යදම්.....

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර

    amedeo-modigliani-XX-Jeanne-Hebuterne-with-Hat-and-Necklace-1917.jpg




    අලුතින් කාර්‍යාලයට පැමිණි 'ඇය' දෙස මම විමසිල්ලෙන් බලා උන්නෙමි... ඇගේ මේසය තිබුණෙ මගේ ඇස්මානයේ නිසාත්..කිව නොහැකි කුමක්දෝ නොපැහැදිලි හේතුවක් නිසාත් නිරන්තරයෙන්ම ඒ දෙසට නෙත් යොමු වීම වලක්වාගන්නට මට අපහසු බවක් දැනිනි...

    ආ දින සිටම කා සමගත් සුහදව සිනාසෙමින් කතාබහ කරමින් කුළුපග වන්නට ඈ සමත් වූ හෙයින් බොහෝ අලුත් සේවිකාවන්ට මෙන් වදය ගසා ඇය වෙහෙසවන්නට අප නොපෙළඹුනෙමු...එසේ වුවද අප ඈ ගැන දැන සිටියේ ඉතා අල්ප තොරතුරු ප්‍රමාණයකි..ඈ පැමිණි මුල්ම දින පටන් ගෙවී ගිය සතිය මුළුල්ලේම සේවයට වාර්ථා කිරීමේ ලේඛණයේ පළමු පේළිය ඇගේ රවුම්ද නොවූ..දිගුද නොවූ ලයාන්විත අත'කුරු වලින් අත්පත් කරගනු ලැබිණි...

    සතියේ දිනවල නිතරම පිළිවෙලට රැළි තබා..ඔසරිය හැද තරමක් උසැති පාවහන් පළඳින ඇය..පිළිවෙලට පීරන ලද වරලස ඔසරියට සරිලන පරිදි ගැටගසාගෙන පැමිණියාය..සාරියෙහි පැහැයෙන් අත පළදින වළලු කිහිපයක්ද ඊටම සරිලන ඉතා කුඩා හුරුබුහුටි අරුංගල් යුවලද කිසි දිනෙක ඇයට වැරදුනේ නැත... ඈ සතුව සෑම සාරියකම පැහැයෙන් වළලුද, කරාබුද තිබුණා විය යුතුය...

    සෙනසුරාදා දිනයෙහි කැෂුවල් අඳින්නට අවසර ඇති දවසයි.. එදින ඈ පැමිණියේ නිල් ඩෙනිම් කලිසමකට ගැලපෙන කුර්තා කමිසයකින් සැරසීගෙනය..කොණ්ඩය මුදාහැර වෙනදාට වඩා මදක් වැඩිපුර තොල් ආලේපන ගල්වා තුබුණද...වෙනදා මට පෙනුණු අඩුව මෙදින වැඩිපුර පෙනෙන්නාක් මෙන් මට දැනුණි...

    ඇය භද්‍ර යෞවනියක නොවූවාය...යෞවනයට වැඩියෙන් ඈ හිමිකම් කීවේ මැදි වියට වුවද ඇගේ වම් මුදුඟිල්ලෙහි මුදුවක් තිබුණේ නැත...!!! ඈ කෙරෙන් නිතරම දිස් වූ අඩුව එයද??

    'වෙන්න බෑ... බැන්දෙ නෑ කියලා..මුද්දක් දැම්මෙ නෑ කියලා ඕක මහ වෙනසක්යෑ..'...මටත් විකාර... මම යළි කරමින් හුන් වැඩය වෙත නෙත් හරවාගතිමි....

    කාර්‍යාලයෙන් පිටවී මම මගේ කාර් රථය අතුරු පාරට දමාගතිමි...මට කලින් කාර්‍යාලයෙන් පිට වී ඈ මදක් ඉදිරියෙන් ගමන් ගනිමින් සිටියාය..ඈ අසල කාරයක් නවතිනු දැනී ඈ මදක් මවිත වී හෑරී බැලුවාය.මම වීදුරුව පහත් කොට ඇයට කතාකළෙමි...

    '' නිරාශා...කොහාටද යන්නෙ...??''

