විශිෂ්ඨයෙකු වගේ පුහුණුවෙන්න Train like a champion

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    "මගේ පුහුණුව හරිම භයානක වුණා, මම කෑවෙ හරිම නරක විදියට. කෑම ගන්න වෙලාව හැමදාම ප්‍රමාද කළා, හැමදාම බීම එකක් හෝ දෙකක් බිව්වා. දවසක් මම කණ්ණාඩියෙන් මං දිහා බලාගෙන මං ගැනම හිතුවා. මට වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න ඕනනම් මෙහෙම කරලා බෑ කියලා මටම කියාගත්තා. මම නියම මට වඩා කිලෝ ග්‍රෑම් 11 ක්,12 ක් බර බව එදා දැනගෙන හිටියා. ඉතින් ඊලග දවසෙ උදේ ඉඳන් මම කරේ කන බොන දේ ඉඳලා පුහුණු කරන දේ දක්වා හැමදේම වෙනස් කරපු එක. මම මට අපහසු පුහුණුවක් තෝරගත්තේ. ඇත්තටම ඒක අමාරුයි. ඒත් ඒ බිහිසුණු කාල සීමාවෙන් පිටතට එන්න ඒ වගේ පුහුණුවක් තෝරාගත්ත එක ගැන අදටත් මම මටම ස්තූතිවන්ත වෙනවා"
    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙදි, ලාරාට, සංගක්කාරට, තෙන්ඩුල්කාර්ට විතරක් නෙමෙයි, සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ඩ්ට පවා අභියෝගයක් වෙච්ච ලොව අංක එකේ පිතිකරු විරාට් කෝලි තමන්ගේ විස්මිත සාර්ථකත්වය පිටුපස තිබෙන උග්‍ර පුහුණුව ගැන මාධ්‍ය සාකච්ඡාවකදි විස්තර කරන්නේ එහෙමයි. King kholi, The run machine යන අනුවර්ථ නාමයන්ගෙන් ලොව සියළු වර්ගයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ජනාධරයට පත්වෙච්ච ඔහු අද වෙද්දි තමන්ගේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම නැගෙමින් ලොව අංක එකේ පිතිකරුවා ලෙස වැජඹෙනවා. කෝලිගේ සාර්ථකත්වය, බහුතරය නිතර කතාවෙන මාතෘකාවක් වුණත්, එහෙම කතාවෙන බොහෝ අය නිතර කියන්නේ කෝලි කියන්නේ ක්‍රිකට් පිටිය තුළ වාසනාවන්ත ක්‍රීඩකයෙක් කියලයි. එහෙමත් නැත්නම් සහජයෙන්, උපතින්ම ක්‍රිකට් අරගෙන ආපු ක්‍රීඩකයෙක් කියලයි. නමුත් කෝලි කියන විදියටනම් ඔහුට හැම තරඟෙම ලකුණු රැස් කරන්න, පිටිය වර්ණවත් කරලා හයේ ඒවා ගහන්න,ඉන්දියානු ප්‍රේක්ෂකයො පිස්සු වට්ටන්න හේතුසාධක වෙන්නෙ වාසනාව හෝ සහජ හැකියාව නෙමෙයි. තමන්ගේ උග්‍ර පුහුණුව හා අඛණ්ඩ කැපවීම. දැඩි උත්සහය හා දරාගැනීම.
    කෝලි විතරක් නෙමෙයි, ලොව ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම වර්ගයේ විශිෂ්ඨයෙක් බිහිවෙන්න උග්‍ර, අඛණ්ඩ පුහුණුව අනිවාර්යයෙන්ම හේතු සාධක වෙනවා. අන්තර්ජාතික මට්ටමේ මහා පරිමාණ ජයග්‍රහණ වගේම, ප්‍රාදේශීය මට්ටමේ සුළු පරිමාණ ජයග්‍රහණ ලබන්න වුණත් කෙනෙකු පසුපස ඇති විශාලම බලවේගය ලෙස ඔහුගේ පුහුණුව ක්‍රියාත්මක වෙනවා. ව්‍යාපාරිකයෙකු වුණත්, ක්‍රීඩකයෙකු වුණත්, ගායකයෙකු වුණත්, වෙනත් කුමන ක්ශේත්‍රයේ නියැලුණත් තමන්ගේ ක්ෂේත්‍රයේ විශිෂ්ඨයෙක් වෙන්න ඔබ හිතනවනම්, කල්පනා කරනවනම්, ඔබ පුහුණුව තෝරාගත යුතු වෙනවා. පුහුණුව ප්‍රගුණ කල යුතු වෙනවා. පුහුණුව උග්‍රව, අඛණ්ඩව පුරුදු පුහුණු කල යුතු වෙනවා.
    ඉන්ධන පුරවන්න - Oil your tank
    විශිෂ්ඨ ගායකයෙක්ට තමන්ගේ කටහඩ පාලනය කරන්න, වැරදීම් අවම කරගන්න, අලංකාර නිර්මාණය කරගන්න, දෛනික පුහුණුවීමක් අත්‍යාවශ්‍ය වෙනවා. මළල ක්‍රීඩකයෙකුට තම ඔලිම්පික් ඉසව්ව ජයග්‍රහණය කරන්නනම් දින, සති හෝ මාස ගණනාවක පෙර පුහුණුවක් අත්‍යාවශ්‍ය වෙනවා. ඉංජිනේරුවෙකුට, වෛද්‍යවරයෙකුට වුණත් තමන්ගේ විශය කොටස් නිරන්තරව මතක තියාගන්න, විශේෂයය දැනුම අඛණ්ඩව කලමණාකරණය කරන්න දෛනික පුහුණුවක්, දෛනික අධ්‍යනයක් අත්‍යාවශ්‍ය වෙනවා. පුහුණුව ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම විශිෂ්ඨයෙක්ට ඒ තරමට වැදගත් වෙන්නෙ ඇයි කියලා දැන් ඔබට හිතෙන්න පුළුවන්. ඇත්තෙන්ම පුහුණුව කෙනෙකුට වැදගත් වෙන හේතු සාධක කීපයක් තියනවා.
    "To stick with your dream" කියන සධකය ඒ අතර ප්‍රධානයි. සාමාන්‍යයෙන් පුහුණුවකදී සිද්ධවෙන්නේ අනාගත සංග්‍රාමයකට කෙනෙකුව සූදානම් කිරීම. එහෙමත් නැත්නම් කිසියම් සිහිනයක් ජයගන්න, අරමුණක් සාක්ෂාත් කරගන්න ඔහුව හෝ ඇයව ලක ලෑස්ති කිරීම. පුහුණුවකදි නිරන්තරවම කෙනෙකුට තමන්ගේ සිහිනය, අරමුණ නැවත නැවතත් මතක් කර දෙනවා. සිහිනය, අරමුණ කෙරෙහි ඒ පුද්ගලයාව හොඳින් නාභිගත කරනවා. තදින් සම්බන්ධ කරනවා. පුහුණුව අමතක වීම කියන්නෙම සිහිනය අමතක වීම කියලා අපි වචනෙට කියන්නේ ඒකයි.
    තවත් අතකට කෙනෙකු පුහුණුවෙන් ඈත් වුණාම ඔහුගේ කායික වගේම මානසික රිද්මය ගිලිහෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිතර පුහුණුවීම්වල නිරත වෙද්දි ඔහුගේ ශරීරයත්, මනසත් කියන දෙකම හැඩගෙසෙන්නේ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සඳහා අවශ්‍ය වෙන යම්කිසි රිද්මයකට. පසුබිමකට. ඔබේ වචනයෙන් කිව්වොත් රිදම් එකකට. පුහුණුවේදී අදාල ක්‍රීඩකයාගේ ඇට, ලේ, මස් නහර වලට විතරක් නෙමෙයි, මනසේ ගැඹුරුම අවකාශ වලටත් පුහුණුවෙන් ලැබෙන පන්නරය එන්නත් වෙනවා. ඉන් පස්සේ තමයි අදාල ක්‍රීඩකයාට ක්‍රිකට් ඇඟේම තියනවා වගේ ක්‍රීඩා කරන්න හැකියාව ලැබෙන්නේ. වැඩ පෙන්වන්න පුළුවන් වෙන්නේ.වාහනයක් දුවන්න ඉන්ධන අවශ්‍ය වෙනවා වගේ පුහුණුවකින් ඔබට ඔබගේ සිහිනයට දුවන්න ඉන්ධන ලබාදෙනවා. සමහර වාහන පනගැන්වෙන්න සමහර වෙලාවට පොඩි තල්ලුවක් දෙන්න ඕන වගේ ඔබට ඔබගේ අරමුණු පණගන්වන්න පුහුණුවෙන් තල්ලුවක් ලැබෙනවා.
    විශ්වාසය ගොඬනැගීමත් පුහුණුව කෙනෙකුට වැදගත් වෙන්න, අත්‍යාවශ්‍ය වෙන්න වැදගත්ම සාධකයක් වෙනවා. රියැලිටි තරගයකට සහභාගී වෙන එකිනෙකට වෙනස් තරඟකරුවෙන් දෙදෙනෙක් ගත්තොත් පුහුණුවකින් පස්සේ තරඟයට මුහුණ දෙන කෙනා, පුහුණුවක් නැතුව මුහුණ දෙන කෙනාට වඩා ආත්ම විශ්වාසය සහිතව තරඟ කරනවා. ඊට හේතුව වෙන්නේ "ඔව් මට පුළුවන් කියන දේ" ඔහු පුහුණුවේදී කලින් අත්විඳලා තියෙන එක. පුහුණුවක් නැතුව බොහෝ විට අලුතින්ම මුහුණ දෙන කෙනෙකුට තමන්ට පුළුවන්ද කියන ගැටළුව නිරන්තරයෙන් මනසේ තියෙන්න පුළුවන්. නමුත් පුහුණුව සහිත කෙනා සබකෝලය, බිය හා අවිශ්වාසය නැතුව වේදිකාව ජයගන්නවා. පුහුණුව තුළින් ආත්ම විශ්වාසය ගොඬනගාගෙන ඒ තුළින් ජයග්‍රහණය සනිටුහන් කරනවා.
    පුහුණුව තරමට ප්‍රතිඵල - Results according to training
    පුහුණුවත්, ප්‍රතිපලත් නිරන්තරවම සමාන්තරව, එක්ව එකට ක්‍රියාත්මක වෙනවා. පුහුණුව සෑමවිටම කෙනෙකුගෙ ප්‍රතිඵල වලට සෑමවිටම සමානුපාතික වෙනවා. ඔබ ලබාගන්නේ සුළු පුහුණුවක් නම් ඔබට සුළු ජයග්‍රහණ ලැබෙනවා. ඔබ ලබාගන්නේ උග්‍ර පුහුණවක් නම් ඔබට විශාල ජයග්‍රහණ ලැබෙනවා. ඔබ පුහුණුවක් ලබාගන්නේ නැත්නම් ඔබට ජයග්‍රහණ නොලැබී යනවා. ඒ ඔබ වී වැපිරුවොත් ඔබට සහල් ලැබෙනවා වගේ සරල සාමාන්‍ය කාරණාවක්. නමුත් ඒ කාරණාව තේරුම්ගත නොහැකිව බොහෝ අය ක්‍රීඩාවේත්, ව්‍යාපාර ලෝකයේත්, සැබෑ ජීවිතයේදීත් පරාජිතයන් සේ ජීවත් වෙනවා.
    "මම මගේ පුහුණුවේ සෑම මිනිත්තුවකදීම විඳෙව්වා. ඒත් මම මටම කියාගත්තා නවත්වන්න එපා අලී, දැන් විඳවන්න. ජීවිතයේ ඉතිරි කාලය විශිෂ්ඨයෙක් විදියට ජීවත් වෙන්න කියලා"
    මොහොමඩ් අලී 1937 heavyweight boxing වළල්ලෙදි මුලින්ම ශූරයා බවට පත්වෙනවා. 1964, 1974 වර්ෂවලදීත් ශූරයා ඔහු. එතෙක් මෙතෙක් බොක්සින් වළල්ලේ විශිෂ්ඨතමයා ලෙස අදටත් සලකන්නේ ඔහුව. අද විතරක් නෙමෙයි, අදින් වසර ගණනාවකට පස්සෙත් මොහොමඩ් අලී ගැන මිනිස්සු එහෙමම කතා කරයි. ඔහුව විශිෂ්ඨයෙක් විදියට සලකයි. අලී පුහුණුවේදී බලාපොරොත්තු වූ ප්‍රතිඵල ඉදිරියටත් ඒ විදියටම මිනිසුන්ට දකින්න පුළුවන් වෙයි.
