වරද ඇත්තේ ඔබ තුළ පමණි. ඔබේ ප්‍රමාදය පමණි..

Amasuwa

Member
May 25, 2017
39
15
0
Path of Nirvana
වරද ඇත්තේ ඔබ තුළ පමණි. ඔබේ ප්‍රමාදය පමණි..


මරණින් එහා ගමන කුමක්ද කියා ඉගියකින්වත් නොදනී. නමුත් ඔබ සිටින්නේ ඒවා පිළිබඳ ඇස් කන් වසාගෙනය. තිත්ත ඇත්තට මුහුණ නොදී ඉන් පළායමින්ය.


කෙළවරක් නැති, සීමාවක් නැති, ආරම්භයක් අවසානයක් නැති සංසාරය පුරාවටම අප මෙලෙසින් ඉපිද ඉපිද, මැරෙමින් පැමිණෙන වාර ගණන අසීමීතය. එය සාමාන්‍ය කෙනකුට දත නොහැකි මුත්, සියල්ල දන්නා සර්වඥතා ඥාණයකින් සමන්විත බුදු ඇසට අතැඹුලක් සේ දිස්වේ. නොයෙක් ආකාර දුගති වල කල්පාන්තර ගණන් දුක් විඳිමින් අප මේ පැමිණෙන්නේ කිව නොහැකි තරම් අති භයංකාර සංසාර ගමනකය.අපා, තිරිසන්, ප්‍රේත, මිනිස්, දෙව්, බ්‍රහ්ම, භවයන් අතර වරින් වර දෝලනය වූවද, සත්වයාගේ මහ ගෙදර සතර අපාය වේ. එනම් කොහේ ගියත් යළි නිවස කරා එන කෙනකු සේ, කුමන දෙව්,මිනිස්, බඹ ලොව සැරිසැරුවද යළි යළි සතර අපාය කරාම ඇදී ඒ.


අප අතරින් අපායේ නොඉපදුණු එකම සත්වයකුවත් නොමැත. පයට,හිසට, සතර පසින් ගිනි අඟුරු ජාලා වලින් වටවී ඇති මහා නරකාදී වල ගින්නෙන් දැවි දැවී අප අනන්ත අප්‍රමාණ දුක් විඳ ඇත්තෙමු. නහර වල්, ඇටකටු වලින් දුම් පිටවයද්දී එයින් ගැළවීමක් පතා එහා මෙහා කොහේ දිව්වද අස්වැසිල්ලක් නොමැත.හය පසෙකින්ම වටවී ඇත්තේ දිලිසෙන ගිනි අඟුරු වැනි බිත්ති වලිනි. අධික දුක්,වේදනාව දරාගත නොහැකිව මිය ගියද,කර්මය ගෙවී යන තෙක්ම යළි එතනම ඉපදේ. කර්මය ගෙවී යන්නේ මිනිස් ලොව අවුරුදු වලින් නොව, ඒ එක් එක් අපායන්ට නියමිත කාල වකවානු වලිනි. ඒවා ඇතැම්විට නොව බොහෝ විට කල්ප ගණන්ය. බුදුරජාණන්වහන්සේ මේවා දේශනා කළේ කිසිවකුගෙන්වත් අසාදැනගෙන නොව, තමන් වහන්සේ විසින්ම තම දිව්‍ය චක්ඛු, දිව්‍ය සෝතයන් තුළින් දැක, අසාය. උන්වහන්සේට අපායික සත්වයන්ගේ වේදනාවන් අඳෝනාවන් පියවි කණින් අසන්නාක් මෙන් ඇසිය හැක. උන් වහන්සේ මේවායේ දුක් දේශනා කළේ එසේ සක්සුදක් සේ දැනගෙනය.

අපායික දුක් එසේ වද්දී තිරිසන්, ප්‍රේත ලෝක වලද දුක් එමටය. තිරිසන් සත්වයකු ලෙස උපතක් ලද විට සෑම මොහොතකම සිටිනුයේ තමනට වඩා බලවත් සතුරකුගේ ගොඳුරක් වේයැයි මරණ භියකින් නිරන්තරව දැවිගෙනය. සමහරවිට රංචු පිටින් පන්නාගෙන එද්දී, පණ බේරා ගැනීමට දුවන්නේ කෙතරම් නම් මරණ භියක් හිතේ තබාගෙනද !. අපායේ ඉපදුණ සත්වයත් ඒ භවයට ඇලුම් කරයි. උපාදානයේ හැටි එලෙසය. ගිය ගිය තැන තණ්හාවෙන් බැඳෙයි. කුමන දුකක් වින්ඳද තිරිසන් සතාද ඒ ජිවීතයට ඇලුම් කරයි. ගොඳුරක් වීමට පළමුව කෙසේ හෝ දිවිය රැකගැනීමට සටන් කරනුයේ එබැවිනි. ඉන්න හිටින්නට තැනක් නැත. ශීතය, ඌෂ්ණය කියා රැඳෙන්නට රැකෙන්නට තැනක් නැත. බඩගිනි වූ පමණින් කෑම නැත. ලෙඩ දුක් වූ විට බෙහෙත් නැත. සතුන්ටද අපට මෙන්ම බඩගිනි,පිපාසා,භිය,වේදනා දැනෙයි. නමුත් පිහිට වන්නට කෙනෙක් නැත. කෑම සොයා නැවත නැවත ප්‍රාණගාතම සිදුකරමින් ද්වේශ සිත් ජනිත කරගනිමින් කෙලෙස් වලටම දිගින් දිගටම ඇඳ වැටෙයි. නැවත දුගතියෙන් දුගතියටම යාමක් විනා කුසලයක් කරගෙන සංසාරයෙන් එතෙර වීමේ මාර්ගයක් නොමැත.

ප්‍රේත ලෝකයද එතනින් එහා වෙනසක් නොමැත. සා පිපාසාවට සෙම්, සොටු, අසූචී මළ මූත්‍රා අනුභව කරමින්, විකෘති කාය රූපයන් දරමින් ඔවුන් විඳින දුක බුදුරජාණන්වහන්සේ විස්තරව දක්වා ඇත . ඇතැමුන් ජීවීත කාලයම කුසල් කර,මරණ මොහොතේ සිතිවිල්ල වරද්දවාගත්තවුන්ය. නමුත් සසරේ හැටි එලෙසය. සියල්ලටම මුල් වන්නේ සිතය.

මිනිස් උපතක් ලැබූවද ඉපදුණු මොහොතේ පටන් ක්‍රමයෙන් විපරිණාමයට පත්වන රූපයක් දරාගෙන සැපවත් ජීවීතයක් ගත කළ නොහැකිය. එය ලෙඩ වන විට ලෙඩ වන්නේ , මේ කයෙන් මෙවැනි දුක් දෙනවාදැයි කියා සිතා ගැනීමටවත් නොහැකි ලෙසටය. රූප කලාපයක් කලාපයක් ගානේ අධික වේදනාවන් දෙන , ඇටකටු පොඩි කරවන තරම් වේදනා දෙන නහරවැල් මිරිකා දමන තරම් දුක් දෙන ලෙඩ රෝග අනන්තවත් තිබේ. යම්තම් උණක් සෙම්ප්‍රතිෂ්‍යාවක් වැළඳුණු විටද මේ කයෙන් දෙන දුක සිතා ගත හැකිය. හන්දි පත් වේදනා, කොන්ද කැක්කුම්, උදරාගත රෝග, හිසේ කැක්කුම්, වාත අමාරු කෙළවරක් නැති ලෙඩය. ඇතැම් රෝග මුළු ජීවීත කාලය පුරාවටම විඳ දරාගෙන ජීවත් වීමට සිදුවේ. සමහර හිස කැක්කුම් වැනි රෝග කිසිදා නිට්ටාවට සුව නොවේ. වරින් වර මතුවෙමින් දුක් වේදනාවන් ජනිත කරදේ. පිළිකා වැනි රෝග වැළඳුණු විට රෝගියා පමණක් නොව සමීපතයන්ගේ ජීවීතද දුකට පත්වේ. මේ රෝග දුක පමණි. මෙසේම ජරාවට පත්වන විට ,අතපය වාරු නැතිවන විට ජීවීතය යනු කුමන දුකක්දැයි අවබෝධ වේ. එදා හයි හත්තිය තිබූ විට කළ කටයුතු එකක්වත් දැන් තනිව කරගත නොහැකි මට්ටමට ජීවීතය ළඟාවෙද්දී ව්‍යාධි දුක, ජරා දුක යන්න තේරුම්යයි. වැසිකිළි කැසිකිලි යාමටද කාගේ හෝ හව්හරණක් පතන්නට සිදුවූ විට ජීවීතය කෙතරම් අසරණද යන්න සිහිපත් වේ.

මේ ආකාරයේ කෙළවරක් නැති දුක් කයෙන් පමණක් ලබාදේ. තව මානසික වශයෙන්ද අප්‍රමාණ දුකට බඳුන් වීමට සිදුවේ. ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සම්ප්‍රයෝග, ඉරිසියාව,මානය, ක්‍රෝධය වැනි කෙලෙස් ධර්ම නිසාද දුක් විඳීමට සිදුවේ.