    ඇගේ පළමු ප්‍රතික්‍රියාව වූයේ මා හඳුනාගැනීමෙන් දැල්වුණු සිනහවයි... ක්ෂණිකව මට අමුතු උණුසුමක් දැනිණි...

    ''මම යන්නෙ දෙහිවලට....''

    ''එහෙනං යමු...මමත් යන්නෙ කටුබැද්දට...''

    ඈ මොහොතකට නිහඬ වූවාය...ම්ම්..එන එකක් නැද්ද...?? මම යළි හඬ අවදි කළෙමි...

    ''ඇයි බයයිද මම මගදි කිඩ්නැප් කරයි කියල...??''

    යළිත් දැල්වෙන සිනාවක්... ''නෑ...ඔයාට කරදරේනෙ...''

    ''විකාරද නගින්න නගින්න....''

    ඈ යමක් තීරණය කළාක් මෙන් කාරය ඉදිරිපසින් පැමිණියාය..මම දොර හැර ඇයට උදව් වූයෙමි...


    මද දුරක් ගොස් ගාලු පාරට වැටෙන තුරු කිසිවෙකුත් කිසිවක් කීවේ නැත...අවසානයේදි මම කතාව පටන්ගත්තෙමි...

    ''නිරාශලගෙ ගෙවල් තියෙන්නෙ දෙහිවලද...''

    ''ඔව්...කවුඩාන පාරේ.. පැතුම් කටුබැද්දෙ කොයි හරියෙද...??''

    ''මම කටුබැද්දෙ ඉන්නෙ බෝර්ඩ් වෙලා...කැම්පස් එක කිට්ටුව..ගෙවල් රත්නපුර'''

    ''ආහ්...එහෙනං මිදුලෙ වැලි වෙනුවට මැණික් වෙන්ඩැති...''

    ''ඔව්..ඔව්...උදේට අතුගාද්දි එපා වෙනවා...'' අපි දෙදෙනාම සිනාසුනෙමු...

    මම ඇගේ සිනහව දෙස බලන්නට හැරුනෙමි....

    හදිසියේම....!!!!!!!!!!!!

    මම ඇගේ ඒ අඩුව දුටුවෙමි........හඳුනාගතිමි....

    ඈ මාලයක් පැළඳ සිටියේ නැත.....

    නිතරම වළලුද...කරාබු යුවලද නොවැරදුනද...ඇගේ රුවට ඔබිනාම ආභරණය විය යුතුව තිබුණේ...'මාලයකි'....

    එහෙත් මම ඒ ගැන ඇගෙන් නොඇසුවෙමි...එය ඇගේ පුද්ගලික දෙයක් වන හෙයිනි....

    ඒ හැරෙන්නට අප බොහෝ දේ කතා කළෙමි...ඈ මා සමග බොහෝ කුලුපග වූවාය...සෑම දිනකම පාහේ ඈ වැඩ ඇරී නිවසට යන්නට සැරසෙන විට මමද ලහිලහියේ සැරසී කාර්‍යාලයෙන් පිටවී ඈ මාගේ සමාගමයට එකතුකර ගතිමි...

    මිතුරුකමකට වඩා වැඩි බැඳීමකින් මම ඇයට ලංවෙමින් සිටියෙමි....එහෙත් ඈ ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම මා වෙත විවර නොකළාය...පවුලේ විස්තරත්...මිතුරු මිතුරියන් ගැනත් බොහෝ දෑ කීවද...කිසි දිනෙක ඈ ප්‍රේමය ගැන සඳහනක් නොකලාය..කුමක්දෝ ගුප්ත බලපෑමකින් මෙන් ඈ එවන් මාතෘකාවලින් මගහැර ගියාය...ඇය අවිවාහක බව තහවුරුකරගැනීමට මට ඉවෙන් මෙන් හැකි වුවද..ඇයට පෙම්වතෙකු සිටීදැයි මම නොදැන උන්නෙමි....

    කාලයේ වැලිතලා අතරින් අප ඇවිදගියෙමු...

    නිරාශාගේ උපන්දිනය ලඟ එමින් තිබිණි.....

