බැඳුම්කර මුදල් ගත් එහෙත් තවමත් හෙළිදරව් නොවී නිහඬව සිටින තවත් බොහෝ දෙනෙක් සිටින්නට පුළුවන. ඒ අය අතර ආණ්ඩුවේ මන්ත්‍රීවරු, විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම දේශපාලනඥයින් නොවන වෙනත් පිරිස්ද සිටින්නට පුළුවන. මේ සියල්ලම සමාජය දැනගත යුතුය. බැඳුම්කර මගඩියේ මහා මොළකරුවන් ඊට සෘජුව සහ වක්‍රව සම්බන්ධ සියලු දෙනා මෙන්ම මේ මගඩියෙන් කොල්ල කාගත් අතිවිශාල ධනයෙන් සැනසිලි ත්‍යාග (ප්රතිලාභ) ලද සියලු දෙනා ගැනද මහජනයා දැනගෙන ඒ අය සම්බන්ධයෙන් මහජන අධිකරණයේ විනිශ්චයන්ද ලැබිය යුතු බව අපගේ අදහසයි.
පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයකු වන ඩිලාන් පෙරේරා මහතා මාධ්‍යයට පවසා තිබුණේ මෙවැනි අදහසකි. එනම් "මේක දැං ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නොවෙයි. ශ්‍රී ලංකා පර්පෙචුවල් ට්‍රෙෂරීස් පාර්ලිමේන්තුව බවට පත් කරල තිබෙනවා. මේක මහ පවක්." යනුවෙන් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක දී ඔහු පවසා තිබුණි. මේ අතරම හිටපු කෝප් සභාපතිවරයකු වන කාගේත් ගෞරවාදරයට ලක්වූ ඩිව් ගුණසේකර මහතාද පසුගියදා මාධ්‍යයට පවසා තිබුණේ මෙය අපේ රටේ පාර්ලිමේන්තුවේ අඳුරුතම යුගය බවයි. නිදහසින් පසු අද දක්වා කිසිම යුගයක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආශ්‍රිතව මෙවැනි තත්ත්වයක් ඇතිව නොමැති බවද ඔහු කියන දෙයින් පැහැදිලි වන අදහසයි. මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද වන විට කුණු වී ගඳගහන තත්ත්වයට පත් වී ඇත්තේ ඇයි ? මෙයට හේතු වී ඇත්තේ බැඳුම්කර මගඩියයි. ලංකා ඉතිහාසයේ විශාලතම මහජන මුදල් කොල්ලය වන බැඳුම්කර මගඩියෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනටද සැනසිලි ත්‍යාග හිමිව ඇති බව දැන් දැන් අනාවරණය වෙමින් තිබේ. මේ උදවිය මේ ත්‍යාග ලබා, කෝප් කමිටුවේ සාමාජිකයින් ලෙසද කටයුතු කරමින් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ගැන කෝප් කමිටුවේ විමර්ශනවලටද සහභාගි වී තිබේ. මේ පසුබිම තුළ පැවති කෝප් කමිටුව පමණක් නොව පසුගිය කෝප් විමර්ශන පවා අද වන විට විහිළුවක් බවට පත්ව හමාරය. මේ ගැන කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති කියන්නේ කුමක්ද? මේ ගැන ඔහු වහාම ප්‍රකාශයක් කළ යුතුව ද තිබේ.
