සංස්කෘත කියන්නේ හින්දූන්ගේ භාෂාවක්ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,427
    100,380
    113
    සංස්කෘත කියන්නේ හින්දූන්ගේ භාෂාවක්ද?

    මේ අදහස අද වෙන කොට ලෝකයේ සියලුම සංස්කෘත උගතුන් විසින් අතහැර දැමූ අදහසක්. ඒත් කණගාටුවට මෙන් අදටත් ඉන්දියාව, ලංකාව වගේ, සංස්කෘතභාෂාව සාම්ප්‍රදායික විදිහට හදාරන රටවල කීප දෙනෙකු ඉන්නවා මේ මතය දරන. විශේෂයෙන්ම ඉන්දියාවේ බෞද්ධයන් හිතනවා, පාලි කියන්නේ බෞද්ධයන්ගේ භාෂාවය සංස්කෘත කියන්නේ හින්දූන්ගේ භාෂාවය කියල. ලංකාවෙත් එහෙම හිතන අය ඉන්නවා. මේ නිසා, සංස්කෘතභාෂාව පිටුපස තියෙන බෞද්ධ උරුමය ගැන මේ සටහනින් ලියන්න කල්පනා කළා.

    1. සංස්කෘත භාෂාව එම නමින් හැඳින්වීම සිදු වුණේ මෙහෙමයි.

    ඍග්වේදය ඇතුළු වේදග්‍රන්ථ ලියා ඇති භාෂාව අද වන විට ඇතැම් අය “සංස්කෘත” නමින් හඳුන්වනවා. තවත් සමහරුන්, එම වේදග්‍රන්ථවල ඇති භාෂාව පසුකලෙක ලියැවුණු මහාකාව්‍යය ආදියේ එන භාෂාවට වඩා වෙනස් නිසා වේදවල පෙනෙන භාෂාව “වෛදිකභාෂාව” නැතිනම් “වෛදික සංස්කෘත” ලෙස හඳුන්වා මහාකාව්‍යය ආදී අනෙකුත් ග්‍රන්ථවල එන භාෂාව “සම්භාව්‍ය සංස්කෘත” ලෙස හැඳින්වීම කරනවා. පළමුවෙන්ම කියන්න ඕනේ මේ සියල්ල මෑත කාලයක හදා ගත් නම් තැබීම් මිසක අතීතයේ මේ නම් එකක්වත් භාවිත නොවූ බව.

    පූර්ව 4 වන සියවසේ ජීවත් වූ පාණිනි ඍෂිතුමා සිය අෂ්ටාධ්‍යායී කියන ප්‍රශස්ත සංස්කෘත ව්‍යාකරණග්‍රන්ථය ලියන විට වේදග්‍රන්ථවල දැක්වෙන භාෂාව හැඳින්වූයේ “ඡන්දස” නමින්. ඉන් බාහිරව ව්‍යාවහාර වන සංස්කෘත භාෂාව හැඳින්වූයේ “භාෂා” කියන නමින්. ඔබ තේරුම් ගත්තු විදිහ හරි. මුලදි “භාෂා” කියා කීවේ සංස්කෘත භාෂාවට පමණයි. පසුව එය සියලු භාෂාවලට භාවිත වන පොදු නමක් බවට පත් වුණා.

    අප අද දකින සංස්කෘත භාෂාවට, “සංස්කෘත” කියන නම යොදා භාවිත කළ අවස්ථාවක් අපට මුලින්ම හමු වන්නේ මහාභාරතයේදී. “මහාභාරත” කියන කෘතියේ කාලනිර්ණය අසීරු නිසා මේ භාවිතය ඇත්තටම ආවේ කොයි කාලෙද කියන්න බැහැ.

    හරියටම කියන්න පුළුවන් දේ නම් පූ. 4 සියවසේ පාණිනි ව්‍යාකරණය ලියන විට මේ වචනයේ භාවිතය ගැන දැන ගෙන ඉඳල නැහැ. කොටින්ම කියනවා නම් “සංස්කෘත” කියන වචනය හැදෙන්නේ කොහොමද කියන කාරණයට නිරුක්ති සපයන්න පාණිනිගේ අෂ්ටාධ්‍යායියට බැහැ. ඒක කරන්නේ පාණිනි ඍෂිතුමාගෙන් පසුව එන, පාණිනි ව්‍යාකරණයේ බොහෝ අඩු ලුහුඩුකම් සෑදූ කාත්‍යායන පඬිතුමා විසිනි. ඒ පූර්ව තුන්වන සියවසේ.

    මේ කරුණුවලින් ඔබට තේරෙනවා ඇති පූ. 4 වන සියවස වන විටවත් “සංස්කෘත” කියන පදය යොදා එම නමින් හඳුන්වපු භාෂාවක් භාවිතයේ නොතිබුණු බව. ඒ නිසා, බ්‍රාහ්මණ භික්ෂූන් වහන්සේ දෙනමක් බුදුන්වහන්සේගෙන් අහන විට බුද්ධ වචනය “ඡන්දසට” පෙරළන්න අවසර දෙන්න කියා, ඒ “ඡන්දස” කීවේ වෛදිකභාෂාවට මිස සංස්කෘත භාෂාවට නෙවේ. එනමුත් අටුවා ලියූ බුද්ධඝෝස හිමියන් මෙතැනදී “සංස්කෘත” භාෂාව කියා මෙය හඳුන්වන්න හේතුවක් තිබුණා. ඒ තමයි අටුවා ලියන යුගය වන විට (5 සියවස) මේ භාෂාව “සංස්කෘත” නමින් හඳුනා ගන්න මුළුමනින්ම පෙළඹී තිබීම සහ වෛදිකයේ සහ ඉන් බාහිරව භාවිත වන භාෂාව, භාෂා දෙකක් ලෙස හඳුනා ගැනීමට මුල් කාලයේ බොහෝ දෙනෙකු අසමත් වීම.

    මේ අනුව ඔබට තේරෙන්න ඕනේ පසුකලෙක බෞද්ධ කෘති සංස්කෘතයෙන් ලියන්න ගත් තීරණය විනය කඩ කිරීමක් නොවන බව.

    2. මීට එහා ගිය බෞද්ධ උරුමයක් පවා සංස්කෘත භාෂාවට තියෙනවා. ඒ මෙහෙමයි.

    සංස්කෘත භාෂාවට අයත් උත්තුංග ව්‍යාකරණය ලෙස සලකන්නේ පාණිනි ව්‍යාකරණය. එය පාණිනි ඍෂි විසින් පූ. 4 සියවසේ බිහි කළ එකක්. එහි අඩුපාඩු වසා පසුව එය සංස්කරණය කළේ කාත්‍යායන පඬිතුමා (පූ. 3 සියවස). එයිනුත් අනතුරුව එය තවදුරටත් සංස්කරණය කළේ, පතඤ්ජලී කියන මුනිතුමා (පූ. 2 සියවස). මේ විදිහට පාණිනි, කාත්‍යායන, පතඤ්ජලී කියන තුන් මුනිවරයන් විසින් සකස් කළ ව්‍යාකරණය තමයි, අද වන විට සම්භාව්‍ය සංස්කෘත ව්‍යාකරණය, ත්‍රිමුනි ව්‍යාකරණය නැතිනම් පාණිනි සම්ප්‍රදාය සැලකෙන්නේ.

    මෙම ත්‍රිමුනි ව්‍යාකරණය භාවිත වුණේ බ්‍රාහ්මණ (එවක “හින්දු” යන්න නොතිබුණු නිසා බ්‍රාහ්මණ කියා යොදන්නම්) ආගමික ග්‍රන්ථ රචනා කරන්න පමණයි.

    හැබැයි බෞද්ධ භික්ෂූන්වහන්සේ මේ ත්‍රිමුනි ව්‍යාකරණය සැලකුවේ නැහැ. බෞද්ධයන් පමණක් නොවේ, මං හිතන්නේ නැහැ මුල් කාලයේ සිටි කිසිම උගතෙකු මේ ත්‍රිමුනි ව්‍යාකරණය සැලකුවා කියා. මෙම ත්‍රිමුනි ව්‍යාකරණය, පිරිසිදු සංස්කෘත ව්‍යාකරණය ලෙස භාවිතයට ගන්න පටන් ගත්තේ ආසන්න වශයෙන් පතඤ්ජලී මිය ගොස් වසර 150-200ක් ගියාට පස්සේ. ව්‍ය.ව. පළමු, දෙවන සියවස්වල තමා අපට මේ ත්‍රිමුනි ව්‍යාකරණයට ගැළපෙන පරිදි ලියවුණු සංස්කෘත පොත් ලැබෙන්නේ.

    ඒත් බෞද්ධයන් සංස්කෘතයෙන් පොත් ලියන්න ගත්තේ පූ. 3 සියවස තරම් පැරණි කාලයක සිට. මේ නිසා, බෞද්ධ කෘතිවල ත්‍රිමුනි ව්‍යාකරණය තිබුණේ නැහැ.

    එඩ්ගර්ටන් පඬිතුමා හිතුවේ, බෞද්ධයන් පාලි ආදි ප්‍රාකෘත භාෂාවනුත් සංස්කෘත භාෂාවත් මිශ්‍ර කර අලුතින් භාෂාවක් හදා ගත් බවයි. ඒ නිසා එතුමා එය Buddhist Hybrid Sanskrit යන නමින් හැඳින්වූවා. ඒත් මේ මතය දැන් පිළිගන්නේ නැහැ. අලුත්ම අදහස තියෙන්නේ මේ බෞද්ධයන් භාවිත කළ භාෂාව අර කියන ත්‍රිමුනි ව්‍යාකරණයට අදාළ නැති වෙනත්ම භාෂා වර්ගයක් යන්නයි. ඒ නිසා, ඒ භාෂාව බ්‍රාහ්මණයන්ගේ සංස්කෘත නෙවේ.

    ඒත් කාලයාගේ ඇවෑමෙන් මේ වෙනස්කම් ටික ටික අඩුවෙන්න පටන් ගත්තා. ත්‍රිමුනි ව්‍යාකරණය ජනප්‍රිය වන විට, එහි ලක්ෂණ බෞද්ධග්‍රන්ථවලටත් බෞද්ධ පොත් සුලබ සහ ජනප්‍රිය වෙන කොට ඒවායේ ලක්ෂණ බ්‍රාහ්මණ සම්ප්‍රදායයටත් උකහා ගත්තා.

    කෙසේ වෙතත් චාන්ද්‍රගෝමීන් කියන බෞද්ධ පඬිතුමා තේරුම් ගත්තා ත්‍රිමුනි ව්‍යාකරණයෙන් බෞද්ධයන් ලියන සංස්කෘතභාෂාව විග්‍රහ කර ගන්න අසීරු බව. විශේෂයෙන්ම බෞද්ධයන්ගේ අනාත්ම දර්ශනය මෙම ත්‍රිමුනි ව්‍යාකරණයෙන් පෙන්වන්න අමාරුයි. ඒ නිසා ඔහු කල්පනා කළා අනාත්මවාදී බෞද්ධ දර්ශනයට ගැළපෙන අලුත් සංස්කෘත ව්‍යාකරණයක් හදන්න.

    පාණිනි ව්‍යාකරණය ජනප්‍රිය වීමට පෙර සංස්කෘත භාෂාවට “ඓන්ද්‍ර” යන නමින් වෙනත් ව්‍යාකරණ සම්ප්‍රදායක් තිබුණු බවට විශ්වාස කරනවා. සමාන්‍ය පිළිගැනීම තියෙන්නේ පාණිනි පවා සිය ව්‍යාකරණයේ භාවිත කරන “ශිවසූත්‍ර” ද ඒ අනුව හැදූ “ඉත්” සංකල්පයද මෙම ඓන්ද්‍ර ව්‍යාකරණයෙන් ගත් බවයි. චාන්ද්‍ර පඬිතුමා කරන්නේ මෙම ඉපැරණි ඓන්ද්‍ර ව්‍යාකරණය සංස්කරණය කරමින් බෞද්ධයන්ට ගැළපෙන බෞද්ධ සංස්කෘත ව්‍යාකරණයක් හැදීම. මේ බෞද්ධ ව්‍යාකරණයට කියන්නේ චාන්ද්‍ර සම්ප්‍රදායය කියලා.

    කාශ්මීරයේ පහළ වුණු වාමන සහ ජයාදිත්‍ය කියන්නේ තවත් බෞද්ධ පඬිවරුන් දෙදෙනෙක්. මේ දෙදෙනා කරන්නේ අර ත්‍රිමුනි ව්‍යාකරණයත්, මේ චාන්ද්‍ර ව්‍යාකරණයත් එකතු කර පාණිනි ව්‍යාකරණයට අලුතින් විවරණයක් ලියනවා. “කාශිකා” නැතිනම් බාරාණසී ව්‍යාඛ්‍යාව කියන්නේ මේ කෘතිය.

    ඉතිං අද ලෝකයේ සම්භාවිත සංස්කෘත ව්‍යාකරණය ලෙස භාවිත වෙන්නේ (ඇත්තටම පාණිනි සම්ප්‍රදාය කියා භාවිත වෙන්නේත්) මෙම බ්‍රහ්මණ සහ බෞද්ධ යන දෙපැත්තේම අදහස් මිශ්‍ර කර හදපු, වාමන සහ ජයාදිත්‍ය කියන බෞද්ධ පඬිවරුන් අතින් ඔබ දැමුණු සංස්කෘත භාෂාවක්.

    3. බෞද්ධයන්ගෙන් මකා දැමූ උරුමයක් ද සංස්කෘත භාෂාවට ඇත.

    අශ්වඝෝෂ හිමියන් “බුද්ධචරිත මහාකාව්‍යය” ආදි බෞද්ධ සාහිත්‍ය කෘති ලියන විට බෞද්ධ සංස්කෘතය සහ ත්‍රිමුනි සංස්කෘතය සෑහෙන දුරට එකට යා වෙලා ඉවරයි. හැබැයි, අශ්වඝෝෂයන් පවා ලියන්නේ මේ ත්‍රිමුනි (පාණිනි) සම්ප්‍රදායයට අනුව නෙවේ. එතැනින් එහාට ගොස් නාගාර්ජුන, වසුබන්ධු, ධර්මකීර්ති වගේ දැවැන්ත බෞද්ධ දාර්ශනික භික්ෂූන්වහන්සේද ලීවේ බ්‍රාහ්මණයන්ගේ සංස්කෘත භාෂාවෙන් නොවේ.

    ඒ වුණත් ඉන්දියාවේ බෞද්ධ පොත් පත් සංස්කරණය කළ, 18 – 20 සියවස් අතර සිටි බොහෝ උගතුන් සංස්කෘතභාෂාව ලෙස සැලකුවේ පාණිනි ව්‍යාකරණය. ඉතිං යම් බෞද්ධ කෘතියකට අයත් පිටපතක සංස්කෘතභාෂාව ලියා ඇති ආකාරය මේ පාණිනි ව්‍යාකරණයට වඩා වෙනස් නම් ඔවුන් හිතුවේ ඒක පිටපත්කරුවන් අතින් පිටපත් කිරීමේ දී සිදු වූ වරදක් විදිහට. එහෙම හිතල අර පොත් සේරම සංස්කරණය කළා පාණිනි සංස්කෘතයට ගැළපෙන පරිදි. මේ සංස්කරණ නිසා වුණේ බෞද්ධයන්ගේ සංස්කෘත භාවිතය යට ගියා.

    පිටපත් කරුවනුත් විශාල වශයෙන් බෞද්ධ උරුමය වසා දැම්මා. ඒ මෙහෙමයි. යම් සංස්කෘත කෘතියක් කෙළින්ම බුදුදහමට අදාළ නම්, නාගාර්ජුන වැනි ප්‍රසිද්ධ බෞද්ධ ලේඛකයෙකු ලියපු කෘතියක් නම් එය බෞද්ධයන්ගේ කෘතියක් බව තහවුරු කර ගන්න අසීරු නැහැ. ඒ නිසා ඒවා ඒ අනන්‍යතාව සමග ආරක්ෂා කරගත්තා.

    ඒත් බෞද්ධයන් බුදුදදහම නොවන, ජ්‍යොතිශය, වෛද්‍යවිද්‍යාව, ගොවිතැන, වඩුකර්මාන්තය, ගණිතය, රසායන විද්‍යාව වගේ නොයෙකුත් විෂයයන්ට අයත් කෘති ලිව්වා. මේ කෘතිවල ඍජු ආගමික සම්බන්ධයක් නැති නිසා, මේවා ලියපු ලේඛකයන් බෞද්ධද නැද්ද යන්න හඳුනා ගන්න අමාරුයි. එය කරන්න පුළුවන් එකම ක්‍රමය, ආරම්භයේ ඇති නමස්කාර ශ්ලෝකය බුදුන්වහන්සේට, බෝධිසත්ත්වයෙකුට ලියා ඇත්නම් පමණයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,380
    113
    බොහෝ විට සිදු වූයේ, මේ පොත් පිටපත් කරන පිටපත්කරුවා බෞද්ධයෙකු නොවේ නම්, ඔහු මෙම ආරම්භක ශ්ලෝකය මකා දමා ඔහු විශ්වාස කරන ශිව, විෂ්ණු ආදි දෙවිකෙනෙකුට අදාළ වන විදිහට මේ ශ්ලෝකය වෙනස් කළා. එහෙම කළේ ඇත්තටම බෞද්ධ උරුමය මකා දමනවා වගේ ජාතිවාදී අරමුණකින්ම නෙවේ. බුදුදහම ඉන්දියාවෙන් අතුරුදහන් කළාට පසුව මෙවැනි ක්ෂේත්‍රවල කටයුතු කළේ බොහෝ විට බෞද්ධ නොවන බ්‍රාහ්මණ පඬිවරුන්. ඔවුන් මෙම කෘති තමුන්ගේ ශිෂ්‍යයන්ට උගන්වන කොට බුදුහාමුදුරුවන්ට, බෝසත්වරුන්ට නමස්කාර කර පොත කියවන්න කියල කියන්න කැමති වුණේ නැහැ. ඒ නිසා මේ ආරම්භක ශ්ලෝකය වෙනස් කිරීම ඔවුන්ට තම සම්ප්‍රදාය රැක ගන්න ගමන් විෂයයත් රැක ගැනීමට උදවු වුණා. අවසානයේදී වුණේ බෞද්ධ ලේඛකයන් දහස් ගණනක් භාරතීය දැනුම් පද්ධතිය පෝෂණය කරන්න ලියූ පොත් බෞද්ධයන් කළ ඒවා බව සනාථ කර ගන්න බැරි වීම.


    සමහර වක්‍ර සාධක මත අඳුනා ගන්න පුළුවන් වුණ කෘතිත් තියෙනවා. උදා. “ගෝමීන්” කියන්නේ “බෞද්ධ උපාසකයා” කියන තේරුම. බොහෝ විට මෙම උපාධි නාමය ලැබුණේ කලක් පැවිදිව සිට පසුව උපවැදි වුණු උගත් පඬිවරුන්ට. චාන්ද්‍රගෝමීන්, කරණකගෝමීන්, ගරුඩගෝමීන් (ගුරුළුගෝමි) කියන්නේ මෙබඳු බෞද්ධ උගතුන්. භාමහ කියන පඬිතුමාගේ පියාත් මෙලෙස ගෝමීන් කෙනෙක්. මේ නිසා “කාව්‍යාලංකාර” ලියූ භාමහ බෞද්ධයෙකු වීම අවස්ථාව වැඩියි.


    සුප්‍රකට වෛද්‍යග්‍රන්ථයක් වන “අෂ්ටාංගහෘදය” ලියූ වාග්භට කියන්නේත් මෙබඳු බෞද්ධයෙක්. ඔහු තම ආරම්භක ශ්ලෝකය “භෛෂජ්‍යගුරු” නම් තැනැත්තාට වන්දනා කිරීමක් ලෙසයි ලියන්නනේ. හින්දූන් බොහෝ කලක් සිතා සිටියේ මේ කියන්නේ වේදයේ ඉගැන්වෙන අශ්විනී සහෝදරයන් හෝ, වෙනත් පැරණි බ්‍රාහ්මණ ඍෂිවරයෙකු කියායි. එ් නිසා ඒ අය මේ ශ්ලෝකය වෙනස් කළේ නැහැ. ඒත් අද වන විට අප දන්නවා “භෛෂ්‍යජ්‍යගුරු” යන නාමය අවිවාදයෙන් යොදන්නේ බුදුන්වහන්සේට බව. ඒ භෛෂජ්‍යගුරු නමින් වෙනම මහායාන සූත්‍රයක් තිබීමත්, භෛෂජ්‍යගුරු මන්ත්‍රය ලෙස ආයුර්වේද වෛද්‍යවරුන් භාවිත කරන මන්ත්‍රය බෞද්ධ මන්ත්‍රයක් වීම නිසා.


    4. ලංකාවේ බෞද්ධයන්ට නැති වුණු උරුමය ගැනත් කියා නතර වෙන්නම්.


    චාන්ද්‍රගෝමීන් පඬිතුමා බෞද්ධයන්ගේ සංස්කෘතභාෂාවට ගැළපෙන පරිදි ව්‍යාකරණයක් හැදුවාම බෞද්ධ ලෝකය භාවිත කළේ මෙම බෞද්ධ සංස්කෘත ව්‍යාකරණය. (ඇත්තටම, බෞද්ධයන්ව අනුකරණය කරමින්, ජෛනයන් ජෛන සංස්කෘතයක් හදා ගත්තා. අනෙකුත් ආජීවික වගේ සම්ප්‍රදායන් ද ක්‍රෛෂ්ණව වගේ ප්‍රදේශීය ආගමික කණ්ඩායම් ද කාලයාගේ අවෑමෙන් තමුන්ගේ ආගමික සහ දාර්ශනික සිද්ධාන්තවලට ගැළපෙන පරිදි සංස්කෘත ව්‍යාකරණය කපා කොටා එකක් හදා ගත්තා. හැමෝම කළේ බ්‍රාහ්මණයන්ගේ සංස්කෘත වෙනුවට dehegemonized සංස්කෘත භාෂාවක් භාවිත කිරීම.)


    ලංකාවේ අපත් අනුරාධපුර, පොලොන්නරු යුගයේ සිටම කෝට්ටේ යුගය දක්වාම භාවිත කළේ මේ චාන්ද්‍ර සම්ප්‍රදායය. මොකද ඒක බෞද්ධ සංස්කෘත ව්‍යාකරණය නිසා. ඒත් මේ රටේ ශාස්ත්‍රීය අධ්‍යාපනය සම්පූර්ණයෙන් බිඳ වැටී මහනුවර යුගයේ නැවත ඉස්මතු කර ගන්නා විට කිසිවෙකු දැන ගෙන හිටියේ නැහැ අපේ රටේ අනාදිමත් කාලයක සිට චාන්ද්‍ර සම්ප්‍රදායය භාවිත කළ බව. මේ නිසා, නූතන අධ්‍යාපන ප්‍රබෝධයේදී විද්‍යාලංකාර, විද්‍යෝදය කියන පිරිවෙන් දෙකම ඉස්මතු කළේ පාණිනි සම්ප්‍රදායය. ඒක එක අතකින් ගැටලුවක් නැහැ කරුණු දෙකක් නිසා. (1) පාණිනි සම්ප්‍රදායයත් අවසාන වෙන්නේ බෞද්ධ ආභාසයද එකතු කරගෙන නිසා, එතැන බෞද්ධ-බ්‍රාහ්මණ දෙකටම අයත් චින්තනය තියෙනවා. (2) පාණිනි සම්ප්‍රදාය තමයි ඉන්දියාවෙන් ලෝකයට ගෙන ගිය සංස්කෘත සම්ප්‍රදායය. මේ නිසා, ලෝකයේ කොහේ සංස්කෘත ගැන කතා කළත් පාණිනි දන්න කෙනෙකුට ඔළුව බේර ගන්න පුළුවන්.


    හැබැයි අවාසනාවක මහත, පාණිනි සම්ප්‍රදායය උගන්වන එක අමාරුයි, ඊට ලේසියි ආජිවික සම්ප්‍රදායය කියල අපේ ඇතැම් භික්ෂූන්වහන්සේ කීපදෙනෙකු දශක කීපයකට පෙර ගත් තීරණයක් නිසා ලංකාවේ සමස්ත භික්ෂු අධ්‍යාපනයේ අද උගන්වන්නේ ආජීවික සංස්කෘත. මේ නිසා, මේ නූතන ලංකාවේ සංස්කෘත ඉගෙන ගන්න අතිබහුතරයක් අපේ රටේ මුතුන් මිත්තන් පවත්වාගෙන ආ බෞද්ධ සංස්කෘත - චාන්ද්‍ර - උරුමයවත් ලෝකයේ සුප්‍රකට පාණිනි සම්ප්‍රදායයවත් දන්නේ නැහැ.


    From

    බර්ට්‍රම් ජී. ලියනගේ