රාජපක්ෂ ආණ්ඩුවට වැරදුණේ කොතැනද?

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    රාජපක්ෂ ආණ්ඩුවට වැරදුණේ කොතැනද?



    දැන් ලංකාව නැවත ඉන්දියාව සමග භේද ඇති කරගන්නා තැනකට තල්ලූ වී සිටින බව පෙනේ. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වරද්දාගත් තැනද එයම විය. ඒ මගින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා උදාකරගත් ප‍්‍රතිඵල ඉතාමත් ඛේදජනකය. ඒ නිසා ජනාධිපතිට හා ඔහුගේ ආණ්ඩුවට පමණක් නොව පොදුවේ රටටද විශාල වන්දියක් ගෙවන්නට සිදුවිය. මුළු රටම ලේ විලක් බවට පත්වූයේ ඒ නිසාය. උතුරට පමණක් සීමාවී තිබූ ත‍්‍රස්තවාදය දකුණද වෙලාගත් වසංගතයක් බවට පත්වූයේද ඒ නිසාය. ඒ හේතු කොටගෙන රටේ ප‍්‍රමාණයට නොගැළපෙන තරම් විශාල ජීවිත විනාශයක් ඇතිවූවා පමණක් නොව සිංහල හා දෙමළ සමාජයන්ට සිටි නායකයන් විශාල ප‍්‍රමාණයකගේ ජීවිතද අහිමි විය. ඒ නිසා ජනාධිපති ජයවර්ධනට ධුර කාල තුනක් පිළිබඳව ඇති කරගෙන තිබූ සුන්දර සිහිනයද අත්හරින්නට සිදුවූයේය. ඒ සමග ඉතාමත් බලවත් තත්ත්වයක් හිමි කරගෙන සිටි ජනාධිපතිගේ තත්ත්වය සේ ම පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබූ ආණ්ඩුවේ තත්ත්වයද බෙලහීන වී ආණ්ඩු පෙරළියක් සඳහා වන දේශපාලන වටාපිටාවක්ද ඇති කිරීමට හේතුවිය.
    ජේ.ආර්.ට වැරදුණු තැනඑදා කොටි සංවිධානය ඉතාමත් බලවත් තත්ත්වයක නොසිටියද එම ව්‍යාපාරය මුලින් උපුටා දැමීමේ බලවත් වුවමනාවක් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනටද තිබුණේය. වඩමරච්චි මෙහෙයුම පරිසමාප්ත කිරීමට ඉන්දියාව බාධා නොකළේ නම් කොටි සංවිධානය පරාජය වන්නට ඉඩ තිබුණේ එදාය. එහිදී ඉන්දියාව ඇති කරන ලද අවහිරකම් කෙරෙහි ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන් සමග කල්ලි ගැසී ඉන්දියානු විරෝධී ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියාකිරීම වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. ඉන්දිරා ගාන්ධි පරාජය වූ අවස්ථාවේදී ඇය වැස්සියක ලෙස හඳුන්වමින් කර තිබුණු අවමනද ඉන්දියාව පවත්වාගෙන ගිය ශ‍්‍රී ලංකා විරෝධී ප‍්‍රතිපත්තිය කෙරෙහි වැදගත් අතිරේක සාධකයක් ලෙස බලපෑවේය. ලෝක බලවතා ලෙස ක‍්‍රියාකළ ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන් සමග සමීපව ක‍්‍රියාකළ රාජ්‍ය නායකයකු වශයෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ තක්සේරුව වී තිබුණේ කෙණහිලිකම් කරනවා හැරුණු විට කලාපීය බලවතා වුවත් ලංකාව සම්බන්ධයෙන් කළහැකි තීරණාත්මක දෙයක් ඉන්දියාවට නැති බවය. එහෙත් ඉන්දියාව පිළිබඳ තමන්ගේ තක්සේරුව නිවැරදි නොවන බව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පළමුවරට තේරුම් ගත්තේ ඉන්දියාව විසින් යාපනේට ධීවර බෝට්ටුවලින් එවන ලද සහනාධාර ආපසු හරවා යැවීමෙන් පසු තමන් ගුවනින් යාපනේට සහනාධාර එවන බව හා අවහිර කළහොත් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන බව දැනුම්දෙමින් ඉන්දියාව ඒ දේ කිරීමෙන් පසුවය. එම තීරණාත්මක අවස්ථාවේදී ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න ඇමරිකාව හෝ වෙනත් කිසිදු බටහිර බලවතෙක් ඉදිරිපත් නොවීය. තමන් තනිවී සිටින බව ජනාධිපතිවරයා විසින් පළමුවරට තේරුම් ගත්තේ එදාය. ඒ සමග ශ‍්‍රී ලංකාව නිදහසින් පසුව බිහිකළ ප‍්‍රතාපවත්ම නායකයා ලෙස සැලකිය හැකි ජේ.ආර්. ජයවර්ධන ඉන්දියාවේ දෙපා මුල වැඳ වැටෙන තත්ත්වයකට පත්විය.

    එම අර්බුදයේදී ලංකාව ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප‍්‍රතිපත්තිය වැරදි වනවා සේ ම ඉන්දියාවද ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප‍්‍රතිපත්තිය වැරදි හා සාහසිකවීයැ යි කිවහැකිය. ඒ වෙනුවෙන් ඉන්දියාවටද විශාල වන්දියක් ගෙවන්නට සිදුවිය. කරන ලද මැදිහත්වීමෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරගන්නට නොහැකි වූවා සේම ඉන්දියානු හමුදාවන්ට විශාල ජීවිත හානියක් සිදුවීමෙන් නොනැවතී එය ඉන්දියාවේ ඉතිහාසයට එකතු වූ ලොකු කළු පැල්ලමක් බවටද පත්වූයේය. ඉන්දියාව බිහිකළ වර්ණවත්ම නායකයකු ලෙස සැලකිය හැකි රජීව් ගාන්ධි ඔහුගේ මව විසින් කිරිපොවා ලොකු මහත් කළ කොටි සංවිධානය අතින් ඝාතනයට ලක්වීමද එහිදී ඇතිවූ අවාසනාවන්ත සිද්ධියක් ලෙස සැලකිය හැකිය.

    දෙරටේම යහපතට හෝ ගෞරවයට හේතු නොවූ මෙම අවාසනාවන්ත අර්බුදයෙන් පසුව කාලයාගේ ඇවෑමෙන් රටවල් දෙකම එකිනෙකා කෙරෙහි පවත්වාගෙන ගිය වැරදි ප‍්‍රතිපත්ති වෙනස් කරගනිමින් සිටියේය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කොටි සංවිධානයට එරෙහිව ආරම්භ කළ තීරණාත්මක යුද්ධයේදී ඉන්දියාව රාජපක්ෂ ආණ්ඩුවට උපරිම ලෙස ආධාර කළේය. කොටි සංවිධානයේ බලවත් පැවැත්ම ඉන්දියාවේද ආරක්ෂාවට තර්ජනයක් වී තිබුණි. එම යුද්ධයේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට ලබාදෙන ලද සහාය යුද්ධයේ ජයග‍්‍රහණය කෙරෙහි බලපෑ තීරණාත්මක සාධකයක් විය. එහිදී ඉන්දියාවට ලැබෙන තීරණාත්මක වැදගත්කම ලංකා ආණ්ඩුවද මනා ලෙස තේරුම් ගෙන සිටියේය. ආරක්ෂක ලේකම්වරයා විසින්ද පසුව ප‍්‍රකාශ කරන ලද පරිදි එහිදී ලංකාව ඉන්දියාවට කිසිවක් සැඟවූයේ නැත. ඉන්දියාවේ උනන්දුවට හේතුවන හැම දෙයක්මත් ඉන්දියාවට දැනුම් දුන්නේය. යුද්ධය බටහිර බලවතුන්ගේ විරෝධයට හේතුවී තිබුණද ඔවුන්ට ලංකාවට එරෙහිව තීරණාත්මක කිසිවක් කළ නොහැකි වූයේද ඉන්දියාවෙන් ලංකාවට ලැබී තිබුණු රැුකවරණය නිසාය. ඒ තීරණාත්මක මොහොතේදී ලංකාවට ආර්ථික වශයෙන් ආධාර කරන ලද රටවල් අතරද ඉන්දියාව ප‍්‍රධාන තැනක් ගත්තේය. අවසාන විග‍්‍රහයේදී ඇය ලංකාවට ආර්ථික වශයෙන් ආධාර දෙන ප‍්‍රධාන රට බවටද පත්ව තිබුණේය. ඉන්දියාව විරසක කරගැනීම