    ඇත්තෙන්ම මොහොමඩ් අලී, සෙසු සියළු බොක්සින් ක්‍රීඩකයන්ට වඩා උග්‍ර,වේදනාකාරී පුහුණුවක් ලබපු කෙනෙක්. මූණ තැලෙන්න, නහය කැඩෙන්න ගුටි කාපු දිනවල පවා ඔහු නොසැලී, නොනැසී පුහුණුව අඛණ්ඩව ක්‍රියාත්මක කල කෙනෙක්. නියමිත සීමාවට පහර දීලා, දවසට අමතර පැය ගණනකුත් පුහුණුවීමට කැපකල අයෙක්. තමන්ගේ සමකාලීන ප්‍රතිවාදීන් නිදාගනිද්දී, නොනිදා සටන පුරුදු වුණ අයෙක්. රිදුම, වේදනාව උපරිම තලයකට ආවත් ඒ සියල්ල දරාගත්ත, ඉවසුව, නැවත් උත්සාහ කල අයෙක්. පුහුණුව කියන අති විශිෂ්ඨ කලමණාකරණ මාතෘකාව ඇතුලේ අදටත් ප්‍රමුඛවම අලී ගැන කතා බහට ලක්වෙන්නේ ඒකයි.
    ඔබේ ඉලක්කය, ඔබේ අරමුණ බොහොම සුළු, සිල්ලර මට්ටමේ එකක් නම් අලී තරම් උග්‍ර, අඛණ්ඩ පුහුණුවක් ඔබ ලබාගත යුතු වෙන්නේ නැහැ. ඒ සඳහා ඔබට ගැලපෙන සුළු මට්ටමේ පුහුණුවක් ඔබට තෝරාගන්න පුළුවන්. වේදනාව අඩු, රිදුම අඩු සාපේක්ෂව සැපපහසු පුහුණුවක් ඔබට තෝරාගන්න පුළුවන්. නමුත් ඔබේ අරමුණ ව්‍යාපාර ක්ශේතයේ හෝ කුමන ක්ෂේත්‍රයක හෝ අති විශිෂ්ඨයෙක් වෙන්න නම්, ඒ ප්‍රතිඵලය ලඟාකරගන්න ඔබට උග්‍ර, අඛණ්ඩ පුහුණුවක් තෝරාගැනීම අත්‍යාවශ්‍යයි. විරාට් කෝලී, මොහොමඩ් අලී විතරක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රයක අති විශිෂ්ඨතමයන් පිලිබඳව සොයා බැලුවොත් ඔවුන්ගේ විස්මිත ප්‍රතිඵල පිටුපස ක්‍රියාත්මක වෙන ප්‍රායෝගික යාන්ත්‍රණය උග්‍ර, අඛණ්ඩ පුහුණුව බව ඔබට පැහැදිලි වේවි.
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    21/90 රීතිය - 21/90 Rule
    "අම්මයි, තාත්තයි කියන ප්‍රතිඵලේ ගන්නනම් මම වැඩ කරන්න ඕන බව මම දන්නවා. ඒත් මම වැඩ කරන්න පටන්ගත්තට ඒක එකදිගට කරගෙන යන්න බැහැ. මම ඒක අතෑරලා දානවා. පන්තියෙ අනිත් හැමෝම මේ කාලේ වැඩ කරනවා. මේ කාලේ වැඩ කලාම විභාගයේදී හොඳ ප්‍රැක්ටිස් එක තියෙනවනෙ. ඒත් මට එක දිගට කරන්න බැරි නිසා results අඩුවෙයි කියලා බයයි."
    මීට මාස කීපයකට කලින්, දුරකථනයෙන් මා සමඟ සම්බන්ධ වෙන උසස් පෙල සිසුවෙක් තමන්ගේ පුහුණුව ගැන මැසිවිලි නගන්නේ එහෙමයි. ඇත්තටම ඔහුට තිබුණේ පුහුණුවේ වැදගත් බව නොදන්නාකමක් නෙමෙයි. පුහුණුවේ වටිනාකම නොතේරුම්කම නෙමෙයි. පුහුණුවට, අභ්‍යාසයට අඛණ්ඩව ඇලී නොසිටින්නට බැරි ප්‍රශ්නයක්. පුහුණුවීම දෛනිකව, අඛණ්ඩව, උග්‍රව ක්‍රියාත්මක කරන්න බැරි ගැටළුවක්.
    පුහුණුව විතරක් නෙමෙයි, ඕනෑම කටයුත්තක් එකපාරක්, දෙපාරක් කල පමණින් ඔබේවත්, මගේවත් ඇඟට, මනසට, ඇට, ලේ, මස්, නහරවලට එන්නත් වෙන්නේ නැහැ. පදම් වෙන්නේ නෑ. අඛණ්ඩව, වුවමනාවෙන්, අභිප්‍රේරණයෙන් අදාල කටයුත්ත දිගටම ක්‍රියාත්මක කරන්න නම්, ඇඟට, මනසට, ඇට, ලේ, මස් නහර වලටම අදාල කටයුත්ත පදම් වෙන්නනම්, එන්නත් වෙන්නනම් ඒ කටයුත්ත තමන්ගේ පුරුද්දක් බවට පත් කරගැනීම අනිවාර්‍යයි. නැතිනම් ජීවන රටාවේ කොටසක් බවට පත්කරගැනීම අනිවාර්‍යයි.
    අපි හැම උදෑසනකම මුහුණ සෝදනවා. මුහුණ සෝදන්න අපි විශේෂයෙන් පරිශ්‍රමයක් දරන්න ඕන නැහැ. විශේෂ උත්සහයක් දරන්න ඕන නැහැ. අපි එය කුඩා කාලයේ ඉඳලා අඛණ්ඩව කරලා, දෛනිකව කරලා පුරුද්දක් බවට පත් කරගෙන සිටිනවා. අපේ ජීවන රටාවේ කොටසක් බවට පත් කරගෙන සිටිනවා. බැරි වෙලාවත් අපිට මුහුණ සෝදන්න බැරි වුනොත් තමයි අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ. එහෙම නැතුව මුහුණ සෝදන එක ජීවිතයේම කොටසක් නිසා අපිට කිසිවිටක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබේ විභාගයට අදාල අභ්‍යාසයත්, ඔබේ වෘත්තියේ, ව්‍යාපාරයේ සාර්ථකත්වයට අදාල පුහුණුවත් ඒ වගේ තමයි. දෛනිකව කරනවානම්, අඛණ්ඩව කරනවානම් එය පුරුද්දක් බවට පත්වෙනවා. ජීවන රටාවේ කොටසක් බවට පත්වෙනවා. එතකොට පුහුණුවීම, අභ්‍යාස කිරීම කියන්නේ ඔබට ගැටළුවක් නෙමෙයි. එය පුරුද්දක් බවට පත් වුණාම ගැටළුව ඇතිවෙන්නේ ඔබ දවසක් හෝ පුහුණුව මගහැරියොත්, අභ්‍යාසය මගහැරියොත්.
    මනෝවිද්‍යායින්ට අනුව යම්කිසි කාර්‍යයක් අඛණ්ඩව දින විසි එකක් ක්‍රියාත්මක කිරීම, එය අදාල පුද්ගලයාගේ පුරුද්දක් බවට පත් කරනවා. විභාගයට සූදානම් වීම සඳහා දෛනිකව පැය 5 ක් අඛණ්ඩව දින විසි එකක් ඔබට ක්‍රියාත්මක කරන්න පුළුවන්නම්, 22 වන දිනයේ ඉඳලා එය ඔබේ පුරුද්දක් බවට පත්වෙනවා. හිතලා, වුවමනාවෙන් කරනවා වෙනුවට මෙය කල යුතු බව දැනගෙන ඔබේ මනසත්, ශරීරයත් ස්වංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා.
    ඒ වගේම තමයි දින 90 ක අඛණ්ඩ ක්‍රියාත්මක වීම, ඔබට ජීවන රටාවක් නිර්මාණය කර දෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් අඛණ්ඩව මාස 3 ක්, පැය 3 බැගින් දෛනිකව තමන්ගේ පුහුණුවට කැප කරනවානම් ඒ පුහුණුවීම ඔහුගේ ජීවිතයේම කොටසක් බවට පත්වෙනවා. දත් මදිනවා, මූණ සෝදනවා, දහවල් ආහාරය ගන්නවා, නිදාගන්නවා වගේ අත්‍යාවශ්‍ය, පැහැර හැරිය නොහැකි කාර්‍යයක් බවට පුහුණුව පත්වෙනවා. දින 21 සහ දින 90 ඉලක්කය අපහසුවෙන්, අමාරුවෙන් හෝ සම්පූර්ණ කරන කෙනෙකුට එතනින් පස්සේ පුහුණුව කියන්නේ ඒ තරම් බැරෑරුම් සහගත, නාභිගත වෙන්න අපහසු ඉලක්කයක් නෙමෙයි. දින 21 සහ දින 90 ප්‍රායෝගික ඉලක්කය, ඔබව පුහුණුවට ගැලපෙන ස්වංක්‍රීය රිද්මයකට හැඩගස්වනවා.
    විශිෂ්ඨත්වයේ පුහුණුව - The champion training
    සාර්ථක වෙන්න, විශිෂ්ඨයෙක් වෙන්න උග්‍ර, අඛණ්ඩ පුහුණුව, අභ්‍යාසය අත්‍යාවශ්‍යයි කියන දේ වටහා ගත්තත්, විශිෂ්ඨත්වයට පත්වෙන්න කොපමණ කාලයක්, කොපමණ ප්‍රමාණයක් පුහුණුවීම් කලයුතුද කියන දේ බොහෝ දෙනෙකුට ගැටළු සහගත වෙන්න පුළුවන්. දහ දෙනෙකුට මේ ප්‍රශ්නය යොමු කලොත් ඔබට එකිනෙකට වෙනස් පිලිතුරු දහයක් ලැබෙන්න පුළුවන්. අවුරුද්දක් පුහුණුවෙන්න ඕන. අවුරුදු 3 ක් පුහුණුවෙන්න ඕන. අවුරුදු 5 ක් පුහුණුවෙන්න ඕන ආදී වශයෙන් ඔවුන් පිලිතුරු දෙන්න පුළුවන්. ඒ අතර ඔබට ලැබෙන ජනප්‍රියම පිලිතුරක් වෙන්නේ පැය 10,000 ක පුහුණුවක් විශිෂ්ඨයෙක් වෙන්න අවශ්‍යයි කියන එක. මිනිත්තු වලින් ගත්තොත් මිනිත්තු 600,000 ක් පුහුණුවිය යුතුයි කියන පිළිතුර. කලමණාකරණ ක්ෂේත්‍රයේදී "10,000 hour rule" ලෙස බොහෝ අය මේ සංකල්පය හඳුන්වනවා. නමුත් ඒ පිලිතුර නියත වශයෙන්ම සාර්ථක පිළිතුරක්, නිවැරදි ක්‍රමවේදයක් බව මෙතෙක් කොහෙවත්, මොන විදියෙන්වත් ඔප්පු කරලා නැහැ. ස්ථීර කරලා නැහැ.
    ඔලිම්පික් තරඟ බිමේදී ජයග්‍රාහයකයන් බවට පත්වෙන සියල්ලන්ම නියත වශයෙන්ම උග්‍ර, අඛණ්ඩ පුහුණුව සම්පූර්ණ කල අය වෙනවා. නමුත් ඔවුන්ගේ ඇතමෙක් පැය දස දහසේ පුහුණු සීමාව සම්පූර්ණ කල අයවෙද්දි තවත් පිරිසක් ඉතා කෙටි කලක් පුහුණු වූ අය වෙනවා. පිරිසක් වරක්, දෙවරක් නෙමෙයි තෙවරක්, සිව්වරක් ඔලිම්පික් ඇවිල්ලා පදක්කමක් දිනද්දි ඇතමුන් පලමු අවස්ථාවෙන්ම රන් පදක්කමකට හිමිකම් කියනවා. එතනදි බලපෑම් සහගත වෙන්නෙ ඔවුන්ගේ පුහුණු කාලය කියන සාධකය නෙමෙයි. ඔවුන් පුහුණුවට යොදපු ප්‍රමාණය කියන සාධකය. ඒ සාධකය අතිශය තීරණාත්මකයි. ඔබ පැය දස දහසේ සංකල්පය විශ්වාස කරලා දීර්ඝ පුහුණුවක් ලබන එක වැරැද්දක් නෙමෙයි. නමුත් ඒ පැය දස දහසටම ඔබ යොදන ඔබේ ශක්ති ප්‍රමාණය හරි කුඩා එකක් වුණොත්, ඔබට විශිෂ්ඨත්වය සිහිනයක් පමණක් වෙනවා. පැය 1000 ක් පුහුණු වුණත්, ඔබ ඒ පැය දහසට දෙන ඔබේ ශක්ති ප්‍රමාණය ඉහළ නම්, වැඩි නම් ඔබ විශිෂ්ඨත්වයට පත්වෙනවා. ක්‍රීඩා බිමේ, ජීවන තරඟ බිමේ වගේම ව්‍යාපාරික තරඟ බිමේත් විශිෂ්ඨයෙක් බවට පත්වෙනවා. මෙතරම් කාලයක්, මේ තරම් ප්‍රමාණයක් පුහුණුවිය යුතුයි කියලා අනුමත, නිශ්චිත නියමයක් නැතත් ඔබ පුහුණුවන කාලසීමාව තුළ, ඔබ ඔබේ උපරිමය ඒ සඳහා යොදනවනානම් සාර්ථකත්වයේ විස්මිත ප්‍රතිඵල ඔබට අත්විඳින්නට හැකිවෙනවා.
    ව්‍යාපාරික වැඩසටහන් වලට සම්බන්ධ වෙද්දි, පුද්ගල සංවර්ධන සැසිවලට එක්වෙද්දි, බිස්නස් ෆේල් වෙනවා, අපිට බිස්නස් කරන්න අමාරුයි කියන පුද්ගලයින් ඕනෑ තරම් මට හමුවෙනවා. නමුත් සැබෑ ලෙසම ගැටළුව වෙන්නේ ඔවුන්ට බිස්නස් බැරිකම නෙමෙයි. බිස්නස් කරන්න අවශ්‍ය පුහුණුව ඔවුන් සතුව නැතිකම. අනික් සියළු ක්ෂේත්‍රවල අයට වගේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ජයග්‍රහණය සඳහාත් අවශ්‍ය වෙන උග්‍ර, අඛණ්ඩ පුහුණුව, අභ්‍යාසය ලබාගෙන නොමැතිකම. නැතිනම් තමන්ගේ පුහුණුව සඳහා තමන්ගේ උපරිමය යොදා නොමැතිකම.
    අපි ගඟකට, මුහුදකට, ඇලකට, දොලකට පනින්න කලින් පිහිනන්න ඉගෙන ගන්නවා. අත් පා ගසමින් වතුරේ පාවෙන හැටි, පිහිනන හැටි ප්‍රගුණ කරනවා. එහෙම පිහිනන්න ඉගෙන ගන්න පලමු අවස්ථාවේදී වතුරේ පෙවිලා ඇතැම්විට මරණීය අත්දැකීමකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් කාලයක් යද්දි අපි ඊට ඔරොත්තු දෙනවා. හැඩගැහෙනවා. බැරි වෙලාවත් පිහිනන්න පුරුදු නොවී වතුරට පැන්නොත් අපිට ගිලිලා මැරෙන්න වෙනවා. පුහුණුවක් නැති කමින් විනාශ වෙන්න සිද්ධ වෙනවා. උග්‍රව අඛණ්ඩව පුහුණු වූ අයෙකුටනම් එහෙම අවදානමක් නෑ. ඔහුට තමන් ගැන විශ්වාසය තියනවා. පිහිනීම තමන්ගේ පුරුද්දක් බවට ඔහු පත්කරගෙන සිටිනවා. පුහුණුවේදී තමන්ගේ උපරිමය යොදලා ඔහු වතුර එක්ක ගණුදෙණු කරන්න ඉගෙන ගෙන තියනවා.
    බිස්නස් කියන ගැඹුරු, දීර්ඝ ජලාශයට පනින්න කලිනුත්, ඒ තුළ සාර්ථකව පිහිනන්න අවශ්‍ය පුහුණුව, අභ්‍යාසය ලබාගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. දැඩි, රිදුමක්, වේදනාවක්, පීඩනයක් යටතේ ඔබ ඒ පුහුණුව ලබාගන්න අකමැතිනම් ඔබට ගිලිලා මැරෙන්න සිද්ධවෙනවා. නිරපරාදේ විනාශ වෙන්න වෙනවා.
    උග්‍රව, අඛණ්ඩව පුහුණු වෙනවද? ගිලී මියගොස් විනාශ වෙනවාද? විශිෂ්ඨයෙක් වෙන්න සිහින දකින ඔබට නැවතත් සිතා බලන්නට වෙනවා.

    ප්‍රමේෂ් වික්‍රමසිංහ
     
    • Like
    Reactions: LazyLizard

    Similar threads