රාවන රජතුමාගේ නමට විවිධ අර්ථකතනයන් තිබේ. බොහෝ අය දන්නා අරුතනම් රා හෙවත් හිරුගෙන් එන නායකයා යන්නයි. ඒ අතර වර්ගපූර්ණිකාටුවා පුස්කොළපොතේ දැක්වෙන පද නිරුක්තිය අනුව,
රා=රා
ව=වක්කරන
න=නරේන්ද්‍රයා
අතීත හෙළයේ "රා" යනු අගනා ඖෂධයක් මෙන්ම ජාතික පානයද වූ අතර පර සුද්දන් විසින් අරක්කු ගෙන ඒමත් සමග රා වලට තිබූ තැන අහිමි විය. ලෝකයේ දක්ෂතම වෙදැදුරා වූ රාවණ රජතුමා රා වක්කර බෙහෙත් හැදූ නිසා එතුමාට "රා වක්කරන නරේන්ද්‍රයා" හෙවත් රාවන නම් විය. ඒ අනුව රාවණ=රාවන
රාවන රජතුමාගේ කාලයේදී හෙළයේ ජාතික පානය වී තිබුණේ "රා". පසුකාලයේදී වෑත්තෑවේ හිමියන් එම රාවන යුගයේ සිට පැවතෙන හෙළ සිරිත මෙලෙස තම ගුත්තිල කාව්‍යයේ භාෂා අලංකාරයටත් යොදා තිබුණි.
රැගත් සුරා පිරූ විතින්
සුරත් තුඹුරු පෙතිසෙ නෙතින්
පුවත් නොදැන බමන ගතින්
නටත් අයෙක් සුරා මතින්
එහි "සුරා" ලෙස දැක්වෙන්නේ සු=සුමිහිරි, රා=රා යන්නයි. ගොඩක් රා බොන අයට "සුරා සොඬුන්" යැයිද පවසා තිබූ අතර පසුකාලයේදී ඉංග්‍රීසීන් විසින් විසින් සුරාව ගමක් ගමක් පාසා ව්‍යාප්ත කර ඇත. ඉංග්‍රීසීන් හෙළයෙන් ගියත් තාමත් බොහෝ හෙළයෝ සුරා පානය කරන්නේ හෙළ අසුරයින්ගෙන්ම පැවතෙන බව මනාව ඔප්පු කරමිනි.
"රාගම" යනු අතීත හෙළයින්ගේ රා පෙරීමේ තාක්ෂණය ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවෙන ස්ථානයකි. රාගමින් හමුවූ සෙල් ලිපියක මෙලෙසින් තිබේ.
"මහ රව රජ මහ ර සක තබ".
එහි තේරුම නම්, "මහා රාවන රජතුමාගේ මහා රා ස්කාගාරය සහ තැබෑරුම". දැන් රාගම යන්නේ පද නිරුක්තිය බලන්න. වර්ගපූර්ණිකාටුවාවට අනුව රාගම යනු,
රා=රාපෙරූ,
ගම=ගම.
ඉතා පැහැදිළියි, අතීත හෙළයේ ලොව ප්‍රමුඛතම රා පෙරීමේ ස්කාගාරය තිබී ඇත.
අදටත් ඉන්දියාවේ උදවිය අයියනර් යනුවෙන් දෙවි කෙනෙක්ව අදහයි. ඒද ශ්‍රී රාවණ රජතුමගේ අවතාරයක් බව හිංදු ඉතිහාසයේ දැක්වේ. එනම්,
අයිය=අයියා
නර්=නරයා
නරයින්ට අයියා වන්නේ ශ්‍රී රාවණ රජතුමාමය. සූර් වූ හරකෙක් මත වැඩ සිටින අයියනර් දෙවියන්ට පඬුරු ලෙස දිය යුත්තේ අරක්කු ය. එවිට එම දේවෝත්තමයා, තමා ඉදිරියේ වැඳ වැටෙන බලුගැත්තාට තිබෙන සියලුම හිතේ කරදර වලින් නිදහස් කරනු ඇත. අදටත් අපගේ ගම් පළාත් වල සිටින රා/අරක්කු බී සූර් වූ උදවිය ඉහත අයියනර් දෙවියන් ගේ විලාශයෙන්ම මන්නයක් අතට අරගෙන තවත් කෙනෙකු පසුපස හඹා යමින් කරන්නේ අයියනර් සඳහා දේව පූජාවකි.
ඉතාමත්ම ශෝකජනක පුවත වන්නේ, වර්තමානයේදී අයියනර් දේවාලය "මලයාලි සක්කිලියන්" විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටීමයි. බලන්න ඉහත පින්තූරයේ සිටින මලයාලි සක්කිලියන් හතර දෙනා අයියනර් දෙවියන්ට ලැබෙන අරක්කු හොරෙන් බී සූර් වී සිටින අන්දම? මෙවන් අපරාධ දැක දැක අප හෙළයින් නිහඬව සිටින්නේ ඇයි? වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියට වටිනා කොමෙන්‍ටු එක් කරන අපගේ මිත්‍ර "ඇනෝනිමස් වන් ඔරිජි" තුමන්, මලයාලි සක්කිලියන්ට ලුණු ඇඹුල් ඇතිව බනිද්දී ඔහුට හිනා වූ අය ඉහත පින්තූරයේ සිටින මලයාලි සක්කිලියන්ගේ වැඩ කිඩ ගැන කුමක් කියනු ඇත්ද?
ඒ අතර "ඇල්ල" ප්‍රදේශයෙන් ලැබුණු ඉපැරණි හෙළ යක් භාෂාවෙන් ලියන ලද රන් සන්නසකට අනුව රාම කුමාරයා වඳුරන් සමග ලංකාපුරය ආක්‍රමණය කර තිබුණේ සීතාව සොයාගැනීම එකම අරමුන කරගෙන නොවේ. අප හෙළයින්ට තිබූ රා මැදීමේ තාක්ෂණය සොයාගැනීම ප්‍රමුඛතම අරමුණ විය. එකල ඉන්දියාවේ වඳුරන්ද රා බීමේ රුසියන් වූ අතර එම වඳුරන්ට රා මැද වක් කිරීමේ කාර්යය, කාලයක් වනයේ පිටුවහල්ව සිටි රාම කුමාරයා විසින් කර ඇත. "රාම" යන්නේ පද නිරුක්තිය බලන්න.
රා=රා
ම=මදින්නා.
ඉතාමත් ප්‍රාථමික තාක්ෂණයක් තිබූ එම රාමදින්නාට (රාමට) ලංකාපුරයේ ශ්‍රී රාවණ රජතුමාගේ රා මැදීමේ දියුණු තාක්ෂණය අවශ්‍ය විය. අදටත් ඉන්දියාවේ ඇති සුවිශාල අරක්කු ස්කාගාරයන් වැඩ කරන්නේ එදා ශ්‍රී රාවණ රජතුමාට තිබූ රා මැදීමේ තාක්ෂණය යොදා ගනිමින් බව, ඉන්දියානු පුරාවිද්‍යාඥයින් පවා පිළිගන්නකි.
ඊළඟට එම තඹ සන්නස හමුවූ "ඇල්ල" නගරයේ පද නිරුක්තිය බලමු.
ඇල්=ඇල්වූ
ල=ලබුකැටය.
එම තඹ සන්නසේම සඳහන් වන්නේ ශ්‍රී රාවණ රජතුමා එකී, ප්‍රදේශයට එද්දී උණු කර රා පිරවූ ලබු කැටයක් අරගෙන ආවත් එහිදී සීතලටම එහි වතුර ඇල් වී ඇති බවයි. ඒ අනුව ඇල්වූ ලබුකැටයේ නමින් "ඇල්ල" කියා එය හඳුන්වා ඇත. පසුකාලයේදී එම ස්ථානයේ උණු කළ රා විකිණීමේ තැබෑරුමක් ඉදි කළ අතර, ඒ නටඹුන් අසළින්ම රාවණ රජතුමාට ගෞරවය පිණිස වර්තමාන "රාවන අරක්කු භෝජනාගාරය" ත් ඉදිකර ඇත. රා උණු කිරීමෙන් අරක්කු හදන බැවින් එය මනාව ගැලපෙයි. වර්තමානයේදීත් ඇල්ල ප්‍රදේශයේ ඇති එම තැබෑරුමේ අරක්කු විකිණීම, අතීත "උණු රා" විකුණූ හෙළ යකුන්ගේ පරපුරේම අය විසින් කරන්නකි.


