මහැදුරු නලීන් සිල්වා මහතාණන් විසින් "වෛද්‍ය ඒකාධිකාරය" නමින් ලිපි කිහිපයක් පළ කැර තිබෙනු දුටිමි. විකල්ප දැනුම් පද්ධතියක් ගැන මගේ මුල් පොත වූයේ එතුමාණන්ය. නමුත් මිනිසුන් මුල් පොතින් පසුව ඉන් ඉදිරියට යායුතු බව දනිමි. එනිසාම ඒ මුල් පොත විසින් කරනු ලබන හරයක් නැති ප්‍රකාශ ගැන මේ ලිපිය ලිවීමට සිදු වී තිබේ. බටහිර වෛද්‍ය ක්‍රමයට ඒකාධිකාරයක් අවශ්‍යද, එය අපට ගැලපෙනවාද, දැනුම අනුව පරගැති ද ඈ ආදී මාතෘකා හෝ සංවාද මේනූල තුල නොසලකා හැරෙන අතර එවන් ප්‍රතිචාර අනතුරු හැඟවීමකින් තොරවම ඉවත් කර දමා සාකච්ඡාව නිසි මිනුම් තුල තබා ගන්නට මැලි නොවෙමි.
නලීන් සිල්වා මහතාණෝ ලිපිය පටන් ගනුයේ "දොස්තර ඒකාධිකාරයක්" අප්වත්වා ගැනීමට අවැසි බව කියමින්. එ මහතාගේ මේ ප්‍රකාශය හාස්‍යජනක ප්‍රකාශයක්. වෛද්‍යවරුන් ඉල්වන්නේ ප්රමිතියසහිත වෛද්‍ය අධ්‍යාපනයක් වන අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඉල්වන්නේ මුදලට නොවිකුණන, එනම් සුදුසුකම් මත පම්ණක් තීරණය වන අධ්‍යාපන ක්රමයකි. මේ දෙකොට්ඨාශයම තවත් රාජ්‍ය වෛද්‍ය පීඨ ඇති වීමට විරුද්ධ නොවෙති. ඒ නිසා වෛද්‍යවරුන්ට ඒකාධිකාරයක් අවශ්‍ය යැයි පැවසීම විහිළු සහගත ප්‍රකාශයකි. මෙහිදී මා කරුණු දැක්වීම කෙරෙනුයේ වෛද්‍යවරුන්ගේ පාර්ශවයෙනි. සිසුන්ගේ පැත්තෙන් අදහස් දැක්වීමට මට නොහැකිය.
"විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ බලය ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට මිස සෞඛ්‍ය අමාත්‍යවරයාට නො වෙයි" යනුවෙන් මහැදුරු තුමා ප්‍රකාශයක් කරනුලබයි. මේ කථාව ඇත්තය. ඕනෑම වෛද්‍ය උපාධියක් සඳහා සිසුන් ඇතුළු කර ගැනීමේ නිර්ණායක ඇති කර ගැනීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හැකිය. නමුත් මැහැදුරු තුමාට වයස නිසා හෝ වෙනත් යම් කරුණක් නිසා හෝ අමතකව ගිය කරුණ නම්, වෛද්‍යවරයකු වීමට උපාධිය පමණක් නොසෑහෙන බවයි. ඒ සඳහා අවුරුද්දක සීමාවාසික පුහුණුවක් හා ඇගැයීමකින් අනතුරුව ලියාපදිංචිය අවශ්‍යය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සිසුන් ඇතුළත් කිරීමේ නිර්ණායක සැකැසිය හැක්කේ යම් සේද, වෛද්‍ය සභාවට වෛද්‍යවරුන් ලියාපදිංචිය පිළිබඳ නිර්ණායක ඒ ආකාරයෙන්ම සැකැසීමට නීතිමය බලතල ලබා දී ඇත. වෛද්‍ය උපාධි ලැබූ, නමුත් ප්‍රමිතිය මඳ කම නිසා ලියාපදිංචියට පිළි නොගැනෙන වෛද්‍ය උපාධිධාරීන් ඇතිවීම ප්‍රශ්ණයක් බැවින්, අවම නිර්ණායක ලොව පුරාම සාදන්නේ වෛද්‍ය සභාව හෝ එයට අනුයුක්ත මණ්ඩලයක සහභාගීත්වයෙනි. වෛද්‍ය සේවා ආඥා පණතට අනුව වෛද්‍ය සභාවේ ප්‍රධානයා සෞඛ්‍ය ඇමැතිවරයාය. එනිසා මෙහිදී ඔහු බැහැර කර අවම ප්රමිතීන් සැකැසීම සිතන්නේ නම් එය විහිළුවක් පමණක්ම වනු ඇත. අපෙන් විශ්ව විද්‍යාල පණත කියවා ඇත්දැයි අසන මහැදුරු තුමාට අපට කීමට ඇත්තේ "වෛද්‍ය ආඥා පණත කියවා නැත්ද?" යන්නයි.
