යළිත් දවසක හිනැහෙන්න - නවකතාව

wijaindu

Well-known member
  • Sep 15, 2012
    603
    705
    93
    පළමු කොටස

    මාතර-නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඒ වෙද්දි පැවැත්වෙමින් තිබුණේ දැනුවත් කිරීමේ වැඩසටහනක්. ප්‍රවර්ධන ආයතන ගණනාවක මැදිහත්වීමෙන් සිද්ධවුණු මේ අවස්ථාවට දකුණු පළාත නියෝජනය කරන බොහොමයක් ප්‍රවර්ධනය සහ දැන්වීම්කරණය ව්‍යාපාරයක් විදිහට කරගෙන යන බොහොමයක් ආයතන වෙනුවෙන් විවිධ මට්ටම්වල නිලධාරීන් සහභාගීවුණා.



    ඒ වෙද්දි මාතෘකාව විදිහට සාකච්ඡාවට බඳුන්වෙමින් තිබුණේ නවීන සන්නිවේදන ක්‍රම සහ ප්‍රවර්ධනය ගැන. සාකච්ඡාව බොහොම ගැඹුරට ගලාගෙන යද්දි තද්ධිත දන්තනාරායන මේ බොහෝදේ ගැන දැඩි උනන්දුවකින් අහගෙන හිටියා. ඒ අතරෙම ඉඳහිට ජංගම දුරකතනයෙන් වෙලාවත් බැලුවා. මොකද හරියටම උදේ එකොළහ පහුවෙද්දි ලිට්ල් කිඩ්ස් පෙර පාසලේ දොරකඩ තමන් එනකල් මග බලාගෙන ඉන්න පුංචි කෙළි පොඩිත්ත අනන්‍යාගේ ඇස්දෙක සිහිපත්වෙලා.

    මොහොතකින් තද්ධිතගේ ජංගම දුරකතනය නොදන්නා අංකයක් සටහන් වෙමින් නාද වෙන්න පටන්ගත්තේ වෙලාව බලනවත් එක්කමයි. වටිපිට බලලා සාකච්ඡාවට බාධාවක් නොවෙන්න ශාලාවෙන් එළියට ඇවිත් දුරකතන ඇමතුමට සවන්දුන්නා.

    ‘හෙලෝ’

    ‘හෙලෝ මේ අනන්‍යා දුවගේ තාත්තා නේද?’

    ‘ඔව් කතා කරනවා..’

    ‘මම මේ ලිට්ල් කිඩ්ස් මොන්ටිසෝරී එකෙන් කතා කරන්නේ..අනන්‍යට චුට්ටක් අසනීපයි..කලබල වෙන්න දෙයක් නෑ..’

    තද්ධිතගේ හිස රත්වෙන්න පටන්ගත්තා. මොකක්ද කරන්න ඕන කියන දේ එකපාරටම කල්පනා නොවුණත් හැකි ඉක්මණින් අනන්‍යගේ පෙර පාසලට යන්න හිතාගෙන ඒ මොහොතෙම ගාලු පාර පැත්තට අඩිය ඉක්මණ් කලා.

    ‘හරි මිස් මම දැන්ම එනවා’

    ඉක්මණින් ගාලු පාරට ඇවිත් ත්‍රීවීල් එකක් නතර කරගත්ත තද්ධිත කොටුවෙගොඩ හරස්පාරේ තියන අනන්‍යාගේ පෙර පාසලට යන්න පිටත් වුණා. නූපේ හන්දියේ වගේම මාතර බෝධිය ලඟත් රථවාහන තදබදයේ විනාඩි කීපයක් ප්‍රමාද වෙද්දි ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන්ගත්තා. තමන්ගේ කෙළිපැටික්කිට මොකක්හරි කරදරයක් වේවිද කියන සිතිවිල්ල එක්ක ඕනම තාත්තා කෙනෙක් ලෝකයම කම්පනයට පත්වෙන එක සාධාරණයි.

    විනාඩි කිහිපයකින් තද්ධිත පෙර පාසල ඉදිරිපිට නතර වුණා. ත්‍රීවීල් එකෙන් බහින්නත් කලින්ම සල්ලි දීලා ඉතිරි මුදල් ගන්නෙත් නැතිව අත් ටිකක් දිග ටී ෂර්ට් එකේ අත් වැලමිට දක්වා නවන ගමන් ඔහු පෙර පාසලට ඇතුල් වුණා. එහෙ මෙහෙ බැලුවත් තාමත් ඇතුලේ සෙල්ලම් කරමින් ඉන්න දරුවන් අතරේ අනන්‍යා නැති නිසා කාර්යාලය පැත්තට හොයාගෙන ගියේ පුළුවන් තරම් වේගයෙන්.

