රාජාගේ දකුණු දළය අනෙක් දළයට වඩා බරයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    රාජාගේ දකුණු දළය
    අනෙක් දළයට වඩා බරයි

    අද කියන්නේ දළදා මාලිගාව සතුව මෙන්ම මුළුමහත් ජාතියම සතුව තිබු ජාතික වස්තුවක් ගැනයි.ඒ තමයි දළදා මාලිගාවේ රාජා ඇත් රජු.රාජා මියගියේ ජුලි 16 වැනි දිනක.ඒ නිසා අපි අද රාජා ගැන විස්තර බලමු.
    .
    1987 දක්වා පෙරහරේ කරඬුව වැඩමවු මාලිගාවේ රාජා ඇත් රජුගේ සුවිශේෂි ගති ලක්ෂණ තිබුණා.

    රාජා ඇතා මාලිගාවට පුජාකළේ 1937 දි ජුලි මාසයේදි මාම්පිටියේ දිසාව විසින්.රාජා සමඟ තව කන්දා කියන ඇතාත් එම දිසාව විසින් මාලිගාවට පුජාකර තිබෙනවා .
    එදා සිට රාජා දළදා පෙරහරේ ගමන් කළා.රාජා බොහෝම ගාම්භීර ඇතෙක්.පෙරහරේ කරඬුව වඩම්මන කොට පාවඩය එළනතුරු ඉදිරියට යන්නේ නැහැ.සමහරවිට ගමන් කරන පාවඩය අවසන්වි ඊළඟ පාවඩය එළනතුරු උස්සපු කකුල එහෙමම ඉහළටම ඔසවාගෙනම ඉන්නවා පාවඩය දාන තුරු.
    1959 සි.බි.නුගවෙල දියවඩන නිලමේතුමාගේ කාලයේදි දළදා පෙරහරේ අලිකුලප්පුවක් වුණානේ.එදාත් කරඬුව වැඩම්මුවේ රාජා ඇතා.අලිකුලප්පුවේදි මිනිස්සු හිස්ලුලු අත දුවද්දි මහ කලබලයක් වෙද්දිත් රාජා ඇතා කරඬුව තබාගෙන කිසිම හැලහොල්මන්ක් කලබලයක් නැතිව ඉඳලා තියෙනවා.

    රාජා පෙරහරේ හෝ වෙනයම් අවස්ථාවල ගමන් කරනකොට විශේෂ ලක්ෂණයක් තිබුණා .රාජාගේ දකුණු දලය අනෙක් දළයට වඩා බරගතියක් තිබුණා.පෙරෙහරේ ගමන් කරනකොට වගේම වෙනත් ගමන් වලදි රාජා තමන්ගේ හොඬය අර දකුණු දළය මත තබාගෙත තමයි ගමන් කළේ.ඒක රාජාගේ විශේෂ ලක්ෂණයක්.

    රාජා දවසක් නාවන්න ගියාම සිරිමල්වත්තේදි කුලප්පු වි තිබුණා.ගස් කඩල ඒවා මේවා කරලා කලබල වෙලා.ඒක ආරංචි වුණාම ඒ වෙලේම දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා එම ස්ථානයට ගිහින් රාජා පුතා මොකද කලබල කරන්නේ කියලාද කතාකළාම කිසිම දෙයක් දන්නේ නැති පොඩි ළමයෙක් වගේ නිලමේ ළගට රජා දුවගෙන ආවා.

    " රාජා මට 1975 ඉඳලා හුරුයි.මගේ අප්පච්චි දියවඩන නිලමේ තනතුරේ ඉන්නකොට ඉඳලාම මම රාජාට හුරුවුණා.1983 රාජාගේ කනේ තුවාලයක් ඇවිත් ඔපරේෂන් එකක් කළා.එතකොට මම වැඩබලන දියවඩන නිලමේ.මෙකේදි ඇතාට බෙහෙත් විදින්න එහෙම වෛද්‍යවරු ළංවෙන්න බයයි.ඒ නිසා වෛද්‍යවරු ඈත ඉඳලා බෙහෙත විදින්න ඔිනේ තැන මට කියනවා.මම ඇතා ළගට ගිහින් ඒ කියන තැන්වලට බෙහෙත් විද්දා.ඇතා මට හුරු නිසා කිසිම කලබලයක් නැතිව ඉන්නවා."
    රාජාගේ මතකය අවදිකරමින් හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා අපට " කිව්වා.

    වරක් රාජා බලාකියාගන්නා ඇතා බලාගන්නා මහතා අසනිප වි රෝහල්ගවුණා.දැන් පෙරහරේ ඇතා ගෙනියන්න කවුරුවත් නැහැ.අනෙක් ඇතුන් බලාගන්නොත් කිට්ටුවෙන්නේ නැහැ.නමුත් දියවඩන නිලමේවරයා තනියම ඇතා ඇඳුම් අන්දන තැනට ගෙනවිත් කරඬුවත් තැන්පත් කළා.ඒත් ඇතා සුපුරුදු පරිදිම ඉන්නවා.එහෙම කරඬුව වඩම්මගෙන ඇතා දැන් මාලිගාවෙන් තනියම එලියට ඇවිත් දෙපැත්තේ (දෑලේ ඇතුන්) සමඟ ඉදිරියට ගමන් කරනවා.කිසිම කලබලයක්වත් නැතිව දෑල ඇතුන් දෙදෙනාට මැදිව තනිවම රාජා සම්පුර්ණ පෙරහරේ ගමන් කරලා මාලිගාවටත් පිවිසුණා.පස්සේ ඇතාගේ ඇඳුම් ඉවත්කරලා ඇතා ගැටගසන්න වුණෙත් දියවඩන නිලමේට.ඇතා ගමන් කරන්නේ පාලකයකු නැතිව බව කවුරුත් දැනගෙන හිටියෙත් නැහැ

    නුගවෙල දියවඩන නිලමේතුමාගේ කාලයේ පෙරහරකදි ක්වින්ස් හෝටලය ළගදි රාජා ඉදිරියට ගමන් නොකර නතරවි තිබෙනවා. ඇතා ඉදිරියට ගෙනයන්න උත්සහකළත් ඇතා සෙලවිලත් නැහැ.පස්සේ හොයලා බැලුවාම ඇතාගේ බඳපටියක් බුරුල්වෙලා.තව ටිකක් ගියානම් සමහරවිට කරඬුවට පවා හානි වෙන්න තිබුණා.ඒකයි රාජා සෙළවුණේවත් නැත්තේ.
    රාජාට ලෙඩවුණාම බෙහෙත් බොන්න හරි හොරයි.කොහොම හරි බෙහෙත් දෙන්නත් එපැයැ.මේකට දියවඩන නිලමේ උපක්‍රමයක් කල්පනා කළා.

    " ඇතා නාවන්න එහෙම යනකොට පාර තියෙන කඩවලින් කෙසෙල් ,පාන් එහෙම රාජාට කන්න දෙනවා.ඉතින් ඒවා කකා තමා මෙයා යන්නේ.පස්සේ මම කල්පනා කළා රාජාට බොන්න දෙන බෙහෙත් පාන් ගෙඩියක් අස්සේ දාලා දෙන්න.අපි බෙහෙත් දාපු පාන් ගෙඩිය රාජා යන පාරේ තියෙන කඩයක තියලා තියෙනවා.ඇතා යනකොට අර පාන් ගෙඩියයි කෙසෙල් ඇවරියකුයි දෙනවා.රාජා කොහොම හරි ඒක දැනගන්නවා.පස්සේ ඊළග දවසේ අර කඩෙන් මොනවා දුන්නත් කන්නේ නැහැ.ඔික අපි දැනගෙන කඩවල් මාරුකර කර බෙහෙත් ඒ විදියට දුන්නා.." යැයි හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා කිව්වා.
    .
    1987 ජනවාරි 1 වෙනිදා පාන්දර 4.00ට පමණ දියවඩන නිලමේවරයාට මහනුවර පොලිසියෙන් හදිසි දුරකතන ඇමතුමක් ලැබුණා.එයින් කියවුණේ පොලිසිය දෙස සිට ඔර්ලෝසු කණුව පැත්තට ඇතෙක් දුවගෙන එනවා නිලමේතුමා පොඩ්ඩක් බලන්න කියලයි.
    ඒ පණිවිඩය ලද සැණින්ම නිලමේ ජිප් රියෙන් නගරය දෙසට යනකොට ඔහු දැක්කේ නාලාගිරියා වගේ වේගයෙන් දුවගෙන එන රාජා ඇතා.වහාම වාහනය හරවාගත්ත නිලමේ වේගයෙන් මාලිගාව පැත්තට ආවා.දැන් ආතා පස්සේන් වේගයෙන් එනවා.ඉස්සර දැන් වගේ ලොකු ආරක්ෂාවක් නැහැනේ.නිලමේ ගේට්ටු මුරකරුට කිව්වා ඉක්මනින් පැති ගේට්ටුව අරින්න කියලා.ඇතා ඒ දුවගෙන ආපු පිම්මේ ඇවිත් නැවතුනේ මාලිගාවේ මුරුතැන් ගේ ළඟ තියෙන වතුර ටැංකිය ළඟ.අලි ඇතුන්ට වතුර බොන්න තමයි මේ ටැංකිය හදලා තියෙන්නේ.දැන් නිලමෙත් රාජාට කිට්ටුවුණා .ඇතා බලාගන්න දිසානායකත් පෙන්න නැහැ.වෙන අලි බලන්නෙක් හොයාගන්නත් නැහැ.මුරුතැන් ගෙයි රාළට කතාකරලා එහි තිබුණු හෙණ්ඩුවක් නිලමේ ගෙන්නා ගත්තා.ඒ හෙණ්ඩුවෙන් රාජාගේ කරේ තිබුණු දම්වැල් ඇදලා ඇතා ගැටගැහැව්වා එහි තිබුණු අඹගසේ හා අරලිය ගහේ.
    " රාජාගේ කකුලේ ලේත් තිබුණා.පස්සේ අපි ඇතා බලාගන්න දිසානායක හෙව්වා.මම පොලිසියට කිව්වා හොයලා බලන්න කියලා.පස්සේ පොලිසිය හොයලා බැලුවාම දිසානායක රෝහලේ කියලා දැනගත්තා.පාරේ වැටිලා හිටපු මනුස්සයෙක් කියලා වාහනයකින් ඇතා බලපු දිසානායකව රෝහලට දාලා ඒ කට්ටිය ගිහින් තිබුණා.කොහොම හරි රෝහලේ ආරක්ෂක අංශයෙන් ඒ වාහනයේ අංකය ලියාගෙන තිබුණු නිසා පස්සේ හොයාගත්තා ඒ හමුදා වාහනයක් කියලා.එදා මේ අය සාදයකට ගිහින් එද්දි පිටිපස්සෙන් ඇවිත් ඇතා හප්පලා.ඇතාටයි ජිප් එකටයි තදවුණු දිසානායක එතනම මියගිහින්.වැදුණු පාරට රාජා අඩි විස්සක් විතර ඉස්සරහට විසිවෙලා තිබුණා.ඒ විසිවෙන කොට රාජාගේ නියපොතු පාරවල් වලට පාර සීරි තිබුණා ..ඒ බය වෙච්ච පාර තමයි ඇතා දුවගෙනම මාලිගාවට ආවේ..ජාතික වස්තුවක් වුණත් රාජාට කිසිම ආරක්ෂාවක් එදා තිබුණේ නැහැ.." නෙරංජන් විජයරත්න හිටපු දියවඩන නිලමේ පැවසුවා.

    ඉන් පසුව රාජාගේ කකුලේ ආබාධයක්ද ඇතිවුණා.රාජා අවසන් වරට පෙරහරේ ගියෙත් ඒ වර්ෂයේමයි.ඉන් පස්සේ දවසක රාජා දියවඩන නිලමේගේ නිල නිවස අසල බැඳලා හිටියේ.එහෙම දවසක රාජාට නැගිට ගන්න බැරිවුණා.වෛද්‍යවරු ඇවිත් බැලුවත් නැගිට්ටවන්න බැහැ.ඒ වනවිටත් ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා රාජා ජාතික වස්තුවක් හැටියට ප්‍රකාශයට පත්කර තිබුණු නිසා රාජාගේ සියළු වියදම් දැරුවේ රජය.ඇතාගේ මේ අසනිප තත්වය ගැන දියවඩන නිලමේ එවකට සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට දැන්වුවා.මල්වතු අස්ගිරි මහනාහිමිවරුනුත් එතැනට වැඩියා.ජනාධිපතිට දැන්වු පසුව විශාල ක්‍රේන් එකක් එව්වා ඇතා ඔසවන්න කියලා.එහෙම ඔසවන්න ගියොත් ඇතාගේ ඉල ඇට කැඩෙන්න පුළුවන් නිසා මෙට්ට තියලා හෙමින් හෙමින් රාජා කෙලින් කළා.පස්සේ පොල්කොටවලින් අට්ටාලයක් ගහලා මෙට්ට තියලා රාජා හිටෙව්වා.රාජා මියයනතුරුම හිටියේ එහෙමයි.රාජා බලන්න නිතරම මහනාහිමිවරුන් දෙනම වැඩියා.මහ විහාර දෙකේ අනුනාහිමිවරුන් නාහිමිවරුන් නිතරම වැඩමකරලා රාජාට සෙත්පතලා පිරිත් දේශනා කළා.කොහොම හරි වසර පනහක්ම දළදා වහන්සේ උදෙසා කැපවුණු රාජා 1988 ජුලි 16 වෙනිදා උදේ 10.15 ට විතර මොලොව හැරගියා."


    " රාජා ජාතික වස්තුවක් හැටියට නම්කර සිටි නිසා මතු පරපුරේ අයටත් රාජා ගැන දැනගන්න අවශ්‍ය නිසා සංරක්ෂණ වැඩපිළිවෙළක් හදන්න ඔිනේ කියලා මම රාජා ඉන්න කාලේම හිතාගත්තා.ඒවනවිට කෙන්යාවේ අහමඩ් කියන ඇතෙක් ජාතික වස්තුවක් හැටියට නම්කර තිබුණා.ඒ සතා හීළෑ සතෙක් නොවේ.ඒනිසා අහමඩ් ම්යගියාම අනුරුව හදන්න හරියටම මිම්ම ගන්න බැරිවුණා.මේ නිසා මම රාජා ඉන්න කාලේම රාජාගේ හැමතැනම මිම්ම හරියට අරන් පොතක ලියලා තිබ්බා .රාජා මියගියාම අනුරුව හදන්න පහසුවුනේ ඒ නිසයි.මිනිස්සු කෑගැව්වා රාජා හමගහන්න හදනවා කියලා.කොහොම හරි රාජාගේ අනුරුව හදන්න අවශ්‍ය කොටස් බෙහෙත් වර්ගයක දාන්න ඔිනේ ඒ වෙලේම.ඒ බෙහෙත ලංකාවේ තිබුණේ නැහැ.පස්සේ ජනාධිපතිතුමා සිංගප්පූරුවෙන් එදා රෑම ඒ බෙහෙත් බැරල් දෙකක් ලංකාවට ගෙන්නුවා."

    " ඒ වෙනකොට හිටියේ කෞතුකාගාර අධ්‍යක්ෂ තෙල්මා ගුණවර්ධන මහත්මිය.රාජාගේ අනුරුව හැදුවේ එහි දක්ෂ නිලධාරින්.ඇතා ගේ අනුරුව හදනකල් මටත් එතැනම ඉන්න වුණා.මොකද රාජාගේ දළ දෙක එහෙම හරියට ඇසෙන් දැක්ක ආකාරයට බැලන්ස් කරන්න මම ඉන්න ඔිනේ කිව්වා.පස්සේ අනුරුව හැදුවට පස්සේ කොහේද තියන්නේ කියලා ප්‍රශ්නයක් ආවා.කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කෞතුකාගාරයේ තියෙන ඔටුන්නයි සිංහාසනයයි මාලිගාව අසල තැන්පත් කරන්න සිංහාසන මන්දිරයක් හදලා තිබුණා.නමුත් දෙවැනි රාජසිංහ රජතුමාගේ ඔ⁣ටුන්න මහනුවර තිබිලා හොරකම් කරලා තිබුණු නිසා අර සිංහාසනය නුවරට ගෙනාවේ නැහැ.අන්න ඒ සිංහාසන මන්දිරයේ තමයි අද රාජා ඇතාගේ අනුරුව තැන්පත් කරලා තියෙන්නේ."

    නෙරංජන් විජයරත්න හිටපු දියවඩන නිලමේවරයා රාජා ගැන මතකය අවදිකළේ බෙහෙවින් සංවේදිවය.

    " රාජා මියගියාට පස්සේ අනුරුවට අවශ්‍ය කොටස් ගත්තාම ශරිරය නිලනිවස අසලම වළදමා එතැන මම ස්මාරකයක් හැදුවා.පස්සේ රාජා මියගිය දවසට හැම අවුරුද්දේම මම එතැන මල් තියලා රාජාට ගෞරව කළා.ඒ දිනේට හැම වසරකම දානයක් දුන්නා.මනුස්සයෝ වෙලා කිසිම දියවඩන නිලමේවරයෙකුටවත් මහනායක හාමුදුරුවෝ නමකටවත් අවුරුදු පනහක් දළදා වහන්සේ වෙනුවෙන් කැපවෙල ඉන්න බැරිවුණා.නමුත් රාජා අවුරුදු පනහක්ම දළදා වහන්සේ වෙනුවෙන් කැපවුණා...මම එදත් අදත් හැමදාමත් ප්‍රාර්ථනා ක⁣ළෙත් කරන්නෙත් රාජා මනුස්ස ආත්මයක උපදින්න කියලයි..."එහෙමයි නෙරංජන් විජයරත්න දියවඩන නිලමේතුමා ප්‍රාර්ථනා කරන්නේ.

    රාජා මාලිගාවට පුජා කළෙත්, මිය ගියෙත් ජුලි මාසයක වීම තවත් විශේෂයක්

    ධර්ම ශ්‍රී තිලකවර්ධන
    Dharmasri Bandara Thilakawardhana
    Dharmasrige - උරුමාලංකාරය #අමාදහර
     
    • Love
    Reactions: planner123