ප්‍රේමකීර්ති ද අල්විස් ශුරීන් අපෙන් උදුරාගෙන වසර 29 යි ..
වෙඩි හඬින් නිහඬ කළ විචිත්‍රවත් මිනිස් සන්තානය පිළිබඳ
කාලයේ වැලි තලාවෙන් වැසි ගිය යතාර්ථය ..
ප්‍රේමකීර්ති ද අල්ස්විස් නම් සොඳුරු සෞන්දර්යවාදියා ගේ නමින් මාවතක් විවෘත වුයේ පටු දේශපාලන වාසි තකා මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය.. එහෙත් වසර ගණනාවක් ලොවට අනාවරණය නොවූ රහසක් එදින හෙළි වුයේ මේ රටේ පාලකයන්ද , ඝාතකයන්ද බිරාන්ත කරමිනි. "ඝාතකයා ඔබේ තුරුලේය ජනපති තුමනි " යයි ප්‍රේමකීර්ති ද අල්ස්විස් ගේ ප්‍රියාදර බිරිඳ හඩ්සන් සමරසිංහ ට ඇඟිල්ල දිගු කොට නිර්භයව පවසන විට මහින්ද රාජපක්ෂ ගේ දකුණු පසින් සිටි ආණ්ඩු වල දුර්ජනයින්ගේ කිලිටි රෙදි ශෝධකයා හීන් සීරුවෙන් පල්ලම් බැස නොපෙනී ගිය බව පසුව රටටම හෙළි විය. වසර ගණනාවක් ජවිපෙට කෝපාවිෂ්ඨ ගර්ජනාවෙන් දමාගැසූ ප්‍රේමකීර්ති නම් සොඳුරු මිනිසාගේ ඉරණම විසඳූ ආකාරය දැන් රටටම පැහැදිලිවම හෙළි දරව් වී ඇත. එහෙත් හඩ්ඩා තවමත් නිදල්ලේය. ලාංකීය පාදඩ දේශපාලනය සැමදා සුරකින්නේඋන්ගේ සපත්තු ලෙවකන ද්‍රෝහීන් ය. මිනීමරුවන් හෙළි වී ශාක්ෂි පමණටත් වඩා තිබුනද සෑම ආණ්ඩුවකම ලේ රෙදී ශෝදන්නෙකු තවමත් අත්අඩංගුවට ගෙන නොමැත. ඒ සකල සිරින් පිරි සිරි ලංකාවේ නීතිය හා යුක්තිය පිලිබඳ සත්‍යයි . ධවල භීෂණය මැද මේ රටේ සිදු වූ බොහෝ ඝාතනයන් මේ රටේ කුප්‍රකට දේශපාලුවන් හා උන්ගේ සහචරයන් විසින් සිදුකර ජවිපෙ ගිනුමර බැරකර අතපිස දා ගත්තේය. එහෙත් ලේ ගංගාවක ගිල්වා වුවද මරා දැමීමට නොහැකි සත්‍යය කෙදිනක හෝ විසල් රුක්ෂයක් සේ නැගී සිටින බව අප විශ්වාස කරන්නෙමු .
ඔහුගේ මරණය සම්බන්ධව අත්අඩංගුවට ගත් සමන් ප්‍රියංකර ගමගේ හට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පනවා 1994 මාර්තු 18 දින කොළඹ මහාධිකරණය තුල විභාගයට ගත නඩු විභාගය අවසන් කරමින් මහාධිකරණ විනිසුරු ධර්මදාස ජයවික්‍රම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. එතැන් සිට නොකළ වරදකට මෙම අහිංසක තරුණයා හඩ්සන් සමරසිංහ නම් පාපතරයාගේ සියලු පව් වලට කර ගැසීමට සිදු විය. මුදලට හා බලයට යටවූ පොලිසියද ඔවුන්ගේ නීචකම් වලට අවැසි සහය ලබා දී තිබුණි
සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් උපත ලැබුවේ 1947 ජුනි මස 02 වැනි දින කොළඹ මරදාන දුම්රිය නිවාසයක දීය. ආනන්ද විද්‍යාලයෙන් ශිල්ප සතර ලබාගනිමින් 1961 දී තම ළමා වැඩසටහනකදී "කරු අයියා" නොහොත් කරුණාරත්න අබේසේකර මහතාට හමු වූ දිනේ සිට ගුවන් විදුලියට සම්බන්ද විය . 1967 දෙසැම්බර් 17 වැනි දින සහාය නිවේදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුනි.
ප්‍රේමකීර්ති ඉතා සරල දිවි පෙවෙතක් ගත කළ කුඩා නිරහංකාර මිනිසකු විය. ජීවත් වූ වසර 42 ක් තරම් කෙටි කාලයක් තුළ ගීත එක්‌දහස් හයසියයකට ආසන්න සංඛ්‍යාවක් ලියූ ප්‍රේමකීර්ති තම පළමු ගීය ලෙස "හද පුද අසුනේ සෙනෙහස මැවුණේ" රචනා කළේ රූපා ඉන්දුමතී හා මල්කාන්ති පීරිස් (නන්දසිරි) වෙනුවෙන් 1969 වසරේදීය. මෙම වසරේම කේ. ඒ. ඩබ්. පෙරේරා අධ්‍යක්‍ෂණය කළ "ලොකුම හිනාව" චිත්‍රපටයට පසුබිම් ගීයක් ලෙස "පරණ කෝට්" ගීතය ලියමින් චිත්‍රපට ගීත ක්‍ෂේත්‍රයට පිවිසි ප්‍රේමකීර්ති චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක පසුබිම් ගීත රචනා කළේය.
ප්‍රේමකීර්ති හැමවිටම දරුවන් සමග සිටීම ප්‍රිය කළ මිනිසෙකි . සාරධර්ම හා ළමා මනස සංවර්ධනය උදෙසා ඔහු නොමසුරුව ගුවන් කාලය වෙන් කළේය. "කියන්න සුළඟේ ඔබ කොයි සිට දෝ එන්නේ", "පුංචි පන්තිවල", "රූම් පෙත්ත කැරකෙනවා", සුරංගීට දුක හිතුනා", "සමනළයා මල හා ළමයා", "මා එක්‌කලා අමනාපව වී දබර" වැනි ගීත ද, ටයිටස් තොටවත්තයන් හඬගැන්වූ "දොස්‌තර හොඳහිත" වෙනුවෙන් රචිත "බෑ කියලා බැරිය මලේ" ආදී වූ ගීත සමුච්චියද ඔහු ගේ සුරතින් ලියවුනු සදාකාලික ගී පදය.
1969 සිට 1977 දක්‌වා කාලසීමාව තුළ ගුවන්විදුලි බලධාරීන් විසින් ප්‍රේමකීර්තිගේ වැඩ තහනම් කළ අවස්‌ථා ගණන 12 කි. 1977 සිට 1987 දක්‌වා විවිධ දේශපාලන පළිගැනීම්වලට බඳුන් වූ ප්‍රේමකීර්ති අවසන වසර දෙකක වැඩ තහනමකට ද ලක්‌විය. වසර දෙකක අනිවාර්ය නිවාඩු යෑවීමෙන් පසු කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට කැඳවූ ප්‍රේමකීර්ති ද අල්විස් හා ගුණදාස කපුගේ රජරටට මාරු කරන ලදී. ඔහුට දේශපාලන දර්ශනයක් තිබුණි. මේ රටේ බහුතරයක් වූ නලාකරුවන් අතර ඔහු ජනතාවාදී කලාකරුවෙකු විය. ප්‍රේමකිර්තිගේ දේශපාලන චින්තනය හඳුනාගත හැකි නිර්මාණ රාශියක් ද මෙම ගී පදමාලා තුළ අන්තර්ගත ය. ඒවා සියුම් ලෙස විග්‍රහ කරන්නකුට පහසුවෙන් ඔහුගේ සිතුවිලි හා ඒකාත්මික විය හැකිය. ප්‍රෙඩී සිල්වා ගායනා කළ "කුණ්‌ඩුමනී" ගීතය එවක රටේ ප්‍රධාන දේශපාලන ගැටලුව වූ ජාතිවාදී ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ දැක්‌ම ප්‍රකට කරයි. ගුණදාස කපුගේ ගායනා කරන "උතුරු කොනේ නුඹ හිනැහෙන්" ඔහුගේ සමාජ සත්තා යථාර්ථය කුළුගන්වන නිර්මාණයෝ වෙති.
ප්‍රේමකීර්තිට ගීයක් ලිවීමට ගත වන්නේ සිගරැට්‌ටුවක් දැවී යන කාලය පමණි. උපකරණ ලෙස අවශ්‍ය වන්නේ බස් ටිකට්‌ටුවක තරමේ කඩදාසි කැබැල්ලකි. "ආදරයේ උල්පත වූ අම්මා" ගීතය ලියෑවුණේ 138 බස් රථයක ඇස්‌වාට්‌ටුවේ සිට හෝමාගම යද්දී එම ගමන සඳහා නිකුත් කළ ටිකට් පතක බව වික්ටර් රත්නායක දිනක රුපවාහිනි වැඩසටහනකදී පවසා ඇත. ප්‍රේමකීර්ති ලියා ඇති බැති ගී ප්‍රමාණය ද ඉතා විශාලය.ඒ අතරින් නොමියෙන පදවැල් ලෙස මේ රටේ සිංහල ගීතාවලිය තුල මෙවන් ගී රසික හදවත් තුල සදාකාලික මතක සටහන් වනු ඇත.
"දම්පියාව නෙත් පියාණ", "හිත හීලෑ නෑ හරිම මුරණ්‌ඩුයි", "ඇළ දොළ ගංගා යාවි ගලා", "කුරුලු ගමේ කුරුලු ගෙදර කුරුලු කුමාරි", "සුදුපාට මීදුම් ගලාලා", "බැද්දට හඳ පාන වගේ", "තනි තරුවේ", "බොඳ මීදුම් කඳු රැල්ලේ", "මහ මුහුදු විමානේ", "එගොඩහ යන්නෝ" "ඉසුරුමුනියෙහි පැතැලි ගලෙක", "දඹුලු ගලේ", "උඩරට නිළිය හැඩ වගේ", "නිවහල් සිතුවිලි සිතනා"
"කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන" ගීතයේ සිට "පෙම්මල් මාලා නෙළා ගොතාලා", "ටිකිරි මැණිකෙ අඹුල ගෙනැල්ලා", "දෑස රිදෙනවා පාර බලා ඉඳලා", "ආදරයක හැඟුමක් මුලදී", "ඔබෙ නිල් නුවන් තලාවේ", "මගේ ළමැඳ සුව යහනක්", "මා නෙත් කැදැල්ලේ",සයුර වෙත යන ගඟ පරිද්දෙන්", "පිදුරු සෙවි කළ පැල්පතේ ඇති", "කල්පනා ලොව මල් වනේ", "කෙදින ද කූඩු හදන්නට එන්නේ", "ලොව නිසසල වී නවතින මොහොතේ", "ගී ලියන්න මට කිව්වේ ඔබේ නෙතයි", "මගෙ නාමලී බැඳි ආදරේ" "සිහින සතක් දුටුවෙමි මම", "කුරුල්ලන්ට ගී ගයන්න", "කිරි කවඩි සිනා නොදැක බැදුණ", "ආත්ම ගණනක සිතුවිලි අතරේ", "සැලළිහිණියෝ ඔම දන්නෙ නෑ",
"එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ", "ප්‍රේම කතාවක චරිත දෙකක් අපි", "මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න නම් බැරි", "කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා", "මග තොට දී හමුවෙද්දී", "ඔබෙ නිල් නුවන් තලාවේ", "පවුරු වළල්ලක් බැඳලා", "ආගන්තුක කුරුල්ලා", "හිරු පායනවා මල් පිබිදෙනවා", "සන්සුන් රුවක් හඳ මන්දිරයේ", "තුට කළ ලෙවන්", "වැල්ලේ කිරි වැල්ලේ""ආදරයේ උල්පත වූ අම්මා" සහ "දුනුකෙයියා මලක් වගේ""පුංචි දවස්‌වල නින්දට යද්දී""දරුවෝ ඇති අම්මාලා"
මෙවන් ප්‍රතිභාවක් තිබු මිනිසෙකු මරා දැමීමට තරම් සාහසික වුයේ පදවි තානාන්තර වලට ගිජු වූ පාපිෂ්ඨ මිනිසෙකු ගේ නීච හදවතකි. රටක් නැලවූ සුවිසල් හදවතක් ඇති මිනිසෙකු 1989 ජුලි මස 31 වැනි දින සීතල රාත්‍රියේ මැදියමට සුළු මොහොතකට පසු පාළු මාවතක බෝක්‌කුවක් මතදී ලොවම ආදරය කළ ඒ මහා හඬ පෞරුෂය ගලා ආ අවිහිංසක සිනාව රැඳි මුවට වෙඩි තබා පැනගියේය.දශක දෙකකට පසුව හෝ සත්‍ය අනාවරණ කිරීමට සමත් වූ ඔහුගේ ආදරණීය බිරිඳගේ නිර්භයත්වයට ප්‍රණාමය .