ගල් පිළිම සහ බොල් පිළිම
====================
ශිහන් මිහිරංග සිරස සුපර් ස්ටාර් හරහා ඉදිරියට පැමිණි තරුණයෙක්...
ගායනය සහ සංගීතයෙහි දක්ෂයෙක්..
අනුන්ගේ සින්දු කියලා ජනප්‍රිය වුණත් පසුව තමන්ගේ හැකියාවෙනුත් ක්ෂේත්රයේ ඉදිරියට ආපු කෙනෙක්..
ඊයේ පෙරේදා ඔහු super star තරගයක විනිශ්චයට ඇවිල්ලා මේ රට ගැන සැර විවේචනයක් කළා....
සෑහෙන අත්පොළසන් ප්‍රතිචාර ලැබුණා...
ඔහුගේ අදහස අනුව මේ රටේ කිසිම වැඩක් කරපු මිනිහෙක් ඉඳලා නෑ....
රටම වැඩක් නැති කාලකන්නි රටක්....
නමුත් ශිහාන් මහත්මයා , ඒ කාලකන්නි රටේ ඔබ සතයක්වත් අයකිරීමකින් තොරව නිදහස් අධ්‍යාපනය ලබා ගන්න ඇති....
සරසවි අධ්‍යාපනයත් නොමිලෙම ලබා ගන්න ඇති..
( ගන්න බැරි වුණා නම් ඒක රටේ වැරැද්ද නෙමෙයි ඔබේ වැරැද්දක් මිසක් )
ඒ කාලකන්නි රටේම සතයක්වත් වියදම් කරන්නැතුව රජයේ රෝහල්වලින් බෙහෙත් හේත් ගන්න ඇති..
අපි නම් එහෙමයි....
ඒත් ඔයා සමහරවිට අපි වගේ නැතුව සල්ලිකාර පවුලක ඉපදිලා පෞද්ගලික පාසල් වලට ගිහිල්ලා පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගත්ත කෙනෙක් ද දන්නෙත් නෑ...
හැබැයි ශිහාන් රට කියන්නෙ දේශපාලනඥයෝ විතරක් නෙවෙයි....
අනෙක දේශපාලනඥයෝ ඔක්කොමත් රටට වින කරපු අය නෙවෙයි... තමන්ගේ ගේ දොර ඉඩකඩම් පවා නැති කරගෙන ප්‍රතිපත්තිමය දේශපාලනයේ නිරත වුණු මහත්මා චරිතත් සුළු ප්‍රමාණයක් හරි අපේ ඉතිහාසයේ තියෙනවා...
හෙක්ටර් කොබ්බැකඩුව කියන්නේ විදේශිකයන් සතුව තිබුණු රන් පවුම් වතු ජනසතු කරපු ඉඩම් ඇමතිවරයා... ඔහු මිය යන විට ඔහුට කියලා නිවසක් තිබුණෙ වත් නෑ...
ටී බී ඉලංගරත්න වෙළඳ හා වාණිජ ඇමති වෙලා ඉන්න හැටේ දශකයේ මුල විදේශ රක්ෂණ සමාගම් ජනසතු කරන්න ගිය වෙලාවේ ඒ කටයුත්ත වර්ෂයකට පමණක් කල් දාන්න ඒ කාලේ හැටියට අතිවිශාල මුදලක් ඉලංගරත්න මහත්තයට දෙන්න ඔවුන් ඉදිරිපත් වුණා.. ඔහු ඒක කාරුණිකව ප්‍රතික්ෂේප කරලා අදාල ජනසතු කිරීම නියමිත දිනයේදී ම කළා.. ඒ ගැන පසු කාලයක බ්‍රිතාන්‍ය සඟරාවක පළ වී තිබුණා.. ඒ ඉලංගරත්න මහත්තයා කියලා නෙවෙයි. අදාල සමාගමේ නියෝජිතයෙක් පසුකාලීනව පවසපු දෙයක්...
නමුත් ඒ දේ ප්‍රතික්ෂේප කරපු ඉලංගරත්න මිය ගිය සාමාන්‍ය මිනිහෙක් විදියට...
නිදහස් අධ්‍යාපනය මේ රටේ දරුවන්ට හිමිකර දුන් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා මියගියේ දුප්පතෙක් හැටියට... ශිහාන් මහත්තයා ඔයා නිදහස් අධ්‍යාපනය ලැබුවේ ඒ උතුම් මිනිහට පිංසිද්ධ වෙන්නයි.
බණ්ඩාරනායක මහත්මයා දේශපාලනය කළේ ඔහුගේ ඉඩකඩම් ගෙවල් දොරවල් විකුණලා උගස් කරලා... රොස්මීඩ් පෙදෙසේ නිවස බණ්ඩාරනායක මැතිනිය බැංකුවෙන් බේරා ගත්තේ ඉන් වසර 15කට 20කට පමණ පසුවයි ණය ගෙවීමෙන් අනතුරුවයි...
ප්‍රවාහන ඇමැති කර වෙලා හිටපු අනිල් මුණසිංහ ට ලංගමයට බස්රථ ආනයනය කරන වෙලාවක එම විදෙස් සමාගම් විසින් ඔහුට ප්රදානය කරන්න හදපු මුදල් ප්‍රතික්ෂේප කර ඔහු ඒ වෙනුවට ලංගම ඩිපෝ වලට ෆියට් මෝටර් රථය බැගින් ගෙන්නල දුන්නා...
ඩඩ්ලි සේනානායක අගමැතිවරයා මිය යන විට ඔහුගේ ගිණුමේ තිබුනේ රුපියල් තුන්සිය ගණනක් කියලා කියනවා...
ඩී එස් සේනානායක තුමා දූරදර්ශීව ඇති කරපු ගල්ඔය ව්‍යාපාරය මොන තරම් වැදගත් යද්ද කියලා ඒ ගැන අවබෝධයක් තියෙන මිනිස්සු දැන් තේරුම් අරගෙන තියෙනවා.. ඒ වාරි ව්‍යාපාරය නැත්නම් තුන්වැනි ඊළාම් සටන කතරගමිනුත් පල්ලෙහාට එනවා.. ඔවුන් දේශපාලනයෙන් මුදල් හොයා ගත් චරිත නෙවෙයි...
අද කොතලාවල ආරක්ෂක පීඨය පිහිටා තිබිණ ඉඩම සහ සමහර ගොඩනැගිලි සර් ජෝන් කොතලාවල අගමැතිවරයා විසින් පරිත්‍යාග කරපු ඒවා.....
කෘත ගුණ නොදන්නා ජනතාව කැළණිය ආසනය පරාජය කරපු ඊ ඩබ්ලිව් පෙරේරා අතීතයේ බ්‍රිතාන්‍ය පාලකයන් දරුණු යුද නීතිය ප්‍රකාශයට පත් කරපු වෙලාවේ ඒ යුද නීතිය පිටපතක් තම සපත්තු අඩියේ සඟවාගෙන බ්‍රිතාන්‍යයට ගියේ සිය ජීවිතය ගැන බලාපොරොත්තුවත් ඇරලා..ඔවුන් සිය සියලු පෞද්ගලික වත්කම් කැප කළේ රට වෙනුවෙන්...
එන්.එම් පෙරේරා කොල්වින් ආර් ද සිල්වා, දොස්තර එස් ඒ වික්‍රමසිංහ පිලිප් ගුණවර්ධන රොබට් ගුණවර්ධන පීටර් කේනමන් බර්නාඩ් සොයිසා අයි.එමි.ආර්.ඒ.ඊරියගොල්ල යූ.බී. වන්නිනායක, එච්.ඩබ්ලිව්.අමරසූරිය, ආචාර්ය විජයානන්ද දහනායක වගේ චරිතත් එහෙමයි...
බණ්ඩාරනායක මැතිනිය අගමැතිවරිය විදියට තමන්ගේම රජය යටතේ අක්කර 50ට වැඩි ඉඩම් රජයට පවරා ගැනීමේ පනත ගෙනල්ල තමන් සතු අක්කර දහස් ගණනක් රජයට භාර දුන්නා..
අපේ ගම් ප්‍රදේශයේ වසර 25ක් වෙලා මංත්‍රීවරයා හැටියට හිටපු, ප්‍රාදේශීය සංවර්ධනයට විශාල වැඩ කොටසක් කරපු, පසුව මුදල් නියෝජ්‍ය ඇමැති ධුරය රාජ්‍ය පරිපාලන පළාත් පාලන ස්වදේශ නියෝජ්‍ය ඇමැති ධුරය දරපු නීල් ද අල්විස් මිය යනකොට ඔහුට ගෙයක් දොරක් තිබුණෙ නැහැ.. ඔහු අවසානය කාලය ගත කළේ සහෝදරයා ගේ නිවසේ කාමරයක...
1975 ආචාර්ය එන් එම් පෙරේරා අයවැය ලේඛනය ඉදිරිපත් කරන විට මේ රටේ ණය බර සම්පූර්ණයෙන්ම පාහේ අඩුවෙලා තුලිත අයවැයක් ඉදිරිපත් කිරීමට තරම් ආසන්නයට පැමිණ තිබුණා..
( මිනිස්සුන්ට ඒ සීමිත පරිභෝජන රටාවේ තිබිච්ච අඩුපාඩු හුවා දක්වලා,ඒ ක්‍රමය වෙනස් කරලා 1977 දී ඇරඹූ වේගයෙන් සංවර්ධනය වන, වේගයෙන් ණය ගන්න, ආර්ථිකයක් කරා ගියපු ගමනේ පල විපාක දැන් අපි විදිනවා.....)
එදා ශිහාන් මහත්තයා, ඔයා ඒ ඔක්කොටම තමයි කාලකන්නි කියලා කිව්වේ..
මිස්ටර් ශිහාන්, ඔබට මේ අතීතය මතක් කරන්න ඕන.... ඔක්කොම එක ගොඩට දාලා පහර දෙන එක බොහොම නරක පුරුද්දක්...
සිංදුවක් දෙකක් කියල ජනප්‍රිය වෙච්ච ඔය කට මැත දොඩවන පුයර බබාලට වඩා ඒ මිනිස්සු මේ රටට මහ මෙහෙයක් කරලා තියෙනවා...
පෘථග්ජනයන් හැටියට සමහර විට යම් අඩුපාඩු තිබුණත් ඔවුන් ශ්‍රේෂ්ඨ චරිත..
තවත් විශේෂයෙන්ම කියන්න ඕනේ , ඔය කියන අවුරුදු හැත්තෑවේ අවුරුදු තිහක් ම මේ රට ලෝකයේ දරුණුම ත්රස්තවාදීන් ගේ තර්ජනයකට ලක් වෙලා තිබුණා....
සමහරවිට ඔයා ඒ කාලේ මේ රටේ ඉන්න නැතිව ඇති කියලා හිතුණා ඔයා කතා කරන විදියට....
ඒක ඔයාට විතරක් නෙවෙයි ගොඩක් අයට තියන අසනීපයක්...
ශිහාන්ලා super stars ලා විදියට ජනප්‍රිය වෙනකොට, ඒගොල්ලොත් වේදිකාවල සිංදු කියන කොට ඒගොල්ලන්ට එහෙම කරන්න පුළුවන් රටක් හදන්න, එයාලට ආරක්ෂාව දෙන්න, මේ රටේ තරුණයෝ දස දහස් ගණනක් ජීවිත පූජා කරා....
ඒ කොල්ලො එහෙම ජීවිත පූජා කරද්දි ඔයා ජනප්‍රිය කරවපු නාලිකාව ඒ මිනීමරු ත්‍රස්තවාදී නායකයාට කිව්වේ ප්රභාකරන් මහත්මයා කියලා.... ඒ ම්ලේච්ඡ ත්රස්තවාදීන්ට ත්රස්තවාදීන් ට කිව්වේ සටන්කාමින් කියලා..
තමන් ජනප්‍රිය කරාට ඒ නාලිකාවේ මතවාදය ගෙනියන්න ඔයාට යුතුකමක් ඇති...
සමහර විට ඒක වෙන්න පුළුවන් ඔබ මේ ඉටු කරන්නේ...
නමුත් අපේ දෑස් නම් තෙත් වෙනවා රණවිරු මංසලකට ගිහාම.... අදටත් හදවතට දරාගන්න බෑ ඒ තරුණ ජීවිත දිහා දැක්කම.....
ශිහාන්ලා වේදිකාවල සිංදු කියන අතරේ අර කොල්ලො වන්නියේ මහා වනාන්තරවල හා වැස්සේ දහවල්ද රාත්රියද වෙනසක් නැතුව තෙමි තෙමී මිනීමරු කොටි ත්රස්තවාදීන් එක සටන් කරා. ..
මහ මුහුදින් මරාගෙන මැරෙන කොටි බෝට්ටු එක්ක සටන් කරා...
වන්නියේ කැලෑ අස්සෙ රිංගගෙන ගිහිල්ලා ජීවිතය පරදුවට තියලා කොටින් ගැන ඔත්තු බැලුවා....
කපිතාන් සාලිය අලදෙණිය මේජර් ලලිත් ජයසිංහ කෝප්රල් ගාමිණී කුලරත්න මගේ ඒවයින් නම් තුනක් විතරයි...
නම නොකියවුනු වීර තරුණයන් තව දස දහස් ගණනක් ඉන්නවා..
ඔවුන් තමන්ගේ ජීවිත පූජා කරා. අතපය නැති කරගෙන සදාකාලික අබ්බගාතයන් වුණා. අන්ධයන් වුනා. ඒත් ශිහාන් ඔබ කියන මේ වැඩකට නැති රටේ මිනිස්සුම තමයි.....
ඒ වගේම ඒ සටන අවසාන වෙන්න යනකොට ලෝකයේ බලවත්ම රාජ්‍ය වලින් විවිධ තර්ජන ගර්ජන ආවා..
ඒ සටන නවත්තන්න කියලා..
ඒකට බය වෙලා සටන නවත්වන්න අණ දුන්න නම්,
සටන නැවැත්තුවා නම්, ප්‍රභාකරන්ගෙන් බෝම්බ තියන්නේ නෑ කියලා අවසරය අරගෙන ඇවිල්ල තමයි ඔයාලට සංගීත සන්දර්ශන තියන්න වෙන්නේ..
හැබැයි ඔය වැඩකට නැති රටේ හිටපු නායකයෙක්ට පුළුවන් වුණා බලසම්පන්න රාජ්‍යයන් වල තර්ජනය නොතකා ඒ සටන ඉවර කරන්න...
ඒ පරිත්‍යාගයන් තුළින් තමයි කාට කාටත් ඕන ඕන සෙල්ලම් කරන්න පුළුවන් විදියේ පරිසරයක් උදා වෙලා තියෙන්නේ...
රැල්ලට දේශපාලනඥයන්ට බනින අය කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න තමන්ගේ ජීවිතේ තමන් මේ රට වෙනුවෙන් කරලා තියෙන කැපවීම් මොනවද කියලා....
මයික් එකක් ඉස්සරහට ගිහිල්ලා කට කැඩෙන කතා කියලා මයික් ටයිසන් වීරයෙක් වෙන්න එච්චර අමාරු නෑ ......
නමුත් අපට නම් ඒ වීරයෝ අර වීරයන්ගේ පය පෑගෙන දූවිල්ලක් වත් වටින්නේ නැති බව මතක තියාගන්න .....
වික්ටර් රත්නායකයන් වගේ චරිත වලට අපේ හදවතේ තියෙන ගෞරවය මොන විවේචන මැද්දෙ වත් අඩු වෙන්නෙ නැත්තේ ඒ මිනිස්සු ඒ ඉතිහාසය අමතක නොකරන, අපේ රණවිරුවන් වෙනුවෙන් සිය විශිෂ්ට වෘත්තීය හැකියාවන් නොමිලයේ කැපකරන කෘතවේදී දැවැන්ත චරිතයන් නිසයි....
මේ ඡායාරූපයේ දැක්වෙන්නේ රණවිරු මංසලකදී වික්ටර් රත්නායකයන් රණවිරුවන් වෙනුවෙන් ගැයූ "ඔබ ඔබේ යුතුකම ඉටු කළා" ගීය ඉතා වෙහෙස මහන්සියෙන් පටිගත කළ අවස්ථාවක් ......
මේ වගේ ප්‍රෞඩ දැවැන්ත මිනිසුන් ඉදිරියේ හුලං ගහගෙන පිම්බිච්ච ජෝකර්ලා අඳුර ගන්න පුළුවන් මිනිස්සුත් ඉන්න එක ගැන මම සතුටු වෙනවා...
- ලාල් ද අල්විස්