    ‘ආ..මිස්ට දන්තනාරායන නේද..දුව සික් රූම් එකේ ඉන්නවා..දැන්නම් බුදු සරණනින් කලබල වෙන්න දෙයක් නෑ..’

    පෙර පාසල් පාලිකාව මිසිස් විජේසුන්දර තද්ධිතව දැක්ක ගමන් අඳුනගෙන කතා කලා. ඔහු ඇය එක්ක අනන්‍යා හිටපු සික් රූම් එක පැත්තට ආවා.

    ‘එක පාරටම කලන්තේ දාලා වැටිලා දාඩිය දාලා වෙවුලන්න ගත්තා..ඒකයි අපිත් ටිකක් කලබල වුනේ..පස්සේ වතුර එහෙම දුන්නම හරිගියේ නෑ..දරුවා අසනීපයෙන් හිටියද?’

    තද්ධිත ලොකු හුස්මක් ගත්තා.

    ‘නෑ මිසිස් විජේසුන්දර..අසනීපයක් තිබුණේ නෑ..හැබැයි අද උදේ ටිකක් කන්න අදිමදි කලා..මම හිතන්නේ නැන්දා කවපු ටික කෑවෙත් නැද්ද කොහෙද..’

    කොරිඩෝව දිගේ ඇවිදගෙන යන ගමන් මිසිස් විජේසුන්දර තද්ධිත එක්ක කතාකලා. ඇයගේ තිබුණු නිවුණු ස්වභාවය සහ මැදිවියේ පරිණත කාන්තාවකගේ ජීවිත අත්දැකීම් බහුල විලාසය නිසා තද්ධිතගේ හිත ටිකක් සන්සුන් වුණා.

    ‘ඒක තමයි..සමහරවිට ඩීහයිඩ්‍රේට් වුණාද දන්නේ නෑ..ග්ලූකෝස් එහෙමත් අපි දුන්නා..’

    දෙදෙනාම සික් රූම් එකට ඇතුල් වෙද්දි එහි සුන්දර ළමා හිත් සුවපත් වෙන පරිසරය මැද්දේ ඇඳක අනන්‍යා වාඩිවෙලා හිටියා. ඒ ලඟම හිටගෙන හිටියේ සාරියකින් සැරසුණු යුවතියක්. සමහරවිට අනන්‍යාගේ පන්තියේ ගුරුවරිය වෙන්න ඇති කියලා ඔහු අනුමාන කලා.

    ‘අනන්‍යාගේ ටීචර් මිස් සමනලී ළමයි එක්ක සින්දු පාඩම් කරන නිසා මම ෆස්ට් ඉයර් බබාලගේ ක්ලාස් එකේ මිස් චමීරාට කිව්වා අනන්‍යා ලඟින් ඉන්න කියලා’

    තමන්ගේ අනුමානය ඉක්මණින්ම වැරදිවීම ගැන තද්ධිත තේරුම්ගත්තා. තාත්තා දකිද්දිම කෙල්ල අත්දෙක ඇඳේ ඉඳගෙනම තද්ධිත දිහාවට දිගුකලේ ‘තාත්තී’ කියලා කෑගහන ගමන්. ඒත් එක්කම අනන්‍යා ලඟ හිටගෙන හිටපු මිස් චමීරා හැරිලා සික් රූම් එකට ඇතුල්වෙමින් හිටපු මිසිස් විජේසුන්දර සහ ඒත් එක්කම ආපු තද්ධිත දිහා බැලුවා. මොකක්දෝ නොදන්නා හේතුවක් නිසා චමීරාට නොදැනීම තද්ධිතගේ ඇස්දෙක දිහා බැලුනා, තද්ධිතටත් අනන්‍යා තාත්තී කියලා කතා කරන සද්දෙ ඇහෙද්දිම උනත් අනන්‍යාගේ ඇස්දෙකටත් කලින් පෙනුනේ දිලිසි දිලිසී තමන් දිහාවට යොමුවෙලා තියන මිස් චමීරාගේ ඇස්දෙක. තත්පරයක් ගතවෙන්නත් කලින් ඒ ඇස් ගැටිලා වෙන්න ගිය අනතුර වළක්වගත්ත චමීරා බිම බලාගත්තා, තද්ධිත ඉක්මණින් අනන්‍යා ලඟට ඇවිත් තදකරලා බදාගෙන වඩාගත්තා.