    මා ඈ වෙනුවෙන් තිළිණයක් දියයුතු බැව් මගේ හිත මට මතක් කර දුන්නේය...

    ''මොනවද ඉතින් දෙන්නෙ......???''......මාලයක්...!!!...ඔව් මාලයක් තමයි හරියන්නෙ....නිරාට ලස්සනට තියේවි...වැඩිය ලොකු එකක් හරි යන්නෙ නෑ.....හීනී නූල් පොටක් වගේ එකක් තමා එයාට ලස්සන.....''

    වැඩි වෙහෙසක් නොවීම මට ලස්සන සිහින් චේන් පොටක්ද ඊටම ගැලපෙන සරල සමනල හැඩයේ පෙන්ඩන්ට් එකක්ද තෝරාගන්නට හැකිවීමෙන් මම උද්දාමයට පත් වීමී......ඇය එය දැක පුදුම වනු නොඅනුමානය..

    ඇගේ උපන්දිනය දවසේ කාලය ගෙවුනේ ඉබි ගමණිනි...කාර්‍යාලයේ හැමදෙනාම ඇයට සුභ පැතුවහ..මමද වෙනසක් නොදක්වා ඔවුන් සමග ඇයට සුභ පැතුවෙමි..ඇයටද ඒ ගැන අමනාපයක් නොවීය... අවසානයේ ඔරලෝසුවේ 4.15 සටහන් විය...සුපුරුදු ලෙසින් මම ඇය එන තුරු හංදියේ මාරගහ යට වාහනය නවතාගෙන සිටියෙමි..ඇයද වෙනසක් නොදක්වා පැමිණ කාරයට නැගුණාය...මේ කාරය දැන් ඇයට නිවසේ වාහනය තරමටම හුරුය...

    වෙනදා ඇය ඉදිරියේ වක්කඩ කැඩුවාක් මෙන් දොඩමළු වන මම මෙදින බෙහෙවින්ම නිහඬ වූයෙමි..හදවතේ රහසක් සඟවාගෙන සිටි මගේ මුවින් වෙනදා මෙන් වචන ගලා නාවා අරුමයක් නොවේ..ඇයද කීපවරක්ම ඒ ගැන විමසුවද..මම එය මගහරිමින් වාහනය පැදවූයෙමි....මද දුරකින් ඉක්බිති අපි ගෝල්ෆේස් පිටිය අසලට ලඟා වීමු...

    මා වාහනය නැවැත්වූ කල ඈ පුදුමයෙන් මා දෙස බැලුවාය...

    ''ඇයි නතර කළේ....''

    ''වැඩකට...''

    ''ආහ්....ගොඩක් වෙලා යයිද...''

    ''නෑ..ඇයි ඔයාට හදිස්සියිද ගෙදර යන්න...''

    ''නෑ..නෑ...එහෙම එකක් නෑ...''

    ''එහෙනම් ටිකක් බැහැල ඉමුද.....''

    ''හ්ම්ම්...'' අප දෙදෙනාම රියෙන් බැස වෙරළ තීරය වෙත ඇවිද ගියෙමු....

    ''ම්ම්ම්.......නිරා...''

    ''ඔව්...කියන්න...''

    ''මම බඩුවක් දුන්නොත් ගන්නවද...??''

    ඇගේ දෙනෙත් මදක් විශාල විය..... ''මොනවද...???''

    ''තෑග්ගක්.....උපන්දිනේට.....''

    ඇගේ දීප්තිමත් සිනාව දැල්විණී.... ''ඒ මොකද්ද..???''

    ''එහෙම බෑ....''

    ''එහෙනම්....''

    ''ඔයා ඇස් දෙක වහගන්නකො....එතකොට දෙන්නම්....''

    ''අනේ...''

    ''ඔන්න බෑ කියන්නනම් එපා...ප්ලී............ස්''

    ''හ්ම්....හරි එහෙනම්....'' ඈ සෙමින් ඇස් දෙක වසා ගත්තාය...

