සෝවියට් දේශය බිඳ වැටිලා වසර කිහිපයක් ගත වෙලා. ඒ කාලය රුසියාවට බොහොම අමාරු කාලයක්. ඒ අමාරු කාලෙම තමයි මටත් කසාද බඳින්න ඕන වුනේ. ලෙහෙසි නැහැ.
බොහොම අමාරුවෙන් කසාද බඳින්න දවසක් සහ වෙලාවක් හදා ගත්තට පස්සේ මගේ ඊළඟ රාජකාරිය වුනේ මංගල මුද්දක් සොයා ගැනීම. ඒ කාලයේ රුසියාවේ මංගල මුද්දක් සාමාන්‍ය විදිහට රන් ආභරණ විකුණන ස්ථානයකින් මිලදී ගන්න බැහැ. ඒ සඳහා ඔබ විවාහ වන බවට සහතිකයක් අවශ්‍යයි. ඒ සහතිකය මත තමයි රන් ආභරණ අලෙවි කරන ස්ථානය මංගල මුද්ද අලෙවි කරන්නේ.
කෙසේ හෝ ඒ සහතිකය ලබා ගෙන මංගල මුද්ද මිලදී ගැනීමට අලෙවි කරන ස්ථානයට යන්න හැකිවුණේ විවාහ දිනයේ උදේ වරුවේ.
අවසාන මොහොතේ කැරට් 18 මංගල මුද්දත් සමග ජයග්‍රාහි ලීලාවෙන් විවාහ ලියාපදිංචි කරන ස්ථානයට එන්නට පිටත් වුනා.
ජයග්‍රහණ සමරන්න තව එක් පියවරක් තබන්න සිදුවුනා. ඒ විවාහය ගැන ගෙදරට පැවසීම. ඒ කාලයේ වර්තමානයේ මෙන් අන්තර් ජාල හෝ ජංගම දුරකථන තිබුනේ නැහැ. දුරකථන ඇමතුම් ලබා ගන්න වෙනම ස්ථාන නගර වල තිබුනා. ඒවා වෙතින් අවශ්‍ය රට, දුරකථන අංකය සහ වෙලාව සඳහන් කර දුරකථන ඇමතුමක් ලබා ගැනීමට සිදුවුනා. අවශ්‍ය වෙලාව කලින්ම සඳහන් කර ඒ වෙනුවෙන් මුදල් ගෙවීමද සිදු කල යුතු වනවා. මොන දේ ගැන කතා කරමින් සිටියත් කාලය ඉකුත් වන විට ඒ දුරකතන ඇමතුම් සම්බන්ධය විසන්ධි කර දමනවා. දුරකථන මධ්‍යස්ථානයේ කාන්තාවක් විසින් පළමුවෙන් දුරකථන අංකයට කතා කර ඔබට දුරකථන ඇමතුමක් තිබෙන බව සඳහන් කරනවා. ඊට පසුව තමයි ඇමතුමට පිළිතුරු දීමට ඇමතුම් කුටියේ සිටින අප වෙතට එය සම්බන්ධ කරන්නේ.
ඒ කාලයේදීම තමයි ලංකාවේ අපේ නිවසට දුරකතනයක් ලබා ගෙන තිබුනේ. රුසියානු කාන්තාව පළමුවෙන්ම පවසන්නේ ඔබට දුරකථන ඇමතුමක් තිබෙන බව. නමුත් ඇය එසේ පවසන්නේ බොහෝ විට ඉංග්‍රීසි භාෂාවෙන් වගේම සමහර විට රුසියානු භාෂාවෙන්.
විවාහ වන බව නිවසට දැන්වීමට සියලුම බාධක මධ්‍යයේ ඇමතුමක් ලබා ගත්තත් නිවසේදී ඇමතුමට පළමු වරට පිළිතුරු දුන්නේ මගේ මව. නමුත් අවාසනාවක මහත. රුසියානු කාන්තාව කතා කල භාෂාවේ උච්චාරණය වෙනස් නිසා සමහර විට ඇයට ඒ කටහඬ එක් වරම තේරුම් ගැනීමට අපහසු වන්නට ඇති. ඊට පෙර මා කිසිම දිනෙක නිවසේ දුරකතනයට කතා කර තිබුනේ නැහැ.“ ඔයා කියන දේ මට තේරෙන්නේ නැහැ. වැරදි නොම්බරයක්.” ඇය එක්වරම දුරකථනය විසන්ධි කර තිබුනා.
නමුත් ඒ තත්පර කිහිපය වෙනුවෙන්ද මට ලොකු මුදලක් ගෙවීමට සිදුවුනා. දෙවන උත්සාහයත් ඒ ආකාරයෙන්ම අසාර්ථක වුවාටත් පසුව තමයි මට මේ ක්‍රියාදාමය හරි හැටි තේරුම් ගියේ. තුන්වන වතාවේ දුරකථන ඇමතීමට පෙර මා රුසියානු කාන්තාවගෙන් දන්නා රුසියානු භාෂාවෙන් කෙසේ හෝ ඉල්ලා සිටියේ වෙනත් කිසිම වචනයක් කතා නොකර “රොහාන් රොහාන්” යනුවෙන් පමණක් පවසා මා සිටින කුටියට ඇමතුම සම්බන්ධ කරන ලෙස.
ඒ වෑයම සාර්ථක වුනා. “අම්මේ, මම අද කසාද බඳිනවා.” මගේ මේ වචන කිහිපයෙන් පස්සේ තරමක නිහැඬිතාවයක්. සෑම තත්පරයක් වෙනුවෙන්ම මට විශාල මුදලක් ගෙවීමට සිදුවී තිබුණු නිසා ඒ නිහැඬිතාවය මට දැනුනේ විනාඩි කිහිපයක් ලෙසට. “මෙන්න පුතා කසාද බඳිනවලු.” මගේ මවගේ මේ වචන වලින් පසු දුරකතන ඇමතුමට පිළිතුරු දුන්නේ මගේ පියා. නමුත් ඔහුගේ පිළිතුර මට දැනුනේ මට නොව මවට ඔහු පිළිතුරු ලබා දුන් බවක්. “එයා බඳින්නේ එයාට ඕන කෙනා. ඔයාව නෙවෙයිනේ බඳින්නේ. එයාට හොඳ හින්දනේ බඳින්නේ. එයාගේ ප්‍රශ්න වලට එයා උත්තර හොයා ගනීවි.”
දුරකථන ඇමතුම නිමාවීමෙන් පසුව මගේ මුහුණ දුටු රුසියානු කාන්තාව මගෙන් ඇසුවේ “ඇයි මොකද ප්‍රශ්නේ?” යනුවෙන්. “නැහැ මොකුත් නැහැ. මම අද කසාද බඳිනවා ඔබේ රටේ කාන්තාවක්. මම ඒ ගැන තමයි ගෙදරට කිව්වේ.”
“ඔව් මට තේරෙනවා ගෙදර අය විරුද්ධයි නේද.”
මා කිසිම දෙයක් පැවසුයේ නැහැ.
“මම ඔබට සුභ පතනවා. ඔය ප්‍රශ්න ඔක්කොම කාලය විසඳාවි.” දුරකථන මධ්‍යස්ථානයේ කාන්තාව මට එසේ පැවසුවා.
අප්‍රේල් මාසේ 10 වැනිදා සවස 6ට මට පුළුවන් වුනා සෝවියට් දේශය බිඳ වැටී බිහිවුණු නව රුසියානු සමුහාණ්ඩුවේ මගේ විවාහය ලියාපදිංච් කරන්න.
Happy Anniversary!
රොහාන් ඩේරික්ස්