ඔබ වරක් කියා තිබුණා ගෙවල් ඇතුළේ ෆැක්ටරි ටික එළියට යන්න ඕනෑ කියලා. ඒ කතාව මොකක්ද?
අපේ රටවල තිබුණු නිෂ්පාදන ක්‍රමයට ආසියාතික නිෂ්පාදන රටාව කියලයි කියන්නේ. නිෂ්පාදනය කියන එක පෞද්ගලිකව තිබුණේ. මෙහෙම හිතමු. ඉස්සර බත් පිඟානක් ගත්තොත් බත් පිඟාන පුරාම ඉන්නේ තාත්තා. දැන් බත් පිඟාන ගත්තොත් මුළු ලෝකයම ඉන්නවා. හාල් එක රටකින්. සෝස් තිබුණොත් ඒක තව රටකින්. ව්‍යංජනයක් තව රටකින්. පිඟාන තවත් රටකින්. සමාජය ඉස්සරහට එනකොට පෞද්ගලිකව නිෂ්පාදනය විදියට ගේ ඇතුළේ තිබුණු නිෂ්පාදන ගෙයින් එළියට යනවා. ඒක අපේ රටට තේරුම් කරන්න තියෙන හොඳම උදාහරණය තමයි මහන මැෂිම. පරම්පරාවකට කලින් හැම ගෙදරකම මහන මැෂිමක් තිබුණා. ගෑනු ළමයෙක්ට දෑවැද්දට මැෂිමක් ඕනෑමයි. දැන් මහන මැෂිමක් අරන් යන්න කිසිම ගෑනු ළමයෙක් කල්පනා කරන්නේ නැහැ. එදා මැහීමේ කර්මාන්තය තිබුණේ ගේ ඇතුළේ. අද ඒක ගෙයින් එළියට ගිහින්. ඒත් තව ෆැක්ටරි කිහිපයක්ම ගේ ඇතුළෙන් එළියට යා යුතුයි. දැන් ගොඩාක් අය ගෙදරට වොෂින් මැෂින් එකක් ගෙනෙන්න බලනවා. අපි කියන්නේ, වොෂින් මැෂින් ගෙනැල්ලා රෙදි සේදීම ගේ ඇතුළේම තියාගන්න එපා. ඒක රෙදි හෝදලා මැදලා දෙන තැනකට බාරදෙන්න.
ඒ ටික එළියට ගිය පවුල් දැනටම ඉන්නවා. අපේ සමාජයේ පන්ති භේදයක් තියෙනවා. ඉහළ ආදායම් තියෙන අය එළියට දීලා. ගොඩක් අය මේවා ඇතුළේ තියාගෙන ඉන්නෙ බැරිකමට. ආර්ථික ප්‍රශ්නයක්. අපේ ගේ ඇතුළෙ තවත් ගොඩක් තියෙනවා. කෑම කැපීම, කෑම ඉවීම, වළං හේදීම වගේ. තව දේවල් තමයි ළමයින් බලා ගැනීම හා වැඩිහිටියන්ට සැලකීම. පවුලේ දෙන්නා රස්සාවට යන්නත් ඕනෑ. අන්තිමේදී දරුවන්ට, වැඩිහිටියන්ට සහ ජෝඩුවට යුක්තිය ඉටුවෙන්නේ නැහැ. ඒ වැඩ පවා එළියට යන්න වෙනවා. දරුවන් රැකබලා ගැනීමට හොඳ මධ්‍යස්ථාන අවශ්‍යයි. දරුවාව සතුටින් තියන, දරුවා ගැන දන්න අයව අවශ්‍යයි. දෙමාපියන්ට සියලු පහසුකම් දුන්නත් කාමරයක් ඇතුළේ අම්මෙක් තාත්තෙක් ඉන්න එක ලොකු අපරාධයක්. එයාලාට පුළුවන් නම් තමන්ගේ වයසේ, තමන්ට ඇසුරු කරන්න පුළුවන් අය එක්ක විනෝදයෙන් ඉන්න. ඒක ලොකු දෙයක්. අපි හිතනවා අපේ සංස්කෘතිය අනුව ගේ ඇතුළේ මාපියන් රැකබලාගැනීම තමයි හොඳම දේ කියලා. ගෙවල් පන්සීයක් වෙන වෙනම උයනවාට වඩා හොඳ නැද්ද ගෙදරින් එළියේ, රසටම උයන තැනකින් කෑම කන එක. තනි තනි ගෙවල්වල නිෂ්පාදනය වෙන දේවල අතිරික්තය අපතේ යෑමත් නවතිනවා. ඉතින් ආර්ථිකයටත් යහපත්.
අපේ අය නම් බටහිර රටවලට ගියත් වෙනස් වෙන්නේ නැහැ. මම ළඟදී ජිනීවාවල ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ගියා. අපි බොහෝවිට අපේ හිතමිත්‍රයන්ගේ තැන්වල ඉන්නේ. එයාලා ඒ රටවල පුංචි ලංකාවක් හදාගෙනයි ජීවත්වෙන්නේ. ගෙදර කන්න උයන්නේ පරිප්පුයි බතුයි. එකතුවෙලා පුංචි පන්සලක් එහෙම හදාගන්නවා. මේක නම් පසුගාමීත්වයක්. මම වතාවක් කටාර් ගියා. අපි යද්දී හොඳ පිළිගැනීමක් එක්ක කිරිබත් හදලා තිබුණා. මහන්සි වෙලා හදලා තිබුණේ. ඒත් මම හිත නොරිද්දාම කීවා මම මෙහෙන් යනකල් මට ලංකාවෙ කෑම නම් එපා කියලා. මම වෙන රටකට ගියොත් එහේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා ආවේ නැත්නම් වැඩක් නැහැ. එහේ ගිහිල්ලත් කිරිබතුයි ලුණුමිරිසුයි කන්නෙ ඇයි? මේවා විකෘති.
ඔබ රසවිඳින කලාකෘති මාක්ස්වාදී, ප්රගතිශීලී ඒවා විය යුතුද?
මම ඕනෑ කලාකෘතියක් රසවිඳිනවා. අමරදේව මහත්තයාගේ සිංදුවක තියෙනවා, ‘බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා – සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා’ කියලා. මේකෙ තියෙන්නේ සෞන්දර්යයනේ. මේක විඳින්න පුළුවන්. කෙනෙක්ට අහන්න පුළුවන් ඔබ මාක්ස්වාදියෙක්නේ. ඔබට මේකෙ සෞන්දර්යයෙන් ඇති වැඬේ මොකක්ද කියලා. ඒකෙන් සමාජ ප්රගමනයට වෙන්නේ මොකක්ද කියලා. සමාජ ප්රගමනයට හේතුවෙන කලා නිර්මාණත් තියෙනවා. ඒක විතරක්ම තියෙන්න ඕනෑද කියන එකයි ප්රශ්නය. පණිවුඩයක් එක්ක සෞන්දර්යාත්මක දෙයක් කියන කලා නිර්මාණත් තියෙනවා. ඒත් හැම එකකින්ම පණිවුඩ ඕනෑ නැහැ. කොහොම වුණත් සමහර නිර්මාණවල අන්තර්ගතය ප්‍රතිගාමීයි. එහෙම නිර්මාණ ගැන විවේචනයක් තියෙනවා. කලාව වෙනුවෙන් මට ඕනෑ තරම් වෙලාව තියෙනවා. හැම වෙලාවෙම වාහනයෙන් යද්දී සිංදුවක් අහනවා. හිටපු ගමන් ෆෝන් එකෙන් ‘එන්ටර් ද ඩ්‍රැගන්’ බලනවා. මම බෲස්ලිගේ ෆිල්ම්වලට කැමතියි. කව්බෝයි ෆිල්ම්වලටත් කැමතියි. ජිම් කෙලීගේ ෆිල්ම් බලනවා. ‘ද ගුඞ් ද බෑඞ් ද අග්ලි’ වගේ පරණ ෆිල්ම් බලනවා. හිටපු ගමන් බන්දු ටෙනීගෙ ෆිල්ම් එකකුත් බලනවා. ගෙදර ඉද්දී ටී.වී. එකේ චැනල් මාරු කරගෙන යනවා. පොතක් බලාගන්න ඉඳගත්තොත් ඒකත් කරනවා. සුචරිත ගම්ලත් තමන්ගේ පොතක පෙරවදනේ කියලා තියෙනවා, ‘සාහිත්‍ය කලාවෙන් විහීන කෙනෙක්ට අඩු අංතට්ටුවකුත් වලිගයකුත් විතරයි’ කියලා. ‘එහෙම අය තණකොල බුදින්නේ නැති එක ගොනුන්ගේ වාසනාව’ කියලා.■
ලින්ක්