සත්‍යය නම් දියේ එබූ රබර් බෝලයක් මෙනි...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    පෙර එක්තරා කලක
    විසූ එක් ගැහැනියක්
    ඉරිසියා කුහකකම්
    පෙරදැරිව දිවි ගෙවූ
    පැල කළා සැකයේ මුල් බීජ
    සිත් සතන් තුළ
    අහිංසක දිවි ගෙවූ
    කුමරෙක්ට වෛර බැඳ...

    කුමරු දවසක්
    යක්ෂයෙක් වුනා මං දැක්කා
    මිනිස් වෙස් ගෙන ඉන්න
    අමනුස්සයෙක් තමා
    ලේ පෙරන් මස් කෑවා
    මගේ ඇස් දෙක පල්ලා
    අප සැම ද මරනු ඇත
    තවත් කල් නොයවා ම...

    දිවුරලා කී නිසා
    ඈ වෛරයෙන් පිරී
    ඇතැම් දෙන විශ්වාස කළා
    ඒ මහ බොරුව
    කුමරු ගැන හොඳින් දැන
    සිටි නිසා බොහෝ දෙන
    බැහැර කර දැමුවේ ය
    මුසා බස් ලෙසින් ගෙන...

    කඩපිලේ හැම තැනම
    කතා බස් වූ නිසා
    කටින් කට පැතිරිලා
    මහ ගොඩක් දුර ගියා
    නමුදු ඒ කුමරුවා
    නොදැන මේ කිසි දෙයක්
    පෙර ලෙසම ගත කළා
    කිසිවෙක්ට නොම වරද...

    ගැහැනියගේ තරම ගැන
    දන්න ඇතැමෙක් දෙනා
    කීවේය මේ ලෙසින්
    සැමට අවවාදයෙන්
    එක් අයෙක් කී නිසා
    මෙවන් වූ කතාවක්
    කිසිවක් ම නොකරන්න
    සත්‍ය හරි හැටි නොදැන...

    තව දිනක උදාවකි
    මහ හඬකි නිවසකින්
    මගේ දරු පැටියා නැත
    අතුරුදන් වී ඇතේ
    ගමේ අය රැස්වුනා
    ඒ දරුවා සෙවීමට
    සියල්ලොම සොයනවා
    බෙදී ගොස් හැම අතම...

    ප්‍රථමයෙන් එය දුටුවේ
    බොරුව පැතිරූ ඇයයි
    හමුවෙලා තිබුනේ ය
    ලේ විලක් කැලයකින්
    මේ කිමෙක් දෝ සිතා
    සැවොම එක්රොක් වුනා
    මහ හඬින් හඬනවා
    දරුවාගේ මව්පියන්...

    මම දුටිමි කුමාරයා
    නික්මෙනවා ඔය දෙසින්
    මහ රාත්‍රිය මැද්දේ
    මේ මගේ ඇස් පල්ලා
    පැවසුවා බොරු ගෙතූ
    ගැහැනි එලෙසින් සැමට
    කෝපයෙන් ගිනි ගත්හ
    එතන වුන් සැම දෙන ම...

    මම හිටියේ මේ මෙතන
    මම දැක්කා ගස් අතර
    කවුරුන්ද සෙලවෙනවා
    මිනිස් රූපයක් බඳු
    හෙමින් මම ළං වෙලා
    තව ටිකක් බැලූ කල
    දුටුවේ ඒ කුමරු බව
    කලබලෙන් සිටි බෝම...

    මේක හරියන්නේ නෑ
    ඒ යක්ෂයෙක් තමා
    අල්ලගමු අද ඔහුව
    ගම ම කීවා හඬින්
    කුමරු ගොස් සිටියේ ය
    ශිල්ප ඉගෙනුම පිණිස
    ඒ වෙතට ඇදුනේ ය
    ඒ සැවොම කෝපයෙන්...

