සත්‍යවාදියෙකුගේ දිනපොත

randext86

Well-known member
  • Feb 24, 2009
    1,656
    1,940
    113
    Here and there
    සුනිල් මාධව ප්‍රේමතිලක ඊයේ මැරිලා. මැරුණා කියල ආරංචි උනාම මම කෙරුවේ ගොඩක් කාලෙකට කලින් කියවපු සුනිල්ගේ සත්‍යවාදියෙකුගේ දිනපොත කියන පොත ආයෙත් කියවන එක. මේ පොත ලියල තියෙන්නේ සුනිල් මාධව ප්‍රේමතිලක විසින් විවිධ පත්තරවලට ලියු “සත්‍යවාදියෙකුගේ දිනපොත” නමැති කොලමේ ලිපි එකතුකරලයි.

    සුනිල් කියන විප්ලවකාරී සහ එඩිතර “පත්තරකාරයා” ඉඳල තියෙන්නේ මම දන්න ඉතිහාසෙට කලින්, ඒක හින්ද ඒ ඉතිහාසයේ ඇත්ත නැත්ත ගැන මම දන්නේ නෑ. හැබැයි මම අහල තියෙන, කියවල තියෙන විදිහට සුනිල් කියන්නේ දූෂිතයෝ ළඟ දණින් වැටුණේ නැති රියල් "පත්තරකාරයෙක්" දැන් ඉන්න පාන්කඩයෝ වගේ නෙමෙයි. ලංකාවේ ඉතිහාසයේ තිබ්බ දරුණුම මර්ධනකාරී ආණ්ඩුවක් වෙච්ච ප්‍රේමදාස ගේ කාලේ ආණ්ඩුවට විරුද්ධව බය නැතුව ලියපු පොරක් සුනිල්.

    madhawa-2.jpg


    ආපහු පාරක් පොත කියවද්දී පොඩි දෙයක් හිතුනා. ඒක තමයි History repeats itself කියන ඉංගීසි කියමන. ඒ කියන්නේ අතීතයේ සිදුවීම් නැවත නැවතත් සිදුවෙනවා කියන එක. මේ පොත ලියල තියෙන්නේ 1986 සිට 1993 දක්වා කාලය තුල සිදුවුණු විවිඩ සිදුවීම් (ප්‍රධාන වශයෙන් දේශපාලන සිදුවීම්) ගැනයි. මේ කාලය තුල රට පාලනය කලේ UNP ආණ්ඩුවක්. (ප්‍රධාන වශයෙන්ම ප්‍රේමදාස ගේ යුගය) දැන් රට පාලනය කරන්නේ එදා විපක්ෂේ හිටපු පාර්ශවය (රාජපක්ෂ යුගය). මේ පොතේ තියෙන අතීත සිදුවීම් හා දැන් සිදුවෙන දේවල් බැලුවම පෙන්නේ එකම දෙය විවිධ ස්වරුපවලින් නැවත නැවත සිදුවෙනවා කියන එක. ඒ කියන්නේ මොන පක්ෂය බලයට ආවත් සිද්ධවෙන්නේ එකම දේ. ජනතාව වන අපි දෙකට බෙදිලා විවිධ කාලවලදී ආණ්ඩුවට බනිනවා, එක්කෝ විපක්ෂයට බනිනවා. හැබැයි අපි බනින්නේ කලෙකදී අපි හරියි කියපු දේකට. එහෙම නැත්තං අපි කඩේ යන්නේ කාලෙකදී අපි විරුද්ධව හිටපු දෙයකට.

    මගේ හිතට වැදුණු දිනපොත් සටහන් දෙක තුනක් මම මෙතන පොස්ට් කරනවා. පුලුවන්නම් උඹලත් පොත අරගෙන කියවල බලපල්ලා.
    (ISBN 955-20-2579-6 ප්‍රකාශනය : එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10)

    බලපන් නැවත නැවත සිදුවෙන්නේ එකම දේ නෙමෙයිද කියලා.... අපි පක්ෂ පාට වලට බෙදිලා අපිටම නේද විරුද්ධ වෙනේ කියලා. මේකේ නම් සඳහන් වෙන කීපදෙනා එදා හිටියේ කොතනද? කලේ මොනවද? සහ අද ඉන්නේ කොතනද? කරන්නේ මොනවද? කියලත් බලපල්ලා......
    --------------------------
    1992 මාර්තු 22

    පාද යාත්‍රාව සාර්ථක වීම සතුටක්. මේ ධනපති ආණ්ඩුවට විරුද්ධව මෝඩ සල්ලිකාරයන්, හොරු සහ ස්ත්‍රී දූෂකයන් හැර මුළු මහත් ජනතාවම ඒකරාශී කිරීම කල හැකි දෙයක් බව පැහැදිලිවම පෙනී යනවා.

    දැනට කලයුතු දෙයත් එයයි.

    පාද යාත්‍රාව කඩාකප්පල් කර දැමීමට කලින් ආණ්ඩුවේ අදහසක් තිබුනත් එහි සාර්ථකත්වය දුටු විට බයවෙන්න ඇති. යම් හෙයකින් කඩාකප්පල්කාරී වැඩක් සිදු වුවහොත් එයට එරෙහිව එකාමෙන් නැගී සිටීමද ජනතාව සතු පරම අයිතියක්, යුතුකමක්.
    --------------------------
    1992 අප්‍රේල් 7

    අද රාත්‍රියේ බස් එකේදී මුණ ගැසුණු කුඩා කළු දැරිය බොහෝ කලක් යනතුරු මගේ මතකයේ සිටීවි. පියාගේ ඇකයේ සිටි ඇය හදිසියේම වමනය දැම්මේ මගේ කලිසමට. බත් ඇටයක්වත් නෑ. දියර විතරයි. පියා බැගෑපත් වුනා. ඔවුන් නුවරඑළියේ සිට එන ගමන්. දෙමල පවුලක්. “... කමක් නැහැ, කමක් නැහැ. පොඩි ළමයින්ට වමනේ යනවා තමයි...”

    මම එහෙම කියද්දී පොඩි එකී මා දිහා බැලුවේ මොනතරම් බැගපත් ලෙසද? මම ඇය ඔඩොක්කුවට ගෙන පපුවට තුරුළු කරගත්ත. ලොක්කිගේ සුවඳමයි.
    --------------------------
    1990 ඔක්තෝබර් 12

    විදේශිකයන්ගේ කැසිනෝ සූදුව නවත්වන්න කියලා පෝස්ටර් ගහල. අපේ පිස්සෝ කියන හැටියට නම් ජාති ආලය ඉහවහා ගිය අවස්ථාවක්. මොන ඒකා පෝස්ටර් ගැහුවද කියලා මම දන්නේ නෑ. හැබැයි එකක් තියෙනවා. ස්වදේශික කැසිනෝ කාරයෙක් වෙන්න ඕනා. මට හිතෙන විදිහට ස්වදේශික වුනත් විදේශික වුනත් කැසිනෝ කරයා කැසිනෝ කරයමයි. හොරා හොරාමයි. ස්වදේශික ධනපතියාගේත් විදේශික ධනපතියාගේත් කිසිම වෙනසක් මට නම් නැහැ. විදේශික හතුරාට වැඩ ස්වදේශික හතුරා භයානකයි. මම ගැහුවා නම් පොස්ටරේ ගහන්නේ මෙහමයි.

    “කැසිනෝ සූදුව නවත්තපියව්.”
    --------------------------
    1992 ජනවාරි 20

    අලුත් පත්තරේක වැඩ කරනවා කිව්වම මගේ මිත්‍රයෝ කීප දෙනෙක් හොඳටම බය වෙලා.

    “ආණ්ඩුවට විරුද්ධවද ගහන්න යන්නේ...?” උන් ඇහුවා.

