මොන මගුලක්ද?

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    මංගල යෝජනා තීරයේ හමුවන අමුතුම තාලෙ 9 දෙනෙක්


    1. හැටපහ එන්ජිම තිහ බොඩිය

    MarriageProposalads-01.jpg


    වයසට ගිහින් මහ ලොකු වරදක් කලා වගේ “වයස නොපෙනෙන” කියල දාන උදවිය තමයි මංගල යෝජනා තීරයෙ බහුතරයක් ඉන්නෙ. හතලිහ පණහ පැනලත් ලාබාලපෙනුම රැකගත් මේ අය අතරෙ වයස නොපෙනෙන හාස්කම තවත් එහාට ගෙනිච්ච තවත් කොට්ඨාසයක් ඉන්නව .

    ඒ තමයි “වයස හැට පහකි එහෙත් තිහක පෙනුමැති” කට්ටිය.

    මෙන්න මේ වගේ කතාවක් කියන අංකල්ලා ඇන්ටිල සෙට් එකක් හැම සතියෙම මේ තීරයෙදි අපිට හමුවෙනවා. හැටේදි තිහේ පෙනුමනම් තිහේදි ළදරු පෙනුමක් තිබුණ නිසා කසාදෙ පරක්කු උනා කියල තමයි අපිට හිතන්න වෙන්නෙ.

    2. කවුද කවුද දැන් ලොක්කෝ?

    MarriageProposalads-02.jpg


    මේ වර්ගයේ මංගල දැන්වීම් ඇත්තටම මගුලක් හොයන්නද? එහෙමත් නැත්නම් පවුලේ ලොකුකම් ප්‍රසිද්ධ කරන්න දාන ඒවද කියල හිතාගන්න අමාරුයි. මේ කියන විදිහෙ දැන්වීම් යන්නෙ මේ විදිහට.

    “පියා සහ මව විශ්‍රාමික විදුහල්පතිවරුය, වැඩිමල් සොයුරා විදෙස් රටක වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරයි, බාල සොයුරා ඉංජිනේරුවරයෙකි, නෑනා විධායක ශ්‍රේණියේ ඉහලම ධූරයක් හොබවයි, අගනුවර පිහිටි නිවස තට්ටු හතරකි, ගෙදර බල්ලා රොට්වෙයිලර් සුනඛයෙකි.”

    මේ දැන්වීම් වල මනාලයා හෝ මනාලිය ගැන විස්තර හැරෙන්නට පවුලේ සියලු දෙනාගේ වෘත්තීය ජීවිතය (උපාධි නාමයන්ද සහිතව) සඳහන් කරනු ලබයි.

    3. සද්ගුණවත් සාමෙල්

    MarriageProposalads-03.jpg


    අපි හැඳින්වීමෙනුත් කිවුවනෙ ඔයාලට ලංකාවෙ දුසිරිතෙන් තොර පිරිමි වැඩිපුරම ඉන්නෙ මංගල දැන්වීම් පිටු අතරෙ කියල. මෙහෙම කිවුවට මේ අය බහුතරයක් “දුමින් මතින් තොරයි බියර් වලට බරයි” හෝ “ඉඳහිට පාටියකදි සෙට් වෙනව කියල කරටි කැඩෙන්න ගහන” උදවිය බව අපේ සමහර නෝනමහත්තුරු නම් දැනටමත් තේරුම් අරන් ඇති.

    සද්ගුණවත් සාමෙලුත් මේ වගේ තමයි. හැබැයි මේ වගේ අය මීට අමතරව හතර පෝයට සිල් ගැනීම, දෙමවුපියන්ට සැලකීම වැනි ගුණාංගත් සඳහන් කරල තියනව. නිවන් මගේ ගැට්ටෙ ඉඳන් සසර දිගු කරගන්න සහකාරියො හොයන මේ වගේ උදවිය ඇත්තටම එහෙමද කියල ඉතින් බැඳලම තමයි බලන්න වෙන්නෙ.

    4. ඕන එකක් ප්‍රීති වෙසක්

    MarriageProposalads-04.jpg


    මේ තාලෙ දැන්වීම් දාන්නෙ හුඟක් වෙලාවට පිරිමි අය තමයි. තමන්ගේ වයස, රැකි රක්ෂා කටයුතු ආදිය සඳහන් කරල ඉවරවෙලා තමන් සොයන විදිහෙ මනාලිය ගැන විස්තර පල කරද්දි තමයි මේ අයගෙ විශේෂතාවය මතු වෙන්නෙ. එහෙම අය හොයන්නේ මේ විදිහෙ මනාලියන්. බලන්න දැන්කාලෙ හැටියට හොයාගන්න කොච්චර අමාරුද කියල?

    “මාගේ වයසට ගැලපෙන (වසර කිහිපයක් වැඩි මහලු වුවද කම් නැත), අවිවාහක හෝ විවාහක (වැන්දඹු හෝ දරුවන් සිටින අයද කමක් නැත) ස්ත්‍රියක් භාර්යාව වශයෙන් සොයමි. දෑවැදි අවශ්‍ය නැත, වරදට සමාව”


    5. බිස්නස් පාට්නර්

    MarriageProposalads-05.jpg



    එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ම බාගන්න ඕනෙයි කියල හිතන මේ අය “ලයිෆ් පාට්නර්” එක්කම “බිස්නස් පාට්නර්” කෙනෙකුත් හොයාගන්න කියල හිතලා තමයි දැන්වීම් පල කරන්නෙ.

    “මා සොයන්නේ දැනට කරගෙන යන ව්‍යාපාරය දියුණු කරගැනීමට සවියක් සැපයිය හැකි යුවතියකි.”

    මේ කියන්නෙ අතේ පයේ හෝ හිතේ සවිය ගැන නෙමෙයි කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

    6. හදවත මල් යායයි

    MarriageProposalads-06.jpg


    මේ උදවියගෙ දැන්වීම් හරිම රොමෑන්ටික් ආකාරයට තමයි පළවෙන්නෙ. හුඟක් වෙලාවට තමන් විසින්ම තමන්ගේ සිහින සහකාරියට/ සහකරුට ආමන්ත්‍රණය කරන විලාසයකින් තමයි දැන්වීම ලියන්නෙ. මෙන්න මේ වගේ.

    “ආදරයේ සුන්දරත්වය හඳුනන, විඩාබර සිතට සිහිල් පවන් රොදක් මුසුකරන, ජීවිතයේ වසන්තය අරුත්බර කරන්නට සෙනෙහෙබර යුවතියකට/කුමරෙකුට ලෙංගතුම ආරාධනා.”

    7. ධන කුවේරයින්

    MarriageProposalads-07.jpg


    නිතර දකින්න හම්බුවන මේ වර්ගයේ දැන්වීම් ගැනනම් හිතාගන්න අමාරුයි. මේ අය ගාව කෝටි ගණනක දේපල සහ ව්‍යාපාර තිබෙනවා. ඒ මදිවට විස්තර කරල තිබෙන විදිහට තරුණකමින් සහ රූප සම්පත්තියෙනුත් පිරිපුන් අය.

    සමහර මනාලියන්ට දෑවැද්දට දෙන මුදල් සහ දේපළ දැක්කහම මනාලයන්ට අමතරව දේශීය ආදායම්බදු දෙපාර්තුමේන්තුවෙත් අවධානය යොමු වෙන්න ඉඩ තිබෙනවා කියල හිතෙනවා.

    මේ අයගෙ ධනවත්කම් ගැන විස්තර කියවද්දි මෙහෙම දැන්වීම් පළකරල නිකම්ම හොරුන් වංචාකාරයින්ට ගෙදරට පාර කියනව නේද කියල හිතෙනව. අනිත් අතට හිතෙනව මෙච්චර මහා ධනස්කන්ධයක් සහ රූප සම්පත්තියක් තියන කොල්ලෙක්ට කෙල්ලෙක්ට කසාදයක් හොයන්න මෙච්චර අමාරු ඇයි කියලත්.

    නිකමට එක දවසක මේ තීරයේ ප්‍රදර්ශනය කරල තිබෙන මිල මුදල්, යාන, වාහන,ගෙවල් දොරවල් කන්දරාව ගණන් හදල බලන්න. පිස්සු වගේ දැනෙන එකනම් අනිවා වලක්වන්න බෑ.

    8. රට යන ඇත්තෝ

    MarriageProposalads-08.jpg


    සමහරු ඉන්නව එයාලගෙ දැන්වීමෙ තියනවා “විවාහයෙන් පසු විදෙස්ගතවීමට යන” හෝ “විවාහයෙන් පසු විදෙස් රටක පදිංචියට කැමති” වගේ කොටසක්. හැබැයි ඉතින් මේ කියන විදෙස් රට මොකක්ද කියල සමහරු බඳිනකම් උනත් නොදැන ඉන්න ඉඩ තියනවා. මෙහෙම දැන්වීම් දාන සමහරු සැමියා, බිරිඳව දාල තනිවම රට යනවා. තවත් සමහරු “පැපුවා නිව්ගිනියාව” වගේ රටවලට කැන්දන් යනවා.

    9. සුලු වැරදිකරුවන්

    MarriageProposalads-09.jpg


    ජීවිතේ වැරදීම් කා අතිනුත් වෙනව. එහෙම කියල තමන් සමාජෙන් කොන්වලා හරි ඈත්වෙලා හරි ජීවත් විය යුතු වෙන්නෙ නෑ. ඒ අයටත් අනාගතයක් තිබෙනවා. හැබැයි ජීවිතේ වැරදුනා යැයි හිතන අය සමහරු ගැන විස්තර දැන්වීම් වලට පෙරළෙද්දි හිනාවක් යන එක වලක්වගන්න බෑ. එතැනදී හිනායන්නෙ ඒ අයගෙ ජීවිතවල අසරණකමට වඩා වචනවලින් ඉස්මතු වන හාස්‍යයටයි. මේ පහත දැක්වෙන්නේ එවැනි දැන්වීමක්.

    “පාසැල් වියේ සිදුවූ සුලු වරදකින් දරුවෙක් සිටින…”

    මේක බොහොම ජනප්‍රිය වූ මංගල දැන්වීමක කොටසක්. අන්තර්ජාලයේ හුඟක් Memes වලටත් යොදාගෙන තිබුණ මේ දැන්වීම බලපු අය අහල තිබ්බෙ පාසැල් වියේ සුලු වරදක් කිවුවෙ පන්තියෙදි හදපු ගාණක් වැරදිලාද කියලයි.

    Issuwee --> http://www.aniwa.lk/