    මම සෙමින් විල්ලුද ආභරණ පෙට්ටිය විවර කර මාලය අතට ගත්තෙමි... සීරුවෙන් ඇගේ ගෙල වෙත ලංවී මාලය ඇයට පැළඳුවෙමි.....

    ඇය ගැස්සී ගියාය....

    හ්ම්ම්....හොඳද බලන්න.....මම විල්ලුද පෙට්ටියෙහි පියන ඔසවා එහි තිබූ කණ්නාඩිය ඈ වෙත පෑවෙමි....

    ඈ දෑස හැරියාය... දර්පණය මත ඇඳුණු සිය රුව ඈ දකින්නට ඇත...මම ඇගේ දෙනෙත් විකසිත වනු දකින්නට නොයිවසිලිමත් වීමි...එහෙත්...

    ඒ දෙනෙත් පිපෙනු වෙනුවට පරව යන්නට විය...කණ්ණාඩිය වෙත එබුණු දෙඇස වේගයෙන් කඳුලින් පිරී යන්නට විය...එක් වරම ගෙළට අත යැවූ ඈ..මාලය මුදා සුරතට ගත්තාය...

    ''මට මේක ගන්න බෑ....මම මාල දාන්නෙ නෑ...'' මාලය සැනෙකින් මගේ සුරතට ගුලිකරනු ලැබිණි...

    මම ඇයි කියාවත් අසන්නට පෙර ඇය වේගයෙන් කාරය වෙත ගොස් හිඳ ගත්තාය....කළ හැකි වෙන යමක් සිතාගත නොහැකි වූ මමද සෙමින් වාහනයට නැගී ඉදිරියට ඇදුනෙමි... වරින් වර ඇගේ මුවින් හදවත දවාලන වේගයකින් සුසුමක් පිටවුණද...ඉඳහිටක ඉකිබිඳුම් පවා ඇසුණද ඈ හඬන්නේදැයි ඇසීමට මගේ හිත සවිමත් නොවීය..අනපේක්ශිත ලෙස ඇගෙන් ප්‍රතික්ශේප වීමෙන් මමද සසල වී සිටියෙමි...

    ඇගේ නිවසේ ගේට්ටුව අසලදී වදනක් තබා සිනහවකුදු නොතබාම ඈ කාරයෙන් බැස ගියාය...

    රැය පහන්වන තුරුම සයනයෙහි පෙරළෙමින් කල්පනා කළද..ඈ මා දුන් මාල පොට දැක මේ තරම් සැලුනේ ඇයි දැයි ඉඟියක්වත් සිතාගන්නට මට හැකි වූයේ නැත....

    ඇය වචනයක්වත් නොකීවේ ඇයි...?? මේ තරම් සිත රිදවාගන්නට මා ඇයට කුමක් කළේද??.......

    මා ඇගෙන් සීරුවෙන් ඇසිය යුතුව තිබිණි....එක්වරම එය නොපළඳවා ඇගේ දෝතට දුන්නේ නම් ඈ මේ තරම් කැළඹෙනු නැත...

    හදවතින් කොතෙක් පසුතැවිලි වුවද..කළ වරද නිවැරදි කළ හැකි මගක් මා වෙත ලඟා වූයේම නැත...ඈ පසුදින වැඩට නොඑනු ඇත්ද...??..මගෙ හිතේ පසුතැවිල්ල දෙතුන් ගුණයකින් දියුණු විය...

    ඇය පැමිණියාය..එහෙත් කාර්‍යාලයේදී ඈ වෙනදා මෙන් ප්‍රබෝධමත්ව සිටියේ නැත..ඉඳහිට අපේ දෑස් හමුවුණු මොහොතක...ඇගේ දෙනෙතෙහි මතු වූයේ සමාව අයදින බව කියවෙන බැල්මකි...සමාව ඉල්ලිය යුත්තේ මා නොවේද..???

    කාර්‍යාල කාලය අවසන්ව මම ඈ එන තුරු දෙගිඩියාවෙන් බලා උන්නෙමි... කාරයට මදක් එහායින් නැවතුනු ඈ...කුමක්දෝ කල්පනා කළාය..ඉන් පසු ඉක්මන් ගමනින් මා සිටි තැනට ආවායා....