    වට කළා මහ පිරිස
    අල්ල ගැනුමට ඔහුව
    පාඨශාලාව තුළ
    ගුරුතුමන් සමඟ සිටි
    ඒ සමඟ මහ හඬින්
    අහස ගිගිරුමට විය
    ඇද හැලුනි මහ වැස්ස
    සැමට බිය දනවමින්...

    මීට පෙර මේ කතා
    දැන සිටිය ගුරුතුමන්
    නොතබන්න කුමරු හට
    කිසිවෙකුත් අතක්වත්
    ගුරුතුමගේ ඒ ගාම්භීර හඬ
    ඇසු සැවොම
    පෙරට තැබු පය විගස
    ආපසට ගත්තේ ය...

    ආ පිරිස අමතලා
    විමසීය ගුරුතුමන්
    සියල්ල ම පවසන්න
    සිදු වුනේ කුමක්දැයි
    බුද්ධිමත් ලෙසින්
    කල්පනා කළ ඒ තුමන්
    තම මිතුරු වෙද තුමා
    කැඳවන්න පැවසීය...

    කැලෑ බඳ පෙදෙස වෙත
    සැවොම යළි රැස්වුනා
    වෙද තුමා ලේ බිඳිති
    පරීක්ෂා කර බලා
    පැවසීය මේ මිනිස්
    ලේ නොවේ මිනිසුනේ
    මේ වෙනත් සතකුගේ
    රුධිරයයි තිබෙන්නේ...

    ඒ සමඟ දිව ආයේ
    යම් අයෙක් ඒ තැනට
    නගර ආරක්ෂකයෝ
    දරුවාව හොයාගෙන
    ඒ දරුවා සොරාගෙන
    කාට හෝ විකුණලා
    ඒ කවුද සොයාගෙන
    සැවොම මෙහි එනවා දැන්...

    මේ සියල්ල ම කළේ
    ගැහැණියයි බොරු ගෙතූ
    දරු පැටියා සොරාගෙන
    හංඟලා තබාලා
    මස් වැද්දෙකුගෙන්
    මළ සතකුගේ ලේ රැගෙන
    ඒවාය දමා තිබුනේ
    කැලෑවේ මැද්දේ...

    මේ සියලු කාරණා
    හොඳින් වටහාගත්ත
    වැඩිහිටියෝ සැමට කීවා
    මෙලෙස අවසානේ
    ප්‍රවේශම් වන්න ඔබ
    මිනිස්සුන්ගෙන් මෙහෙම
    ඔබට වුව දිනක දී
    හදනු ඇත කතා බොරු...

    එතැන් සිට බොරු ගෙතූ
    ගැහැනියගේ කතාවක්
    කිසිවෙකුත් ගණනකට
    ගත්තේ නෑ කිසි දිනක
    ටික දිනක් ඉක්ම ගිය
    කලදි ඈ උමතුවෙන්
    ගම පුරා ඇවිදිමින්
    සැමට බැණ අඬගසයි...

    නුඹ තමයි යක්ෂයා
    මම දැක්කා සියල්ලම
    ඇස් දෙකෙන් දැකපු දේ
    තමයි මං කියන්නේ
    තවත් ටික කාලෙකට
    පසුව ඇගේ ඇස් දෙක ද
    නොපෙනි ගොස් තිබුනේ ය
    බොරු කියූ පාපයට...

    සත්‍යය නම් දියේ එබූ
    රබර් බෝලයක් මෙනි
    කිසිවෙක්ට හැකි නොවේ
    බොරුවෙන් ම ජයගන්න
    කර්ම කරනා කලට
    ගණනකට නැති වුනත්
    විපාකය එන්නේ ය
    පසුපස ම හැමදාම...

    ස. මභීර ර.
    2206271602
    'ස. මභීර ර.' පළකිරීම : 2206271622

    #smabheerar
    #spn
     
    • Love
    Reactions: Solo Rider