යහපාලන ආණ්ඩුව දූෂණයට විරුද්ධ, පවුල්වාදයට විරුද්ධ, නීතියේ ස්වාධීනත්වය අපේක්ෂා කරන, පාවෙන ඡන්ද දායකයින්ගේ ප්රාර්ථනයකි. යූඇන්පී බ්ලොක් වෝට් එක හා සම්ප්‍රදායිකව යූඇන්පීයේ ෆෙඩරල් ලිබරල් මතවාදයේ සිටින සුළු ජාතික ඡන්දවලින් ඔසවා තැබූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයග්‍රහණයට අවශ්‍ය අවසාන ජවය ලබා දුන්නේ දූෂණ විරෝධී පාවෙන ඡන්ද දායකයයි. යහපානය කෙල ගැසුවේද ඒ ඡන්ද දායකයන්ටයි.
කිසිඳු විධිමත් ප්‍රචාරණ වැඩපිළිවෙලකින් තොර වූ හංස සන්ධානයේ කැම්පේන් එක මහ පොළොවේ සිදු කළේ මහ පොළොවෙන්ම මතුවූ පාවෙන ඡන්ද දායකයින්ගේ කණ්ඩායම් විසින්ය. (කුප්‍රකට එන්ජීඕ නඩ නොවේ) ඔවුන් බහුතරයකගේ අපේක්ෂාව වූයේ පාන් භාගයේ පොල්ගෙඩියේ මිල අඩුකරගැනීමනොව මහජන ධනය ගසා කෑ දූෂිත දේශපාලනඥයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමය. එහෙත් බලයට පත් යහපාලකයින් සිදු කළේ දේශපාලන අරමුණු සාක්ශාත් කරගැනීම සඳහා දෙපිල බෙදී හොරු ආරක්ෂා කිරීමය.
රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු රට හැරගිය එක්තරා දේශපාලන බලකණුවකට වයිබර් මගින් අමතා '................. ඔයා එන්න, ඇවිත් දේශපාලනේ කරන්න, අපෙන් ප්‍රශ්ණයක් නැහැ.' කියා ඉල්ලන් කෑ දේශපාලන ඇඟපුරා මොලේ ඇති, නළුවෙක් නොවන මොළයක් බව කියන දේශපාලන පක්ෂ නායකයෙකු සිටින කඳවුරකි "යහපාලන" කඳවුර!
2015 මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් මාගේ පුද්ගලික අදහස නම් යුධ ක්‍රියාවලියට සිය දේශපාලන අනුමැතිය මූලිකව අකමැත්තෙන් ලබා දුන්නද, රාජපක්ෂ මහතා අවසාන වශයෙන් සටනට දේශපාලනිකමය වශයෙන් අමිල ශක්තියක් වූ නිසා කළගුණ දැක්වීමක් ලෙස මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට අත නොතබා රාජපක්ෂ රජයේ සිටි අනෙක් දූෂිත දේශපාලකයින් හා නිලධාරීන්ට අකුරට නීතිය ඉටු කළ යුතුව තිබිණ. නමුත් සිදුවූයේ යහපාලකයින් ඩිවයිඩ් ඇන්ඩ් කොන්කර් ක්‍රමය ලාංකීය දේශපාලන පිටියට ආදේශ කිරීමට ගොස් තමන්ගේ පදනමත් විනාශ කරගෙන දේශපාලන සොහොනට යෑමය. රාජපක්ෂ පිල හා මෛත්‍රී පිල ලෙස ශ්‍රී ලංකා ඡන්ද දායකයින් දෙකට බෙදේ යැයි ඇතැමුන් අපේක්ෂා කලද සිදුවූයේ "ජිම් පප්පා කේක් කැපුවා වගේ" එකක්ය. සීතල කාමරවල සිට තියරි හැදූ ඇඟ පුරා මොළය ඇති ටයිපටි කෝට් කාරයින්ට මහපොලොවේ යතාර්ථය වටහාගැනීමට නොහැකි විය.
අනෙක් කරුණ බැඳුම්කරය, එය ද නොවන්නට ආණ්ඩුවේ මේසා පසුබෑමක් සිදු නොවන අතර, පුද්ගලික අරමුණක් වෙනුවෙන් නොවුනත්, එක්තරා ප්‍රධාන පක්ෂයක ඉදිරි ඡන්දවලට අවශ්‍ය අරමුදල් ගොඩනගා ගැනීම සඳහා මෙය සිදු කළ බව තතු දත්තෝ මැනවින් දනිති. හෙණ ගහන අපරාධයක් වූ මහජන මුදල් කොල්ලකෑමක් වන එය 10 ප්‍රසෙන්ට් යනුවෙන් විරුදාවලි ලත් එක්තරා දේශපාලනඥයෙක් ද එකල සිටම කරගෙන ආ නමුත් යම් සීමාවක් ඇතිව එය සිදු කිරීමට තරම් හික්මීමක් ඔහුට තිබිණ. හොරකම වුවත් හරියට කරගත නොහැකි බව ඒ අනුව යහපාලකයෝ ඔප්පු කර ඇත.
අද වන විට එකල අලියා රැකි සොරු මුල මෙකල ගොවියා රකින බව කිව හැකිය. ලාංකීය දේශපාලනයේ ඇති තිත්ත ඇත්ත ඕකය. දූෂණ විරෝධීත්වය මොවුනට හුදු සටන් පාඨයක් පමණි. මේ ආකාරයට කටයුතු සිදුවුවහොත් අවසානයේ අපට සිදුවන්නේ රාජපක්ෂ රාජවංශයකට යටත්ව ජීවත් වීමටය. දැනටමත් ඒ බවට ලකුණු පහලව තිබේ.
කළ යුත්තේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හදා වහල්ලු නොවන නිදහස් චින්තකයන් බිහි කරන මාදිලියක් ඇති කිරීමය. ඒ අධ්‍යාපන මාදිලියෙන් බිහිවන දරුවන් වැඩිහිටියන් වනවිට උන් බුද්ධිමත්ව තීන්දු තීරණ ගනු ඇති හෙයින් නූගත් පාදඩයින් ඉබේම අතුගෑවී යනු ඇත. ඒ හැර උන් කෙරේ වෛරී සිතිවිලි ඇතිකරගනිමින් උන්ට හෙන ඉල්ලා වැඩක් නැත. මන්ද යත් දූෂිත, දුෂ්ඨ හා අසංවේදී පරගැති පාලකයන් බිහිවන්නේද රට වැසියාගේ කර්ම ශක්තියට අනුරූපව නිසාය.
සටහන PMMM @ ElaKiri.com

Last edited:

