වෙනස් කතාවක්

Jan 13, 2011
96
7
0
අපේ රටේ හාමුදුරුවරුනම් පන්සල අමදිනවා වගේ වැඩ මිස, මේසන් වැඩ, වඩු වැඩ කරන්නෙ නෑනෙ. නමුත් තායිලන්තය, ලාඕසය වගේ රටවල බොහෝවිට පන්සලේ ගොඩනැගිලි හදන්නෙ, කැටයම් කපන්නෙ, පිළිම නෙළන්නෙත් හාමුදුරුවරුම තමයි. ඒ කරන කටයුත්ත සිහියෙන් කිරීමත් භාවනාවක් කොට සළකනවා.

තායිලන්තෙ පුහුණු වුණු බ්‍රහ්මවංසෝ හාමුදුරුවෝ ඕස්ට්‍රේලියාවට වැඩම කරල, එහෙ පන්සලක් හදන්න පටන් ගත්තා. එතන බිත්තියක් බඳින එක තමයි මේ හාමුදුරුවන්ට පැවරිලා තිබුණෙ. ඉතින් සිමෙන්ති අනාගෙන, ගඩොල් ඇදගෙන, මේ නුහුරු වැඩේට අත හුරු කරගන්නකොට බිත්තියක් බැඳිලා ඉවරයි. වැඩ ඉවර කරල, ටිකක් පස්සට වෙලා හැඩ බලද්දි, හාමුදුරුවො දැක්කා බිත්තිය බොහෝම අපූරුවට බැඳිලා තියෙන බව- එක දෙයක් ඇරුණුකොට. මැද හරියෙ ගඩොල් දෙකක් ටිකක් ඇදයි වගේ.
බිත්තිය බැඳලා ඉවරම කරල නිසා ඒ ගඩොල් දෙක හරි ගස්සන්නනම් ආයෙත් ගොඩක් කඩල දාන්න වෙනවා. බිත්තියෙ ගඩොල් දාහක් විතර. මේවා දායකයොන්ගෙ සල්ලි. එහෙම නාස්ති කරන්න බැහැ. හාමුදුරුවන්ට හරිම කණගාටුයි. බිත්තිය දිහා බලන බලන සැරේට පේන්නෙ අර ඇද වුණු ගඩොල් දෙක. මුලු බිත්තියම කැත වෙලා තියෙන්නෙ ඒ දෙක නිසා. පන්සල බලන්න කවුරුත් එනකොට හාමුදුරුවො ඒ අයව මේ පැත්තටවත් ගෙනියන්නෙ නැහැ, අර ඇද වුණු ගඩොල් සහිත කැත බිත්තිය දකී කියල.
ඒත් එක් උපාසකයෙක් මේ බිත්තිය බලන්න ආවා. "හරිම ලස්සන බිත්තියක්" ඔහු කිව්වා. "හාමුදුරුවො මේසන් වැඩ නොදන්න කෙනෙක් කියල හිතන්නත් අමාරුයි. හරිම හොඳට වැඩේ කරල."
හාමුදුරුවන්ට හරිම ලැජ්ජයි. තමන්ගෙ හිත රිදේය කියල හිතල උපාසකයා මෙහෙම කියනව ඇති; නැත්නම් ඒ ගඩොල් දෙක දකින්න නැතිව ඇති; එහෙමනම් තමුන් මේ පැසසුම් ලබා ගන්නෙ ඇත්ත පෙන්නා දෙන්නෙ නැතිව...ඒ නිසා හාමුදුරුවො උපාසකයට පෙන්නුවා ඇද වුණු ගඩොල් දෙක.
"අර බලන්න අර ගඩොල් දෙක. දැක්කෙ නැද්ද ඒ දෙක ඇදයි කියල. මුලු බිත්තියම කැත වෙලා තියෙන්නෙ ඒ දෙකෙන්. මට වරද හරි ගස්සන්නත් බෑ දැන්."
"ආ, ඒ දෙක මම දැක්ක." උපාසකයා කිව්වා. "ඒ වගේම මම දැක්කා හරියට බැඳලා තියෙන ගඩොල් දාහත්. ඒ හරියට කරල තියෙන වැඩේ ගැන තමයි මම කියන්නෙ- හරිම ලස්සනයි."

පාඩම: අපි පුරුදු වෙලා තියෙන්නෙ හොඳ දාහක් අමතක කරල පොඩි වැරද්දක් දෙකක් අල්ලගන්න. තමන්ගෙ මෙන්ම අනුන්ගෙත්. නමුත් අර වැරදි දෙකට වඩා හොඳ දාහක අගය අප වටහා ගත යුතුයි. අප ගැන වඩාත් සතුටු වීමටත්, අනුන් සමග හොඳ සම්බන්ධතාවක් පවත්වා ගැනීමටත් එය ඉතා වැදගත්.