වෛද්‍ය අධ්‍යාපනය සහ වෙනත් අධ්‍යාපනයන් අතර වෙනසක් නැතැයි එතුමාණෝ සඳහන් කරති. ඒ වෙනුවෙන් ඔහු ගන්නා උදාහරණය නම් ජීවිත වලට වගකීම සම්බන්ධවයි. එතුමාණෝ ඒ සාධකය ගෙනෙන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ තාක්ෂණික ස්වභාවය දැනගෙනද යන්න මා හට ප්‍රශ්ණයකි. වෛද්‍ය අධ්‍යාපනය විශේෂ වන්නේ එහි බහුතරයට වග කියන්නේ විශ්ව විද්‍යාලයෙන් පිටත සේවය කරන්නන් විසින් වන නිසාය. විශ්ව විද්‍යාලයෙන් පිටත සේවය කරන වෛද්‍යවරුන් පාලනය වන්නේ වෛද්‍ය ආඥා පණතෙන් මෙන්ම, සෞඛ්‍ය අමාත්‍යංශයෙනි. ඒ නිසා තාක්ෂණිකව, වෛද්‍ය අධ්‍යාපනය අනෙකුත් ඒවායින් වෙනස් බව වැටැහී යා යුතුය. මෙවන් වෙනස්කම් සහිත වෙනත් අධ්‍යයනයන් තිබෙන්නට පුළුවන. ඒ සියල්ලම තාක්ෂණිකව විශේෂය.
පුද්ගලික මෙන්ම රජයේ වෛද්‍ය විද්‍යාල වලට අවම සුදුසුකම් ලොව පුරාම අවශ්‍ය බව පිළිගන්න කාරණාවක්. බටහිර ගැති ඈ ආදී ලෙස මහැදුරු තුමා ඔහුගේ සුපුරුදු මන්තරය ජප කිරීමට මෙදිදී ඉදිරිපත් විය හැකි නමුදු, අප මේ කතා කරන්නේ බටහිර අධ්‍යාපනය ගැනය. ඒ නිසා බටහිර මිනුම් දඳු වලට අනුව එය සකසා ගත යුතුය. උසස් පෙළ ප්‍රථිපළ, විද්‍ය උපාධිය සමත්වීම සමග ඍජු ලෙසම සහසම්බන්ධතාවයක් දක්වන බව දැනටම ඔප්පු වී අවසන්. අඩු උසස් පෙළ ලකුණු සහිත විදෙස් උපාධිධාරී වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය පීඨ සිසුන් එකම විභාගයකට (common MCQ) මුහුණ දුන් අවස්ථාවේ රජයේ සිසුන් 80% සමත් වීමත්, විදෙස් උපාධිධාරී සිසුන් 6% පමණක් සමත් වීමත් තුළින් මේ බව මනාව පැහැදිලි වන අවස්ථාවක්. බඳවාගැනීමේ පරිපාටිය ලිහිල්වන්නට වන්නට, අසමත් වන ප්‍රතිශතය ඉහළ යන බව මෙහිදී පැහැදිලි විය යුතුයි. රජයේ වෛද්‍ය විද්‍යාලයක නම් එය සම්පත් සහ මුදල් නාස්තියක් වන අතර, පුද්ගලික වෛද්‍ය විද්යාලයකනම් ලාබ දරුණු ලෙස අඩුවීමට බලපානු ඇත. පුද්ගලික අංශයේ එවිට එකම පිළිතුර විභාග වල ප්‍රමිතිය බාල කර වැඩි සිසුන් ගණනක් සමත් කර ලාබ වැඩි කර ගැනීමයි.මේ කාරණා සොයා බලන්නට මහැදුරු තුමාට අවශ්‍යතාවයක් තිබුණාද යන්න නම් මම නොදනිමි.
ඉන් පසුව එතුමා "වෛද්‍ය සභාව මෙතෙක් කල් අවම සුදුසුකම් තීරණය කර නැත්තේ එය ඔවුන්ගේ බල ප්‍රදේශය නොවන නීිසා. ඔවුන්ට වෛද්‍යවරුන් ලියා පදිංචි කිරීමේ දී වෙනත් ආකාරයකට උපාධියේ තත්වය මනින්න පුළුවන්. පිටරට වෛද්‍ය උපාධිධාරීන්ගේ ඇතුළත් වීමේ අවම සුදුසුකම් තීරණය කිරීමට වෛද්‍ය සභාවට හෝ සෞඛ්‍ය ඇමතිවරයාට හෝ පුළුවන් ද?" යනුවෙන් පැනයක් නගනවා. එතුමා මෙහිදී ගෙඩි පිටින්ම වැරැදි බව නැවතත් කිව යුතුය. වෛද්යැ අධ්‍යාපනයේ ප්‍රමිතිය තීරණය කිරීමේ බලය ඇත්තේ වෛද්‍ය සභාවට බව වෛද්‍ය ආඥා පණතේ පැහැදිලිව දැක්වේ. අවම සුදුසුකම් යනු එයින් එක අංගයක් පමණි.වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේදී ප්‍රමිතිය මැනීමට වෛද්‍ය සභාවේ මහැදුරු වරුන් දනිති. ඔවුන්ට ම්හැදුරු නලීන්ගේ උපදෙස් අවශ්‍යම නැත. කොටින්ම මහැදුරු නලීන්ගේ මේ ගැන දැනුම ඇත්තේ හෝඩියේ පන්තියේ මට්ටමේය. ඒ නිසා වෛද්‍ය අධ්‍යාපනයේ සීමා සලකුණු කිරීම එකී උගතුන් විසින් කරනු ලබන අතර ගණිත අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන මහැදුරු නලීන්ට යමක් කල හැකි වනු ඇත.
මහැදුරු නලීන් සිතා සිටිනුයේ වැඩි වැඩියෙන් වෛද්‍ය විද්‍යාල අරින්නට අරින්නට බඳවා ගැනීමේ අවම සුදුසුකම් පහළ යනු ඇති බවයි. නමුත් එතුමාට කාරණා දෙකක් අමතකව ගොස් ඇත.
පළමුවැන්න නම්, Z අගය පහළ යන්නට, යන්නට සමත්වෙන ප්‍රතිශතය අඩු වෙන බවය. ඒ නිසා අතුළත් කිරීම ගණන x අක්ෂයේ සහ සමත්වීම් y අක්ෂයේ සටහන් කර ප්‍රස්තාරයක් ඇන්දොත් එය කෙමෙන් වැඩිවී සමතලා බවට පත්වී යනු ඇත. මේ සමතලා වීම වන අගය අප දැනට දන්නේ නැත. දළ ගණනය කිරීමකින් එය 2000 පමණ වන බව පෙනී යයි. 97.5% විශ්‍රම්භ මට්ටමේදී (confidence interval) එය 1950 පමණ වනු ඇත.
දෙවැනි කාරණය නම්, මේ රටේ රෝහල් වල ඉඩ ඇත්තේ වෛද්‍ය සිසුන් 1700-1900 දක්වා ගණනක් පුහුණුවට පමණක් බවයි. පුද්ගලික රෝහල් වල සිසුන් සියයක් පුහුණුවටවත් සෑහෙන රෝගීන් නොමැත. මේ ගණනය කිරීම් කරන ලද්දේ ලෝක සෞඛ්‍ය සංගමය මගින් ලබා දෙන ලද නිර්ණායක අනුවය. මේ නිරණායක අප රටට නොගැලපේ වැනි ප්‍රලාප මහැදුරාණෝ කීමට හැකි වුවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය අධ්‍යාපන දැනුම නම් තල්මසා ඉදිරියේ මහැදුරු තුමා ඇමීබාවෙක් වැනිය. දැනටමත් දේශීයව සිසුන් 1200ක් පමණ පුහුණු වෙති. වයඹ සහ සබරගමුව පීඨ සමග මෙය 1400-1500 දක්වා වැඩි වනු ඇත. එවිට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඉතුරු වන්නේ ඉතා සුළු අවස්ථා ප්‍රමාණයක් පමණි. මේ තත්ව යටතේ අවම සුදුසුකම කුමක්ද යන්න දළ වශයෙන් ගණණය කල හැකිය. අප එකී ගණන 1800 ලෙසා ගනිමු. වසරකට ජීව විද්යාවලියන සිසුන් ගණන 20,000කි. ලංකාවේ පුහුණුවට ඉඩ ඇත්තේ ඉන් 9% පමණි. එනම් ජීව විද්‍යාව සඳහා 9 වෙනි ප්‍රතිශතකය (percentile) අවම සුදුසුකම ලෙස සැලකීමට සිදු වනු ඇත. නව වෙනි ප්‍රතිශතකය යනු Z අගය වශයෙන් +1.34ක් බව, ගණිතය මනාව දත් මහැදුරු තුමා පහසුවෙන්ම තේරුම් ගනු ඇතැයි සිතමි. මේ ප්රථිඵලය ආසන්න වශයෙන් සමාන වන්නේ A1B2ක ප්රතිඵලයකටය. ඒනිසා 3B යනු ඉතා සාධාරණ අවම සුදුසුකමකි.
මහැදුරු තුමා දෙවනුව ලියා ඇති ලිපියේ තාක්ෂණික කරුණු කිසිවක් නැති අතර එහි ඇත්තේ කණිපින්දම් ගැසීමක් පමණයි.මහැදුරු නලීන් සිල්වාණෝ මේ රටේ ඉහළම ගණයේ විද්තෙකි. නමුත් එතුමාණෝද තමන් නොදන්නා දේවලට කථා කරන්නට යාමෙන් පීචං වීමට තරම් කෙනෙක් නොවේ.
වෛද්‍ය රංග වීරක්කොඩි