මෙන්න නි‍යම ආදර‍ය

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙන්න නි‍යම ආදර‍ය

    සල්ලි පෙනුම මත්තෙම නැහෙන අද කාලේ මේ නංගිගේ ආදර‍ය අග‍ය කල‍යුතුම‍යි.
    wedding.jpg




    මංගල දින මගෙ අද
    දකින්න නෑ මට
    ඇස්‌ දෙක අන්ධ වෙලා
    බිරිඳගෙ රූපය දකින්නෙ කවද ද...
    නෙත් දෙක පූජ කළා...


    ලස්‌සන තනුවකට, හමුදා සංගීත කණ්‌ඩායම සපයන සංගීතයට අනුව මේ ගීය ගායනා කරද්දී අනුරාධපුර, අභිමන්සල සුව සහන නිකේතනයේ සිටි අටසියයක්‌ පමණ පිරිසකගේ දෙඇස්‌ අග නලියමින් තිබූ කඳුළු බිඳු දෙකොපුල් දිගේ ගලා හැළෙන්නට විය.

    ඒ තරමටම ඒ ගීය ඒ මොහොතේ මහා සංවේදී පරිසරයක්‌ ඇති කර තිබිණි.

    ගීතය ගැයුවේ අන් කිසිවකු නොව හමුදා රණවිරුවෙකි. හේ නමින් චරිත් කුලරුවන් කුලතිලකය. පද රචනයද ඔහුගේය. ලාන්ස්‌ කෝප්‍රල් නිලයේ සිටින ඔහුගේ දෑස්‌ අන්ධය. දකුණු අතද අහිමි අයෙකි. මොහු මේ ගීතය ගැයුවේ ඔහුගේ ජීවිතයේ අතිශය තීරණාත්මක දිනයක්‌ වූ විවාහ මංගල්‍ය උත්සවයේදීය.

    ලාන්ස්‌ කෝප්‍රල් කුලතිලකට දෑස අහිමි වුණේ 2008 නොවැම්බර් 18 දිනයේය. වයස අවුරුදු දහඅට පිරෙනවාත් සමග ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණ කුලතිලක තරුණයා හමුදා පුහුණුව අවසන් කර කෙළින්ම ගියේ යුද බිමටය. තරුණකමත්, එඩිතරකමත් රටට දැයට තිබූ ආදරයත් මේ තරුණයාගේ හමුදා දිවියට මහා ආලෝකයක්‌ එක්‌කර තිබිණි. 2008 අපි කියූ දිනයේ ඔහු සිටියේ කිලාලි කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ මෙහෙයුමකය. ලාන්ස්‌ කෝප්‍රල් කුලතිලක සමග තවත් සෙබළුන් තිදෙනකු ද වූහ. මොවුහු බිම දිගේ බඩගාගෙන සතුරු බල ප්‍රදේශයට ඇදෙමින් සිටියහ.

    ලාන්ස්‌ කෝප්‍රල්වරයාගේ අත එක්‌වරම කිසියම් දෙයක දැවටිණි. එසැණින් මහා පිපිරුම් හඬක්‌ද ඇසිණි. එක අතකින් රුධිරය ගලා යනවා ඔහුට දැනිණි. පිපිරුමත් සමග ඝන අන්ධකාරයකින් ලොවම වැසෙද්දී ඔහුට සිහි නැති වන්නට විය.

    "ඇදලා ගන්න" කවුදෝ කියනවා ඔහුට ඇසිණි. එපමණකි.

    18 වැනිදාත්, 19 වැනිදාත් දින දෙක ඔහුට මතක නැත. 20 වැනිදා සිහි එන විට ඔහු සිටියේ රෝහලකය. ඒ රෝහල ජයවර්ධනපුර මහ රෝහල බව දැන ගත්තේ ද සිහිය ඇවිත් හෝරා ගණනාවක්‌ ගෙවුණු පසුවය.

    දකුණු අතේ උරහිසින් බැන්ඩේඡ් පට ඔතා ඇත. කිසිවක්‌ පෙනෙන්නේ නැත. දෑසම වැසෙන සේ බැන්ඩේඡ් දමා ඇත.

    "මගෙ අත කපලා" ඔහුට ඒ දේ තේරුම් යන්නට ඒ හැටි වේලාවක්‌ ගියේ නැත.

    "ඩොක්‌ටර් මගෙ ඇස්‌ දෙකට මුකුත් හානියක්‌ නෑ නේද?" ලාන්ස්‌ කෝප්‍රල්වරයා රෝහල් වෛද්‍යවරයා පැමිණි පසු විමසුවේය.

    වෛද්‍යවරයා නිහඬය. "අපි බලමු" වෛද්‍යවරයා එසේ කියා සිත සනසා යන්නට ගියේය.

    දින කිහිපයකට පසු දෑස හරහා ඔතා තිබූ බැන්ඩේඡ් පට ගලවන්නට සූදානම්ය.

    "අත නැතත් කමක්‌ නෑ. රට වෙනුවෙන්නේ" ලාන්ස්‌ කෝප්‍රල්වරයා හිත හදා ගත්තේ එලෙසය.

    දෑසේ වෙළුම් පටි ගැලවිණි. "කෝ මට මුකුත් පේන්නෙ නෑනේ" ලාන්ස්‌ කෝප්‍රල්වරයාට මුළු ලෝකෙම එපා විය.

    "අනේ ඩොක්‌ටර්... මම මැරුණ නම් ඉවරයි. මොකක්‌ද මේ මට වුණේ..." ඔහු හඬන්නට පටන් ගත්තේය. කුරිරු යුද්ධයේ හැටි එහෙමය.

    "මට ලෝකයම එපා වුණා" ඔහු අද එදා සිතට දැනුණු දේ පවසන්නේ එලෙසිනි. ඒ වන විට එදා කොටි අටවා තිබූ මර උගුලට හසුව ලාන්ස්‌ කෝප්‍රල්වරයාගේ දකුණු අත ද, දෙනෙතද අහිමි ව තිබිණි. ඔහු සමග සිටි අනෙක්‌ සෙබළුන්ද තුවාල ලැබුව ද ඔවුනට ඒ තරම් බරපතළ හානි සිදුවී නොතිබිණි.

    ලාන්ස්‌ කෝප්‍රල් චරිත් කුලරුවන් කුලතිලකට "මැරෙනවා නම් එකක්‌" කියා සිතුණු වාර අපමණය.

    රාගම රණවිරු සෙවණට ඔහු රැගෙන ගියේ ඊට පසුවය.

    දෑසම අන්ධ මොහුට ඝන අන්ධකාරයේ ජීවත් වන්නට පුරුදු පුහුණු කළේ එහිදීය.

    "මොකටද මෙහෙම ජීවත් වෙලා. මගෙ නංගිලා තුන්දෙනාට යන කලදසාව මොකක්‌ද?" ඔහුට සිතිණි.

    මිහින්තලේ, වෙල්ලාරගම, මරදන්කල්ල ගමේ ඉපදුන චරිත්ලා උපතින්ම දුප්පතුන්ය. පියා ගොවියෙකි. මව ගෙවිලියකි. එස්‌. එස්‌. කුලතිලක වන පියා, එස්‌. එස්‌. ධර්මවතී වන මවගෙන් දුක්‌බර විඩාපත් මුහුණු ඔහුට මැවී පෙනිණි. පාසල් යන නංගිලාගේ හැඬුම්බර මුහුණු, අපේක්‌ෂා භංගත්වය මැවෙන විට ඔහුගේ දෑසට නැඟිය යුතු කඳුළු හදවත හිරකර දමන්නට විය.

    "මම මහ පව්කාරයෙක්‌" ඔහුට එවිට එලෙස සිතිණි.

    "පුතේ... පුතා අපට ඉන්නවනේ. යුද්දෙට ගිහින් දරුවෝ අහිමි වෙච්ච අම්මලා තාත්තලට මොන තරම් දුකක්‌ දැනෙනවද?" පුතා අපිට අහිමි වුණේ නෑ. පුතාව අපි බලා ගන්නම්. ඒ පියා රාගම රණවිරු සෙවණට පැමිණ පුතු සිඹිමින් කියා සිටියේය.