මෙවැනි දුක් විඳ විඳ අප අනන්තවත් මේ සංසාරය පුරා පැමිණ අත්තෙමු. කොතෙක් දුක් වින්දද ඉන් ගැළවීමක්, නිදහස් වීමක් කිසිදා නොපතා, යළි යළි ඒ දුක් ලබාදෙන රූපයන් කෙරෙහිම තණ්හාවෙන් බැඳෙමින් ඒවාම අභිනන්දනය කරමින්, ආශා කරමින්, ප්‍රාර්ථනය කරමින් යළි යළි තම මරණ වළ තමන්ම කපා ගනිමින් පැමිණෙන්නෙමු. බුදුවරයාණන් වහන්සේලා අනන්තවත් ලෝකයට පහළ වී නිර්වාණ මාර්ගය පෙන්වා දුන් මුත්, ඒ දෙසට හැරී බලන්නටවත් හිත නොදෙන තරමට මේ දුක් ලබාදෙන රූපයන්ම නැවත නැවත ආශා කළෙමු. නොයෙක් ස්පර්ශයන්ගෙන් ලැබෙන වේදනාවන්ට ආශා කළෙමු. ඒවාම ප්‍රාර්ථනය කළෙමු. නැවත නැවත සංසාර දුකටම ඇඳ වැටෙන්නට සිදුවූයේ වෙන කිසිවකුගේවත් වරදින් නොව අපේම වරදිනි.
ඒතරම්ම අවිද්‍යාව ඝණ බහුලය. අවිඳු අඳුරින් ප්‍රඥාව වැසී ඇත.ආලෝකයක් සොයනවා තබා ඒ දෙසට හැරෙන්නටවත් කැමති නැත. ඒ තරම්ම තාවකාලික ආශාවන්ට, වින්දනයන්ට යටත් වී ඇත.

අදද, මේ මොහොතේද සිදු වන්නේ එයමය.
දැනුදු ඔබ සිටින්නේ අන්ධකාරය තුළය. ආශාවන්ට යටවීගෙනය. ඉඳුරන් පිනවමින්ය.
විමුක්ති මාර්ගය ප්‍රතික්ෂේප කරමින්ය.

ගතවෙන තත්පරයක් තත්පරයක් ගානේ මරණය ඔබ කරා එළඹ සිටිමින් පවතී. එය කුමන අන්දමේ බිහිසුණු මරණ මොහොතක් වේදැයි කිසිවකුත් නොදනී. මරණින් එහා ගමන කුමක්ද කියා ඉගියකින්වත් නොදනී. නමුත් ඔබ සිටින්නේ ඒවා පිළිබඳ ඇස් කන් වසාගෙනය. තිත්ත ඇත්තට මුහුණ නොදී ඉන් පළායමින්ය. නමුත් ඔබ පළායන්නේ ඔබේ සිතින් පමණි. මහා සංසාර චක්‍රයෙන් පළායාමට ඔබට හැකිවන්නේ ඔබ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ තුළට පැමිණ , ක්‍රමයෙන් ප්‍රතිපත්ති පූරණය කර, සෝවාන්, සකදාගාමි,අනාගාමි, අර්හත් මාර්ගඵල ලබා මේ මහා ව්‍යසනයෙන් මිඳුණහොත් පමණි.
අප මහා අමා මැණියන්ගේ ඒ උතුම් සද්ධර්මය, තුන් ලොවක් සනහා වඳාළ ඒ උතුම් ධර්ම මාර්ගය අදටත් බැබළෙමින් පවතී. වරද ඇත්තේ ඔබ තුළ පමණි. ඔබේ ප්‍රමාදය පමණි..

අප්‍රමාදී වන්න. ගතවෙන ක්ෂණයක් ක්ෂණයක් පාසා ගෙවා දමන්නේ, ධර්මයෙන් සැනහිය හැකි කාල පරිච්ඡේදයන්ය.

"අප්පමාදෝ අමත පදං" ..

හිස ගිනි ගත්තත්, ඒ ගින්න නොනිවා භව ගින්න නිවා දැමීමට අද අදම වීරීය වඩන්න. ඒ සඳහා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේද නිබඳ ආශිර්වාදය ඔබට ලැබෙනු ඇත. එය නිසැකය..


~~~ අමා සුව ~~~




Facebook



තෙරුවන් සරණයි...!!!
සියළු සත්වයෝ සුවපත් වෙත්වා...!!!!