කණ්‌ඩායමෙන් අයින් වෙලා සුපර් පෝචුන් කණ්‌ඩායමට බැඳුණා. ඒ එක්‌කම රටේ ඇතිවුන යුදමය වාතාවරණය එක්‌ක අපිට සංගීත ක්‍ෂේත්‍රයේ වැඩ අඩුවුණා. ඉන්පසුව අනිත් කලාකරුවන් වගේම මමත් වෙනත් ව්‍යාපාරවලට යොමුවුණා. ඔය අතරෙ මම පටන් ගත්ත ඇගලුම් අපනයනය කිරීමේ ව්‍යාපාරය සාර්ථක වුණා. ඉන් පසුවයි මම නවසීලන්තයට ගියේ.

    නවසීලන්තයේදීත් මම කළේ කලා කටයුතු. ඒ වෙනකොට එහෙ හිටිය ප්‍රියානන්ද විඡේසුන්දර සුමිත්‍රා රාහුබද්ද යන කලාකරුවන්. ඔවුන් සමඟ මම ගුවන්විදුලි නාලිකාවක්‌ පවත්වාගෙන ගියා. සංගීත කණ්‌ඩායම කරා. නැවත මම අවුරුදු 4 කින් ලංකාවට එද්දී ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයට විවිධ රැලි ඇවිත් තිබුණා. මල් ගීත රැල්ල තමයි ප්‍රබලවම තිබුණේ. ටික කාලයක්‌ මම බැලුවා. මම යළිත් සංගීතයට එනවද වෙන දෙයක්‌ කරනවද කියලා.

    ඔහොම ඉන්න අතරෙයි මට ලැබුණේ කඳුළ ඉතින් සමාවෙන්න අපි වෙන්වෙමු අද හවසට කියන ගීතය. මේ ගීතය ප්‍රචාරය වීමත් එක්‌ක මම හිතපු නැති තරම් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. ඒ ආදරයත් එක්‌කයි මම තේරුම් ගත්තේ මම මේ තරම් ජනප්‍රියයි කියලා. ඒ වෙනකම් මම දැනගෙන හිටියෙත් නැහැ මම කව්ද කියල. මට මේ තරම් මිනිස්‌සුන්ගෙ කැමැත්තක්‌ තියෙනව කියල. එතනින් මම නැවත මගේ දෙවෙනි ගමන ආරම්භ කළා.