    “මොලේ තියෙන මිනිහෙකුට පුලුවන්ද බං මේ ආණ්ඩුවට පක්ෂ වෙන්න...? මම කිව්වා.

    “උඹට පිස්සු මිනිහෝ... තාම රටේ තත්වය පසුගිය කාලේ වගේමයි...”

    මම ඒ කතාවට පිළිතුරු දුන්නේ නැහැ. ඒත් මාර්ටින් ලූතර් කිං කී කතාවක් මට මතක වුණා.

    “මේ වකවානුව ගැන අපට දුක්වන්නට සිදුවනු ඇත. ඒ, නරක මිනිසුන් කරන නරක වැඩ නිසා නොවේ. හොඳ මිනිසුන් නිහඬව සිටීම නිසාය....”
    --------------------------
    1993 මැයි 08

    අපේ ඩලස් අලහප්පෙරුම සහෝදරයත් මේ ජන්දයට මාතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙනවා. මගේ කැමැත්ත හෝ අකැමත්ත හෝ දැනගැනීම සඳහා ඔහු මේ පිළිබඳව කතාකළ දිනයේ ඇත්තටම පුංචි දුකක් ඇතිවුනා. ඒ දුක ඇතිවුනේ ඕනෑම මොහොතක ජනතාව වෙනුවෙන් වෙඩි උණ්ඩයට පපුව දෙන්න වුවත් සුදානම්ව සිටින පත්තරකරයෙකු අපේ රටට නැතිවේවිද යන සිතිවිල්ල සිතට ඇතුළු වූ නිසයි. ඒත්, දුක හිත යට සඟවාගෙන මම ඔහුට සුබ පැතුවා. ඔහු සබැ මානව හිතවාදියෙක් බව මම තේරුම්ගත්තේ “ලක්මිණ” පුවත්පතේ ඒකට වැඩකරන කාලයේදී. ඔහු ජනතාවට ආදරය කරන පත්තරකාරයෙක්. ඔහු දේශපාලනය කරන්නෙත් ජනතාවට ආදරයෙන් බව මම දන්නවා. දුප්පතුන්ගේ දුක වෙනුවෙන් හඬමින් නොසිට දුප්පත් ජනතාව වෙනුවෙන් සටන්කරන මිනිහෙක් බවත් මම දන්නවා. පොදු ජනතාවගේ විමුක්තිය උදෙසා ඔහු ප්‍රථම පියවර තැබුවේ පුවත්පත් කලාවෙන්. මේ දෙවනි පියවරයි. ඒ උතුම් විමුක්තිය උදෙසා ඔහු තවත් පියවර කීපයක්ම ඉදිරියට තබන බව මට විශ්වාසයි. මනුෂ්‍යත්වයට ආදරය කරන මනුස්සයින් රුහුණු පුරවරයේ සිටින නිසා ඩලස් සහෝදරයාගේ ජයග්‍රහණය මට ස්ථිරයි.

    මගේ ආදරණීය මිත්‍රයා, සහෝදරයා, එතනින් නොනැවතී ඉදිරියටම පලයන්. උඹට මගේ සුබ පැතුම්.
    --------------------------
    1992 ඔක්තෝබර් 25

    සතේ දෙකේ කාසි අසාවටවත් දකින්න නැහැ. සමහරවිට දැන් නැත්තටම නැතිවෙලා ඇති. සතේ, දෙකෙන් මොනවා කරන්නද? මේ ආණ්ඩුවේ ආර්ථික ක්‍රමයත්, ඒ ක්‍රමයේ ගරා වැටීමත් පිලිබඳ සත්‍ය කතාවේ එක් කොටසක් පමණයි. ඒ, අද ඇත්තටම රුපියලෙන් දෙකෙන් මොනවා කරන්නද? මේ ආර්ථික ක්‍රමය දිගටම තිබුණහොත් රුපියලේ සහ රුපියල් දෙකේ කාසි පමණක් නොවෙයි දහයේ නොට්ටුත් නැතිවේවි.

    බොලිවියාවේ වගේ සතියකට බඩු ගන්න මුදල් නෝට්ටු කරත්තයක් ගෙන යන්නට වෙන යුගය වැඩි ඈතක නොවෙයි.
    --------------------------
    1992 නොවැම්බර් 08

    කටුනායක සාමකාමී උද්ගෝෂණයක් කඩා කප්පල් කිරීම ගැන විරෝධය පලකරන්න මේ රටේ සාමාන්‍ය ජනතාව එක්විය යුතුයි. වැඩකරන ජනතාව තැනින් තැන, හුදෙකලා වී කරන උද්ගෝෂණ ව්‍යාපාර පමණක් නොව, සියලුම අරගලද කඩාකප්පල් කර දැමීම ඒකාධිපති ආණ්ඩුවකට ඉතාම පහසු දෙයක් බව ජනතාව තවමත් තේරුම් නොගැනීම ඛේදවාචකයක්. ධනපති ආණ්ඩුවක සූරාකෑමට එරෙහිව නැගී සිටින්නට නම් මුළු මහත් වැඩකරන ජනතාවම ඒකරාශී වියයුතුයි. කම්හල් තුල හමුදාව හෝ පොලිසිය හෝ දමා තිබෙන්නේද සේවක සේවිකාවන් ආරක්ෂා කරන්නට නොව කොම්පැනි කාරයන් ආරක්ෂා කර සේවකයන් තලා පෙලන්නටයි.

    අපේ ජනතාව අද අතරමං වෙලා එහෙම නැතනම් විරුද්ධ පක්ෂ විසින් ඔවුන් අතරමං කරලා.
    --------------------------
    1990 අගෝස්තු 10

    අවන්හලට ගියවිට පතිරණ මහත්මයත් එකක කවුදෝ තරුණයෙක ලොකු කතාවක්.

    අල්ලපු මේසයේ සිටි තරමක් මහලු මිනිසෙකු සහ මැදිවියේ මිනිසෙක්ද එම කතාවට සවන් දීගෙන සිටින බව අප දැක්කා. තරුණය හමුදා භටයෙක් බව අප දැනගත්තේ අපිත් ඒ මේසයේම වාඩිවුනාට පසුවයි. යුද්ධය ගැනත් ජාතිය ගැනත් ඔහු කතා කලේ මහත් අභිමානයෙන්. ඇත්තටම ඔහු කතා කලේ හදවතින්. කමිසයේ බොත්තම් ගැලවූ ඔහු මූනිස්සම් පෙන්නුවා. සිංහල ජාතිය ගැනත්, මේ රට ගැනත් ඔහු තුල ඉමහත් කැක්කුමක් තිබෙන බව ඉතාම පැහැදිලිය.

    “කෑලි ගියත් අපි දිනනවා මහත්තය.....”

    ඔහු මේසයට ගසමින් කිව්වා. මගේ මිතුරා කතාකලේ ඊට පසුවයි.

    “සහෝදරයා ඉතාම අවංකව කතාකළ බව තේරුම ගිය නිසයි මම මේ කතා කරන්නේ. එක දෙයක් කියන්න ඕනා. ලෝකේ කවදාවත් යුද්ධයකින් සොල්දාදුවෙක් දිනලා නෑ. දිනන්නේ යුද්ධ කරපල්ලා කියලා අණදෙන පාලකයෝ විතරයි. බඩුමිල අඩුකරපල්ලා කියලා අපි පෙළපාලි ගියොත් අපිට වෙඩි තියන්නේත් ඔය සහෝදරයමයි. එහෙම නොකලොත් ඔයාට වඩා ඉහළින් ඉන්න එකා ඔයාට වෙඩි තියනවා.

    අසල මේසයේ සිටි මහලු මිනිසා අපේ මේසය අසලට නැගිට අවුත් නැමී අත්පුඩි ගහන්න පටන්ගත්ත. කරෙක්ට්... කරෙක්ට්.... හමුදා භටය එහෙම කිව්වා.
     
    • Like
    Reactions: B.Chat and kinkon