මොහොතින් මොහොත දවසින් දවස කාලය ගතවී යයි.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මොහොතින් මොහොත දවසින් දවස කාලය ගතවී යයි. අප සමග ජීවන මගෙහි ගමන් කරන සමකාලීන පුද්ගලයින්ද මව පියා හා නෑදෑයින්ද පෙර සිටියාට වඩා දැන් මහලු වී ඇත. මහලු වීමට තමා ගත කරන ජීවිතයේ තත්වය අදාල වන්නේ නැත.ගිහි හෝ පැවිදි හෝ වේවා පොහොසත් හෝ දුප්පත් හෝ වෙවා සියල්ලෝම මහලු වීම යන ස්වභාවධර්මයාගේ ධර්මතාවයට යටත්‍ ය. අම්මාගේ අතේ එල්ලී ගතකරපු අප ළමා විය දැන් නැත.. ඒ රූප වෙනස් වී වෙනමම රූපයක් දැන් අපගේ ශරීර වලට ඇත. අප කුඩා කාලයේ තිබූ අස්ථිපංජරයම වර්ධනය වී දැන් පවතින ශරීරය ලැබී ඇත. කුඩා කල අප සමග සිටි මිතුරොද නෑදෑ හිතවතුන්ද .. සියල්ලන්ගේම රූප වෙනස් වී ඇත. වෙනස් වන ශරීර බලෙන් වෙනස් නොවී තියා ගත නොහැක. යථාර්තයට අප මුහුණ දිය යුතුය.

    රූප වෙනස්වීමට හොදම උදාහරණය "අම්මා" යනුවෙන් අප හදුනාගන්නා රූපයයි. ඉස්සර දරු නැලවිලි කියූ ආදරයෙන් බත් කටවල් කැවූ අම්මා දැන් වෙනස් වී ඇත, කොන්ඩය ඉදී හම රැලිවැටී ඇත. ඉස්සර කුඩා කාලයේ මෙන් හුරතල් වදන් ඇසෙන්නේ නැත, මන්ද අපත් වයසට ගොස් කරදඩු උස් මහත්වී ඉස්සර තිබූ ළමා රූපය වෙනස්වී ගොසිනි. අප අම්මා ලෙස හදුනාගත් රූපය කවුරුන් හෝ වෙනස් කලේ නැත. ආයු සංස්කාර, කර්ම සංස්කාර ගෙවීයන විට හා නියාම ධර්ම අනුවද ආහාර සමුදය වී අප නොදැනීම "අම්මා" යනුවෙන් හදුනාගන්නා රූපයත් වෙනස්වී ඇත. අපි අකමැති වුනත් අම්මා යන රූපය කාලයාගේ ඇවෑමෙන් අපගෙන් වෙන් වෙනු ඇත. ඉන්පසු ඉතිරිවනුයේ අම්මා ලෙස පෙර කල රූපයක් දෙස බලා හදුනාගත් මතකයක් පමනි.
    මෙය සියලු පුද්ගල රූප වලට පොදු කාරණාවකි. විවිධ නම් වලින් හැදින්නුවත් ඒ සියලු පුද්ගල රූප තමාගේ පංචේන්ද්‍රයන්ට ගෝචර රූපමය තත්වයන් පමනි.
    අම්මා ගෙන් අපි ලබපු ආදරය කරුණාව හා මෛත්‍රිය හැකිනම් මොහොතක් මෙනෙහි කරන්න. ඒ සිතින් ම තමා සමග තරහා සිතක් ඇති අයෙකු දකින්න. අම්මා කෙරෙන් ලැබූ මෛත්‍රිය මෙනෙහි කිරීමෙන් හටගත් සිත ශුන්‍යවී ගොස් හිතේ රලු බවක් ඇතිවන සැටි අත්දකින්න. ඔබ නිතර මෛත්‍රී සිත් ඇතිකර ගන්න හා භාවනාවේ යෙදෙන කෙනෙක් නම් අම්මා කෙරෙහි ඇතිකරගත් මෛත්‍රී සිතින්ම තවත් පුද්ගල රූප දෙස බැලිය හැකි වනු ඇත. එහිදී කලින් සදහන් කල ආකාරයේ සිතේ රලු බවක් ඇති නොවේ. මන්ද යත් රූප කෙරෙහි පටිඝයක් (ගැටීමක්) ඇති නොවන නිසාය. මෛත්‍රිය ප්‍රගුණ නොකල කෙනෙක්ට එසේ සියලු පුද්ගල රූප දෙස එකසේ මෛත්‍රිය පැතිරිය නොහැක.

    අප සන්තානයේ මෛත්‍රී සිත් ඇතිවන සැටිත් එම සිත් ශුන්‍යවී ගොස් රලු පටිඝ සිත් ඇතිවන සැටිත් දකින්න. මේ සිත් ඇති වූයේ කොහෙද? කවුරුන් විසින් මේ සිත් ඇති කරගත්තේද? කලින් අම්මා ලෙස හදුනාගනා ලද රූපය නිසා මෛත්‍රී සිතක් සකස් විය. එය ඇතිවූයේ බාහිරින් දකින අම්මා යනුවෙන් හැදින්වූ රූපයේ නොවේය, ඒ සිත් පහල වූයේ අපගේම මනසේය. රූපය සමුදය (හේතුව) වී චිත්ත සංස්කාර හට ගැනුනි. එය ස්වභාවිකව හේතුවෙන් හටගත් ඵලයක් විනා සත්වයෙක් හෝ ආත්මයක් විසින් සිදුනොකල දෙයකි. මෙය මැනවින් වටහා ගත් කෙනා සසර කෙලවර කරනු ඇත. දකින දකින පුද්ගල රූප වෙනම වෙනම හදුනාගනිමින් ලේබල් අලවමින් ඒ කෙරෙහි විවිධ සිත් ඇත්කර ගනිමින් මුලාවේ පැටලී ඇති හැටි සිතින් දකින්න. මෙසේ මුලාවේ පැටලෙමින් සිටිම අවසන් කිරීමට අවස්ථාව එලබී ඇත. අද අදම කිනම් හෝ ගුරුවරයෙක් හෝ කළ්‍යාණ මිත්‍රයෙක් සොයා ධර්ම මාර්ගය වඩන්න. අප්‍රමාදී වන්න!

    කෙදිනක හෝ නිවන් සුව ලැබීමට මෙම ලිපිය හෙතුවක්ම වේවා!! තෙරුවන් සරණයි.
     
    • Like
    Reactions: kinkon