fea8 2 මේ බැඳුම්කර මගඩියේ බලපෑම් නිසා කෝප් කමිටුව පමණක් නොව සමස්ත පාර්ලිමේන්තුවේම ගෞරවය කෙලෙසන තත්ත්වයක් නිර්මාණය වී තිබුණත් ඒ ගැන කථානායක කරු ජයසූරිය මහතාට නම් එතරම් ගාණක් නැති සැටියකි. මේ පාර්ලිමේන්තුව සුද්ධ කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. ඒ සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී මහජනතාවට විශාල වගකීමක් තිබේ. කුමන දේශපාලන පක්ෂයකට අයත් අය වුවත් තම දේශපාලන පක්ෂවලින් මෙවැනි බැඳුම්කර මුදල්වලින් අත් කිලිටි කර නොගත් අය තම මහජන නියෝජිතයන් ලෙස පත් කර ගැනීමට ඔවුන් වගබලා ගත යුතුව තිබේ. අර්ථසාධක අරමුදල ඇතුළු තමන්ගේම මුදල් (මහජන මුදල්) කොල්ල කා උපයා ගත් ධනයෙන් ප්රතිලාභ ලැබූවෙකු තමන්ගේම මහජන නියෝජිතයා ලෙස පත් කර ගැනීමට ඡන්දදායක ප්‍රජාව දැන හෝ නොදැන කිසිසේත්ම කටයුතු කළ යුතු නොවේ. ඒ නිසා ඉදිරි ජාතික මැතිවරණයකදී තමා හමුවට ඡන්දය ඉල්ලා පැමිණෙන ඡන්ද අපේක්ෂකයන්ගෙන් සුදුසු අය තෝරා බේරා තම නියෝජිතයා ලෙස පත්කර ගන්නට ඡන්දදායක ප්‍රජාවම පියවර ගන්නවා නම් අඩු තරමේ ලබන පාර්ලිමේන්තුව හෝ නියෝජනය කිරීමට මෙවැනි බැඳුම්කර මුදල්වලින් ප්රතිලාභ ලැබුවන්ට නොහැකි වනු ඇත. එය පාර්ලිමේන්තුවේ ගෞරවය රැක ගැනීමට විශාල පිටුබලයක් වනු ඇත. බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් අද වන විට මහජනයා විශාල දැනුවත්වීමකට ලක්ව ඇත. තවදුරටත් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වෙමින් සිටිති. එහි තවදුරටත් හෙළිදරව් නොවු සැඟවුනු තොරතුරු බොහොමයකි. විශේෂයෙන් බැඳුම්කර මුදල් ලැබු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සිටිනවා විය හැකිය. දැනට හෙළිදරව් වී එම මුදල් ගත් බව පිළිගෙන ඇත්තේ තිදෙනෙක් පමණි. ඒ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා, සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා සහ ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාය. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩිදුර විමර්ශන වාර්තාවලින් මේ හෙළිදරව් නොවන්නට දයාසිරි ජයසේකර සහ සුජීව සේනසිංහ යන දෙදෙනා මේ මුදල් ගත් බව කිසිවෙකු දැන සිටියේ නැත. සරත් ෆොන්සේකා මහතාගේ නම මෙතෙක් හෙළිදරව් වී නොතිබුණත් ඔහුම තමන්ට රුපියල් ලක්ෂයක මුදලක් අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් ලැබුණු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි. ඔහුට ලැබුණේ යෑයි කියු මුදල නිවැරදි ගණන දැයි අප හරියටම දන්නේ නැත. ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන්ද ප්‍රකාශ ලබාගෙන තවදුරටත් පරීක්ෂණ කළ යුතුව තිබේ.
fea8 1මේ මුදල් ලබාගත් බව පිළිගත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සහ සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා මේ ගැන මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ ද කර තිබිණි. මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් රු. මිලියනයක් ලබා ගත්තේ යෑයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගෙන් පසුගිය ජුනි 11 වැනිදා පැය පහක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි. මීට පෙර ඔහුව රහස් පොලිසියට කැඳවා තිබුණත් ඔහු කලින් පවසා තිබුණේ ඔහුට මෙම නඩු වාර්තාව පරීක්ෂා කිරීමට සහ නීති උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍යය බවයි. ඒ අනුව මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි ජුනි 11 වැනිදා උදේ 10 ට දයාසිරි මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මුදල් ලබා ගත්තේ කුමන පරමාර්ථයකින්ද යන්නත් මෙසේ ලබාදී තිබුණේ බැඳුම්කර වංචාවෙන් උපයා ගත් මුදල්ද යන්නත් ගැන ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණු බව රහස් පොලිස් ආරංචි මාර්ගවලට අනුව මාධ්‍ය වාර්තා කර තිබිණි. බැඳුම්කර මගඩියෙන් උපයා ගත් මුදල් වුවත් මුදල් කොලයේ ඒ බව සඳහන් වන්නේ නැත. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ඊට අනුබද්ද ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමට මුදල් මාරු කළේ නම් එවිට ඩබ්ලිව් එම්. මෙන්ඩිස් සමාගම තුළ මෙන්ඩිස් අරක්කු විකිණූ මුදල් මෙන්ම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැඳුම්කර මුදල්ද තිබේ. කෙලින්ම පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබා නොදී වෙනත් සමාගමක් හරහා එම මුදල් ලබා දුන්නේ මේ ව්‍යාකූලත්වය ඇති කරන්නට මෙන්ම ඒ පිළිබඳ හෙළිදරව් වීම වැළැක්වීමට ද විය හැකිය. කවරක් නමුත් මේ ගැන දැන් තොරතුරු, හෙළිදරව් වී ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ ගැන උසාවියටද වාර්තා කර ඇත. ඒ පිළිබඳ ඉදිරි අධිකරණ ක්‍රියාවලිය දෙස නිසි යුක්තිය අපේක්ෂාවෙන් මහජනයා බලා සිටිති.
රහස් පොලිසියට ප්‍රකාශය ලබා දිමෙන් පසු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා "දිවයින" ට පවසා තිබුණේ අර්ජුන් ඇලෝසියස් විවිධ උදවියට මුදල් ලබා දීමේ සිද්ධීන් පිළිබඳව තබා දන්නා තොරතුරු සියල්ල ජුනි 11 වැනිදා රහස් පොලිසියට හෙළි කළ බවයි. එය බොහෝම හොඳය. ඔහු තවත් බොහෝ තොරතුරු දැන සිටින්නට ඇතැයි අපි සිතමු. ඒ තොරතුරු සියල්ල රහස් පොලිසියට හෙළි කිරීම රහස් පොලිසියේ ඉදිරි පරීක්ෂණවලටත් එසේම එම මුදල් ලැබු තවත් අය සොයා ගැනීමටත් එය සහායක් වනු ඇත. ඒ අනුව දයාසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ මේ ගැන ඉදිරි කාලය තුළ තවත් කීප දෙනෙක්ගෙන් ප්‍රශ්න කිරීමටද ඉඩ තිබෙන බවයි. ඒ ඔහු රහස් පොලිසියට හෙළි කළ අලුත් තොරතුරු නිසා වන්නට පුළුවන. කෙසේ වෙතත් රහස් පොලිසිය දයාසිරි මන්ත්‍රීවරයාගේ නම අධිකරණයට ඉදිරිපත් නොකරන්නට තවමත් දයාසිරි මන්ත්‍රීවරයා මේ ගැන කිසිවක් නොකියා නිහඬව සිටීමට ඉඩ තිබිණි. ඔහු දැං මේ සියල්ල කියන්නේ ඔහු හෙළිදරව් වූ බැවිනි. ඡන්දයට ව්‍යාපාරිකයන් මුදල් දීම සාමාන්‍ය දෙයක් බව ඔවුන් කියා සිටිනු ඇත. එහෙත් මැතිවරණ කටයුතුවලට ව්‍යාපාරිකයන් මුදල් දීමත් මහජනයාගෙන් කොල්ල කෑ මුදල් ලබා ගැනීමත් එක සමානද? සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා කියා තිබුණේ අදාළ මුදල් චෙක්පත් තුනම තම ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ අයට මිස තමාට ලබා නොදුන් බවයි. එහෙත් රහස් පොලිසිය උසාවියට වාර්තා කර තිබු තොරතුරු අනුව එම චෙක්පත් තුනෙන් එක් චෙක්පතක මුදල් මාරු කළ ආරක්ෂක නිලධාරියා විසින් එම මුදල් ලබාදී තිබුණේ සුජීව සේනසිංහ ඇමැතිවරයාටම බව වාර්තා කර තිබිණි. මේවායේ ඇත්ත නැත්ත හරියටම අප දන්නේ නැත. කවරක් නමුත් මේ අයගේ නම් උසාවියට ඉදිරිපත් කිරීම ගැන අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්තුතිවන්න වෙමු. තවත් ඇමැතිවරු, මන්ත්‍රීවරු මෙන්ම වෙනත් අයද මෙලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ සමාගම්වලින් මුදල් ලබාගෙන ඇත්නම් ඒ සියලු දෙනා ගැනත් පරීක්ෂණ පවත්වා විමර්ශන කර තොරතුරු හෙළිදරව් කරගෙන උසාවියට වාර්තා කරනු ඇතැයි යන්න මහජන අපේක්ෂාවයි.
මේ නිසා බැඳුම්කර මුදල් ගත් එහෙත් තවමත් හෙළිදරව් නොවී නිහඬව සිටින තවත් බොහෝ දෙනෙක් සිටින්නට පුළුවන. ඒ අය අතර ආණ්ඩුවේ මන්ත්‍රීවරු, විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම දේශපාලනඥයින් නොවන වෙනත් පිරිස්ද සිටින්නට පුළුවන. මේ සියල්ලම සමාජය දැනගත යුතුය. බැඳුම්කර මගඩියේ මහා මොළකරුවන් ඊට සෘජුව සහ වක්‍රව සම්බන්ධ සියලු දෙනා මෙන්ම මේ මගඩියෙන් කොල්ල කාගත් අතිවිශාල ධනයෙන් සැනසිලි ත්‍යාග (ප්රතිලාභ) ලද සියලු දෙනා ගැනද මහජනයා දැනගෙන ඒ අය සම්බන්ධයෙන් මහජන අධිකරණයේ විනිශ්චයන්ද ලැබිය යුතු බව අපගේ අදහසයි. කොල්ල කා ගත් මහජන මුදලින් ප්රතිලාභ ලබා ගැනීම (මැතිවරණ කටයුතු වෙනුවෙන් හෝ) එය ඉතා බරපතළ කාරණයකි. එය මහජන නියෝජිත කමටත්, උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවයටත් බරපතළ නිගාවකි. පාර්ලිමේන්තුවේ ගෞරවය රැක ගැනීම වෙනුවෙන් කතානායකවරයාටත්, දේශපාලන පක්ෂ වලට මෙන්ම අවසාන වශයෙන් මහජනයාටත් විශාල වගකීමක් තිබේ. ඒ සඳහා වහාම කෝප් කමිටුව පිරිසිදු කර ගැනීම මේ මොහොතේ මුලින්ම සිදුකර ගත යුතු කටයුත්තයි. පාර්ලිමේන්තුව සුද්ධ කර ගැනීමට ඉදිරි ජාතික මැතිවරණයේදී මේ රටේ අතිමහත් බහුතර ජනයාටම අවකාශ සැලසෙනු ඇත. එහෙත් මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලටත් කාර්යභාරයක් තිබේ. මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදීම ඒ සම්බන්ධයෙන් සිතාමතා නිසි තීන්දු තීරණ, දේශපාලන පක්ෂවලටත් ගත හැකිය. මේ ආකාරයෙන් බැඳුම්කර මගඩිය නිසා කෙලෙසෙන පාර්ලිමේන්තුවේ ගෞරවය රැක ගැනීමට ඊට අදාල සියලු පාර්ශවයන්ගේ මැදිහත් වීම අවශ්‍ය වේ.