දැන් අප මේ කතා කළ උද්ධමනය ඉහළ යාමට නැතහොත් ජනතාවගේ පාරිභෝගික වියදම් ඉහළ යාමට වැඩි වශයෙන්ම බලපා ඇත්තේ කවර භාණ්ඩ වර්ගද? ඒ පිළිබඳ සොයා බැලීමේදී අපට පැහැදිලි වන්නේ පාරිභෝගික වියදම් ඉහළ යාමට වැඩි වශයෙන්ම හේතු වී ඇත්තේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම බවයි. එනම් ඔක්තෝබර් මස රු. 470.43 කින් පාරිභෝගික වියදම ඉහළ යැමට රු. 448.95 කින්ම දායක වී ඇත්තේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමයි. එසේම නොවැම්බර් මස රු. 447.39 කින් පාරිභෝගික වියදම් ඉහළ යැමට රු. 419.64 කින්ම දායක වී ඇත්තේ ද ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමයි. මේවා වැඩි වශයෙන්ම එදිනෙදා ජන ජීවිතයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වේ.
මේ අනුව පසුගිය කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉහළ ගොස් ඇත්තේ කවරාකාරයෙන්ද? මේ සමග පළව ඇති වගුව බලන්න. ඒ අනුව පසුගිය වසරක කාලය තුළ එනම් 2009 වසරේ නොවැම්බර් මාසයේ සිට මේ වසරේ (2010) නොවැම්බර් දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ යැමේ වර්ධනය එම වගුවෙන් දක්වා තිබේ. මේ අනුව පසුගිය වසර තුළ පොල් මිල සියයට 50.47 කින්ද, පොල් තෙල් මිල සියයට 39.78 කින් ද, බිත්තර මිල සියයට 20.48 කින්ද රතුලුනු මිල සියයට 36.69 කින්ද, ලොකු ලූනු මිල සියයට 14.86 කින් සහ සීනි මිල සියයට 8.38 කින්ද ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම පොල් මිල, ජනතාවට එලොව පොල් පෙන්වමින් වේගයෙන් ඉහළ යමින් තිබේ. පසුගිය වසරේ නොවැම්බරයේ රු. 25 ට, රු. 30 ට අලෙවි වූ ලොකු පොල් ගෙඩියක මිල අද වන විට රු. 50, රු. 55 සහ රු. 60 දක්වාද ඉහළ ගොස් තිබේ. මේ නිසා කඩේට ගොස් පොල් මිල අසන ජනතාවගේ දෙලෝ රත්වෙයි. එසේම 2009 වසරේ නොවැම්බරයේදී රු. 140 ක් වූ පොල්තෙල් බෝතලයක මිල දැන් රු. 210 කි. මීට අමතරව සෑම එළවළුවකම මිල ඉහළ ගොස් ඇත. මාළු සහ කරවල මිල ගණන් ද වැඩි වී ඇත. මේ අනුව පසුගිය වසරක කාලය තුළදී බෝංචි මිල සියයට 12 කින්ද, තක්කාලි මිල සියයට 47 කින්ද, කරවිල මිල සියටය 19 කින්ද, ගෝවා මිල සියයට 16 කින්ද, බීට්රූට් මිල 21 කින්ද, ලීක්ස් මිල සියයට 56 කින් සහ වැටකොළු මිල සියයට 32 කිsන් පමණද ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා අනාවරණය කරයි.
පසුගිය වසරක කාලය තුළ කිසිම ආහාර ද්‍රව්‍යයක මිල අඩුවී නැතිද? අඩුවී තිබේ. එනම් බොහොමයක් සහල් වර්ගවල මිල ගණන් තරමක් අඩුවී ඇත. එහෙත් රජය සහල් පාලන මිල ඉවත් කිරීම නිසාත් යළි පාලන මිලක් පැනවීම නිසාත් සහල් මිල ගණන් යළිත් වෙළෙඳුන් විසින් ඉහළ දමා ඇතැයි පාරිභෝගික ජනයා රජයට චෝදනා කරති. කවරක් නමුත් මේ සම්බන්ධයෙන් අප නම් කියා සිටින්නේ සහල් මිල ඕනෑවට වඩා අඩුවීම එතරම් සුදුසු දෙයක් නොවන බවයි. සහල් ඕනෑවට වඩා අඩු වුවහොත් අපේ ගොවියාට සිදුවන්නේ කුමක්ද? එසේ වීම ග්‍රාමීය ආර්ථිකයටද එතරම් හොඳ දෙයක් නොවේ. සහල් මිල ඉහළ ගියත් ගොවියාට ඒ වාසිය නොලැබෙන බවටද චෝදනා නැඟේ. මේ නිසා සහල් මිල අතරමැදියන් හෝ මෝල් හිsමියන් විsසින් කෘත්‍රිම ලෙස ඉහළ නංවන්නේ නම් එය වැළැක්වීමට රජය වහාම පියවර ගත යුතුය. කොහොම නමුත් සහල් මිල ඉහළ ගියත් ඒ මුදල් රැඳෙන්නේ අපේ රටේමය. එහෙත් තිරිඟු පිටි හෝ වෙනත් ආනයනික ආහාර ද්‍රවයයක මිල ඉහළ ගියොත් ඒ මුදල් යන්නේ රටින් පිටටය. මෙයද අප අවධානයට ලක් කළ යුතු කරුණකි. මේ අතරම පසුගිය වසරක කාලය තුළ පරිප්පු සහ වියළි මිරිස්වල මිල ගණන් අඩුවී තිබේ.
හිටපු වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන වරක් කීවේ ශක්‍රයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩු කළ නොහැකි බවයි. එය බොරුවක් නොවේ. බඩු මිල කියන්නේ රටක පොදු මිල මට්ටමයි. මේ පොදු මිල මට්ටම අඩු කරන්නට පුළුවන් කමක් නැත. අඩු කළ හැක්කේ මෙම පොදු මිල මට්ටම හෙවත් බඩු මිල නොව, බඩු මිල ඉහළ යැමේ වේගය හෙවත් උද්ධමනයයි. අපට උද්ධමනය අඩු කරන්නට පුළුවන. එනම් අපට බඩු මිල ඉහළ යන වේගය අඩුකර ගන්නට පුළුවන. එසේම අපට "බඩු මිල" අඩු කිරීමට නොහැකි වුවත් "භාණ්ඩ මිල" අඩු කළ හැකිය. එනම් එදිනෙදා ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩයක හෝ භාණ්ඩ කීපයක මිල අඩු කරන්නට රජයට පුළුවන. මේ තුළින් ජනතාවගේ දැවෙන ජීවන වියදම් ප්‍රශ්නයට සහන සැලසීමට රජයට පුළුවන්කමක් ඇත. ඒ සඳහා අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය මත පනවා ඇති තීරු බදු අඩු කිරීම හෝ ඉවත් කිරීම ද රජයට කළ හැකිය. එසේම ජීවන වියදම අඩු කිරීමට කළ යුතු වෙනත් පිළියම් ද රජය සොයා බලා ඒවා වහාම ක්‍රියාවට නැංවිය යුතුව තිබේ. අද දසතින්ම ඇසෙන්නේ "බඩු මිල වැඩියි ජීවත්වීම අමාරුයි" වැනි කතාය. එසේ නම් බඩට වඩා රට ගැන සිතමින් මෙතෙක් කලක් ඉවසූ පොදු මහජනයාගේ බඩ ගැනද ආණ්ඩුව දැන්වත් බැලිය යුතුය. ඒ සඳහා දිගුකාලීන ආර්ථික සංවර්ධනය උදා වන තෙක් ජනතාවට බලා සිටීමට පුළුවන්කමක් නැත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත