වසර ගණනක රහස් - හැමන්හිල් බලකොටුව - යාපනය

umedhah

Active member
  • Jun 14, 2006
    466
    207
    43
    AKL, NZAA
    වසර ගණනක රහස් - හැමන්හිල් බලකොටුව - යාපනය

    වසර සිය ගණනක රහස් සඟවාගත් හැමන්හිල් බලකොටුව ගැන අනිවා දැනගතයුතු දේවල් 7ක්

    හැමන්හිල් දූපත පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයේ කයිට්ස් සහ කරෙයිතිවු යන දූපත් අතරයි. සාමාන්‍ය දූපතක පෙනුමට උරුමකම් නොකියන මේ අපූරු දූපත සම්පූර්ණයෙන්ම උස් සවිමත් ප්‍රාකාර වලින් වටවූ බලකොටුවක් ආකාරයට තමයි දක්නට තිබෙන්නේ. අද වන විට මේ හැමන්හිල් බලකොටුව කියන්නෙ සංචාරක ආකර්ෂණයට ලක්වුණු තැනක්, මෙය බොහෝ දෙනා නිවාඩුව ගතකරන්න, විනෝද වෙන්න තෝරාගන්නා නිවාඩු නිකේතනයක්. අද තත්ත්වය එසේ වුවත් මේ හැමන්හිල් බලකොටුවේ අඳුරු බිත්ති අතර ඉතා අන්ධකාර අතීතයක රහස් බොහොමයක් වැළලිලා තියන බව සමහරවිට ඔබ නොදන්නවා වෙන්න පුලුවන්. අපි මේ ඔබ වෙත ගෙන එන්නේ මේ සුවිශේෂී බලකොටුවේ ඉතිහාස කතන්දරයයි.

    1. Fortaleza Real හෙවත් රාජකීය බලකොටුව

    Hammenhiel-01.jpg
    Source – reddottours.com

    17 වැනි සියවසේ මැද භාගයේදී අන්තෝනියෝ ඩි අමරල් ඩි මෙනසස් නම් පෘතුගීසි ආණ්ඩුකරවරයාගේ අණපරිදි ඉදිකර තිබෙන මේ බලකොටුව. මුලින්ම හඳුන්වා ඇත්තේ ෆෝටලෙසා රීල් හෙවත් රාජකීය බලකොටුව නමිනුයි. පෘතුගීසීන් විසින් යාපනය බලකොටුව ඉදිකිරීමෙන් පසු යාපනය නගරය සහ ඒ ආශ්‍රිත මුහුදු මාර්ගයේ ආරක්ෂාව තර කිරීමට තමයි මේ බලකොටුව යොදාගෙන තිබෙන්නේ. පාෂාණමය දිවයිනක පිහිටා ඇති මෙය කොරල්පර කඩා සිමෙන්තියෙන් බැඳ දැමීමෙන් ගොඩනංවන ලද්දක්.

    2. ලන්දේසි ආක්‍රමණය

    Hammenhiel-02.jpg
    Source – sundayobserver.lk


    හැමන්හිල් බලකොටුව තැනීමෙන් පසු වැඩි කලක් ලංකාවේ අණසක පතුරවාගෙන ඉන්නට පෘතුගීසීන්ට හැකි වන්නේ නැහැ. ලන්දේසීන් තම බලය පැතිරවීමත් සමග 1658දී මෙම බලකොටුවට ලන්දේසි ප්‍රහාරයක් එල්ලවනවා. එහිදී පෘතුගීසීන් ශක්තිමත් ලෙස මෙහි බලය ආරක්ෂාකරගෙන සිටියත් බලකොටුව මධ්‍යයේ පිහිටි ජල ටැංකියට ප්‍රහාර එල්ලවීමත් සමග ඇතිවන ජල හිඟය නිසා ඔවුන්ට යටත් වීමට සිදුව තිබෙනවා.

    3. රාජකීය බලකොටුව හැමන්හිල් බවට පත්වීම

    Hammenhiel-03.jpg
    Source – tripadvisor.ca


    බලකොටුව පෘතුගීසීන්ගෙන් අත්පත්කර ගැනීමෙන් පසු එහි පිහිටීමෙහි ඇති වැදගත්කම අවබෝධ කරගන්නා ලන්දේසීන් විසින් මෙය ප්‍රතිසංස්කරණය කිරීම අරඹනු ලබනවා. පෘතුගීසීන් විසින් මෙය ගොඩනැගීමේදී සිදුකර තිබූ දුර්වලතාවයන්ටද පිළියම් යොදමින් 1680 වර්ෂය වන විට මෙහි ඉදිකිරීම් නිමකිරීමට ඔවුන් සමත් වෙනවා. 30 දෙනෙකුගෙන් යුතු ආරක්ෂක සෙබලුන්ගෙන් මෙහි ආරක්ෂාව තර කිරීමටද ඔවුන් කටයුතු කරනවා.
    නැවත ගොඩනගනු ලබන මේ බලකොටුව ඔවුන් විසින් හඳුන්වනු ලබන්නේ Hammenhiel (හැමන්හිල්) නමිනුයි. ඌරු මස් ගාතයක (Heel of the ham) හැඩයකින් දිස්වන ලංකාවේ හැඩය නිසාත්, මෙම බලකොටුව පිහිටා ඇත්තේ එහි අඩියේ (Heel) නිසාත් තමයි ඒ ලෙස නම්කර තිබෙන්නේ. අශ්ටාස්‍ර හැඩයකින් යුතු මේ බලකොටුව තුළ වෙඩිබෙහෙත් ගබඩාකිරීම සඳහා සාදන ලද විශාල උමං කුහර හෙවත් ඩන්ජන් (Dungeon) 9කුත් දක්නට ලැබෙනවා.

    4. බ්‍රිතාන්‍යන් විසින් අත්පත්කරගැනීම

    Hammenhiel-04.jpg
    Source – newssummedup.com


    1795දී හැමන්හිල් බලකොටුව බ්‍රිතාන්‍යයන් යටතට පත්වෙනවා. මොවුන් විසින් මෙය බලකොටුවකට වඩා රෝහලක් සහ බන්ධනාගාරයක් ලෙස තමයි භාවිතා කර තිබෙන්නේ. දෙවැනි ලෝක යුද්ධ සමය වන විට ගුවන්-මුහුදු ගලවාගැනීමේ ස්ථානයක් (Air-Sea rescue station) හැටියත් මෙය භාවිතා කර තිබෙනවා.

    5. 71 කැරැල්ල

    Hammenhiel-05.jpg
    Source – colombotelegraph.com


    දිගු කාලයක් නිහැඬියාවේ වෙලී පවතින හැමන්හිල් බලකොටුව යළිත් කතාබහට ලක්වන්නේ 71 සිදුවූ තරුණ කැරැල්ල හේතුවෙන්. ඒ වන විට යාපනය බන්ධනාගාරයේ සිරගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණු නායක රෝහණ විජේවීරව නිදහස් කරගැනීමට යාපනය බන්ධනාගාරය වෙත එල්ල කරන ලද අසාර්ථක ප්‍රහාරයේ සැකකරුවන්ව රඳවා තැබීමට හැමන්හිල් බන්ධනාගාරය යොදාගනු ලබනවා. ලයනල් බෝපගේ, ලොකු අතුල, පොඩි අතුල (වික්ටර් අයිවන්) වැනි 71 කැරැල්ලේ කැපී පෙනෙන චරිත රාශියක්ද මෙම සිරකඳවුරේ සිරගතකොට තිබෙනවා.

    6. අතිශය දුෂ්කර වධහිංසන

    Hammenhiel-06.jpg
    Source – cicakkia.deviantart.com


    හැමන්හිල් සිරකඳවුරේ ගෙවන ලද දුක්ඛිත ජීවිතය ගැන එකල කැරැල්ලේ සිරකරුවන් විස්තර ගෙන එන්නේ හදට කම්පාවක් එක් කරමින්. අපි කලින් සඳහන් කල වෙඩි බෙහෙත් ගබඩා කරන ඩන්ජන් තුල තමයි මේ රැඳවියන්ව සිරගත කොට තැබීමට යොදාගෙන තිබෙන්නේ. ඒවායින් විශාලම ගුහාව තුළ සිරකරුවන් 70ක් පමණ රඳවා තබා තිබෙනවා. අඩ නිරුවතින්, අධික උෂ්ණත්වය, අපිරිසිදුකම, සතුන්ගෙන් වන හිරිහැර වලට මුහුණ දෙමින් සහ විවිධ රෝගාබාධ වලට ගොදුරු වෙමින් මිහිපිට නිරයක ගෙවන ලද කාලවකවානුවක් හැටියටයි බොහෝ සිරකරුවන් මේ හැමන්හිල් ජීවිතය හඳුන්වාදී තිබෙන්නේ. සමහර සිරකරුවන් ආබාධයන් නිසා මරණයට පවා පත්ව තිබෙනවා.
    කෙසේ වෙතත් පසුකාලීනව දියත් කරන ලද විරෝධතාවයකට අනුව සිරමැදිරිවල අගුලු කඩා එළිමහනේ විසීමට කැරළිකරුවන් යම් අවසරයක් ලැබගෙන තිබෙනවා.
    71 කැරැල්ල අවධියේ එයට නායකත්වය සැපයූ රෝහණ විජේවීර හැමන්හිල් බන්ධනාගාරගතව සිටියා යැයි විවිධ කටකතා සහ මාධ්‍ය මගින් අසන්නට ලැබෙනවා. එසේ වුවත් රෝහණ විජේවීර එහි රඳවා තිබූ වගට විශ්වාසනීය සාක්ෂියක් අපට හමුවන්නේ නැහැ.

    7. වර්තමාන හැමන්හිල්

    Hammenhiel-07.jpg
    Source – kaytsinfo.com


    කාළයේ රළ පහර විසින් උදාකල වසර සිය ගණනක අරගලයන්ට මැදිවී, දුක් අඳෝනා දහසක දෝංකාරය සඟවාගත් හැමන්හිල් බලකොටුව අද වන විට විවේකී නිහැඬියාවක පසුවන සංචාරක ස්ථානයක්. නාවික හමුදාව යටතේ පාලනය වෙන මෙහි සංචාරක ‍හෝටලය ඔබේ ගතටත් සිතටත් විවේක සුව ලබාගැනීමට කදිම ඉසවුවක් වනු නොඅනුමානයි.
    හැමන්හිල්හි සුවපහසු හෝටල් කාමරයක් තුල විවේකී සුවයෙන් ගත කරන්නට වගේම 71 කැරැල්ලේ මතක සටහන් සහ සිතුවම් නරඹමින් සිරමැදිරියක් තුළ නවාතැන් ගෙන වෙනස් අත්දැකීමක් ලඟාකරගන්නටත් මෙහිදී ඔබට හැකියාව තිබෙනවා.

    Cover Image Source – forthammenhielresort.lk

    Source: http://www.aniwa.lk/2016/10/18/1610185-things-you-should-know-about-fort-hammenhiel/
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    font size එක 3වත් දාපන් මචං නැත්තන් කියවන්න යද්දී අමාරුයි :dull::dull: