රස_ගැන_කථාවක්…

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රස ගැන කථාවක්…

    351j1qt.jpg


    රස ගැන කථාවක් අහන්න කැමති ද? කියවලම බලන්නකො රස ගැන කථාව රසයි ද කියල.

    කෑමට ඉඳ ගත්තම අපි රස ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. කටට රසට තියෙනව නම් කන්න බල කරන්න උවමනා නෑ, බඩගිනි තියෙන්න උවමනත් නෑ. අපේ දිව රසට බොහොම සංවේදියි. පැණි රස, ලූණු රස, ඇඹුල් රස, තිත්ත රස, මිරිස් රස, කිරි රස ආදි නොයෙක් රස වෙන් වෙන් වශයෙන් තෝරාගන්න දිවට පුළුවන්.

    කන්න කොයිතරම් ආසා වුණත්, ආසා දේවල් කන්න නො ලැබෙන අවස්ථාත් තියෙනවා. සමහර රෝග තත්ත්ව යටතේ දි රස නහර පිනා යන බොහෝ රසයන්ට සීමා මායිම් පැනවෙනවා. දියවැඩියා රෝගින්ට පැණි රස කන එක අඩු කරන්න වෙන්නෙත්, අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට ලූණු භාවිතය අඩු කරන්න වෙන්නෙත් රසයන්ට පැනවෙන සීමාවන් ලෙසයි. ඔය වගේ උදාහරණ තව ඕන තරම් ඇති.

    සාමාන්‍යයෙන් අපිට ‘කරන්න එපා’ කියන දෙයක් කරන්න පුදුමාකාර උවමනාවක්නෙ ඇති වෙන්නෙ. කෑම ගැන වුණත් එහෙම ම තමයි. කන්න එපා කිව්වම කොහොම හරි කන්න තිබුණ නම් කියලා හිතෙනවා. කන්න ඉඩ දෙන්නෙ නැත්නම් රහසින් හරි කන්න හිතෙනවා. අපිට නො තේරුනාට අපි මොන තරම් මේ රසයට වහල් වෙනව ද?

    හිතන්න ඔන්න අපි කන්න ගොඩක් කැමති කෑමක් තියෙනව. බත් සහ කන්න කැමති ම ව්‍යාංජනයක් කියලා හිතමුකො. හොඳ පිළිවෙලට ඒ කෑම එක බෙදලා තියෙනවා දකිද්දිම ඔන්න අපිට ඒක කන්න උවමනා වෙනවා. ගොඩක් වෙලාවට දුටු හැටියේ කටට කෙලත් උනනවා.

    අපි කන්න ආශා කරන ඒ කෑම එක වෙන කෙනෙක් හොඳට අනනවා. දැන් තියෙන්නේ වෙන කෙනෙක් අනපු කෑම එකක්. දැන් අර මුලින් බෙදලා තියෙනවා දකිද්දි කන්න දැනුන උවමනාවෙන් ම මේ කවුරුවත් අනපු කෑම එක කන්නත් හිතේවි ද? නෑ නේ ද?

    හරි; වෙන කවුරුවත් නෙමෙයි; කෑම එක ඔබ ම අනන්න පටන් ගත්තා කියලා හිතමු. ඇඟිලි අතරෙ ආහාරය හොඳට මිශ‍්‍ර වෙද්දි ඔබට ඒ ආහාරයේ රස දැනෙනව ද? දැනෙන්නෙ නෑ නේ ද?
    අනපු කෑම කට ඔබ අතට ගන්නවා. දැන් ඔබට ඒ ආහාරයේ රස දැනෙනව ද? ඒත් නෑ.

    අතට ගත්තු කෑම ටික ඔන්න ඔබ කට දිහාට අරන් එනවා. දැන්වත් ඔබට එහි රස දැනෙනව ද? තවම නෑ.

    ඔබ ම අනපු ඒ කෑම ටික දැන් ඔබේ තොල් ළඟයි තියෙන්නේ. සුවඳ නම් දැනෙයි, ඒත් තවම රස දැනෙන්න විදිහක් නෑ.

    ඔන්න කෑම ටික කටට දා ගත්තා. දත්වලින් හැපෙමින්, දිවෙන් රෝල් වෙමින්, කෙලත් එක්ක මුහු වෙමින් තමයි දැන් ඒ කෑම ටික තියෙන්නේ. දිව තමන් ගෙ රාජකාරිය පටන් ගන්නෙ දැන්. ඔන්න ඔබට උවමනා කරපු රස එකින් එක දිව තෝරලා, බේරලා දෙන්න පටන් ගන්නවා. මොහොතකින් පොඩි වුණ, ඇඹරුණ, කෙල එක්ක හොඳින් මිශ‍්‍ර වුණ ආහාර ගුලිය උගුරට යැවෙනවා. උගුරෙන් අන්නශ්‍රෝතයටත් එතැනින් ආමාශයටත් යැවෙනවා. කටේ කෑම තියෙද්දි දැනුන රස උගුරෙන් එහාට කෑම ටික යද්දි දැනෙන්නෙ නෑ. කෙල එක්ක මුහු වුණ තප්පර කිහිපය තුළ විතරමයි රස, අපේ රස නහර පිනෙව්වේ. මොන තරම් පුංචි කාලයක් ද? ඔන්න ඔය තප්පර කිහිපයක ආශ්වාදය වෙනුවෙන් නේ ද අපි රස හොය හොයා යන්නේ? ලූණු මදි වෙලා හරි ලූණු වැඩි වෙලා හරි කී පාරක් නම් කෑම මේසෙ දි අපේ මුහුණු නරක් වෙන්න ඇති ද? තව කොච්චරක් නම් අඩු පාඩුකම් දිව අපිට හොයලා දෙනව ද? තප්පර කිහිපයක ආශ්වාදය අපි ව අල්ලන් ඉන්න තරම..!

    ඔන්න අපි හිතමු අපේ අතින්ම ආශාවෙන් අනලා කටට දැම්ම කෑම ටික හොඳට කෙල එක්ක මුහු වුණාට පස්සේ ආයෙමත් එළියට ගන්නවා. දැන් ඒක ආයෙමත් කටට දා ගන්න ඔබ කැමතියි ද? අඩුම තරමේ අතට ගන්නවත්…… අමාරුයි නේ ද වැඩේ? බලන්න; නිතර මදිමින්, සෝදමින්, පිරිසිදු කරමින් ඉන්න අපේ කටේ අපේ ම කෙල එක්ක මුහු වුණ, අපි ම ආශාවෙන් අපේ අතින් අනලා කන්න ගත්ත කෑම ටික නේ ද දැන් අපිට පිළිකුලක් ගෙන දෙන්නේ? ඔය ටික උගුරෙන් පහළට ගිහින් බඩටත් ගියාට පස්සේ ආයේ එළියට ආවොත්? මගේ ආමාශයික යුෂ එක්කනේ මිශ‍්‍ර වුණේ කියලා පිළිකුලක් නැතිව ඒ දිහා බලන්න අපිට පුළුවන් ද?

    බලන්න මොහොතින් ආහාරය වෙනස් වෙන හැටි…. ඒ වෙනස් වීමත් එක්ක අපිට දැනෙන දේ වෙනස් වෙන හැටි….. ආශ්වාදය ලබපු දෙයින්ම ආදීනවය උපදින හැටි….

    ඔය කිසි දෙයක් තේරුම් නො ගෙන සියලූ සතුන් ආහාර වෙනුවෙන් මොන තරම් අකුසල් සිද්ද කර ගන්නව ද? මොන තරම් නම් හොරකම් කරනව ද? මොන තරම් නම් බොරු කියනව ද? රස තෘෂ්ණාව විසින් අපි ව ඇද දමන ප‍්‍රපාතයේ තරම තමයි ඒ.

    අපි ඔය තරම් රසය හොය හොයා යන්නෙ ඇයි? වෙන දෙයක් නිසා නෙමෙයි, ආහාරයේ තරම අපි නො දන්න නිසයි. ආහාරය අවබෝධ කරන්න අපිට බැරි වුණ නිසයි.

    සියලූ තෘෂ්ණාවන් බැහැර කරපු, සියලූ තෘෂ්ණාවන් බැහැර කරන මාර්ගයට ප‍්‍රවිෂ්ට වුණු ආර්ය ශ‍්‍රාවකයන් නම් ආහාර ගන්නේ ආහාරයේ තරම ගැන අවබෝධයෙන් ම යි. ඔව්, සැබැවින්ම ආර්ය ශ‍්‍රාවකයා ආහාර ගන්නේ ජවය පිණිස නෙවෙයි, මදය පිණිස නෙවෙයි, හැඩ වැඩ වීම පිණිස නෙවෙයි. ඔවුන් ආහාර ගන්නේ පෙර ඇති වූ වේදනාවන් සමනය කර ගැනීම පිණිස, අලූතෙන් වේදනාවන් හට නො ගැනීම පිණිස සහ ධර්මයේ හැසිරීම උදෙසා කය පවත්වාගෙන යාම ගැනීම පිණිස… බලන්න, මොන තරම් නම් උත්තරීතරයි ද ඒ ආර්ය ජීවිත…

    දකිද්දි ප‍්‍රියමනාප වන, කද්දි රස ගෙන දෙන, එතැනින් එහාට හිතන්නවත් අප‍්‍රිය-අමනාප තරමේ පිළිකුලක් ඇති කරවන, නො කා තියෙන්න ඇරියොත් පිළුනු වෙන, කුණු වෙන, ගඳ ගසන ඒ කබලිංකාර ආහාරය ගැන යථාභූත ඥණය යමෙක් උපදවා ගත්තොත් ඒ තැනැත්තා අනාගාමී ඵලය සාක්ෂාත් කරන බවයි බුද්ධ භාෂිතය.

    රස කෑම ගැන අපේ කථාව නීරස නෑ නේ ද? ඔන්න උත්සහ කරලා බලන්න, නිතර දෙවේලේ කටට දා ගන්න දෙයිනුත් ජීවිතයට උතුම් අර්ථයක් සලසා ගන්න අපි කාටත් පුළුවනි.

    ඉතින් අපි මේ තරම් වෙලා කිව්වෙ කටට රහට කන්න එපා කියල ද?
    නෑ… නෑ….

    ‘ගන්නා ආහාරය සිහි නුවණින් යුතු ව ගන්න’ කියල. ඒකයි ආර්ය පිළිවෙත.
     

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    ඉතින් අපි මේ තරම් වෙලා කිව්වෙ කටට රහට කන්න එපා කියල ද?
    නෑ… නෑ….

    ‘ගන්නා ආහාරය සිහි නුවණින් යුතු ව ගන්න’ කියල. ඒකයි ආර්ය පිළිවෙත.