    ලංකාවේ දෙමළ ප‍්‍රශ්නය ඉන්දියාවටද සංවේදී ප‍්‍රශ්නයකි. ලංකාවේ දෙමළ ජනයා, දකුණු ඉන්දියාවේ දෙමළ ජනයාගේ ළඟ අසල්වැසියන් වනවා පමණක් නොව මේ දෙපිරිස බොහෝ දුරකට එකම සංස්කෘතියකට හිමිකම් කියන ජනතාවක් ලෙසද සැලකිය හැකිය. ලංකාව උතුරේ ඇතිවන ඕනෑම නොසන්සුන්කමක් තමිල්නාඩුව කෙරෙහි ද බලපායි. අනෙක් අතට තමිල්නාඩුවේ ඇතිවන ඕනෑම නොසන්සුන්කමක් ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව කෙරෙහි බලපායි. ඒ නිසා ලංකාවේ දෙමළ ප‍්‍රශ්නය දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාවගේද විශ්වාසයට හේතුවන ලෙස විසඳනවා දැකීම ඉන්දියානු අභිලාෂය වේයැ යි කිව හැකිය. ඉන්දියාව ලංකාවේ යුද්ධයේදී තමිල්නාඩු විරෝධතා නොසලකා ලංකාණ්ඩුවට ආධාර කළේය. ඒ සමග එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කොට දෙමළ ප‍්‍රශ්නයට ලංකා ආණ්ඩුව විසින් සාධාරණ විසඳුමක් ලබාදෙනු ඇතැ යි ඉන්දියාව අපේක්ෂා කළේය. තමිල්නාඩු ආවේගයන් පාලනය කිරීම සඳහා එය ඉන්දියාවට අත්‍යවශ්‍ය කොන්දේසියක් වී ඇතැ යි කිවහැකිය. ඒ ගැන ලංකා ආණ්ඩුව වෙනුවෙන් ජනාධිපතිවරයාද ඉන්දියාවට සහතික වී තිබුණි. 13 සමග ඊට වැඩි දෙයක් දෙන බවට එක අවස්ථාවකදී නොව අවස්ථා ගණනාවකදීම ඉන්දියානු නායකයන්ට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබුණි.

    දැන් ඇතිවී තිබෙන මතභේද කෙරෙහි බලපා තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් ඉන්දියාවට දෙන ලද එම පොරොන්දුව ඉටු නොකිරීම හා එය ඉටුකිරීමට උනන්දුවක් පවා ඇති බවක් පෙන්නුම් නොකිරීමය. මේ නිසා ලංකාවේ ජනාධිපතිවරයා විසින් තමන් රවටනු ලැබුවේයැ යි කියන හැඟීමක් ඉන්දියානු නායකයන් විසින් ඇති කරගෙන තිබෙන බව පෙනේ.

    ආණ්ඩුවට එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධය තීරණාත්මක වැදගත්කමකින් යුතු දෙයක් විය. එය ජයගැනීමට නම් ඉන්දියාව ඊට අවහිර නොකරන තැනක තබාගැනීම අවශ්‍ය බවද ආණ්ඩුව තේරුම් ගෙන තිබුණි. ඉන්දියාවටද ඉන්දියාවේ ආරක්ෂාව සඳහා කොටි සංවිධානය පරාජය කිරීම අවශ්‍ය වී තිබුණි. ඉන්දියාව ඊට අවහිර නොකරන තැනකින් නතර නොවී උපරිම ලෙස ලංකා ආණ්ඩුවට ආධාර කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ යුද්ධය අවසන් කිරීමෙන් පසු දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ආණ්ඩුව විසින් ලබාදෙනු ඇතැ යි කියන විශ්වාසය නිසාය. එහෙත් ආණ්ඩුවට එල්ටීටීඊය පරාජය කිරීමට කැරෙන යුද්ධය සඳහා ශක්තිමත් දර්ශනයක් වැඩපිළිවෙළක් තිබුණද යුද්ධයෙන් පසු දෙමළ ප‍්‍රශ්නය කෙසේ විසඳා ගතයුතුද යන ප‍්‍රශ්නය පිළිබඳව කිසිදු පැහැදිලි ඉදිරි දැක්මක් තිබුණු බවක් පෙනෙන්නට නැත. 13 සමග ඊට වැඩි දෙයක් දෙන බවට දෙන ලද පොරොන්දුව ඒ මොහොතේ ඉන්දියාව සතුටු කිරීම සඳහා පමණක් දෙන ලද බොරු පොරොන්දුවක් වී නම් රටක් වශයෙන් අපි අපේ ළඟම අසල්වැසි රටට කර තිබෙන දේ සාධාරණ, සදාචාරසම්පන්න හෝ යහපත්වන්නේ නැත. චීනය වැනි රටකට මෙවැනි යුද්ධයකදී ශ‍්‍රී ලංකාවට ආධාර කිරීම එම රටේ ජනතාව අතර අභ්‍යන්තර ප‍්‍රශ්න ඇති කරන හේතුවක්වන්නේ නැතත් ඉන්දියාවේ තත්ත්වය ඊට සහමුලින් වෙනස්ය. තමන් කරන ලද ක‍්‍රියාව තමන්ගේ රටේ දෙමළ ජනතාවට යුක්තිසහගත කිරීමේ හැකියාවක් ඉන්දියානු ආණ්ඩුවට තිබිය යුතුය. එසේ නොවෙතොත් එය එරට දෙමළ ජනතාවගේ කෝපයට හේතුවන කරුණක් බවට පත්වන්නේය. ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව ඒ මොහොතේ ලංකා ආණ්ඩුවට ආධාර කළේ සිය දේශපාලන පැවැත්මද කිසියම් විශාල ප‍්‍රමාණයකට පරදුවට තබමිනි. තමිල්නාඩුවෙන් එල්ලවිය හැකිව තිබුණු විරෝධතා කිසියම් විශාල ප‍්‍රමාණයකට පාලනය කරගැනීමට ඉන්දියානු ආණ්ඩුව සමත් වූයේද යුද්ධයෙන් පසු දෙමළ ප‍්‍රශ්නයට සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදෙන බවට ලංකා ආණ්ඩුව දී තිබුණු සහතිකය ප‍්‍රයෝජනයට ගැනීම නිසාය. ඒ අර්ථයෙන් ඉටු කළ නොහැකි පොරොන්දුවක් ලබාදීම මගින් කොංග‍්‍රස් ආණ්ඩුව දේශපාලන අර්බුදයකට තල්ලූ කරන තත්ත්වයක් ලංකාව ඇතිකර තිබේයැ යි කිව හැකිය. මෙය තමන්ට බලවත් ලෙස ආධාර කළ අසල්වැසි රටක මිතුරු ආණ්ඩුවක් බිලිදීමකට සමානය. එවැනි තත්ත්වයක් ඉදිරියේ ඉන්දියාව ශ‍්‍රී ලංකාව කෙරෙහි දක්වන ප‍්‍රතිචාරය යහපත් විය නොහැකිය.

    කොංග‍්‍රස් ආණ්ඩුව ඉදිරි මැතිවරණයේදී පරාජයට පත් වුවහොත් ඇතිවන ඊළඟ ආණ්ඩුව දකුණු ඉන්දියාවට බර තබන ලද ආණ්ඩුවක් වුවහොත් එම ආණ්ඩුව ලංකාව සම්බන්ධයෙන් වඩා යහපත් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැ යි අපේක්ෂා කළ නොහැකිය. අනෙක් අතට කොංග‍්‍රස් ආණ්ඩුවක් නැවත බලයට පත්වුවද ලංකාව පිළිබඳව ඇති කරගෙන තිබෙන අමිහිරි අත්දැකීම් පහසුවෙන් අමතක කරනු ඇතැ යි සිතිය නොහැකිය. අවසාන විග‍්‍රහයේදී ලංකාව තරහ කරගෙන තිබෙන්නේ තමන්ගේ ළඟම අසල්වැසියාය. ළඟම අසල්වැසියා මාලදිවයින වැනි පුංචි රටක් වී නම් එය ලංකාව කෙරෙහි ඇති කරන බලපෑම විශාල නැත. එහෙත් අප තරහ කරගෙන තිබෙන්නේ එවැනි පුංචි රටක් නොව ජනගහනයෙන් චීනයට පමණක් දෙවැනි වූ විශාලතම රටය. ලෝකයේ තිබෙන ලොකුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රට ලෙස සැලකෙන රටය. කලාපීය බලවතාද ලෝක ආර්ථිකයේ කැපීපෙනෙන තරමේ විශාල බලයක් හිමි කරගෙන සිටින රටකි. ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන්ට දැනෙන තරමේ බලවත් දෙයක් ලංකාවට කළ නොහැකි වූයේ ඉන්දියාවෙන් ලැබී තිබුණු රැුකවරණය නිසාය. දැන් ලංකාව එම රැකවරණය අහිමි කරගත් බාහිර බලවේගයන්ගේ බලපෑම්වලට වැඩියෙන් නිරාවරණය වූ රටක් බවට පත්වී තිබේ. දැන් ලංකාව තිබෙන තැන කිසියම් දුරකට වඩමරච්චි මෙහෙයුමෙන් පසු ලංකාව තිබුණු තැනකට සමානය.

    යුද්ධය ජයගැනීම හා සාමය ජය නොගැනීම

    ලංකාවට වැරදුණේ කොතැනද? එල්ටීටීඊයට එරෙහිව කරන ලද ජයග‍්‍රාහී යුද්ධයද? නැත. එල්ටීටීඊ ක‍්‍රියාකාරීත්වය ඉදිරියේ ආණ්ඩුවට තෝරාගැනීමට වෙනත් විකල්ප මාවතක් නොතිබුණි. ඓතිහාසික වශයෙන් එල්ටීටීඊය සිටියේද විනාශ මුඛයට යායුතු අවස්ථාවකය. එල්ටීටීඊයට එරෙහිව ආණ්ඩුව යුද්ධ මාවත තෝරාගත් විට ආණ්ඩුවට ඒ සීමිත අරමුණ සඳහා ශක්තිමත් දැක්මක් සේ ම කාර්යක්ෂම සංවිධාන වැඩපිළිවෙළක්ද තිබුණේය. මොනතරම් ජාත්‍යන්තර විවේචන තිබුණද එල්ටීටීඊයට එරෙහිව කරන ලද යුද්ධය ජේවීපී දෙවැනි කැරැුල්ලේදී ජේවීපීයට එරෙහිව කරන ලද මර්දනයට වඩා ශිෂ්ටසම්පන්න හා විනයගරුක තැනක තබාගැනීමටද ආණ්ඩුව සමත්වීයැ යි කිව හැකිය. ඒ යුද්ධය තුළ කිසිදු වරදක් සිදු නොවූ බව ඉන් අදහස්වන්නේ නැත. චිත‍්‍රයේ කළු පැල්ලම් ඇති තැන් තිබෙනවා විය හැකි වුවත් සමස්ත යුද්ධයට ලැබෙන වටිනාකම අහිමි කිරීමට තරම් කළු පැල්ලම්වල ප‍්‍රමාණය විශාල නැත. ආණ්ඩුව හොඳින් යුද්ධ කරන්නට දැන සිටියේය. එහෙත් යුද්ධයෙන් ලැබූ ජයග‍්‍රහණයෙන් පසුව සාමය ඇති කරන්නට දැන නොසිටියේය. අවුල තිබෙන්නේ එතැනය.

    ආණ්ඩුවට යුද්ධය සඳහා දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණද යුද්ධයෙන් පසු ප‍්‍රශ්න සඳහා යහපත් දර්ශනයක් හෝ වැඩපිළිවෙළක් නොතිබුණි. ඕනෑම යුද්ධයකින් පසු සිදුවූ හානි පිළිබඳ ගණන් බැලීමක් සිදුකළ යුතුය. යුද්ධයේදී සාහසික දේවල් සිදුවී ඇත්නම් ඒ ගැන සොයා බැලීමක් කිරීමද යුද්ධයෙන් පසු ආණ්ඩුවක් වෙත පැවරෙන ප‍්‍රධාන වගකීමකි. 1971 කැරැුල්ලෙන් පසු අගමැති සිරිමා බණ්ඩාරනායක පාර්ලිමේන්තුව ඉදිරියේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් කැරැුල්ල මර්දනය කිරීමේදී සිදුවූ ජීවිත හා දේපළ හානි ගැනද අත්අඩංගුවට ගෙන සිටි අය පිළිබඳවද විස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් කරන ලදි. ඉන්පසු ජාත්‍යන්තර අවධානය දිනාගෙන තිබූ බිහිසුණු සිද්ධියක් ලෙස සැලකිය හැකි කතරගම රූප රැජින (පේ‍්‍රමා මනම්පේරි) ඝාතනය ගැන සොයා බලා ඊට වගකිවයුත්තන් අධිකරණයට ඉදිරිපත් කොට ඔවුන්ට දඬුවම් ලබා දුන්නේය. එම ක‍්‍රියාව ආරක්ෂක හමුදාවන්ගේ චිත්ත ධෛර්යය හීන කළේ නැත. ඒ මගින් එම ඛේදජනක සිද්ධිය නිසා පොදුවේ ආරක්ෂක හමුදාවන්ට ඇතිව තිබූ කැළල නැති කළේය.

    එල්ටීටීඊයට එරෙහිව කැරෙන යුද්ධයෙන් පසුවද ශ‍්‍රී ලංකාව අනුගමනය කළ යුතුව තිබුණේ ඒ සමාන ප‍්‍රතිපත්තියකි. එහෙත් යුද්ධය නිසා සිදුවූ ජීවිත හානි, දේපළ හානි හා අත්අඩංගුවේ සිටින අය පිළිබඳව විස්තරාත්මක ගණන්දීමක් කිරීම අත්‍යවශ්‍යවේයැ යි කියා ආණ්ඩුව කල්පනා කළේ නැත. යුද්ධයේදී සිදුවූ බවට චෝදනා එල්ල වූ සාහසික ක‍්‍රියාගැන සොයා බලන තැනකටද ආණ්ඩුව නොගියේය. ඒ ගැන ජාත්‍යන්තර තලයේ සිදු කැරුණු ප‍්‍රශ්න කිරීම්වලදී සන්සුන්ව තර්කානුකූලව කරුණු පැහැදිලි කරන ප‍්‍රතිපත්තියක් වෙනුවට ප‍්‍රශ්න කරන්නන්ට කෝපයෙන් ප‍්‍රතිචාර දක්වන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඒ නිසා ශ‍්‍රී ලංකාව දෙස සැකයෙන් හා අවඥාවෙන් බලන ජාත්‍යන්තර වටාපිටාවක් ඇතිවිය.

    ආණ්ඩුව වරද්දාගත් සංවේදී තැනක් ලෙස සැලකිය හැක්කේ තමන් විසින් පරාජය කරනු ලැබුවේ විදේශ ආක‍්‍රමණික හමුදාවක් නොව කොතරම් සාහසික වුවත් දේශීය ජන කණ්ඩායමක් නියෝජනය කළ අන්තවාදී ව්‍යාපාරයක් වන බව අමතක කිරීමය. ඒ නිසා ලැබූ ජයග‍්‍රහණය ගැන ප‍්‍රීතිවන අතර ඒ ගැන ඇඬිය යුතුවද තිබුණේය. ප‍්‍රීතිවිය යුතුව තිබුණේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ බලවත් ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් පරාජය කිරීමට සමත්වීම ගැනය. ඇඬිය යුතුව තිබුණේ යුද්ධයෙන් මියගිය හා තුවාල ලැබූ පක්ෂ ප‍්‍රතිපක්ෂ සියලූදෙනා අපේ රටේම ජනතාව වීම නිසාය. එහෙත් යුද්ධ ජයග‍්‍රහණය සමරන උත්සවවලදී ප‍්‍රීතිය පළකිරීමක් සිදුවූවා විනා කනගාටුව ප‍්‍රකාශ කිරීමක් සිදුනොවීය. එහිදී ඒ දෙකම සිදුවී නම් එය ප‍්‍රතිසන්ධානය සඳහා දෙන බලවත් සංඥාවක් වන්නට ඉඩ තිබුණි.

    බොහෝ දේ කිරීම හා අවශ්‍යම දේ නොකිරීම

    ආණ්ඩුව චිත‍්‍රය යහපත් කිරීම සඳහා කිසිවක් කර නැතැ යි කිව නොහැකිය. බොහෝ දේ කර ඇතත් අවශ්‍යම දේ කර නැතැ යි කිව හැකිය. අවතැන්වූවන් නැවත පදිංචි කරවීම, අත්අඩංගුවට ගනු ලැබූවන් පුනරුත්ථාපනය කොට සමාජ ගතකිරීම, යුද්ධයෙන් හානි ඇතිවූ ප‍්‍රදේශවල යටිතල පහසුකම් ඇති කිරීම, දෙමළ කතා කරන්නන් පොලිස් සේවයට බඳවා ගැනීම, ත්‍රෛභාෂික භාෂා ප‍්‍රතිපත්තිය ව්‍යාප්ත කිරීම යන අංශවලදී අසාමාන්‍ය තරමේ ප‍්‍රගතියක් පෙන්නුම් කිරීමට සමත්ව ඇතත් වඩාත්ම සංවේදී ප‍්‍රශ්නය ලෙස සැලකිය හැකි දෙමළ ජනතාවගේ ගෞරවය හා අභිමානය ඔවුන්ට නැවත ලබාදීම සඳහා කිසිවක්ම කර නැතැ යි කිව හැකිය. එම නිශ්චිත ප‍්‍රශ්නය ගැන ආණ්ඩුවට හරි අවබෝධයක් තිබෙන බවක්ද පෙනෙන්නට නැත.

    ප‍්‍රතිසංස්කරණ අවශ්‍යව තිබෙන්නේ සිංහල දෙමළ අන්තර් වර්ග ප‍්‍රශ්නය විසඳා ගැනීම සඳහා පමණක් නොවන්නේය. රටේ සමස්ත ආණ්ඩු ක‍්‍රමයම තිබෙන්නේ අවුල් ජාලයකය. නීතියේ පාලනය තිබෙන්නේ මුළුමනින් වල් වැදුණු තත්ත්වයකය. මෙම සංකීර්ණ අවුල ජයගැනීම සඳහා අවශ්‍ය කරන පොහොසත් දැක්මක් ආණ්ඩුවට තිබෙන බවක්ද පෙනෙන්නට නැත. ආණ්ඩුවේ බුද්ධිමය ශක්‍යතාව තිබෙන බව පෙනෙන්නේ පහළම තත්ත්වයකය. සාර්ථක රාජ්‍ය පාලනයක් සඳහා පාලකයා සියල්ල දත් පුද්ගලයකු වීම අවශ්‍යවන්නේ නැත. ඒ සඳහා සුදුසුකම් ඇති හා පළපුරුදු පුද්ගල කණ්ඩායමක් රාජ්‍ය පාලකයා සමග සිටීම ප‍්‍රමාණවත්ය. අගමැති සිරිමා බණ්ඩාරනායක විශාල උගතෙක් නොවීය. එහෙත් රාජ්‍ය පාලනය හැසිරවීමේදී ඇයට මගපෙන්වන්නට නුවණැත්තෝ පිරිසක් ඇයට සිටියෝය. ජනාධිපති පේ‍්‍රමදාසට පවා තෝරාගත් දක්ෂ හා පළපුරුදු නිලධාරියෝ කණ්ඩායමක් සිටියෝය. දක්ෂ හා පළපුරුදු නුවණැත්තන් නැතිකම මේ ආණ්ඩුවේ අසාර්ථකභාවය කෙරෙහි බලපා තිබෙන එක ලොකු හේතුවක් ලෙස සැලකිය හැකිය. රාජ්‍ය නායකයා වටකොටගෙන සිටින්නේ අදක්ෂ, නොපළපුරුදු කෑදර, නිවට එහෙයියන් පිරිසක් නම් එම පාලනය සාර්ථක පාලනයක් විය නොහැකිය.

    දැන් තිබෙන තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. ජාත්‍යන්තර වටාපිටාව පමණක් නොව දේශීය වටාපිටාවද අයහපත්ය. ස්වයංමෝහනයක වෙලී පතුලක් නැති අගාධයකට රට තල්ලූවී යමින් තිබෙන්නේයැ යි කිව හැකිය. මෙම අයහපත් තත්ත්වයේ විප්ලවකාරී වෙනසක් ඇති කිරීමට අවශ්‍ය කරන ධෛර්යය හා බුද්ධිය ශීඝ‍්‍රගාමී ආකාරයකින් ළඟාකර ගැනීමට ආණ්ඩුව අසමත් වෙතොත් එල්ටීටීඊ ත‍්‍රස්තවාදය රජ කළ යුගයේදී ලංකාව සිටි අවාසනාවන්ත තත්ත්වයට වැඩි අවාසනාවන්ත තත්ත්වයකට රට ඇදවැටිය හැකිය.
     
    • Like
    Reactions: mldarshana

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    උබ කියන්නේ ඉන්දියාව පුකේ ඇරලා යනකම් බලන් ඉන්න කියලද???
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    උබ කියන්නේ ඉන්දියාව පුකේ ඇරලා යනකම් බලන් ඉන්න කියලද???


    මෙම අයහපත් තත්ත්වයේ විප්ලවකාරී වෙනසක් ඇති කිරීමට අවශ්‍ය කරන ධෛර්යය හා බුද්ධිය ශීඝ‍්‍රගාමී ආකාරයකින් ළඟාකර ගැනීමට ආණ්ඩුව අසමත් වෙතොත් එල්ටීටීඊ ත‍්‍රස්තවාදය රජ කළ යුගයේදී ලංකාව සිටි අවාසනාවන්ත තත්ත්වයට වැඩි අවාසනාවන්ත තත්ත්වයකට රට ඇදවැටිය හැකිය.:no::no::no: