රටට අහිමි වූ ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රය
මේ සියල්ලටම වඩා වැදගත් සාධකය වන්නේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ නොකෙළේ නම් ශ්‍රී ලංකාව පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ආසියානු කේන්ද්‍රය වීමට තිබූ හැකියාවයි. මහාචාර්ය හීන් නිලමේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිලිබඳ සිහින දකින හැත්තෑව දශකයේදී ආසියාවේ කිසිදු රටකට පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය කිරීමට අදහසක් හෝ නොතිබිණ. ආසියාවේ අද පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන සිංගප්පූරුව පවා ඒ දිනවල වැඩි අවධානය යොමුකර තිබුණේ සිය රාජ්‍ය විශ්ව විද්‍යාලය ශක්තිමත් කිරීම පිලිබඳව ය. ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව, තායිලන්තය, වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අද ප්‍රමුඛයන් වී සිටින රටවල් මහාචාර්ය හීන් නිලමේලා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන අවධියේ පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිලිබඳ කිසිදු අවධානයක් යොමු කර තිබුනේ නැත.
ජවිපෙ මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශ්ව විද්‍යාල ගිනි තබමින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛරී සමාජ ව්‍යාපාරයක් බිහි නොකෙළේ නම් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය වඩාත් පුළුල් වී විදේශ සිසුන්ගේ විශාල ආකර්ශනයක්ද දිනා ගැනීමට විශාල හැකියාවක් තිබිණ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමෙන් පහෙන් එකක් විදේශ සිසුහු වූහ. හෙහෙත් එම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ප්රචණ්ඩ විරෝධතා මතුවීමත් සමග නව විදේශ සිසුන්ගේ ආකර්ශනය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් ගිලිහී ගියේ ය. රටට අහිමි වූ විදේශ විනිමට ඩොලර් මිලියන ගණනකි. දැවැන්ත අලාභය වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ආසියානු කේන්ද්‍රය වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වීමයි. පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ කැපී පෙනන ප්රමුඛයෙකු වී සිටින මැලේසියාව සිය පළමු පෞද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කෙළේ වසර 1989 දීය. තායිලන්තට සහ දකුණු කොරියාව එම ප්රවාහයට එක් වූයේ 90 දශකයේ මුල් භාගයේය. සැබැවින්ම මෙය පටු දේශපාලන අවස්ථාවාදය හේතුවෙන් අපට අහිමි වූ ඓතිහාසික අවස්ථාවකි.
රාගම දී කළ වරද වසර 30 ක පසු මාලබේදී යලිත්..
ඉතිහාසයේ එකම වරද දෙවරක් කරන්නේ නම් එය අවසන් වන්නේ ඛේදවාචකයකිනි. එදා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වරද අද අපි මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටිමු.
මාලාබේ වෛද්‍ය විද්‍යාලය යනු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය මෙන් ලාබ ලැබීමේ අරමුණින් බැහැරව වෛද්‍ය සංගමයක් විසින් ආරම්භ කරන ලද ආයතනයක් නොවේ. එය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු නමැති හිටපු දේශපාලනඥයා ලාබ ලැබීමේ අරමුණින් ආරම්භ කළ ආයතනයකි. වසර 2009 දී මෙම පෞද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ රුසියාවේ Nizhuy Novgorod State Medical Academy නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් ලෙසය. මාලාබේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන සිසුන් අවසන් වසරේ අධ්‍යාපනය සඳහා එම රුසියානු වෛද්‍ය විද්‍යාලයට යා යුතුය. මෙම සංකල්පය යටතේ ලංකාව තුල පෞද්ගලික විශ්ව විද්‍යාලය නොහොත් ‘පෞද්ගලික විද්‍යාල‘ ගණනාවක් ස්ථාපිත කර තිබේ. පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂනය, ඉංජිනේරු විද්‍යාව, මූල්‍ය හා කළමණාකරනය ඇතුලු විෂයන් ගණනාවකට උපාධි ලබා දෙන විද්‍යාලයන් හි මව් විශ්ව විද්‍යාල ඇමරිකාව, අයර්ලන්තය, තායිලන්තය, ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව, වැනි රටවල පිහිටා තිබේ. අදාල උපාධියේ අවසාන වසර හෝ දෙක සම්පූර්ණ කිරීමට අදාල මව් විශ්ව විද්‍යාලයට යෑමට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන සිසුන්ට සිදුවෙයි. මෙම පෞද්ගලික විද්‍යාලයන් වසර ගණනාවක සිට ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳ විරෝධතාවයක් සමාජය තුල නොමැත. එහෙත් මාලාබේ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ අවස්ථාවේ සිට ජවිපෙ, පෙරටුගාමී මෙන්ම පාදෙණිය, හේරත්, සොයිසා මාර පුත්‍රයන්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වසර 1980 දී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වාදනය කළ පරණ තැටියම වාදනය කරමින් සිටිති. මෙම වාදනය වියරුවක් බවට පත් වූයේ 2011 අගෝස්තු 30 වෙනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මාලබේ විශ්ව විද්‍යාලයට ඔවුන්ගේ වෛද්‍ය උපාධි පිරි නැමීමේ අවස්ථාව ප්රදානය කිරීමත් සමග ය.