    එහෙත් ඈ වෙනදා මෙන් කාරයට නැග්ගේ නැත.... ඒ වෙනුවට ඈ ජනේලයෙන් එබී මා වෙත දුක් බර සිනාවක් පෑවාය....

    ''නගින්නෙ නැද්ද...??''

    ''බෑ...''.....ම්ම්ම්..

    කුමක් කියන්නදැයි සිතාගත නොහී මම පසුබා සිටියෙමි...මදක් නැගී සිටි ඇය බෑගය හැර ලියුම් කවරයක් එලියට ගත්තාය.....

    අනතුරුව කවුළුව තුළින් අත දමා එය ආසනය මත තැබූ ඈ... ආයාසයෙන් යමක් මිමිණුවාය...

    ''මට සමාවෙන්න....''

    ඉක්බිති මම යමක් කියන්නට පෙරම ඈ කාරයෙන්ද මගෙන්ද ඈත් වී වේගයෙන් යන්නට ගියාය...ඈතට ඈතට යන්නට ගිය ඇය තිතක් වී නොපෙනී යන තුරුම මම බලා සිටියෙමි..

    මේ සිදු වූයේ කුමක්ද...???

    සිහි එළඹ ගැනීමට මට විනාඩි කිහිපයක් ගත විය..යාබද ආසනය මත ඈ තබාගිය ලියුම් කවරය දෙස මම කුතුහලයෙන් බලා සිටියෙමි....

    ඉන් පසු සෙමෙන් එය අතට ගත්තෙමි...කවරය අලවා තිබුනේ නැත...විවරය තුළින් එළියට පෙනුණේ මදක් අවපැහැ ගැන්වුනු සේයාරුවකි....මම වෙවුලන දෑතින් එය එළියට ගත්තෙමි....

    එහි වූයේ මුහුදු වෙරළක බංකුවක් මත හිදගෙන සිටි තරුණියක සහ තරුණයෙකි......මා නන්නාඳුනන ඒ තරුණයා තරුණියගේ උරහිස වටා අත දමාගෙන ඇගේ හිස සිය පපුවට හේත්තු කරගෙන සිටියේය..බැලූ බැල්මට යන්තම් අවුරුදු 21ක් 22ක වයසේ සිටියේයැයි සිතිය හැකිවූ ඒ තරුණිය හඳුනාගැනීමට මට අපහසු වූයේ නැත......

    ''නිරාශා.......''

    එහෙත්...පුදුමයනම් එය නොවේ.....ඇගේ ගෙලෙහි දිදුලමින් තිබුනේ...මා ඇය වෙනුවෙන් තිළිණ කළ චේන් පොටට බෙහෙවින්ම සමාන..තුනී මාල පොටකි...එහි හදවතක හැඩයේ පෙන්ඩනයක් දිදුලමින් තිබිණි.....

    ''හ්ම්ම්ම්ම්''......... මගේ මුවින් සුසුමක් පිට වූයේ නොදැනුවත්වමය....

    වෙනත් කිසිවත් ලියුම් කවරය තුළ නුදුටුවෙන්...මම ඉබේටම මෙන් සේයාරුව පසුපිට හරවා බැලිමී..... එහි තිබුණේ තරමක් අපිළිවෙල නමුදු රත් පැහැ අකුරින් ලියා තිබු සටහනකි.....

    ආශා....
    මාල දාන්න ඔච්චරටම ආස නැති ඔයා...මම වෙනුවෙන් මේ පුංචි චේන් පොට දැම්මා නේද එහෙනම්...පොරොන්දු වෙන්න... ඔයාගෙ ආදරේ මගෙ විතරයි වගේම...ජීවිත කාලෙටම ඔය ලස්සන බෙල්ලට මාල දාන්නෙත් මම වෙනුවෙන් විතරමයි කියලා..... පොරොන්දු වෙනව නේද....කියන්න මට.....
    මම...විශ්වය තරමටම......ඔයාට ආදරේ කරන
    ඔයාගෙම රංග....


    Code:
    makulupanchi.blogspot