ලසන්ත_ඝාතන_චෝදනා

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ලසන්ත_ඝාතන_චෝදනා

ලසන්ත ඝාතන චෝදනා ෆොන්සේකා ප්‍රතික්ෂේප කරයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට සම්බන්ධ බවට ජනාධිපතිවරයා උපුටා දක්වමින් ඔහුගේ ඥාතීන් කරන චෝදනාව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රතික්ෂේප කරයි.

140108162721_sarath_fonseka_304x171_afp.jpg


අද උදෑසන බොරැල්ල කනත්ත සුසාන භූමියේ පැවති ලසන්ත වික්‍රමතුංග පස් වැනි අනුස්මරණ ගුණ සමරුවේදී ප්‍රකාශයක් කළ ලසන්තගේ වැඩිමහල් සොහොයුරු ලාල් වික්‍රමතුංග, ඝාතනයට සරත් ෆොන්සේකා සම්බන්ධ බවට "ජනාධිපතිවරයා තුන් වරක්ම" පැවසූ බව කියා සිටියේය. "ජනාධිපතිතුමා මට තුන් සැරයක් කිව්වා, ජෙනරාල් සරත් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ කියල," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සංදේශය එම ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ.

"එතකොට මම ඔහුගෙන් ඇහුව ඇයි ඔහුට විරුද්ධව නඩු පවරන්නේ නැත්තේ කියලා. සාක්ෂි ගැන කියල යම් පිළිතුරක් දුන්න මිසක් සෑහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් දුන්නේ නැහැ." ලාල් වික්‍රමතුංග තව දුරටත් කියා සිටියේය.


140108162337_lal_wickrematunga_304x171_bbc.jpg


'යුද හමුදාවේ උවමනාවට'

රටේ නායකයා සහ රටේ ආරක්ෂක අංශවල සේනාධිනායකයාද වන ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන ප්‍රකාශ තමන් බැරෑරුම් ලෙස සලකන බවද ලාල් වික්‍රමතුංග සංදේශයට කියා සිටියේය. සිය සොහොයුරා ඝාතනයට සරත් ෆොන්සේකා සම්බන්ධ යයි විශ්වාස කරන්නේද යන්න, සංදේශය ඔහුට යොමු කළ ප්‍රශ්නයක්.

"මේක යුද හමුදාවෙත් දේශපාලන ලොකු මහත්තුරුන්ගෙත් උවමනාවට වෙච්ච් වැඩක්. ජනරාල් ෆොන්සේකා ඔහුම කියල මේක කළාද, අනිත් අයත් එකතුවෙලා තවම දන්නේ නැහැ," යන්න එම ප්‍රශ්නයට ඔහුගේ ප්‍රතිචාරයයි.

චෝදනාව පිළිබඳව ප්‍රතිචාරය පළ කරන හිටපු හමුදාපතිවරයා, ජනාධිපතිවරයාගෙන් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් ඝාතනයට තමන් සම්බන්ධ යයි දිගින් දිගටම චෝදනා කරන බවට ලාල් වික්‍රමතුංගට චෝදනා කරයි.

"තුන් පාරක් මහින්ද රාජපක්ෂ කිව්වා කියල මෙයා ඒක පිළිගන්නවා නම්, මටත් පුළුවන් ඕනේ නම් දහ පාරක් හරි කියන්න මම නෙමෙයි ඒක කළේ මහින්ද රාජපක්ෂ හරි ගෝඨාභය රාජපක්ෂ කියලා. එයා ඒකත් පිළිගන්නවද?" යනුවෙන් ඔහු පෙරළා ප්‍රශ්න කළේ සංදේශය ඒ පිළිබඳව විමසූ අවස්ථාවේදී.


සුදු කොඩි නඩුව

මින් පෙරද තමා සිර ගත කිරීමේ රජයේ අවශ්‍යතාව ඉටු කිරීමට ලාල් වික්‍රමතුංග සහ ඔහුගේ පුවත්පතේ කතුවරිය සුදු කොඩි නඩුවට අදාලව බොරු සාක්ෂි ලබා දුන් බවටද සරත් ෆොන්සේකා චෝදනා කරයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම පොද්දල ජයන්ත සහ උපාලි තෙන්නකෝන් මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය සිදු වූයේ ජනතිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයාගේ ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ කල්ලියකින් බව තමා හමුදාපතිවරයාව සිටි අවදියේ සිට විශ්වාස කළ බවද සරත් ෆොන්සේකා පවසයි.

එහෙත් එම චෝදනා චෝදනා ආණ්ඩුව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

"හැකියාව තිබියදී මේ කල්ලිය ඇල්ලීමට අවශ්‍ය පියවර ජනාධිපතිවරයා හෝ මේ ආරක්ෂක ලේකම්වරයා ගත්තේ නැහැ," යනුවෙන්ද සරත් ෆොන්සේකා සංදේශයට කියා සිටියේය.


140108161810_lasantha_wickrematunga_304x171_bbc.jpg


හමුදාපතිවරයා ලෙසින් ඒ ගැන සොයා බැලීමට තමන්ට කිසිදු අයිතියක් හෝ වගකීමක් නොතිබූ බව අවධාරණය කළ හිටපු හමුදාපතිවරයා, ඉතා නිර්භීත, විප්ලවකාරී හා අභියෝග හමුවේ තම මත ප්‍රකාශ කළ මාධ්‍යවේදියකු ලෙසිනුයි, ලසන්ත වික්‍රමතුංග හඳුන්වා දුන්නේ.

තම සොහොයුරා ඝාතනය කොට වසර පහක් ගත වුවත් තවමත් වැරදිකරුවන්ට දඩුවම් දීමට අපොහොසත් වී ඇති බවට මේ අතර ලාල් වික්‍රමතුංග ආණ්ඩුවට චෝදනා කරයි.

"කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කිව්ව මාස තුනෙන් නඩුව ඉවර කරනව කියල. හැබැයි අද වෙන තුරු ඒ කිසිවක් වෙලා නැහැ. මට තේරෙනව හමුදාවේ මොරාල් එක වැටෙයි කියල බයක් තියනවා; නැත්නම් මේ නිලධාරීන්ට අණ දුන් අය අපහසුවට ලක් වේවි කියලයි මේ නඩුව ඉදිරියට ගෙනි යන්නේ නැත්තේ," යනුවෙන්ද ඔහු පැවසීය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බවට එල්ල වන චෝදනා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.


BBC Sinhala Sandeshaya
 
Last edited: