ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහ

monson

Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහ

    'වයස 16 කරමු' - ජමියතුල් උලමා සභාව; '18 ට අඩු වෙනසක් එපා' - ක්‍රියාකාරිනියෝ



    දෙමාපියන්ගේ බලපෑම් හමුවේ බාල වියේ බලහත්කාර විවාහයකට ගොදුරුව, සැමියාගේ වධ බන්ධන හමුවේ දරු ගැබ ද අහිමි වූ ශ්‍රී ලංකාවේ මුස්ලිම් දැරිය, ෂෆා (අගේ සැබෑ නම නොවේ), ගැන ඇතැම්විට ඔබට මතක ඇති.

    තමන් තරුණයෙකුට පෙම් බැඳි බව අනාවරණය වූ මොහොතේ දෙමාපියන් විසින් ඥාතියෙකුගේ නිවසට යවනු ලැබූ අවස්ථාවේ එම නිවසට පැමිණි තරුණයෙකු සමග විවාහ වන මෙන් ඒ ඥාතීන් මෙන්ම දෙමාපියන් ද බල කළ ආකාරය අදින් වසරකට පමණ ඉහතදී ඇය මා සමග හඬමින් විස්තර කළාය.

    ඇය එයට එරෙහි වූ නමුත් ඔවුහු ඇය බලහත්කාරයෙන් විවාහ කර දුන්හ.

    එහෙත් විවාහයෙන් පසු ඇය කබලෙන් ලිපට ඇද වැටුනේ ස්වාමිපුරුෂයා ඇයට දිගින් දිගටම පහරදෙමින් වධ බන්ධනවලට ලක්වීම හේතුවෙනි.

    "එයාගේ තාත්තත් මට එක එක දේවල් කිවුව. මම ගැබ් ගත්ත වෙලාවේ, ඒ එයාගේ දරුවා නෙවෙයි කියල මහත්තය කිව්ව. දරුවා ගබ්සා කරන්න කියල එයා බල කළා. ඊට පස්සේ මාව උස්සල පොළවේ ගැහුව."

    එහි ප්‍රතිඵලයක් ලෙසින් ඇයට කුසේ සිටි දරුවාත් අහිමි වූ නමුත්, ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වීමට ඇය දැරූ ප්‍රයත්නය සාර්ථක නොවූයේ ස්වාමි පුරුෂයා වෙත යන මෙන් පොලිසිය සහ ප්‍රදේශයේ පල්ලිය ද ඇයට උපදෙස් දීම හේතුවෙනි.

    බීබීසී සිංහල සේවය ඇය පිළිබඳ අනුවේදනීය පුවත අනාවරණය කිරීමෙන් පසුවත්, එවක දෙමාපියන් සමග ගත කළ ෂෆාට සැමියාගෙන් සැර පරුෂ දුරකථන ඇමතුම් ලැබෙන්නට විය.

    එහෙත් ඉන් ටික කලෙකට පසුව ස්වාමි පුරුෂයා දික්කසාදයට අනුමැතිය පළ කළේය.

    muslim-girl_01.jpg


    බලහත්කාර වේදනාබර අත්දැකීමෙන් මිදෙන්නට ෂෆා එසේ සමත් වූ නමුත් ශ්‍රී ලංකාවේ තවත් බොහෝ මුස්ලිම් දැරියෝ ඒ හා සමාන අත්දැකීම්වලට මුහුණදෙමින් සිටිති.

    මුස්ලිම් සමාජය තුළ තාඩන පීඩනවලට ලක්වූ ඇය ඇතුළු ඇතැම් මුස්ලිම් කාන්තාවන්ට මානසික උපදේශන සහ නීති ආධාර ඇතුළු සහන සපයන ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයේ අධිපතිනිය පවසන අන්දමට ෂෆා වැනි ළමා විවාහවලට ගොදුරු වූ දැරියන් සියයකට වැඩි පිරිසක් මේ වනවිටත් ඔවුන්ගේ ආයතනයේ පිහිට පතමින් සිටිති.

    විශේෂයෙන්ම කාන්තාවන් විවාහ කරවීමේ අවම වයස අවුරුදු 18 බව නියම කරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දිකක්සාද නීතිය (MMDA) සංශෝධනය කිරීමේ අවශ්‍යතාව එම ආයතනයේ අධිපතිනිය ඇතුළු මුස්ලිම් ක්‍රියාකාරිනියන් අවධාරණය කරන්නේ එබැවිනි.

    කෙසේ වුවත් සමස්ත ලංකා ජමියතුල් උලමා සහ තව්හීද් ජමාආත් යන සංවිධාන එම යෝජනාවට දැඩි විරෝධය පළ කරති.

    මුස්ලිම් කාන්තාවන්ගේ ඉල්ලීම් හමුවේ පත්කරන ලද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ්ගේ (Saleem Marsoof) ප්‍රධානත්වයෙන් යුත් කමිටුව වසර නවයකට පසුව මේ වසරේ මුලදී සිය කමිටු වාර්තාව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල වෙත භාර දුන්නේය.

    එහෙත් එම වාර්තාව ගැන කමිටුවේ ඒකමතික සම්මුතියක් නොවීය.

    කොටස් දෙකකින් යුතුව භාර දෙන ලද වාර්තාවේ එක් කොටසක් විශ්‍රාමික විනිසුරු සලීම් මර්සූෆ් ඇතුළු පිරිසකගේ අත්සනින් යුතුව භාර දෙනු ලැබූ අතර, තවත් කොටසක් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා, ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් (හිටපු නීතිපති සහ ව්‍යවස්ථා සභාවේ සාමාජික) සහ සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) සභාව ඇතුළු කණ්ඩායමකගේ අත්සනින් යුතුව භාරදෙනු ලැබ තිබේ.

    සලීම් මර්සූෆ් වාර්තාවේ දැක්වෙන සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 ට අඩු මුස්ලිම් විවාහ බහුල වශයෙන්ම සිදුවන්නේ නැගෙනහිර පළාතේය.

    එම වාර්තාවේ දැක්වෙන සංඛ්‍යාලේඛන ප්‍රකාර 2014 - 2016 කාලය තුළ නැගෙනහිර පළාතේ විවාහ (වයස අවුරුදු 18ට අඩු) 2100ට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කර තිබේ. එය වසරින් වසර ක්‍රම ක්‍රමයෙන් වැඩි වී ඇති බව ද එම සංඛ්‍යාලේඛනවල දැක්වේ. (පහත දැක්වෙන වගුව බලන්න)

    නැගෙනහිර පළාතෙන් පසුව එවැනි විවාහ වැඩි වශයෙන් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි.

    එවැනි ලියාපදිංචි කරන ලද විවාහ හැරුණු විට බොහෝ විවාහ ලියාපදිංචි නොකිරීම හේතුවෙන් සැබෑ සංඛ්‍යාලේඛන සොයාගැනීම ඉතා දුෂ්කර බව විනිසුරු මර්සූෆ් පසුගිය වසරේ මා සමග පැවසීය.

    muslim-girl_02.jpg


    muslim-girl_03.jpg


    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ඇතුළු පිරිස ඉදිරිපත් කළ නිර්දේශ අතර:

    01. මුස්ලිම් ක්‍රියාකාරිනියන්ගේ ද ඉල්ලීම් සලකා බලමින් ශ්‍රී ලංකාවේ දැනට බලපවත්වන මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කළ යුතු බව.

    02. කිසියම් ලෙසකින් එසේ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය නොකරන්නේ නම් පමණක් කැමති මුස්ලිම් ජනතාවට සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහවීමට/ දිකක්සාදවීමට අවස්ථාව සලසා දිය යුතු බව.

    03. ළමා විවාහ අතුගා දැමීමේ අරමුණින් මුස්ලිම් දරු දැරියන් විවාහවීමේ අවම වයස අවුරුදු 18 ලෙසින් නියම කළ යුතු බව.

    04. කිසියම් හේතුවක් නිසා වයස 16ත් 18ත් අතර දරුවන් විවාහ කරදීමට සිදුවන අවස්ථාවක එය අදාළ දරුවා වෙනුවෙන් කළ යුතු කාර්යයක් බවට කාසි අධිකරණය සෑහීමකට පත්වන අවස්ථාවක පමණක් එම විවාහය සිදුකිරීම.

    05. මුස්ලිම් කාදි (කාසි) අධිකරණ රටේ ප්‍රධාන අධිකරණ පද්ධතියට සම්බන්ධ කරමින් කාසි අධිකරණවල තත්වය නගා සිටුවිය යුතු බව.

    06. මුස්ලිම් කාන්තාවන්ට ද කාදි අධිකරණවල විනිසුරුවරුන් වශයෙන් සහ විවාහ රෙජිස්ට්‍රාර්වරුන් වශයෙන් සේවය කිරීමට අවස්ථාව දිය යුතු බව ප්‍රධාන කරුණු වේ.

    සලීම් මර්සූෆ් වාර්තාව සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බව මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කළ යුතු බවට හඬ නගන මුස්ලිම් ක්‍රියාකාරිනියන්ගේ ඉල්ලීම වී තිබේ.

    "අපි කියන්නේ මුස්ලිම් විවාහ පනත සංශෝධනය කරන කොට මර්සූෆ් විනිශ්චයකාරතුමාගේ නිර්දේශ අවම සංශෝධන හැටියට සැලකිය යුතුයි කියල, ඒකෙන් පහළට යන්න බෑ කියල. ඒක ආරම්භය විය යුතුයි," යනුවෙන් එසේ හඬ නගන එක් නීතිවේදිනියක වන සබ්‍රා සහීඩ් (Sabra Zahid) මා සමග කියා සිටියාය.

    ඉහත කී නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ද දශකයකට ආසන්න කාලයක් ගත වූ බැවින් තවදුරටත් සාකච්ඡා පවත්වමින් සංශෝධන ක්‍රියාවට නැගීම ප්‍රමාද කළ යුතු නැති බව ඇය අවධාරණය කරන්නීය.

    "මොකද සමහරු දෙපාර්ශ්වය අතර එකඟත්වයක් ගැන කතා කරනවා. ඒත් මුස්ලිම් සමාජය ආපස්සට ගෙනයන්න උත්සාහ කරන පිරිස් එක්ක තවත් සාකච්ඡා අවශ්‍ය නෑ. ව්‍යවස්ථාවේ විධිවිධාන සහ රටේ ජාත්‍යන්තර වගකීම් වගේම මුස්ලිම් කාන්තාවන් සහ දැරියන් මුහුණදෙන තත්වයත් සලකා බලල මර්සූෆ් විනිශ්චයකාරතුමාගේ නිර්දේශ පදනම් කරගෙන ඊටත් වඩා ඉදිරියට ගිය පුළුල් සංශෝධන කළ යුතුයි කියලයි අපි කියන්නේ."

    විශේෂයෙන්ම විවාහ කරදීමේ අවම වයස අවුරුදු 18 විය යුතුය යන්නට කිසිදු ව්‍යතිරේකයක් නොතිබිය යුතු බව ද නීතිවේදිනී සබ්‍රා සහීඩ් අවධාරණය කරන්නීය.

    "රටේ සාමාන්‍ය නීතියට අනුකූලව අවුරුදු 18 කියන සීමාව ඇති කරනවා මිසක් ඒකෙ කිසිම වෙනසක් තියෙන්න බෑ."

    දශකයකට ආසන්න කාලයකට පසුව සලීම් මර්සූෆ් කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ ප්‍රමාදයකින් තොරව ක්‍රියාවට නැගීම දැන් අධිකරණ ඇමතිවරියගේ වගකීම බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටීගල් (Ermiza Tegal) බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම රාජ්‍යයේ වගකීම බව පෙන්වාදුන් නීතිවේදිනී එර්මීසා ටීගල්, රාජ්‍යය එම වගකීම මුස්ලිම් පුරුෂයන්ට භාර නොකළ යුතු බව ද අවධාරණය කළාය.

    2007න් පසුව ළමා විවාහ කෙතරම් ප්‍රමාණයක් සිදු වී තිබෙන්නේ ද යන්න පිළිබඳව ඇය ඇතුළු මුස්ලිම් ක්‍රියාකාරීන් තොරතුරු පනත යොදාගෙන කරන ලද ඉල්ලීමක් සලකා බලමින් සිටින බව විවාහ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔවුන්ට දැනුම් දී තිබේ.

