ගලෙන්බිඳුණුවැව රාජා

ඒ.... ඉකුත් වූ 1994 වර්ෂයයි. ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත්, උල්පතගම මහ වනය තුළ සැරිසරන සද්දන්ත කුලයේ දළ ඇතෙක් පිළිබඳ හෝඩුවාවක් පළමු වරට වනජීවී නිලධාරීන්ට දැන ගැනීමට ලැබිණි.
මෙම දළ ඇතා දෙනෙත් නොපෙනෙන අහිංසක අන්ධයකු බැව් තහවුරුකර ගැනීමට ඒ ගිය නිලධාරීන්ට හැකි විය.
එහිදී වනයේ අතුරිකිලි දලුපල බුදිමින් හුදෙකලාව ගැවසුණු මේ ඇත්රජු නිලධාරීන් විසින් පරීක්‍ෂා කරන ලදී.
අඩි 09 අඟල් 08 ක් උසැති ඇතාගේ දළ යුගලය, අඩි තුනකුත් අඟල් එකහමාරක් වූ අතර උගෙන් ගාම්භීර පෙනුමක් දිස්‌විය.
ඇතකුට උගේ දළ දෙක ආත්ම අභිමානය යෑයි කියනු ලැබේ. අලි ඇතුන් අතර නිබඳව හට ගැනෙන ආරවුල් වලදී දළ රැක ගැනුමට දළයා නොගන්නා වෙහෙසක් නැතැයිද ද්වන්ද සටන්වලදී දළ යුග්මය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිතය පවා පූජා කළ ඇතුන් සිටින බැව් තතු දත් අය කියති.
දුටුමනතින්ම මේ අඳ ඇතුගේ හැඩරුව කලක් දළදා පෙරහැරට එළියක් දුන් මහනුවර දළදා මාලිගාවේ පූජනීය දන්ත ධාතු කරඬුව වැඩම කළ පුණ්‍යවන්ත රාජා දළ ඇතුගේ පෙනුමට සමානත්වයක් ගෙන දුනි.
එනිසාම වනජීවී නිලධරයෝ ගලෙන්බිඳුණුවැව රාජා යෑයි නම තැබූහ.
ඇතාගේ දළ යුග්මයට ලොබින් ඌ පසුපස හඹා ආ ධන වැද්දකුගේ හෝ එකල එහි ගැවසුණු එල්. ටී. ටී. ඊ. කොටි හමුදාවේ එකකු විසින් මේ ඇතාට පහර පිට පහර වෙඩි තබනු ලැබ දෙනෙත් අඳ විය. සිරුර පුරා තුවාල ගණනාවක් ඇතිවිය. පොල් ගෙඩිතරම් සැරව පිරුණ ගෙඩි ගතෙහි විය. වෙඩි පහර 14 ක් පමණ සිරුරේ දක්‌නට ලැබී හඳුනා ගැනුණි.
මේ කාලකණ්‌ණින් විසින් තබනු ලැබූ වෙඩිල්ලකින් උගේ වලිගයේ අන්තය කැඩී වෙන්ව තිබිණි. මහත්සේ අසරණභාවයට පත් රාජා ඇතුගේ ඇස් නොපෙනීම නිසාම ගමන් කිරීමේදී වරෙක ගස් ගල්වල ගැටෙයි. වළවල් ප්‍රපාතවලට ඇදගෙන වැටෙයි. පාදවල හටගත් පාත රෝගය හේතුවෙන් සිලම්බු ගැලවෙමින් තිබේ (මෙය ආසාදන රෝගයක් බව පශු වෛද්‍ය මතයයි.)
මේ සත්ත්වයාගේ මතු දවස ගැන කල්පනා කළ නිලධාරීන් විසින් එවකට වනජීවී දෙපාර්තමේන්තුවේ වයඹ හා උතුරු මැද දෙපළාතේ අධ්‍යක්‍ෂ ඩබ්. ඒ. ජයසිංහ මහතාගේ උපදෙස් මත එච්. පි. ප්‍රනාන්දු, හෙන්දාවිතාරණ යන සහකාර අධ්‍යක්‍ෂවරුන්ගේ සහායෙන් දෙපාර්තමේන්තු සේවකයන් හා ගලෙන්බිඳුණුවැව පොලිසියේ නිලධාරීන් පිරිසක් කැටුව ඇතා මහ වනයෙන් මුදාගෙන පින්නවල අලි අනාථාගාරය වෙත භාර කෙරිණි.
එවකට පින්නවල අලි නිවහන භාර සත්වාරක්‌ෂක නිලධාරී ඩබ්. එම්. ආර්. බණ්‌ඩාර මහත්මා මෙම අහිංසකයාට උවටැන්කර තුවාල සුවපත් කිරීමේ වගකීම භාර ගැනීම ඇතුගේ වාසනාව පලදීමක් වූයේ රෝගී අලි ඇතුන් ගණනාවකගේ ජීවකයා ඔහු වූ බැවිනි. රාජා සුවපත් කර ගැනීමට පශු වෛද්‍ය වසන්තතිලක මහතා සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු පශු වෛද්‍ය ජයන්ති අලහකෝන් මහත්මිය මූලික ප්‍රතිකාර ලබාදුනි.
ගලෙන්බිඳුණුවැව රාජා ඇතුගේ වයස මේ වනවිට අවුරුදු 73 ක් පමණ වේ. වියපත්ව, එහෙත් ප්‍රතාපවත්ව අභිමානයෙන් දළ ඔසවා නැගි සිටින මේ සත්ත්වයා ලක්‌මවට තවත් සම්පතක් නොවන්නේද?
පින්නවල අලි අනාථාගාරය වෙත දිනපතා සපැමිණෙන දෙස් විදෙස් නරඹන්නන්ගේ අමන්දානන්දයට හේතුවන මේ අලි ඇතුන් රංචු නිසා පින්නවල ලෝක සංචාරක අවධානයට යොමුව ඇත. දැනට ගලෙන්බිඳුණුවැව රාජා ඇතු එහි සිටින වයෝවෘද්ධ සතා විය හැකිය. ඒ හේතුවෙන් මේ දිනවල තරමක අසනීප තත්ත්වයක් ඇතිවී තිබේ. කෑම අරුචිය නිසාම මෘදු කෙඳි සහිත අන්නාසි, ගස්‌ලබු, පැණි කොමඩු වැනි දේ ආහාරයට ලබාදේ.
පින්නවල අලි නිවහනේ පශු වෛද්‍ය රාජපක්‍ෂ, පශු වෛද්‍ය ජානක සහ ප්‍රධාන සත්ත්වාරක්‌ෂක නිලධාරි එස්. එච්. එස්. සීලරත්න, සහකාර නිලධාරි රත්නායක යන මහත්වරු සහ සේවක පිරිස මේ දළ ඇතාගේ සුවසෙත වෙනුවෙන් කැපවීම් කරති.
එදා මහ කැලයේදී පවිටු දඩයක්‌කාරයකුගේ වෙඩි උණ්‌ඩයකට බිලිවූ සද්දන්ත කුලයේ අහිංසකයාගේ වම් කනේ කොටසක් කැඩී අහිමිව ඇති අයුරු සහ දෑස් අඳවුවත් ප්‍රතාපයෙන් දිදුලන ඇත් රජුගේ ඡායාරූප නිරීක්‍ෂණය කිරීමෙන් ගලෙන්බිඳුණුවැව රාජාගේ කතාව ඔබේ මතකයට සදහටම තැන්පත්වනු නිරනු මානය.
සෙනරත් පොන්නම්පෙරුම
divaina