    ටික දිනක්‌ ගත විය. "තාත්තේ මට ගෙදර ගිහින් එන්න පුළුවන්" පුතා පියාට කීවේය.

    ඒ අනුව පිය පුතු දෙදෙනා රාගම නගරයට පැමිණ බස්‌ රථයකට ගොඩ වන්නට සූදානම් වූවා පමණි.

    "පව්... ඒ අයියගේ ඇස්‌ දෙක පේන්නේ නෑ. අතකුත් නෑ" චරිත් දිහා බලාගෙන සිටි තරුණියකට දුක දැනුණේ එසේය.

    "අයියේ අයියට මොකද වුණේ..." ටියුෂන් පංති යන්නට පැමිණි සුවිනි සෙව්වන්දි ආබාධිත තරුණයාගෙන් විමසා සිටියාය.

    "මම හමුදා සෙබළෙක්‌. දැන් මම දෑස අන්ධ ආබාධිත රණවිරුවෙක්‌. මොනවා කරන්නද නංගි. මගෙ දෛවය තමයි මේ" සෙබළ තරුණයා හැඟීම්බරව කියා සිටියේය.

    සෙබළ තරුණයාත්, පියාත්, තරුණියත් බස්‌ රථයට ගොඩවූහ. තරුණියත්, සෙබළ තරුණයාත් තව තව ආගිය දේ කතා කරන්නට විය.

    "නංගි ඔයාට ගොඩක්‌ ස්‌තුතියි. ඔයා කරුණාවන්තයි. මට ඔයාගෙ ටෙලිෙµdaන් නම්බර් එක දෙන්න. ඔයාල වගේ කරුණාවන්ත අය හමුවෙන්නේ කලාතුරකින්" දෙදෙනා සමුගන්නට පෙර දුරකථන අංක හුවමාරු කරගත්තේ නිකමටය.

    දින දෙක තුනක්‌ ගත විය. ඔහුගෙන් ඇයට දුරකථන අමතුමක්‌ ලැබිණි. සැප දුක විචාළේය. ඇය ද ඔහුගේ සැප සනීප පිළිබඳ විමසන්නට වූවාය.

    තවත් අවස්‌ථා කිහිපයකදීම දෙදෙනා දුරකථනයෙන් කතා කරන්නට වූහ.

    ටික දිනක්‌ යන විට ඔහුගේ ඇමතුම ඇයට සතුටක්‌ විය. ඔහුට ද එසේමය.

    ප්‍රේමය, සෙනෙහස, ආදරය ආදිය පිළිබඳව ද මොවුන් දෙදෙනාගේ අදහස්‌ හුවමාරු විය.

    "මට පෙම්වතියක්‌ හිටියා නංගි. ඒත් මම ආබාධිත වුණාට පස්‌සෙ එයා මාව මඟහැරියා" ඔහු කී විට ඇයට "පව්" කියෑවිණි.

    "මම නම් කවදාවත් එහෙම කරන්නේ නෑ" ඇය කීවේ ඇත්තය. මොවුනගේ මිතුරුකම ප්‍රේමයට හැරුණේ එලෙසය.

    "අපි බඳිමු" ඇය තිර හඬින් කීවාය.

    "පිස්‌සුද? ඔයාලගේ අම්ම තාත්තා ඔයා මාව බඳිනවට කැමැති වෙන එකක්‌ නෑ..."

    "නෑ මම ඔයාව බඳිනවා" ඇය වචනය වෙනස්‌ කළේම නැත.

    "උඹට පිස්‌සු ද දුවේ" උඹට සදාකල් දුක්‌ විඳින්න වෙයි. ඔන්න ඔය මඟුල අතහැරලා දාපන්" ඇයගේ ඥතීහු කීහ.

    "මේක සංසාරගත බැඳීමක්‌. රට වෙනුවෙන් සටනට ගිහින් එයාට මේ දේ වුණා. වලත්තකමේ ගිහින් නෙවෙයි. එයාව මම බඳිනවාමයි" ඇය ඒ තරමටම එක පයින් සිටියාය.

    සුබ නැකත් බැලිණි. ලොවම එපා වී, මහා අඳුරකට වැටී ජීවිතය පිළිබඳ අන්තිම කලකිරීමට පත්ව සිටි ලාන්ස්‌ කෝප්‍රල් කුලතිලකට අමුතු බලාපොරොත්තුවක්‌ ඇතිවී තිබිණි. ජීවිතය පිළිබඳ අලුත් නැවුම් බලාපොරොත්තු මෝදු වෙමින් තිබිණි.

    "මාව කසාද බඳින්න" එයා කැමැතියි. හමුදා සෙබළා මිතුරන්ට කීය. සෙසු නිලයන්ට ද මේ ආරංචිය ලැබිණි. යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මංජුලිකා ජයසූරිය මහත්මියට ද මෙය ආරංචි වූවාය.

    පූර්ණකාලීන ආබාධිතයෙක්‌ව කසාද බැඳගන්න මේ තරුණිය හරි උතුම් තැනැත්තියක්‌ යෑයි කාටත් සිතිණි.

    ඒ වන විටත් මේ කියන සෙබළාට අනුරාධපුර, අභිමංසල පූර්ණකාලීන ආබාධිත සුව සහන නිකේතනයේ රැකවරණය ලැබී තිබිණි. බ්‍රේල් ක්‍රමයට පරිගණකය ක්‍රියා කරවමින්, ගීත ලියන්නට, කවි ලියන්නට, ගී ගයන්නට පවා ඔහු ඒ වන විට පුරුදු වී සිටියේය.

    "ඇස්‌ දෙක නොපෙණුනාට පස්‌සේ මම මේ ලෝකය දකින්න පටන් ගත්තා..." ඔහු විටක එසේ කියා සිටී.

    යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මෙන්ම පස්‌වන විජයබා රෙජිමේන්තුවේ නිලධාරීන් ද ඇතුළු උසස්‌ හමුදා නිලධාරීන්ගේ ආශිර්වාදය ද මේ යුවළට ලැබිණි.

    නැකතට අනුව අනුරාධපුර, අභිමංසල නිකේතනය විවාහ මංගල්‍යයට සූදානම් කෙරිණි. දෙපාර්ශ්වයේම කැමැත්ත ද ලැබිණි. මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ඇරැඹි විවාහ මංගල්‍යය පසුගිය 25 වැනිදා සුබ නැකතින් සිදුවිය. හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, මංජුලිකා ජයසූරිය පමණක්‌ නොව උසස්‌ හමුදා නිලධාරීන් රැසක්‌ද ඊට එක්‌වූහ. µSලික්‌ස්‌ පෙරේරා, එස්‌. එම්. චන්ද්‍රසේන යන අමාත්‍යවරුන් ද ඊට එක්‌වූයේ මේ මංගල්‍යය හරි අපූරු එකක්‌ නිසාය.

    දෙදෙනා පෝරුවට නඟිද්දී පැමිණ සිටි කාගෙත් නෙත් අගට කඳුළු බිඳු නැඟිණි. ඒ සතුටු කඳුළු අතරින් දෙදෙනා මඟුල් මුදුව හුවමාරු කර ගත්තේ ඇතැමෙකුගේ දෑසට නැඟී තිබූ කඳුළු කැට දෙකම්මුල් දිගේ පහළට ඇද දමමිනි. මනමාලයාගේ දකුණු අත නැත. ඔහුගේ දකුණතේ වෙඳැඟිල්ල වෙනුවට වම් අතේ වෙඳැඟිල්ලට මඟුල් මුදුව දමන විට නොදැනීම බොහෝ දෙනාගේ නෙත් අග කඳුළු බිඳුවලට පණ නැඟිණි.

    "මගෙ මනමාලි ලස්‌සන ද, සිය මනමාලි සැරසී සිටින අයුරු බලා ඇයගේ සුන්දරත්වය විඳින්නට කොයි මනමාලයත් කැමැතිය. පෝරුව මතදීම, මනමාලිගේ මුහුණ, මඟුල් සාරිය අල්ලමින් ඇයගේ රූපය මනසින් අඳින්නට ඔහු ගත් උත්සාහය නම් කඳුළු කැට හංගාගෙන සිටි අයගේ පවා දෑස්‌ අගින් කඳුළු මතු කරන්නට තරම් සංවේදී විය.

    ඇස්‌ දෙක අහිමි වුණාට පස්‌සේ මට මුළු ලෝකෙම එපා වුණා. මම මානසිකව ඇද වැටුණා.

    "ඇය මට යළි ජීවිතේ දුන්නා. මම දැන් නොසැළෙන මිනිසෙක්‌. අටලෝ දහමින් පවා කම්පිත නොවී ඉන්න මට දැන් හයිය තියෙනවා. ඉදිරි කාලයේ මොන තරම් ප්‍රශ්න ආවත් මම නොබියව, නොසැළී ඊට මුහුණ දෙනවා..." රණවිරු සෙබළා දැන් කියන්නේ එවැන්නකි.

    මංගල්‍ය උත්සවයට පැමිණ සිටිය දානපතීන්, පරිත්‍යාගශීලීන් මේ නව යොවුන් මනමාල යුවළට අංගසම්පූර්ණ නිවසක්‌ පරිත්‍යාග කළා. මෝටර් රථයක්‌ පරිත්‍යාග කිරීමට තවත් අය ඉදිරිපත් වුණා.

    මම මේ අයියට ආදරේ කළේ මේ කිසිවක්‌ බලාගෙන නොවෙයි. මේ බැඳීම සංසාරගත බැඳීමක්‌. එදා රාගමදී මට හමුවුණු මේ අයියා මගේ සංසාරගත බැඳීමක්‌. තෑගි භෝග සාද නොවුණට මේ අයියා මම මගේ පණ වගේ පරිස්‌සම් කරනවා.

    ඇය එලෙස කියද්දී ඇයගේ මවගේ මෙන්ම, සෙබළ කුලතිලකගේ දෙමාපියන්ගේ දෑසින් ගලා ගිය කඳුළු ගඟ කියා පෑවේ ප්‍රේමය මොන තරම් සුන්දරද කියාය.

    රණවිරු පුතුන්, පැවති කුරිරු යුද්ධය අමතකව ඇතැයි නැඟෙන චෝදනාව, මේ විවාහයෙන් දෙදරා ගිය බව බොහෝ අයගේ විශ්වාසයයි.

    ආදරය ඇති වන්නේ හදවතේය. සෙනෙහස උපදින්නේද හදවතින්ය. ප්‍රේමයද එසේය. ප්‍රේමය මොන තරම් රමණීයද? ප්‍රේමය නම් සඳඑළිය සේ අචින්ත යෑයි කවියෝ කීවේ ඒ නිසාය. ලාන්ස්‌ කෝප්‍රල් චරිත් කුලරුවන් කුලතිලක (24), සුවිනි සෙව්වන්දි (18) යුවළට දාව පුංචි දරුවකු ලැබූදාට වැඩියෙන්ම සතුටු වන්නේ ඔවුනගේ මව්වරුය. පියවරුය. ඥතීන්ය.

    එදාට ඔවුන් සමග යුද හමුදාවත් සතුටු වනු නියතය. මොවුනට දාව ඉපදෙන දරුවන් ඒ ආදර්ශවත් මව පිළිබඳවත් දිරිමත් පියා පිළිබඳවත් සිහිකර ජීවිත කාලයම ආඩම්බර වීමට පුළුවනි. රට වෙනුවෙන් දිවිපිදූ ඇට, මස්‌, ලේ හැලූ තාරුණ්‍යය කැප කළ සැමට ඇය දුන්නේ කදිම ආදර්ශයකි. ආදරය, සෙනෙහස, ප්‍රේමය මතුවන්නේත් ඇති වන්නේත් මෙලෙසය. දෙවියන් පවා වැඩ සිටින්නේ ෙමැවනි සිත් ඇති මිනිසුන් ළඟය. මේ විවාහය අපට මතක්‌ කරන්නේ ඒ ටිකය.

    ශිරාන් රණසිංහ
    සිරිමෙවන් කස්‌තුරිආරච්චි
    ඡායාරූප - ධර්මසේන වැලිපිටිය

    http://www.divaina.com/2012/04/01/feature01.html
     
    • Like
    Reactions: chinsara