    කෙසේ වුවත් සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ඇතුළු පිරිස ඉදිරිපත් කළ නිර්දේශවලට දැඩි විරෝධය පළ කරයි.

    විශේෂයෙන් ම එම කණ්ඩායමේ සියලුම දෙනා මුස්ලිම් ජනතාව නියෝජනය නොකරන බව බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළ ජමියතුල් ඉලමා මාධ්‍ය සම්බන්ධීකාරක ෆාසිල් ෆාරුක් ෂෙයික්වරයා (Sheikh Fazil Farook), ඔවුන් ඉදිරිපත් කළ බොහෝ නිර්දේශවලට තමන්ට එකඟ විය නොහැකි බව අවධාරණය කළේය.

    වත්මන් ක්වාසි අධිකරණ ක්‍රමය ක්‍රියාත්මක වීමේදී පවතින පරිපාලන දුර්වලතා නිරාකරණය කිරීම විනා ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ නීතියේ ප්‍රබල සංශෝධනයක් අවශ්‍ය නොවන බව කියා සිටි ඔහු, එමෙන්ම දැරියක විවාහ කිරීමේ අවම වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට සිය සංවිධානය යෝජනා කර තිබෙන බවත් සඳහන් කළේය.

    අවම වයස 16 දක්වා වැඩිකිරීමට එකඟ නම් එය 18 දක්වා වැඩි කිරීමට විරුද්ධ මන්දැයි මා විමසූ අවස්ථාවේ ෆාසිල් ෆාරුක් ෂෙයික්වරයා කියා සිටියේ ඉස්ලාම් ධර්මයේ සහ නබි තුමාගේ මග පෙන්වීම් අනුව යමින් අවුරුදු 12 සහ 18 අතර වයසකට තමන් එකඟත්වය පළ කළ බවය.

    "අපේ ධර්මයත් අපි රැකගෙන, සමාජයත් රැකගෙන යන්න තමා මේ වගේ දෙයක් කරලා තියෙන්නේ."

    මුස්ලිම් කාන්තාවන් ඉල්ලා සිටින පරිදි (සහ සලීම් මර්සූෆ් නිර්දේශ ප්‍රකාර) මුස්ලිම් කාන්තාවන් ක්වාසි අධිකරණ විනිසුරුවන් ලෙසින් පත්කිරීම ඉස්ලාම් ධර්මයට අනුකූල නොවන බව පවසන සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය, ඒ වෙනුවට ක්වාසි අධිකරණ සඳහා ජූරි සභාවේ බහුතරය කාන්තාවන් පත්කරන මෙන් යෝජනා කරයි.

    එහෙත් මැලේසියාව වැනි රටවල කාන්තාවන් ක්වාසි අධිකරණවල විනිසුරුවරියන් ලෙසින් සේවය කරන්නේ නොවේදැයි බීබීසී සිංහල සේවය පෙන්වා දුන් විට ඔහු කියා සිටියේ මැලේසියාව ඉස්ලාම් ධර්මය නිසි පරිදි අනුගමනය කරන්නේ දැයි තමන් නොදන්නා බවය.

    "අනික තමයි අපේ රටේ මුස්ලිම් ප්‍රජාව පිටරටවල්වලින් ධර්මය ලංකාවට ගෙන්නන්නේ නෑ. මොකද අපි අවුරුදු දහස් ගණන් මේ රටේ ජීවත්වෙලා තියෙනව. කාටත් කරදරයක් තියෙනව, එකමුතුව," ඔහු පැවසීය.

    කෙසේ වුවත් වයස අවුරුදු 16 යනු බාල වියේ දැරියක් බව අවධාරණය කරන මුස්ලිම් ක්‍රියාකාරිනියෝ, එවැනි බාල වියේ දැරියන්ට අවශ්‍ය කරන්නේ අධ්‍යාපනය විනා විවාහය නොවන බව පෙන්වා දෙති.

