සංස්ථාව පාඩු ලබන්නේ කොහොමද? බිලියන 105ක් යන්නේ කාගේ අතටද?
සුදු කරපටි අපරාධකාරයන් තුන් හතර දෙනෙක් බලශක්ති ක්ෂේත්‍රය නටවනවා
දිල්හාන් විමල්ක
මෙරටට ඛනිජ තෙල් ගෙන්වීමේ සහ විකිණීමේ මිල අතර මේ වසර ඇතුළත රුපියල් බිලියන 105ක වෙනසක් තිබෙන බව පරමාණු බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අනාවරණය කරයි.
ඛනිජ තෙල් මිලදී ගැනීමේදී මේ රටේ සෑම පාරිභෝගිකයකුම එය මිලදී ගන්නේ සැබෑ මිලටද නැත්නම් වෙනත් මිලකටද යන්න වග සහ මෙම රුපියල් බිලියන 105ට වෙන්නේ කුමක්ද කියන කාරණය දැන ගැනීමට ජනතාවට පූර්ණ අයිතියක් ඇති බව හෙතෙම අවධාරණය කළේය.
පෙට්රල් ලීටරයක් රුපියල් 97කට ගෙන්වා රුපියල් 162ක් වැනි මුදලකට විකුණා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන්නේ කෙසේද යන වග පිළිබඳ රටේ පාරිභෝගික ජනතාවට දැන ගැනීමේ අයිතියක් ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ඛනිජ තෙල් සංස්ථාවේ අපද්‍රව්‍ය තෙල් ලංකා විදුලි බල මණ්ඩලයට අලෙවි කිරීමේදී ලෝකයේ කිසිදු රටක නැති මිල සූත්‍රයක් ක්‍රියාත්මක වන බවද ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා "බලය සහ බලය" යන කෘතිය එළිදක්වමින් පැවැති උත්සවයේදී ඇමැති රණවක මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට බලශක්ති මිල ප්‍රතිපත්තියක් සහ පරිපාලන ප්‍රතිපත්තියක් කඩිනමින් අවශ්‍ය බව පෙන්වා දෙමින් හෙතෙම වර්තමාන ඛනිජ තෙල් ක්‍ෂේත්‍රයේ සහ විදුලි බල ක්‍ෂේත්‍රයේ මේ වගකීම භාර ගන්නේ කවුද යන වග සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් රටේ පාරිභෝගික ජනතාවට පැනනැඟී ඇති බවද පැවැසීය.
චම්පික රණවක මහතා විසින් රචිත මේ ග්‍රන්ථය ෙදාරට වැඩීමේ උත්සවයට විදුර වික්‍රමනායක, කරු ජයසූරිය, පී. දයාරත්න, රාජිත සේනාරත්න, නන්දිමිත්‍ර ඒකනායක, සරත් වීරසේකර යන මැති ඇමැතිවරුන් ඇතුළුව පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලනඥයෝ රැසක්ද, මහාචාර්යවරුද, මහා සංඝරත්නයද සහභාගි වී සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් රණවක මහතා පැවැසුවේ මෙවැන්නකි.
රටේ සංවර්ධනය සඳහා අපේ ප්‍රමුඛතා හඳුනා ගැනීම අප අතින් බොහෝ දුරට පමා වී තිබෙනවා. අපිට පිරිපහදුවක් තිබෙනවා. එයට බොර තෙල් බැරල් 100ක් දැම්මාම ඩීසල්, පෙට්රල්, භූමි තෙල් එන්නේ බැරල් 38යි. අපිට ඒක එදා ඉඳන් තිබිච්ච ගැටලුවක්. ඒ ගැටලුව විසඳගන්න ක්‍රමවේදයක් අතීතයේ යෝජනා වුණා. නමුත් ඒවා ඇයි ක්‍රියාත්මක නොවන්නේ කියන එක පිළිබඳව මේ කෘතියේ සඳහන් වෙනවා.
අදටත් අපේ අවශ්‍යතාවන් සපුරා ගන්න පිරිපහදුව සමත් නැහැ. කවුරු මොනවා කිව්වත් තව වසර 30කින් තෙල් අවසන් වෙනවා. අපි අධිවේගී මාර්ග හදනකොට, විශාල තට්ටු ගොඩනැඟිලි හදනකොට ඒවා අනාගතයට හදයි. නමුත් ඒවා නඩත්තු කරන්නේ කොහොමද කියන එක ගැනත් අපි සියලු දෙනාම අවබෝධ කරගත යුතුයි.
ලංකා විදුලි බල මණ්ඩලය මූලික ගණන් සැලැස්ම අනුව 2030දී සියයට 76ක් අපි බලය සපය ගන්න බලාපොරොත්තු වන්නේ ගල් අඟුරුවලින්. තෙල් යම් හෙයකින් අවසන් වුණොත් ඒ අඩුපාඩු පියවන්න වෙන්නේත් ගල් අඟුරුවලින්. මේ පොතේ ඒ ගැන සඳහන් වෙනවා ගල් අඟුරු භාවිත වෙන ශීඝ්‍රතාව පිළිබඳව.
නමුත් 2050, 2055 වන විට ගල් අඟුරුත් අවසන් වීමට නියමිතව තිබෙනවා. අපි ගල් අඟුරු බලාගාරයක් හදන්නේ වසර 25කට 30කට. ඒ බලාගාර අනාගතයේ නඩත්තු කරන්නේ කෙසේද කියන ප්‍රශ්නයත් අපිට තිබෙනවා. 1977න් පසුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ විවෘත ආර්ථිකය යටතේ පළමු අවුරුදු 5 රටේ ආර්ථිකය තුන් ගුණයක් වුණා. පවතින මිල ගණන් බැලුවාම 1960 ඉඳන් 2010 වන විට ලංකාවේ ආර්ථිකය 1,302කින් වැඩි වෙලා තිබෙනවා.
මුල් යුගයේ අපි සාර්ථක වෙන්න ලාභ ශ්‍රමය, ලාභ බලශක්තිය, ලාභ පරිසර නීති සහ ලංකාව පමණයි ඒ කාලයේ මේ කලාපයේ එවැන්නක් ආරම්භ කරලා තිබුණේ. ඒ නිසා අපිට ආයෝජන ආවා. අපිට රැකියා ඇති වුණා. අපනයන කටයුතු තිබුණා. මේ සියල්ලම ශීඝ්‍ර ආර්ථික වර්ධනයට බලපෑවා. අද ඒ එක සාධකයක්වත් නැහැ.
අද අපි 77 ගමන් මඟේ තවත් ඉදිරියට යන්න බැරි තරමටම හිර වෙලා තිබෙන්නේ. ඒක මේ රටේ සෑම ක්‍ෂේත්‍රයක්ම නියෝජනය කරන ජනතාව දැනගත යුතු කරුණක්. අද ලාභ ශ්‍රමය, ලාභ බලශක්තිය, ලාභ පරිසර නීති කිසිවක් නැහැ. නිෂ්පාදන සාධක ලාභ කිරීම මඟින් තවදුරටත් ආර්ථික වර්ධනයක් ළඟා කරගත නොහැකි මට්ටමට අද ශ්‍රී ලංකාව පත් වෙලා.
අපි නිෂ්පාදන සාධකවල කාර්යක්‍ෂමතාව වැඩිකර ගැනීමේ මඟම යා යුතුයි. එහිදී වැදගත්ම සාධකය බලශක්ති මිල ප්‍රතිපත්තියයි. ඉතාමත්ම කනගාටුදායක කරුණ වන්නේ ක්‍රමයෙන් ලංකාවේ බලශක්ති කාර්යක්‍ෂමතාව ඇදවැටෙමින් තිබෙන බව මෙම කෘතිය මඟින් මා පෙන්වා දී තිබෙනවා. මේ නිසා ලංකාවට ඉතාම අත්‍යවශ්‍ය වී තිබෙන්නේ බලශක්ති මිල ප්‍රතිපත්තිය ඇති කර ගැනීම.
කරු ජයසූරිය මහතා ඇමැති ධුරයේ සිටින කාලයේ මිල සූත්‍රයක් හඳුන්වලා දුන්නා. ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඒ මිල සූත්‍රය පිළිබඳ මගේ අදහස් මේ කෘතියේ සඳහන් කරලා තිබෙනවා. අද ඛනිජ තෙල් ක්‍ෂේත්‍රයේ සහ ලංකා විදුලි බල මණ්ඩල ක්‍ෂේත්‍රයේ වගකීම භාරගන්නේ කවුද, වගකිව යුත්තෝ කවුද කියන එක පිළිබඳව බලවත් ප්‍රශ්නයක් මේ රටේ පාරිභෝගිකයන්ට තිබෙනවා.
පෙට්රල් රුපියල් 97 ගෙනල්ලා රුපියල් 162 විකුණලා කොහොමද ඛනිජ තෙල් සංස්ථාව පාඩු වෙන්නේ කියන ප්‍රශ්නය දැන ගැනීමේ අයිතිය රටේ ජනතාවට තිබෙනවා. මේ වසර ඇතුළත රුපියල් බිලියන 105ක වෙනසක් තිබෙනවා ඛණිජ තෙල් ගෙන්වීමේ සහ විකිණීමේ මිල අතරේ. මේකට මොකද වෙන්නේ කියන එක රටේ ජනතාව දැනගත යුතුයි. කාටද මේ රුපියල් බිලියන 105 යන්නේ.
මේ පිටුපස රාජ්‍ය බදු, පළාත් සභා බදු, වරාය බදු ආදී වශයෙන් විශාල බදු ප්‍රමාණයක් සැඟවී තිබෙන බව අපි මතක තබාගත යුතුයි. ඒ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩුයි කියන මිථ්‍යාව සංඛ්‍යාලේඛන සහිතව මම මේ පොතේ පෙන්වා දී තිබෙනවා.
මේ රටට අනාගතයක් අවශ්‍ය නම් සුදු කරපටි අපරාධකරුවන් තුන් හතර දෙනෙක් කොහොමද ලංකාවේ බලශක්ති ක්‍ෂේත්‍රය නටවන්නේ කියන කතන්දරය මේ තුළ තිබෙනවා. ඒක දේශපාලන වශයෙන් ගිය ආණ්ඩුවේද, ඊළඟ ආණ්ඩුවේද කියලා නැහැ. 90 දශකයෙන් පටන් ගෙන මේ දක්වා මේ පිරිස කොහොමද බලවත් වෙලා තිබෙන්නේ. යම් යම් ක්‍ෂේත්‍රවල කොහොමද මේ අය තනතුරු කරන්නේ කියන කතන්දරය සාක්‍ෂි සාධක ඇතිව මම ඉදිරිපත් කරලා තිබෙනවා.