සංචාරයට කිතුල්ගලට යමු

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    සංචාරයට කිතුල්ගලට යමු

    කිතුල්ගල කිව්වම හැමෝටම සිහියට නැගෙන්නෙ රාෆ්ටින්. දෙස් විදෙස් සංචාරකයන්ගේ ඇල්ම බැල්ම කිතුල්ගල සොරාගන්නෙ ඒ හින්දා. ඒත් රාෆ්ටින් විතරක් නෙමෙයි. කිතුල්ගල අවට බොහෝ දෙනෙක් නොදන්නා අප්‍රකට වැදගත් සොඳුරු සිරි බොහෝ තියෙනවා. නිවාඩු පාඩු වෙලාවක කොළඹට නුදුරින් ඇවිදින්න යන්න එහෙම හිතන් ඉන්නවා නම් මේ ටික දැනගන්න එක ඔබට වැදගත් වෙයි

    z2WuFFJ.jpg


    කිතුල්ගලට දෙස් විදෙස් සංචාරකයෝ වැඩිපුරම ආකර්ෂණය වන්නේ රාෆ්ටින් ක්‍රීඩාව නිසයි. 1990 දශකයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් (Mr.peter Bluck) විසින් රාෆ්ටින් ක්‍රීඩාව සඳහා සුදුසුම ස්ථානයක් බවට කිතුල්ගල ආශ්‍රිත කැලණි ගඟේ මෙම කොටස හඳුන්වා දීමේන් අනතුරුව වේගයෙන් මෙම ත්‍රාසජනක අත්දැකීම සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත් වුණා.

    මෙහි ඇති සුවිශේෂිත්වය නම් ලෝකයේ මෙවැනි ස්වාභාවික පිහිටීම් ඉතා විරල වීමයි. කි.මී. පහමාරක් පමණ පුරා රාෆ්ටින් ක්‍රීඩාවේ නිරත විය හැකි ආකාරයට කැලණි ගගේ මෙම කොටස නිර්මිත වෙනවා. මෙම දුර ප්‍රමාණය තුළ සෑම ගංගා බැස්මකදීම (rapid) ජලය නිසලව ගමන්ගන්නා කොටසකට (flat) ප්‍රවිශ්ට වනවා. මෙය රාෆ්ටින් ක්‍රීඩාව සඳහා සුදුසුම පිහිටීමක්. මෙවැනි බැස්මවල් හතකට වැඩි ප්‍රමාණයක් මෙම කොටස තුළ ආවරණය වෙනවා. විනාඩි 45 ක සිට පැය එක හමාරක් දක්වා කාලයක් තුළ සංචාරකයන්ට මෙම අත්දැකීම විඳගන්න කාලය හිමිවෙනවා.

    රාෆ්ටින් ක්‍රීඩාවේ නිරතවන්නට සුදුසුම කාලය වන්නේ මැයි මාසයේ ඉඳලා දෙසැම්බර් දක්වා. මේ සඳහා පහසුකම් සපයන ආයතන කිතුල්ගල අවට සොයා ගැනීමට ඉතා පහසුයි. ආරක්ෂිතව ත්‍රාසජනක අත්දැකීමක් විදගන්න විශ්වාසවන්ත සේවා ආයතනයක් සොයා ගැනීම කිතුල්ගලට එන සංචාරක ඔබේ වගකීමයි.


    ආදී මානව තොටිල්ල- බෙලිලෙන

    belilena-cave.jpg


    අදින් වසර තිස්දහසකට එපිට අතීතයකට හිමිකම් කියන බෙලිලෙන ප්‍රාග් ඵෙතිහාසික යුගය සම්බන්ධව ප්‍රබල සාක්ෂි සපයන පුරාවිද්‍යාත්මක ස්ථානයක්. මධ්‍ය ශිලා යුගයට අයත් ආදී මානවයන් (බලංගොඩ මානවයා) තිස් දෙනෙකුගේ පමණ අස්ථි කොටස් හමුව ඇති බෙලි ලෙන පරිශ්‍රයේ ඔවුන් භාවිතා කළා යැයි සැලකෙන සරල මෙවලම්, ආයුධ, පබළු වැනි දෑ කැණීම් කටයුතු මගින් මතු කොට ගෙන තියෙනවා. ආදී මානවයන් ආහාරයට ගත් බෙල්ලන්ගේ කටු විශාල වශයෙන් හමුවූ නිසා බෙලි ලෙන යනුවෙන් මෙයට නම හිමිවනවා.

    beli-lena-temple-701x526.jpg


    බෞද්ධ පුදබිමක සලකුණු

    1983 වර්ෂයේ පුරාවිද්‍යාත්මක ස්ථානයක් වශයෙන් සංරක්ෂිත මෙම ලෙන තුළ ප්‍රධාන කුටියක් සහ තවත් කුඩා කුටියක් දක්නට ලැබෙනවා. ආදී මානවයන්ගෙන් පසු කාලීනව කිසියම් රජ සමයක මෙය බෞද්ධ ආගමික ස්ථානයක් ලෙස භාවිතා කරන්ට ඇති බවට වූ සලකුණු තවමත් දක්නට හැකියි. ප්‍රධාන කුටියට ප්‍රවිශ්ට වන විට ඇති වාහල්කඩ දියුණු ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ කිසියම් ඉඟියක් සපයන අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා භාවනායෝගීව වැඩවිසූ ස්ථානයක් ලෙසටද ප්‍රකට වෙනවා.

    බෙලි ලෙන අවට නිහඬ සුන්දරත්වය ඔප් නංවන කුඩා දිය ඇල්ල සොබා දහමේ අපූර්ව නිමැවුමක්. දෙවන ලෙන සිට ඉදිරිපස බැලූ විට පෙනෙන දර්ශනය ඉතිහාසයේ නිහඬ යුගයකට ඔබව ගෙන යනු නිසැකයි


    belilena-3-701x526.jpg


    නිහඬ යුගයේ අසිරිය

    කිතුල්ගල නගරයේ සිට කී.මි 1/2 පමණ හැටන් පාරේ ඉදිරියට යන විට බෙලි ලෙනට පිවිසෙන මහබාගේ මාර්ගය හමුවේ. එම මාර්ගයේ තවත් කී.මී 4 ක් පමණ ඇතුලට ගමන් ගන්නා විට හමුවන ඉංඔය දෙමළ විදුහල අසලින් කී.මී 1/2 පමණ ගිය විට බෙලි ‍‍ලෙනට පිවිසිය හැකිය.


    හොලිවුඩයේ ලාංකීය මතකය – ක්වායි ගඟේ පාලම

    6-701x543.jpg


    කිතුල්ගල ඉදිවූ ක්වායි ගඟේ පාලම (Alamy)

    ප්‍රංශ ජාතික පියරේ බෝල් විසින් රචිත නවකතාවක් ඇසුරින් හොලිවුඩයේ සම්මානනීය අධ්‍යක්ෂ ඩේවිඩ් ලීන් විසින් අධ්‍යක්ෂණය කළ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටය ලෝක සිනමා ඉතිහාසයේ සුවිශේෂි සිනමා සිත්තමක්. 1958 වසරේ ඇකඩමි සම්මාන හතකට හා ඉන් අනතුරුව ජාත්‍යන්තර සම්මාන රැසකට හිමිකම් කියු මෙම චිත්‍රපටයේ දර්ශන පසුබිම වන්නේ කිතුල්ගල කැලණි ගඟ ආශ්‍රිත ප්‍රදේශයයි.

    දෙවන ලෝක යුද්ධ සමයේ දී නැගෙනහිර හා ගිණිකොන ආසියාවේ රටවල් කිහිපයක් ජපන් අධිරාජ්‍ය විසින් යටත්කොටගෙන තිබුණා. මේ රටවල් වල බ්‍රිතාන්‍ය විසින් පාලනය කළ කොලනිද පැවතුනා. මේ දෙපාර්ශවය බොහෝ විට ගැටුම්වල නිරත වූ අතර බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයින් ජපානයේ සිරකරුවන් බවට ද පත්වුණා. මෙම චිත්‍රපටයට අනුව එලෙස ජපානයේ යටත් විජිතයක් වූ තායිලන්තයේ ක්වායි ගඟ ආශ්‍රිතව ජපනුන් විසින් පවත්වාගෙන ගිය සිර කඳවුරක සිටි බ්‍රිතාන්‍ය සිරකරුවන් ලවා පාලමක් හා දුම්රිය මාර්ගයක් නිර්මාණය කර වීමේ කතා පුවතකි.

    කැලණි ගඟ ආශ්‍රය කොටගනිමින් නිර්මාණය කළ මෙම චිත්‍රපටය සඳහා එකල ඇමරිකානු ඩොලර් මිලියන තුනක් පමණ වැය කොට තිබූ අතර පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා එකල කිතුල්ගල ජනතාව ද දෛනික වැටුපට සේවා සපයා ඇත. දැව දඬු කොන්ක්‍රීට් යකඩ ආදිය යොදා නිර්මාණය කළ දැවැන්ත පාලම සිනමා තිරයේ දී පුපුරා යන්නේ විනාඩියකටත් අඩු කාලයකිනි.

    පසුගිය වකවානුවේ මෙම පාලම නැවත ඉදිකිරීම පිළිබඳ සලකා බැලීමක් ද සිදුකෙරිණි. ඉතිරිව ඇති නෂ්ඨාවශේෂ දැකබලා ගැනීම සඳහා අදටත් සංචාරකයෝ ඇදී එති.

    ලෝකෙටම එකයි: මාකන්දාව රක්ෂිතය

    සොබා දහමට ආදරය කරන ඔබට ජෛව විවිධත්වයෙන් අනූන මාකන්දාව වන පෙතට පිවිසිමට හේතු රාශියක් සොබා දහම විසින්ම නිර්මාණය කරලා තියෙනවා. ලෝකෙටම එකයි වර්ගයේ තුරුලතා කිහිපයකට හා වන සතුන් රාශියකට මාකන්දාව රක්ෂිතය නිවහනක්. ලංකාවේ පැරණිතම රක්ෂිත වනාන්තරයක් වන මාකන්දාව පහත රට තෙත් නිවර්තන ද්විතීක වනාන්තර වැස්මක් සහිත කැලණි ගගේ පෝෂක වනාන්තරයක්.


    makandawa-waterfall-701x465.jpg


    මාකන්දාවේ සුනිමල දිය දහරා

    රතුදත්ත පොතට අනුව වඳවී යාමේ අධි අවදානමට ලක්ව ඇති හොර ශාක කුලයේ වර්ගයක් වූ Balanocarpus kitulgallensis නම් ශාකය පිහිටා ඇත්තේ මෙම රක්ෂිතය තුළය. ලෝකයෙන්ම එම වර්ගයේ ශාක කිහිපයක් ඇත්තෙ මෙහි පමණි. ලංකාවට ආවේණික දුර්ලභ උඩවැඩියා වර්ග විශේෂ කිහිපයක් මෙම රක්ෂිතයෙන් හමුවේ. ලංකාවෙන් වාර්තා වන එකම ජලජ උඩවැඩියා විශේෂය ද වාර්තා වන්නේ මාකන්දාවෙන්. මීට අමතරව පිළිල ශාක විශේෂයක් හා ලංකාවට ආවේණික දුර්ලභ කූඩළු වර්ගයක් වන ගල්දෙමට ද මෙහි දී හමුවනවා. එවැනි සුවිශේෂි ශාක තවත් බොහෝමයක් මාකන්දාවට අයිති වෙනවා.

    ගල්දෙමට

    එමෙන්ම ඉහළ කඳුකරයේ හැර ලංකාවට ආවේණික සියළුම පක්ෂි විශේෂ ද මාකන්දාවේ දී මුණගැසේ. ලෝකයේ කුරුළු නිරීක්ෂකයන්ගේ අප්‍රසිද්ධ නවාතැනක් වන්නේ ද මාකන්දාවයි. මේ අතර ලංකාවට ආවේණික හිස සුදු මයිනා, බට ඇටි කුකුළා, හිස අළු දෙමලිච්චා, ලෙග්ගේ පිළල සූටික්කා හා නේවාසික පක්ෂියෙකු වන දුම්කවුළුවා සුවිශේෂී වනවා. 2004 වසරේ දී හඳුන්වා දුන් පඬුවන් බස්සා මුල්වරට නිරීක්ෂණය කර තිබුණේ ද මාකන්දාවෙන්.

    17-701x526.jpg


    පඬුවන් බස්සා

    ලෝකයෙන්ම වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති අසෝක පෙතියා ඇතුළු පුල්ලි අහිරාවා, ලේ තිත්තයා, හල්මල් දණ්ඩියා, ගල් වැලි ගොව්වා ආදී මත්ස්‍ය විශේෂ ද මාකන්දාවේ දිය පහර ආශ්‍රිතව දැකගන්න පුළුවන්.

    මෙහි ජීවත්වන උභය ජීවින් අතර කොටගමගේ කුරු ගෙම්බා, දික්හොඹු ගස් මැඩියා ලංකාවට ආවේණික ඉතා දුර්ලභ ජීවිහු වනවා. එමෙන්ම ආවේණික උරග විශේෂයක් වන මූකලන් තෙලිස්සා ද මෙහි දී දැක ගත හැකියි.

    මකුළු ඇල්ල, ලෙනතිරි ඇල්ල ආදී නොකිලිටි ජල දහරා, උඩු වියන් බැදි තුරු පත් මාකන්දාවට පිවිසෙන ඔබව සාදරයෙන් පිළිගනීවී. කිතුල්ගල තානායම අද්දරින් මාකන්දාව රක්ෂිතයට පිවිසුම් ලැබිය හැකිය.

    ඉතින් ඔබට පුළුවන් සූදානම් වෙලා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කිතුල්ගල අවට මේ චමත්කාරයන් නරඹන්න එන්න. ‍එකම දවසක මේ සියල්ල ඔබට නරඹන්නට පුළුවන් වෙන එකක් නැහැ. මොකද සමහර ස්ථාන වල ප්‍රවේශ මාර්ග දුෂ්කරයි. ඒවායේ සංචරණයට දිගු වේලාවන් ගත වෙනවා. කොහොම වුණත් මේ සොබා දහමේ පාරාදීසයන් කිලිටි නොකර ආපසු යෑම ඔබේ යුතුකමක්.
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    please be kind enough to mention the source address

    if you're the original author ignore this post
     

    Similar threads