විදුලි_බලාගාර_3

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
විදුලි_බලාගාර_3

මේ රටේ මීට පෙර එකවර විදුලි බලාගාර 3 ක් හැදුවේ කව්ද? අපි ඒක කරලා ඉවරයි..! තවත් එකක් ටෙන්ඩර් කැඳවලා; ඒකත් හරි ගියොත් හතරයි..! -රනිල් හෙළිකරයි



2-GemJewelary-exhibition_(1).jpg



මේ රටේ මීට පෙර විදුලි බලාගාර 3 ක් එකවර හැදුවේ කව්දැයි ප්‍රශ්න කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනට ජපානය ඉන්දියාව සහ චීනය සමග එල්.එම්.ජී විදුලි බලාගාර 3 ක් ආරම්භ කිරීමට කටයුතු කර අවසන් බවත් තවත් එල්.එම්.ජී විදුලි බලාගාරයක් සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බවත් එයත් සාර්ථක වුනොත් එකවර විදුලි බලාගාර 4 ක් ආරම්භ කරන බවත් පැවසීය.

ඔහු මේ බව හෙළි කෙළේ අද (31) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති "FACETS Sri Lanka 2017" මැණික් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි. එහිදී වැඩි දුරටත් කතා කළ අගමැතිවරයා අපේ රට අඩු ආදායම්ලාභී හෝ මැදි ආදායම්ලාභී රටක් ලෙස හඳුන්වාදීම තමාට නම් ලැජ්ජාවක් බවත් අප රට උසස් ආදායම් ලබන රටක් බවට පත් විය යුතු බවත් තමා වැඩ කරන්නේ එය ඉලක්ක කරමින් බවත් පැවසීය. අගමැතිවරයා මෙසේද පැවසීය.


“මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තව තවත් දියුණු කරමින් ජනතාවට රැකියා අවස්ථා ලබාදීමට අප කැප වී සිටිනවා. අප භාර ගත්තේ ණය බරින් කඩා වැටුණු ආර්ථිකයක් සහිත රටක්.. විදේශ ආයෝජන නොලැබුණු රටක්... නමුත් 2014 වසරට වඩා මේ වසරේ රටට ලැබුණු විදේශ ආයෝජන 300% කින් වැඩි වී ඇති බව ඊයේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවක දී ඔහු මට පැවසුවා.

තමන්ගේ ප්‍රදේශ දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් රජය සලසා දී ඇති බවට අපේ මේ සෑම අමාත්‍යවරයෙක්ම සාක්‍ෂි දරණවා. චීනය, ජපානය, ඉන්දියාව ආදී රටවලින් ලැබෙන ආයෝජන හරහා අක්කර දහස් ගණනක ආයෝජන කලාපයන් අප ඇති කරන්නේ කෙසේදැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ සුජීව සේනසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඔබට පැහැදිලි කරාවි.



අප මේ වන විට ඉන්දියාව සහ ජපානය සමග සාකච්ඡා කර එල්.එම්.ජී. විදුලි බලාගාර දෙකක් ආරම්භ කිරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒ වගේම හම්බන්තොට ප්‍රදේශයේ තවත් එල්.එම්.ජී. විදුලි බලාගාරයක් ආරම්භ කිරීම සඳහා චීනය සමග සාකච්ඡා කර තිබෙනවා. මීට පෙර මේ රටේ එල්.එම්.ජී. විදුලි බලාගාර තුනක් එකවර ඇති කළේ කවුද, ඒ කොහේදැයි මා ප්‍රශ්න කරනවා. එමෙන්ම හතර වන එල්.එම්.ජී. විදුලි බලාගාරය සඳහාත් අප මේ වන විට ටෙන්ඩර් පත් කැඳවමින් සිටිනවා. මේ සියලූ වැඩකටයුතු සාර්ථක වුණොත් එකවර එල්.එම්.ජී. විදුලි බලාගාර හතරක් ඉදිවෙනවා.

හම්බන්තොට වරාය ණය උගුලෙන් බේරා ගැනීමට අපට හැකි වුණා. මත්තල ගුවන් තොටුපොළ දියුණු කිරීමේ කටයුතු ද ඉදිරියේ අප ආරම්භ කරනවා. මැණික් හා ස්වර්ණාභරණ කලාපය හම්බන්තොට ඉදිකරන්නැයි ඇතැමුන් පවසනවා. ඒවගේම එය බස්නාහිර පළාතේ කටුනායක ප්‍රදේශයේ ඉදිකරන්නැයි තවත් පිරිසක් පවසනවා. අප මේ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගෙන එම කටයුතු කඩිනමින් සිදු කරනවා.



ගාල්ල ප්‍රදේශයේ සංචාරය කරන, වැඩි ආදායම් සහිත සංචාරකයන් වෙනුවෙන් කලාප තුනක් අප ඉදිකිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම මෙම මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පළමුවෙන් ආරම්භ වුණේ ගාල්ලේ ද, බේරුවල ද යන්න පිළිබඳව රටේ කතාබහක් තිබෙනවා. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පළමුවෙන් ආරම්භ වූයේ ගාල්ලේ බව එම ජනතාව පැවසුවත්, බේරුවල ප්‍රදේශවාසීන් එය තම ප්‍රදේශයෙන් ආරම්භ වූ කර්මාන්තයක් බව පවසනවා. නමුත් මෙම විවාදයට අපි මැදිහත් විය යුතු නැහැ.



කෙසේ හෝ මෙම කර්මාන්තය තවත් දියුණු කළ යුතුයි. මෙම කර්මාන්තයේ නියැළෙන බොහෝ දෙනෙක් මැඩගස්කරය වැනි රටවල් වෙත ගොස් මැණික් ගෙනෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ මැණික් සහ පතල් කර්මාන්තය ද දියුණු කළ යුතු වෙනවා. එහි වගකීම පරිසර අධිකාරියටත්, භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයටත්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටත් පැවරෙනවා. මේ සියල්ල හරහා අපට දැනට ලැබෙන විදේශ ආදායම තුන් ගුණයක් දක්වා වැඩි කර ගත යුතුයි. එමඟින් මේ රටේ ණය බර අපේ ජීවිත කාලය තුළදී ගෙවා දැමීමට හැකි වේවි. ඒ ණය බර අනාගත පරම්පරාවට උරුම කර දිය නොහැකියි. එපමණක් නොව, තවත් රැකියා අවස්ථා බිහි කිරීම සඳහාත් අප කටයුතු කළ යුතුයි.


ශ්‍රී ලංකාවට හැමදාම අඩු ආදායම්ලාභී රටක් හෝ මැදි ආදායම්ලාභී රටක් ලෙස සිටිය නොහැකියි. අපේ රට අඩු ආදායම්ලාභී හෝ මැදි ආදායම්ලාභී රටක් ලෙස හඳුන්වාදීම මට නම් ලැජ්ජාවක්... එසේ නම් අප රට උසස් ආදායම් ලබන රටක් බවට පත් විය යුතුයි. අප සියලූ වැඩ කටයුතු කළ යුත්තේ එය ඉලක්ක කර ගනිමිනුයි.


ශක්තිමත් ආර්ථිකයක් රටට ලබා දීමට අප කැප වී සිටිනවා. ප්‍රධාන පක්‍ෂ දෙක එකට එකතු වුණේ ශක්තිමත් ආර්ථිකයක් ශ්‍රී ලංකාවට ලබාදීමටයි. ඊට අවශ්‍ය අඩිතාලම මේ වන විට අප යොදා තිබෙන අතර 2020 වන විට රට ශක්තිමත් ස්ථාවරයකට ගෙන එන බව මම ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙම කර්මාන්ත සහ ව්‍යාපාර සාර්ථක වේවායි මම සුභ ප්‍රාර්ථනා කරනවා.“