සජින් ද වාස්‌ ගුවන් යානා 5ක්‌ මිලට අරන්!

monson

Well-known member
  • May 7, 2007
    25,652
    28,684
    113
    සජින් ද වාස්‌ ගුවන් යානා 5ක්‌ මිලට අරන්!

    ඇමෙරිකානු ඩොලර් කෝටි ගණනක්‌ ගෙවා
    සජින් ද වාස්‌ ගුවන් යානා 5ක්‌ මිලට අරන්!
    එම ගුවන් යානා මේ වන විට ඇමෙරිකාවේ

    * අල්ලස්‌ දූෂණ කොමිසමට පැමිණිල්ලක්‌
    * ගුවන් යානා පදවන පුහුණු පාසලක්‌ පැවත්වීමට කියා...
    එක්‌ ශිෂ්‍යයකුගෙන් මසකට රුපියල් ලක්‍ෂ 13ක්‌ අය කරලා
    නමුත් පුහුණුවීමක්‌ හෝ සහතිකයක්‌ ලබා දී නැහැ

    අජිත් අලහකෝන්

    පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස්‌ ගුණවර්ධන මහතා ඇමරිකානු ඩොලර් කෝටි ගණනක්‌ ගෙවා ගුවන් යානා පහක්‌ මිලට ගෙන ඇතැයි පවසමින් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (16 දා) අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.

    ගුවන් යානා පුහුණු පාසලක්‌ පවත්වාගෙන යන බව පවසමින් සජින් ද වාස්‌ ගුණවර්ධන මහතා මෙම ගුවන් යානා ඇමරිකාවේ ටෙක්‌සාස්‌ ප්‍රාන්තයෙන් මිලට ගෙන ඇතැයි ද වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

    මෙම ගුවන් යානා නතර කිරීම සඳහා 2011 වසරේ සිට රත්මලාන ගුවන් තොටුපළේ ගුවන් යානා අංගනය රුපියල් 415000 ක මාසික කුලියකට භාවිත කරන නමුත් වසර හතරක්‌ තිස්‌සේ එම කුලී මුදල ගෙවා නැතැයි ද වසන්ත සමරසිංහ මහතා කීවේය.

    සජින් වාස්‌ ගුණවර්ධන මහතා විසින් ගුවන් යානා පුහුණුව ලබාදීමට යෑයි පවසමින් ගුවන් යානා පැදවීම පුහුණු කිරීමේ සමාගමක්‌ පවත්වාගෙන යන බව ද ඒ සඳහා බඳවාගෙන ඇති සිසුන් 120 දෙනකුගෙන් එක්‌ අයකු සඳහා මසකට රුපියල් ලක්‍ෂ 13 ක්‌ බැගින් අයකර ඇතැයි ද කීය. එහෙත් මෙම සිසුන්ට පුහුණුවීමක්‌ හෝ සහතික පත්‍රයක්‌ හෝ ලබා දී නැතැයි කී වසන්ත සමරසිංහ මහතා තම නිලය හා බලය අයථා ලෙස යොදවමින් සිසුන් සමඟ ඇතිකර ගත් ගිවිසුම් කඩකර අයථා ලෙස මුදල් ඉපයීම් කර ඇතැයි ද කීවේය.

    දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙසද, මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද, හිටපු ජනාධිපතිවරයාගේ වෙළෙඳ හා විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ සජින් ද වාස්‌ ගුණවර්ධන මහතා වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ද වසන්ත සමරසිංහ මහතා අල්ලස්‌ කොමිසමට දැනුම් දී ඇත.

    ඒ මහතා මෙවන් විශාල වත්කම් ප්‍රමාණයක්‌ උපයා ගැනීමට කටයුතු කළේ කෙසේද යන්න ඉතාමත් සැකසහිත බව ද පාර්ලිමේන්තුවට තේරී පත්වීමට පෙර මෙතරම් වත්කම් අත්කර ගැනීමේ හැකියාවක්‌ ඇති පුද්ගලයකු ලෙස සජින් වාස්‌ ගුණවර්ධන මහතා නොසිටි බව ද අල්ලස්‌ කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

    මෙම සියලු වත්කම් ඔහු විසින් උපයාගෙන ඇත්තේ පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමෙන් පසුව බව ද සිය පැමිණිල්ලේ සඳහන් කරන වසන්ත සමරසිංහ මහතා ඔහු මෙම වත්කම් උපයාගත් ආකාරය පිළිබඳ විමර්ශනයක්‌ පවත්වා නීතිය හමුවේ දඬුවම් කරන ලෙස ද ඉල්ලා සිටී.

    මෙම ගුවන් යානා මේ වන විට ඇමරිකාවේ ටෙක්‌ස්‌සාහි නතර කර ඇතැයි ද වසන්ත සමරසිංහ මහතා කීවේය.


    - http://www.divaina.com/2015/01/17/news01.html

    Links:
    http://cosmosaviation.com/cosmosaviationnew/index.php/helicopters
    http://cosmosaviation.com/cosmosaviationnew/index.php/cargo


    වසන්ත සමරසිංහ
    අංක 464/20, පැලවත්ත, බත්තරමුල්ල.
    පැමිණිලිකරු
    එදිරිව

    සජින් ද වාස් ගුණවර්ධන
    59/6, ග්‍රෙගරි මාවත, කොළඹ 07
    විත්තිකරු

    වර්ෂ 2015 ක් වූ ජනවාරි මස 16 දින දීය.

    01. ඉහත සඳහන් පැමිණිලිකරු වන වසන්ත සමරසිංහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් උතුරු මැද පළාත් සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු වන අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු ද වේ.

    02. ඉහත සඳහන් විත්තිකරු ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර මෙම පැමිණිල්ලට අදාල චෝදනා පිළිබඳව එකී විත්තිකරු වගකිවයුතු වන බව පැමිණිලිකරු කියා සිටී.

    03. පැමිණිලිකරු කියා සිටින්නේ ඉහත සඳහන් විත්තිකරු දකුණු පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස ද මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස ද හිටපු ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතාගේ වෙළඳ හා විදේශ කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයා (Co-ordinating Secretary) වශයෙන් ද කටයුතු කළ බවයි.

    04. ඉහත පරිදි දේශපාලන වගකීම් කිහිපයක් දරමින් සිටියදීම ඔහු ව්‍යාපාරිකයෙකු වශයෙන් ද කටයුතු කළ බවත්, එකී ව්‍යාපාරයන් වලදී තම නිල බලය අයුතු ලෙස භාවිතා කරමින් අක්‍රමිකතා රැසක් සිදු කර ඇති බවත්, අයථා ලෙස විශාල වත්කම් ප්‍රමාණයක් උපයා ඇති බවටත් පැමිණිලිකරු කියා සිටී.

    05. මිහින් ලංකා ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරි (CEO) ලෙස කටයුතු කරන කාලයේදීම ඉහත සඳහන් විත්තිකරු විසින් Cosmos Aviation Services (Pvt) Ltd නමින් ශ්‍රී ලංකාව තුල සමාගමක් ආරම්භ කර ඇති අතර එකී සමාගම ශ්‍රී ලංකාව තුල ගුවන්යානා පැදවීම පුහුණු කිරීම මූලික අරමුණ ලෙස දක්වා ඇත.

    06. මෙම Cosmos Aviation Services (Pvt) Ltd සමාගම විසින් ගුවන්යානා හා/හෝ හෙලිකොප්ටර් යානා ගණනාවක් මිලදී ගෙන ඇති අතර මෙම මිලදී ගැනීම් සඳහා ඉහත විත්තිකරු මුදල් උපයාගත් ආකාරයත්, මෙතරම් දේපල අත්පත් කර ගැනීම සඳහා වත්කම් උපයාගත් ආකාරයත් විත්තිකරු විසින් නිසි පරිදි හෙළිදරව් කර නැති බවද පැමිණිලිකරු ප්‍රකාශ කර සිටී.

    07. ඉහත කී Cosmos Aviation Services (Pvt) Ltd විසින් 1979 Cessna Model : 152 II දරණ යානය එසේ මිලදී ගැනීම සඳහා එලැඹි ගිවිසුමක් X1 ලෙස අමුනා ඉදිරිපත් කර සිටී. ඒ ගනුදෙනුවේදී අදාල යානය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 46900.00 ක් ගෙවීමට Cosmos සමාගම එකඟ වී ඇත.

    08. එමෙන්ම 2014 වර්ෂයේදීම තවත් යානයක් Cosmos සමාගම විසින් මිලදී ගෙන ඇති අතර එයට අදාල ලිපි කිහිපයක් X2 (I) හා X2 (2) ලෙස අමුනා ඉදිරිපත් කර සිටී. එහිදී මිලදී ගෙන ඇත්තේ Cessna 172 RG දරණ පාවිච්චි කරන ලද ගුවන් යානයයි.

    09. එමෙන්ම Robinson R-44 වර්ගයේ ගුවන්යානයක් විකිණීම Cosmos සමාගම විසින් සිදුකර ඇති අතර ඊට අදාල ගනුදෙනුව සිදුවූ බවට සාක‍ෂියක් X3 ලෙසට අමුණා ඉදිරිපත් කර සිටී.

    10. පසුගිය කාලය තුල මෙම Cosmos සමාගම විසින් පහත පරිදි ගුවන්යානා මිලදී ගෙන ඇති බවට තවදුරටත් පැමිණිලිකරු කියා සිටී.
    වර්ගය සහ මිල
    4R TDA Cessna 152 USD 38000
    4R AVG Cessna 172 USD 60000
    4R SAV RA 34.200 T USD 80000
    4R SAK Robinson 66 USD 1,000,000
    4R RVG Cessna 152 USD 46900

    11. මෙවන් විශාල වත්කම් ප්‍රමානයක් උපයා ගැනීමට කටයුතු කළේ කෙසේද යන්න ඉතාමත් සැකසහිත බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමට පෙර මෙතරම් වත්කම් අත්පත් කර ගැනීමේ හැකියාවක් ඇති පුද්ගලයෙකු ලෙස ඉහත විත්තිකරු නොසිටි බවත්, මෙම සියලූ වත්කම් උපයා ගැනීම විත්තිකරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමෙන් අනතුරුව සිදුකර ඇති බවත් පැමිණිලිකරු කියා සිටී.

    12. ඒ අනුව මෙම වත්කම් උපයා ගෙන ඇත්තේ තම නිලය හා දේශපාලන බලය උපයෝගි කොටගෙන අයථා හා දූෂිත ආකාරයෙන් බවද පැමිණිලිකරු ප්‍රකාශ කොට සිටී.

    13. එමෙන්ම ඉහත සඳහන් විත්තිකරු විසින් ගුවන්යානා පුහුණුව ලබාදීමට යැයි පවසමින් සිසුන් සමග ගිවිසුම් වලට එළැඹ ඇති අතර තම නිලය හා බලය අයථා ලෙස යොදවමින් ගිවිසුම් කඩකරමින් අයථා ලෙස මුදල් ඉපයීමද ඉහත විත්තිකරු සිදුකර ඇති බව පැමිණිලිකරු කියා සිටී.

    14. එකී වංචනික හා දූෂිත ක්‍රියාව සිදුකර ඇත්තේද මෙම Cosmos Aviation නම් ඉහත සඳහන් කළ සමාගම උපයෝගි කරමින් බවද පැමිණිලිකරු කියා සිටී.

    15. 2013 වර්ෂයේ එසේ මෙම Cosmos Aviation සමාගම ඩබ්.එම්.ඒ.ඊ. වර්ණසූරිය යන අය සමග එලෙස ගිවිසුමකට එලැඹ ඇති අතර ඒ පිළිබඳ ගිවිසුම X4 ලෙස ඉදිරිපත් කොට සිටී.

    එකී ගිවිසුම ප්‍රකාරව එකී වර්ණසූරිය මහතා විසින් රු. මිලියන 1.325 ක මුදලක් Cosmos Aviation සමාගමට ගෙවා ඇති අතර නමුත් එකඟ වූ පරිදි නියමිත කාලයට ගුවන්යානා පුහුණුව ලබානොදී මුදල් ආපසු නොගෙවා තම නිලය හා දේශපාලන බලය උපයෝගි කර ගනිමින් විත්තිකරු කටයුතු කරන බව පැමිණිලිකරු කියා සිටී.
    Cosmos Aviation සමාගමට වර්ණසූරිය මහතා විසින් මුදල් ගෙවා ඇති බවට සනාථ කිරීමට ලේඛන කිහිපයක් X5, X6, X7, X8 ලෙස ඉදිරිපත් කොට සිටී.

    16. එමෙන්ම Cosmos Aviation සමාගම හරහා කරන ලද එකී මුදල් වංචාව පිළිබඳව වර්ණසූරිය මහතා විසින් හිටපු ජනාධිපතිවරයාට, හිටපු ආරක‍ෂක ලේකම්වරයාට හා වාසුදේව නානායක්කාර හිටපු ඇමතිවරයාට යොමු කරන ලද ලිපි කිහිපයක පිටපත් X9, X10, X11 ලෙස ඉදිරිපත් කොට සිටී.

    එම පැමිණිලි සඳහා ද නිසි ප්‍රතිචාරයක් ලැබී නැති බව පැමිණිලිකරු කියා සිටී. ඒ අනුව පැමිණිලිකරු අයැද සිටින්නේ,

    (අ) ඉහත චෝදනා සම්බන්ධව විමර්ශනය කොට ඉහත විත්තිකරු දැනටමත් ප්‍රකාශ කොට ඇති වත්කම් හා බැරකම් ඉක්මවා යමින් වත්කම් උපයා තිබේද යන්න පරීක‍ෂා කරන ලෙසත්,

    (ආ) මෙම විත්තිකරුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ වලට අදාල වත්කම් තහවුරු කරවා ගැනීමට අදාලව මෙම කොමිෂන් සභාවට පසුව ලේඛන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත්,

    (ඇ) විත්තිකරු වරදක් කර ඇත්නම් අපරාධ නීතියේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉහත විත්තිකරුට එරෙහිව නීතිය ක්‍රියාවේ යොදවන ලෙසත්ය.

    වසන්ත සමරසිංහ
    පැමිණිලිකරු
     
    Last edited: