"ගාලු මුවදොර විරෝධතාවල නියුතු තරුණ තරුණියන් සමග සාකච්ඡාවට සූදානම්" - අගමැති මහින්ද කියයි.
- ප්‍රවෘත්තියක්
මට මෙහි අනතුරු කිහිපයක් පෙනෙනවා.
මෙතැන තියෙන වැදගත් ම වචනය හෙවත් keyword එක 'තරුණ තරුණියන්' කියන එක.
මහින්ද මේක කියන්නේ හරියට ම තාත්තා කෙනෙක් ගෙදරින් තරහ වෙලා ගිය පුතෙක් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්නය බේරගන්න කැමතියි කියන tone එකකින්.
ඒ වගේ ම 71 කැරැල්ලෙන් පස්සේ සිරිමාවෝ කිව්ව විදියට "නොමඟ ගිය දරුවන්" පිරිසක් ගෝල්ෆේස් එකේ උද්ඝෝෂණය කරන්න හදනවා වගේ කතන්දරයක් මහින්ද මෙයින් නිර්මාණය කරන්න උත්සාහ කරන බව පෙනෙනවා.
මහින්ද මේ උත්සාහ කරන්නේ කතන්දර යුද්ධයක් (a war of narratives) නිර්මාණය කරලා එයින් ජයගන්නයි.
ඉන්පසු ඒ කතන්දර යුද්ධයේ 'පීතෲ චරිතය' වෙලා මහජන අනුකම්පාව යම්තාක් දුරකට තමන් වෙත හරවාගන්නයි.
මේ වගේ සෙල්ලම් හරියන්නේ මහින්දලාගේ ගෝලබාලයන් ගේ ටීවී චැනල්, පත්තරවලින් ලෝකය දකින නාකි සොකඩයන් එක්ක මිස ඩිජිටල් පරම්පරාව සමග නෙවෙයි.
මෙතැන හුඟක් ඉන්නේ තරුණ පරපුර බව ඇත්ත. ඒත් ඔවුන් මෙහි සිටින්නේ 'තරුණ තරුණියන්' හැටියට නොව ලංකාවේ පුරවැසියන් විදියටයි. ඔවුන්ට මෙතැන තියෙන්නේ පුරවැසි අයිතියක්. ඔවුන් කරන්නේ පුරවැසි සටනක්.
ඒ හින්දා මහින්ද, වැඩි කයි කතන්දර නැතිව මුලින් ම ඔවුන් ගේ 'පුරවැසිභාවය'වත් පිළිගන්න.
ඒ වගේ ම මෙහෙම සාකච්ඡාවක් ආරම්භ වුණු අරගලකරුවන් වෙනුවෙන් සාකච්ඡා කරන්න ඉදිරිපත් වන පිරිස මෙහි "නායකයන්" බවට පත්වෙනවා.
අරගලයේ අයිතිය ඒ අයට පවරන්න ආණ්ඩුවට පුළුවන් වෙනවා.
ඒ පිරිස ඉලක්ක කරන්න ආණ්ඩුවට පුළුවන් වෙනවා. අරගලය බිඳවන්න ආණ්ඩුවට පුළුවන් වෙනවා.
මේ අරගලයේ ලස්සන ම කොටස තමයි මෙයට අයිතිකාරයෙක් නැති එක. සංවිධායකයෙක් නැති එක. නායකයෙක් නැති එක.
ඒ නිසා පහර දෙන්න ඕනෙ කාටද, අතුරුදහන් කරන්න ඕන කාවද, මරාදාන්න ඕනෙ කාවද, මඩ ගහන්න ඕනෙ කාටද කියලාවත් කාටවත් හිතාගන්න බැහැ. එහෙම ඉලක්ක කළ හැකි කෙනෙක් නැහැ. ඒ කියන්නේ අරගල මර්දනය කරන 'සාම්ප්‍රදායික ක්‍රම' කිසිවක් දැන් වලංගු නැහැ.
ඒත් ඔය කියන 'සාකච්ඡා' හරහා මේ සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කළ හැකි මොඩලයක් නිර්මාණය කරගන්න ආණ්ඩුවට පුළුවන්.
ඒ නිසා මහින්ද, විරෝධතාකරුවන් ගේ ඉල්ලීම් පැහැදිලියි.
ඔබත් ඔබේ පවුලත් පවුල වටා සිටින කල්ලියත් යා යුතුයි.
තවත් පව් නොදී, කොන්දේසි විරහිතව, කාලය නාස්ති නොකර යා යුතුයි.
අරගල බිමට නිතර යන එන නිකම්ම නිකම් පුරවැසියෙක් විදියට මට මේ සාකච්ඡා ඇරයුම ගැන කියන්න තියෙන්නේ “Thanks but no thanks” කියලා විතරයි.
-
රසික ජයකොඩි
13 - 04 - 2022
#lka #SriLanka