    ‘පුතේ..ඔයාට මොකද වුණේ..කොහොමද දැන්’ තද්ධිතගේ ඇස්දෙකට කඳුළුත් ආවා.

    ‘අපෝ දැන් මොකුත් නෑ තාත්ති..ඒ වෙලාවේ නම් කැරකිලා ගිහින් මොකුත් පේන්නේ නැතිව ගියා..’

    අනන්‍යා හුරතල් වෙමින් කියපු විදිහට තාත්තාට වගේම ලඟ හිටපු මිස් චමීරාටයි මිසිස් විජේසුන්දරටයි දෙන්නටම හිනා ගියා. චමීරා තාත්තා සහ දුව ඉන්න තැනින් පසුපසට අඩි කීපයක් තියලා මිසිස් විජේසුන්දර ඉන්න තැනට ආවා.

    ‘මම එහෙනම් යන්නම් මිස්..’

    චමීරා මිසිස් විජේසුන්රගෙන් අවසර අරන් තාත්තාගේ කරේ එල්ලිලා ඉන්න අනන්‍යා දිහා බලලා අත වැනුවා. අනන්‍යාත් පෙරලා ආදරණීය හිනාවක් පෙන්නලා ස්තූති කරන්න වගේ අතවැනුවා. මොකක්දෝ හේතුවකට තද්ධිතට යනවා කියන්න අපහසුතාවයක් චමීරාට දැනුන නිසා ඇය අඩිය ඉක්මණ් කරලා සික් රූම් එකෙන් පිටවුණා.

    ‘කෝකටත් අවශ්‍ය වුනොත් ඩොක්ටර් කෙනෙක්ට දරුවා පෙන්නන්න මිස්ට දන්තනාරායන’

    මිසිස් විජේසුන්දර එහෙම කියන අතරෙම තද්ධිත අනන්‍යාගේ බෑග් එකයි වතුර බෝතලයයි තමන්ගේ කරේ එල්ලගෙන දූ පොඩිත්තත් වඩාගෙනම සික් රූම් එකෙන් පිටත්වෙන්න සූදානම් වුණා.

    ‘ගොඩක් ස්තූතියි මිසිස් විජේසුන්දර..මේ වෙලාවේ අනන්‍යා බලාගත්තට.. මම ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරන්නම්..තෑන්ක්ස් අගේන්..’

    තද්ධිත බොහොම කෘතවේදීව මිසිස් විජේසුන්දර එක්ක කතාකරලා අනන්‍යා එක්ක එළියට ආවේ තමන් එනකල් දූ පොඩ්ඩව ආදරෙන් බලාගත්ත අර ලස්සන ටීචර්ට ස්තූති කරන්නත් බලාගෙන. ඒත් ඇස්මානේ ඒ ලා නිල්පාට මල්වැටුණු සාරිය ඇඳල, කොණ්ඩේ තදකරලා බැඳලා කණ්ණාඩි පැළඳගෙන ලැසි ගමනින් කාමරෙන් එළියට ආපු මිස් චමීරාගේ රුව දකින්න ලැබුණේ නෑ. තත්පර කීපයක් ඒ මේ අත බලපු තද්ධිත ගේට්ටුවෙන් එළියට ඇවිත් ත්‍රීවීල් එකක් එනකල් බලාගෙන හිටියා.

    විනාඩි කීපයකින් ත්‍රීවීල් එකකට ගොඩවෙලා කොටුවේගොඩ හරස් පාරෙන් මාතර-තංගල්ල පාරට හැරිලා එතනින් දෙවිනුවර පැත්තට හරවද්දිම පාර අයිනේ හෙමින් හෙමින් ඇවිදගෙන යමින් හිටපු මෙච්චර වෙලා තද්ධිත දකින්න බලාපොරොත්තුවෙන් හිටපු රූපය දැක්කා. ත්‍රීවීල් එක ඇය පහුකරගෙන යද්දිම තද්ධිත රියඳුරාට කියලා ත්‍රීවීල් එක නතර කරලා අනන්‍යාත් වඩාගෙනම බැස්සා.

    අධික හිරුරැස් මතුවෙන වෙලාවේ බිම බලාගෙන ටවුම පැත්තට යමින් හිටපු චමීරා තමන් ඉදිරියෙන් ත්‍රීවීල් එකක් නතර වෙන හැටි වගේම ඒකෙන් බැහැපු තද්ධිත සහ අනන්‍යා දැක්කම කරකියා ගන්න දෙයක් නැතිවුණා. දැන්නම් අනන්‍යාගේ තාත්තා එන්නේ තමන් එක්ක කතාකරන්නමයි කියලා තේරුණු නිසා චමීරාට දහඩිය දාන එක තවත් වැඩිවෙලා ගමන් වේගයත් අඩුවුණා. පෙර පාසල් ගුරුවරියක් විදිහට අවුරුදු කීපයක කාලය ඇතුලේ දරුවන්ගේ තාත්තාලා තමන්ට ආදරය ප්‍රකාශ කරන්න ආපු අවස්ථා වගේම කෙලින්ම ඇඳට යන්න කතාකරපු අවස්ථාත් චමීරාට අලුත් දේවල් නෙවෙයි. ඒවාට බොහොම රළු විදිහට ප්‍රතිචාර දක්වපු චමීරාට තද්ධිත සම්බන්ධයෙන් මොනවා කරන්නද කියලා තවමත් හිතාගන්න බැරිව හිටියේ. නොදැනුවත්වම ඇස්දෙක දිහා බැලුන එක නිසා මොකක්හරි වැරදි දෙයක් හිතාගත්තාවත් ද කියලා අවිනිශ්චිතව ඇය තමන් දිහාවට එන තද්ධිත සහ අනන්‍යා දිහා බලලා පුදුමයෙන් වගේ හිනාවුණා.

    ‘මිස්..ගොඩක් ස්තූතිතිය දූ බලාගත්තට..මට ඒ වෙලාවේ තෑන්ක්ස් කරන්න බැරිවුණා කලබල වෙලා හිටපු නිසා..’

    තද්ධිත බොහොම ආචාරශීලීව එහෙම කියලා තමන් දිහාවට යොමුවුණු චමීරාගේ මුහුණු පුරා මොකක්දෝ දෙයක් හෙව්වා. ටිකක් ලොකු දිගටි ඇස්. රෝස පාට තොල්. හිනාවෙද්දි මොදුවෙන කම්මුල් එක්කම හීනිවෙන ඇස් නිසා පැය ගාණක් බලාගෙන ඉන්න හිතෙන තරමට ආකර්ශණයන් ඇයගේ රූපයේ ගැබ්වෙලා තිබුණා.

    ‘අයියෝ ඒක මොකක්ද...ඒක මගෙත් වගකීමක්නේ..අනිත් එක සමනලී ටීචර් වැඩ නිසයි මට ලඟ ඉන්න උනේ..මගේ ක්ලාස් එක කලින් ඉවරවෙනවනේ..’

    චමීරා අපහසුවෙන් වචන ටිකක් ගලපගෙන ඒ ටික එළියට දාලා ලොකු හුස්මක් ගත්තා. තද්ධිතත් එතනින් එහාට මොනවා කියන්නද කියලා කල්පනා කරමින් තත්පර කිහිපයක් ගතකලා. අනන්‍යා ඒ වෙද්දි තාත්තාගේ උරහිසට බරවෙලා කෙටි නින්දකට සූදානම් වෙමින් හිටියා.

    ‘මිස් අපි යන්නම් එහෙනම්..සී...යූ..’

    කරන්න දෙයක් නැතිම තැන තද්ධිත එහෙම කිව්වා. ඒක එක පැත්තකින් චමීරාට ලොකු අස්වැසිල්ලක් වුණා.

    ‘හරි එහෙනම් පරිස්සමින් යන්න..බායි..’

    සී යූ කියන වචන දෙක හිතාමතාම මගහැරලා චමීරා බායි කියලා නිකන් හිටියා. එක පැත්තකින් තමන් අනන්‍යගේ තාත්තට අකාරුණිකව උත්තර දුන්නදෝ කියලත් ඇයට නොහිතුණාම නෙවෙයි. ඒත් තමන්ගේ පිළිතුරට බාගෙට කපපු රැවුල් ගස් අතරින් සිහින් සිනාවක් නගපු තද්ධිත හැරිලා ගිහින් ත්‍රීවිල් එකට නගින්නත් කලින්ම ඇය ආයෙත් ටවුම පැත්තට හැරුණා.

    (ඊළග කොටස ඉක්මණින්ම මේ Thread එකෙන්ම)
    - www.apeisawwa.blogspot.com