    එමෙන්ම විවාහයක් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු බවට තමන් ඉදිරිපත් කරන යෝජනාවට ද ජමියතුල් උලමා සභාව විරෝධය පළකරන බව ද ඔවුහු පවසති.

    muslim-girl_05.jpg


    ළමා විවාහ සම්ප්‍රදායට එරෙහිව හඬ නගා එය නිමා කිරීම පිණිස මුස්ලිම් ජනතාව ඉදිරිපත් විය යුතු බව ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන ශ්‍රී ලාංකික නීතිවේදිනියක වන සොරායා ඩීන් (Soraya Deen) මා සමග කියා සිටියාය.

    "ඉස්ලාමීයවාදීන් හැමදාම මාව පුදුමයට පත්කරනවා."

    ජමියතුල් උලමා සංවිධානය ගැන සඳහන් ට්විටර් පණිවුඩයකට ප්‍රතිචාරය පළකරමින් සොරායා ඩීන් පවසන්නේ ළමා විවාහ සහ ලිංගික පහස ලැබීම සඳහා දැරියන් පුහුණු කරනු වෙනුවට ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුරුෂයන් සිය දැරියන් අනාගත මුස්ලිම් නායිකාවන් බවට පත්කිරීම පිණිස පුහුණු කළ යුතු බවය.

    මේ අතර ෂෆා සිය වේදනාබර අත්දැකීම අමතක කොට දැන් පරිගණක පාඨමාලාවක් හදාරමින් සිටින්නේ මීට වසර පමණ පෙරාතුව සමුගත් මොහොතේ මා සමග පැවසූ වදන් සාක්ෂාත් කරගැනීමේ බලාපොරොත්තුවෙනි.

    නිරන්තරයෙන් එල්ල වන තාඩන පීඩන සහ නින්දා අපහාස නොතකා සිය උසස් අධ්‍යාපනය නිමා කොට නීතිඥවරියක බවට පත් වී තමන් වැනිම අතවරවලට ගොදුරු වූ දැරියන්ට උපකාර කිරීමය, ඒ.

    ඒ අධිෂ්ඨානයෙන් දැන් ඇය දෙමාපිය සෙවනේ සිය අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින්නීය.

    - BBC සිංහල


    - https://lankanewsweb.net/sinhala/වි...උලමා-සභාව-18-ට-අඩු-වෙනසක්-එපා-ක්‍රියාකාරිනියෝ
     
    • Like
    Reactions: hodakolla

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    අර තලත ගෑණි කිව්ව නේද ආගම් මුල් කරගෙන නීතිය ක්‍රියාකරන්නෙ නැතිය, නීතිය සේරටම ඉඅහලින්ය තියෙන්නෙ කියලා.. ඔය සේරම නීති සිංහලයට විතරයි...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්....
    මුන් කරන්න හදන්නේ උන්ගේ ක්වාසි අධිකරණය මේ රටේ පිලි ගත්ත එකක් කරන්න. එතකොට ශාරිය නිතිය පිළිගත්තා වෙනවා......


    අපි කියන්නේ ජාති/ආගම මත ඇති සියලු නීති අහෝසි කරන්න කියල. තේසවලාමේ නිතිය, ෂරිය නිතිය, උඩරට නිතිය මේ ඔක්කොම. සියලු දෙනාට සමාන පොදු නීතියක් මේ රටට ඕනේ.....
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,123
    996
    113
    V

    අර තලත ගෑණි කිව්ව නේද ආගම් මුල් කරගෙන නීතිය ක්‍රියාකරන්නෙ නැතිය, නීතිය සේරටම ඉඅහලින්ය තියෙන්නෙ කියලා.. ඔය සේරම නීති සිංහලයට විතරයි...

    thats sahajeewanaya :yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,855
    113
    ලොල්....
    මුන් කරන්න හදන්නේ උන්ගේ ක්වාසි අධිකරණය මේ රටේ පිලි ගත්ත එකක් කරන්න. එතකොට ශාරිය නිතිය පිළිගත්තා වෙනවා......


    අපි කියන්නේ ජාති/ආගම මත ඇති සියලු නීති අහෝසි කරන්න කියල. තේසවලාමේ නිතිය, ෂරිය නිතිය, උඩරට නිතිය මේ ඔක්කොම. සියලු දෙනාට සමාන පොදු නීතියක් මේ රටට ඕනේ.....


    :yes::yes::yes::yes::cool: