සම්දිටු සහ මිසදිටු සමඟින්

hpalpola

Well-known member

  • ආමගන්ධ සූත්‍රය (මස්, මාංශ ආහාරයට ගැනීමෙන් සිත අපිරිසිඳු වේ ද යන්න පිළිබඳව සාකච්ඡා වන සූත්‍රයකි.)

    බුදුරජාණන්වහන්සේ පහළ වීමට පෙර ආමගන්ධ නම් බ්‍රාහ්මණයා හිමාලයේ අනුගාමිකයන් 500 ක් සමඟ තව්ස්දම් පිරීම සඳහා යොමු ව සිටියේ ය. ඔවුන් මස් හෝ මාංශ ආහාරයට ගත්තේ නැත. සෑම වසරකදී ම ඔවුන් අසල ගම්මානයට පැමිණෙන්නේ ලුණු සහ විනාකිරි රැගෙන යාමට ය. මෙසේ පැමිණි විට ගම්මානයේ වැසියෝ ඔවුන්ට හැකි උපරිමයෙන් සම්මාන සත්කාර කරති. ඒ ඔවුන්ගේ තව්ස් ජීවිතය ගැන සැලකිල්ලට ගනිමිනි.

    මෙසේ තිබියදී දිනක් බුදුරජාණන්වහන්සේ ශ්‍රාවක සංඝයාවහන්සේලා සමඟ මේ ගම්මානයට වැඩම කළ සේක. උන්වහන්සේගේ දේශනා ඇසූ ගම්වැසියන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත්විනි. මේ වසරේ දී පසුව ගම්මානයට පැමිණි ආමගන්ධ සහ ඔහුගේ අනුගාමිකයන්ට පෙර මෙන් ගම්වැසියන්ගෙන් සත්කාර නොලැබීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමේ දී බුදුරජාණන්වහන්සේගේ ආගමනය ඔහුට දැන ගැනීමට ලැබිණ. ආමගන්ධ බුදුරජාණන්වහන්සේගේ පහලවීම ඇසූ විට සතුටට පත්විය. ඔහුට ආමගන්ධ ගැන උන්වහන්සේගේ අදහස, එනම් බුදුරජාණන්වහන්සේ ආමගන්ධ වළඳන්නේ ද යන්න පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය විය. ආමගන්ධ බ්‍රාහ්මණයා, ආමගන්ධ ලෙසින් හැඳින්වූයේ මස් සහ මාංශ යි. විමසීමේ දී බුදුරජාණන්වහන්සේ මස්, මාංශ භාවිතය තහනම් නොකර ඇති බව දැන ගැනීමට ලැබීම නිසා ආමගන්ධ තුළ බුදුරජාණන්වහන්සේ සම්බන්ධයෙන් ඇති වූයේ අප්‍රසන්නතාවයකි. නමුත් ඔහුට ඒ පිළිබඳව බුදුරජාණන්වහන්සේගෙන් ම ඇසීමට වුවමනා විය. එනිසා ජේතවනාරාමයට පැමිණි ආමගන්ධ, බුදුරජාණන්වහන්සේ හමු වී මේ පිළිබඳව විමසන ලදි. ආමගන්ධ යනු මස්, මාංශ නොවන බවත් අකුසල් ක්‍රියා බවත් ආමගන්ධට පැහැදිලි කර දුන් බුදුරජාණන්වහන්සේ ආමගන්ධයෙන් වැලකීමට යමකු අදහස් කරන්නේ නම් සෑම අකුසල් ක්‍රියාවකින් ම වැළකිය යුතු බව පෙන්වා දුන්හ. ආමගන්ධ විසින් බුදුරජාණන්වහන්සේගෙන් අසනු ලැබූ ප්‍රශ්නය ම පෙර සිටි කාශ්‍යප බුදුරජාණන්වහන්සේගෙන් තිස්ස නම් ප්‍රවුජ්‍යා විසින් අසන්නට යෙදුනි. පසුව තිස්ස කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයා විය. මේ පිළිබඳව ද සඳහන් කරමින් බුදුරජාණන්වහන්සේ ආමගන්ධට ආමගන්ධ සූත්‍රය දේශනා කරන ලදි. සූත්‍රය අවසානයේ දී බුදුරජාණන්වහන්සේ ගැන පැහැදුණු බ්‍රාහ්මණයාත් ඔහුගේ පිරිසත් බුද්ධ ශාසනයට ඇතුල් වී දින කීපයකින්ම අරහතුන් බවට පත්විනි.

    අටුවාචාරී බුද්ධඝෝෂ දක්වන්නේ ආමගන්ධ බ්‍රාහ්මණයා සමඟ බුදුරජාණන්වහන්සේ අතර ඇති වූ සංවාදය, කාශ්‍යප බුදුරජාණන්වහන්සේත් තිස්ස ප්‍රවෘජ්‍යා අතර ඇති වූ සංවාදය නැවත සඳහන් කිරීමක් වන බවයි. සූත්‍රය කියවන විටදී ඒ නාම එනම් කාශ්‍යප සහ තිස්ස යන නම් දක්නට ලැබේ. ඒ අනුව බැලීමේ දී මේ සූත්‍රය විශේෂ සූත්‍රයකි. මන්දයත් පෙර බුදුවරුන්ගේ දේශනා අනුකූල කරගන්නා අවස්ථාවක් වන නිසාවෙනි. වත්මන් බුදුරජාණන්වහන්සේගේ අදහස ද පෙර සිටි බුදුවරුන්ගේ අදහස හා සමාන බව එයින් පෙනී යයි. එයින්ම ප්‍රාඥාවන්තයින් කල්ප කාලයක් පුරා අගයන්නේ එක සමාන අදහස් බව පෙන්නුම් කරයි.

    සුත්ත නිපාතයේ දැක්වෙන ආමගන්ධ සූත්‍රයේ පෙල පහතින් දැක් වේ.

    දැහැමින් ලත් බොඩහමුය, කර හමුය, චීනමුංය, නිල් පළාය, අල මුල්ය, රුක් ලිය පලතුරුය යන මෙ දෑ වළඳන, කම්සුව නො පතන ශාන්ත පුරුෂයෝ මුසවා නො බණන්නාහ.
    කාශ්‍යපයන් වහන්ස, (කපා සෝදා ගැනීම් විසින්) මොනොවට පිළියෙළ කරන ලද, (පිසුම් සුවඳ කුළුබඩු බැහීම් විසින්) මනාසේ නිමවන ලද, මෙරමා විසින් දෙන ලද පිවිතුරු වූ යම් පිණි සුවඳ හැල් බොජුනක් වලඳනා හේ ආමගන්ධය වළඳන්නේය.

    බ්‍රාහ්මණ ගුණ නැතිව (බ්‍රාහ්මණජාතිමාත්‍ර‍වූ) බ්‍ර‍හ්මබන්ධුයෙනි, මොනොවට පිළියෙළ කරන ලද, ලිහිණි මස් හා සුවඳහැල් බත් වලඳනුවෝ මැ (තොපි) “මට ආමගන්ධය නො සරුප් වේය” මෙසේ කියව, කාශ්‍යපයෙනි, තෙල අරුත් තොප පුළුවුස්මි, තොපගේ ආමගන්ධය කවර ප්‍ර‍කාර ඇත්තේ ද?

    ප්‍රාණඝාත ය, (දඬු මුගුරු ආදියෙන්) හිංසා කිරීම ය, හස්තපාදාදිච්ඡෙද ය, (යදම් හැකිලි ආදියෙන්) බැඳුම ය, අයිනාදන් ය, මුසවා ය, ප්‍ර‍තිඥාඝාත ය, වඤ්චනා ය, නිරර්ථක ශ්‍ර‍න්ථ පිරිවැහුම්ය, පරඹුන් සෙවුම් ය යන තෙල ආමගන්ධ වෙයි. මාංස භෝජන (ආමගන්ධ) නො වේ.

    මෙලො වැ කාමයන් හි අසංයත වූ රසයන්හි ගිජු වූ (මිථ්‍යාජීවිකා සංඛ්‍යාත) අපවිත්‍ර‍භාවයෙන් මුසු වූ, දශවස්තුක නාස්තිකදෘෂ්ටිගත්තාවූ (සන්දිට්ඨිපරමාසිතාදී හේතුයෙන්) කරුණු ගැන්විය නොහෙන, (දුර්විඥාප්‍ය) යම් ජන කෙනෙක් වෙත් නම්, තෙල ආමගන්ධ වෙයි. මාංසභොජන (ආමගන්ධ) නො වේ.

    යම් කෙනෙක් (ආත්මක්ලමථානුයෝගයෙන්) රූක්ෂ වූවාහු දරුණු (කැකුළු) වූවාහු, පිටුමස් කන්නාහු, මිත්‍රද්‍රෝහී වූවාහු, කුළුණුගුණ නැතියාහු, අතිමාන ඇත්තාහු, පරා අයත් ධන පැහැර ගන්නාහු, කවරකුහටවත් කිසි වතකුත් නො දෙත් නම්, තෙල ආමගන්ධ වෙයි. මාංසභොජන (ආමගන්ධ) නො වේ.

    ක්‍රෝධය ද‍, මදය ද, (චිත්තයාගේ තදබව වූ) ථම්භය ද (ධර්මව්‍යාය කෙට විරුද්ධව) නැගී සිටුම ද, (තමා කළ පව් සැඟවීම ලක්ෂණ කොට ඇති) මායාව ද, (පරලාභ සත්කාරාදියෙහි) ඊර්ෂ්‍යාව ද, (ආත්මොත්කර්‍ෂණ සංඛ්‍යාත) ඵප්සුනුඛස ද මානාති මානය ද, අසත්පුරුෂ ආශ්‍ර‍ය ද යන මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.

    යම් කෙනෙක් පව් සැහැවි ඇත්තාහු ද, ගත් ණය නසනසුලු වෙත් ද. (නය්‍යායාධිකරණයෙහි දී අල්ලස් ගැනීම් ආදී) කූට ව්‍යවහාර ඇත්තාහු ද, ඉහාත්මයෙහි ම දැහැමි පිළිරූ ඇත්තාහු (දුශ්ශීල) වෙත් ද, මෙලොව් හි යම් අධම නර කෙනෙකුන් අපරාධ කෙරෙත් ද, මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.

    මෙලොව්හි, යම් ජන කෙනෙක් ප්‍රාණීන් කෙරෙහි සංයම නැත්තාහු මෙරමාගේ වස්තු පැහැර ගෙන (ඔවුන්ට) වෙහෙස කිරීමෙහි උත්සුක වූවාහු, දුශ්ශීල වූවාහු, කුරුරිකම් ඇත්තාහු, පරොස් බස් බණන්නාහු, ආදර රහිත වූවාහු වෙත් ද මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.

    මේ ප්‍රාණීන් කෙරෙහි (ලොභයෙන්) ගිජු වූවාහු (ද්වේෂයෙන්) විරුද්ධ වූවාහු, (මෝහයෙන්) අතිපාත කරන්නාහු, (අකුසල් කිරීමෙහි) නිතර උත්සුක වූවාහු යම් සත්ත්‍ව කෙනෙක් (මෙයින් සැව) පරලොව ගොස් ලොකාන්තරිකාන්‍ධකාර, (නීච කුලාදී ) අඳුරට යෙත් ද, යටිහුරු හිස් ඇත්තාහු නිරයෙහි හෙත් ද, මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.

    මසු මස් නොවැළඳීම ද, නග්නතාව ද, හිස මුඩුකිරීම් හා දලමඬුලු දැරීම ද, දූවිලි දැලි ඇඟ තවරාගැනීම ද, රළු ගෝණසම් දැරීම ද, යම්බදු ගිනි දෙවියා පිදීම ද, ලෝකයෙහි යම්බඳු නොයෙක් අමරතප වේ ද, වෙද මන්ත්‍ර‍හෝ හොම කර්ම ද අශ්වමෙධාදි යඥයන් හා ඍතුපසේවනය ද තරණ කළ සැක නැති මිනිසා පිරිසිදු නො කෙරෙත්.
    ධෘතිමත් සයිඳුරන්හි ගෝපනයෙන් (ඉන්ද්‍රිය සංවර ශීලයෙන්) යුක්ත වූයේ (ඥාත පරිඥාවෙන්) දැනගත් ඉඳුරන් ඇත්තේ හැසිරෙන්නේය.

    (ආර්‍ය්‍යමාර්‍ගයෙන් දතයුතු වූ) සිවුසස් දහම්හි පිහිටියේ (සෙද ගැමි නැණින්) ඉදු මුදු බව්හි රැඳීයේ (අනගැමි මගින්) රාග, ද්වේෂ සඞ්ගයන් ඉක්මවූයේ (රහත් මගින්) පැහූ සව් දුක් ඇත්තේ දෘෂ්ටශ්‍රැත ධර්මයන්හි නො ලැගෙයි.

    මෙසේ භාග්‍යවතුන්වහන්සේ මේ අර්ථය පුනපුනා වදාළ සේක, වෙද මන්ත්‍ර‍යන්හි පරතෙර පත් ඒ (තිෂ්‍ය) බ්‍රාහ්මණ, එය දැනගත්තේය.

    ආමගනධ (සංඛ්‍යාත ක්ලේශ) යන්ගෙන් මිදුනු, තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍ර‍යන් නැති (බාහිර දෘෂ්ටි වශයෙන් කිසිවෙකු විසිනුදු) නොපැමිණවිය හැකි මුනිරජ විසිතුරු වූ ගයින් මෙය පැවසීය.
    බුදුරජුන් ගේ සියලු දුක් දුරලන නිකෙලෙස් වූ සුභාෂිත (ධර්ම) පදය අසා නැමුණු සිතැත්තේ තථාගතයන් වහන්සේගේ (සිරිපා) වැන්දේය. ඒ අස්නෙහිදී ම පැවිද්ද සැලකෙළේය.


    Image may contain: food

     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ස්වාමින් වහන්සේලා මේ සූත්‍ර වලින් දහම් දෙසන කොට අපේ කට්ටිය කියනවා "ඒ හාමුදුරුවො දානෙට මස් ඉල්ලනවා" කියලා. හැබැයි එහෙම කියන ඒ කට්ටිය මේ සූත්‍රයේ විදිහට ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව අකුසල් දුරු කරන්න උත්සහ ගන්නෙත් නෑ.
    අපිත් ඉතින් ඒ කට්ටිය එක්ක තර්ක කරන්න යන්න ඕනෙ නෑ.

    කෙනෙකුට vegetarian වෙන්න ඕනෙ නම් එහෙම හිටියට කමක් නෑ. හැබැයි "මස් කෑමෙන් පව් සිදු වේ" කියන එක වැරදි දෘෂ්ඨියක් බව තේරුම් ගන්න ඕනෙ. (දෙව්දත් තෙරුන් සහ ඇතැම් ව්‍රත සමාදන් වූ අය නම් ඒ දෘෂ්ඨිය දැරුවා.)

    ඒ වගේම යම් මාංශ දානයක් වළඳන විට "මේ සත්වයාව මා වෙනුවෙන් මැරුවා" යැයි සැකයක් තියෙනවා නම් ඒ මාංශය වැළඳීම අකැප බවත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරලා තියෙනවා.

    vegetarian නම්, මස් ඇලජික් නම්, අප්පිරියයි නම්, කැමති නැත්තං, ලෙඩ රෝග වලට හේතු වෙයි කියලා හිතෙනවා නම් කන්න එපා. අනිත් අයව මස් කන්න පොළඹවන්නත් එපා.
    හැබැයි තමන්ගේ දෘෂ්ඨිය නිවැරදි කරගන්න ඕනෙ.
     
    Last edited:

    hpalpola

    Well-known member
  • නිවන වළකන නැකැත

    ඛුද්දක නිකායේ ජාතක පාලියේ ඒකක නිපාතයේ දැක්වෙන 49 වන නක්ඛත්ත ජාතකයේ මෙසේ දැක්වෙයි.

    “නැකැත් බලන්නාවූ අඥානයාගේ අර්ථය තෙමේ ඉක්මයේ. අර්ථයට තමා කැමති අර්ථය ලැබීමම නැකත නමි. තාරකා රූපයෝ කිනම් අර්ථයක් සිද්ධකෙරෙත්ද?”

    මේ පිළිබඳව වන කථා පුවත රසවත් කථාවෙකි. එය 550 ජාතක පොත්වහන්සේ තුළ ඇතුළත් වන අතර කෙටියෙන් පහතින් දක්වමු.

    බුදුරජාණන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන කාලයේ දී සිදුවූවකි මෙයි. සැවැත්නුවර විසූ එක් පවුලක දුවක් තවත් පවුලක පුතකුට විවාහ කර දීමට සියළු කරුණු සංවිධානය කිරීමෙන් පසුව පුත්‍රයාගේ පවුලේ අය ඒ කාරණය සිදු වන දිනය පිළිබඳව ශුභ අශුභ දැන ගැනීම සඳහා නක්ෂත්‍රය දන්නා ආජීවකයකුගෙන් ද උපදෙස් ගනු ලැබූ හ. ඒ ආජීවකයා මාගෙන් උපදෙස් නොගෙන සියල්ල සංවිධානය කිරීමෙන් පසු දැන් පැමිණ දවස ශුභද අසන්නේ යැයි කෝපයට පත්ව හොඳ වැඩක් කරමියි සිතා, එදිනට නක්ෂත්‍රයට අනුව අශුභ දවසකැයි කීහ. එසේම එදින මංගල්‍යයක් ගතහොත් මහත් අශුභ දේ සිදුවේ යැයි ඔවුන් බිය කළහ. මේ වචන විශ්වාස කළ පවුලේ අය නියමිත දින මගුලට සම්බන්ධ නොවිනි. කෙසේවෙතත් ඔවුන් එනතුරු බලා සිටි අනෙක් පවුලේ අය ඔවුන් නොපැමිණි නිසා කෝපයට පත්ව ඒ මඟුල් උත්සවයේ දී ම දුවණියෝ වෙනත් පුරුෂයකුට විවාහ කර දුන්හ. පසුදිනයේ පුත්‍රයාගේ පවුලේ අය මංගල්‍යයට ගිය විට නිසි දින නොපැමිණ දැන් පැමිණෙන්නේ මන්දැයි බැන, ලැජ්ජා කොට එලවා ගත්තෝ ය. මේ සිදුවීම භික්ෂූන් අතර ද ප්‍රසිද්ධ වූයේ අර කී ආජීවකයා විසින් මඟුල කඩන ලද්දේ ය යන පුවත ද සමඟිනි. දම්සභා මණ්ඩපයට බුදුරජාණන්වහන්සේ පැමිණෙන විට මේ කථාව භික්ෂූන්වහන්සේලා සාකච්ඡා කරමින් තිබූ අතර එය අසා දැනගත් බුදුරජාණන්වහන්සේ පෙර භවයකදී ද මෙසේ ම මේ ආජීවකයා විසින් සිදු කළ බව දක්වමින් මේ ජාතකය දේශනා කළහ.

    කලකට ඉහත බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුකෙනෙකුන් රාජ්‍ය කරණ කල්හි නුවරවාසී පවුලක දුවක තවත් පවුලක පුතකුට විවාහ කර දීමට කටයුතු සූදානම් කළහ. මේ පුතාගේ පවුලේ අය පෙර කී ලෙසම ආජීවකයකු හමුවී මඟුලට යොදා ගත් දිනයේ ශුභ අශුභ පිළිබඳව විමසා සිටිය හ. පෙර කී ලෙසම ආජීවකයා එයින් කිපී තොපිට හොඳවැඩක් කරමියි සිතා ඒ දිනය මංගල්‍යයට ශුභ නොමැති බව කීහ. මේ බස් ඇසූ පුත්‍රයාගේ පිරිස මංගල්‍යයට සම්බන්ධ නොවූ අතර දුවගේ පිරිස ඒ උත්සවයේදී ම වෙනත් පුරුෂයකුට දුව විවාහ කර දුන්හ. පසුදිනයේ පුත්‍රයාගේ පවුල දුව ඉල්ලා පැමිණි විට ඒ වන විට ඇය වෙනත් පුරුෂයකු සමඟ විවාහ වී ඇති නිසා මහා ආරවුලක් ඇති විනි. මේ ආරවුල යන විට එහි පැමිණි එක්තරා ප්‍රඥාවන්ත පුරුෂයකු සිද්ධිය පිළිබඳව විමසා සිටියේ ය. පසුව පැමිණි පිරිස ආජීවකයා හමුවීම ඇතුළු සිද්ධිය ඔහුට ප්‍රකාශ කරන ලදි. නක්ෂත්‍රයෙන් කවර ප්‍රයෝජනයක් ද කුමාරිකාවකගේ ලැබීම නක්ෂත්‍රය නොවේදැයි කියා වැඩි දුරටත් පෙර කී නැකැත් බලන්නාවූ අඥානයාගේ අර්ථය තෙමේ ඉක්මයේ. අර්ථයට තමා කැමති අර්ථය ලැබීමම නැකත නමි. තාරකා රූපයෝ කිනම් අර්ථයක් සිද්ධකෙරෙත්ද? ගාථාව ද කීහ. පසුව පුරුෂයාගේ පිරිස ලැජ්ජාවට පත්ව පිටත්ව ගියහ.

    ඒ ආජීවකයා මෙදා සිටි ආජීවකයාම බවද, ඒ පිරිස් මේ පිරිස් ම බවද සහ ප්‍රඥාවන්ත පුරුෂයා තමන් බවද පූර්වාපර සන්ධි ගලපමින් බුදුරජාණන්වහන්සේ දේශනා කරන ලදි.

    නක්ෂත්‍රය ගැන බුදුරජාණන්වහන්සේ දේශනා කළ එක් දේශනයක් පමණි මෙය. සෘජුවම බුදුරජාණන්වහන්සේ නක්ෂත්‍රය බැහැර කරන බවට මේ දේශනාව ප්‍රමාණවත් ය. නිර්වාණය මුල් කරගත් බුදු දහමට නක්ෂත්‍රය නැත්නම් ජ්‍යෝතිෂයෙන් කිසිඳු සහායක් නැත. එසේ නම් අද වන විට චෛත්‍යයේ මුල්ගල් තැබීම, බුදුපිළිමයේ නේත්‍ර පැළඳීම, බෞද්ධයන්ගේ ආවාහ විවාහ චාරිත්‍ර ආදිය සියළු දේ නැකැතට සිදුවන්නේ කෙසේ ද? කොහේ හෝ වැරදී තිබිය යුතුමය. නැකැත්, නිමිති, පේන, ජ්‍යෝතිෂය ආදී නිවනට සම්බන්ධ නොවන සියළු දේ බුදුරජාණන්වහන්සේ සැලකුවේ මිථ්‍යා දෘෂ්ටීන් ලෙසිනි. නිවන් දැකීම සඳහා ගමන් කරන පුද්ගලයා ගමන් කළ යුතු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ය. එහි එක් අංගයක් වන්නේ සම්ම්‍යක් දෘෂ්ටියයි. සම්ම්‍යක් දෘෂ්ටිය යනු නිවනට සම්බන්ධ වන ලෙසින් නිවැරදිව දැකීමේ හැකියාව ය. කොටින්ම මෙහිදී ඔබගේ දැක්ම තුළට ඔබ කරනා ක්‍රියාව සහ නිර්වාණය අතර ඇති සම්බන්ධය පෙනිය යුතු ය. එසේම බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කර ඇති ධර්මය දැකිය හැකි විය යුතු ය. උන්වහන්සේ දෙයක් නිෂ්ඵලයැයි කීවානම් එය ආපසු සඵල වන්නේ නැත. ඒ නිෂ්ඵල සහ නිවැරදි නොවන දේ ජීවිතයට කරපින්නා ගෙන බෞද්ධයන් යැයි කියා ගන්නාවුන් යන්නේ මිථ්‍යා මාර්ගයේ ය. එසේ නොවන්නට නැකැත්, කේන්දර, ජ්‍යෝතිෂ්‍ය ආදී නිෂ්ඵල දේ සඳහා බෞද්ධයන් යොමුවන්නේ නැත. ඒ තුළට යෙදෙන්නට යෙදෙන්නට බෞද්ධයා ඈත් වන්නේ ආර්යෂ්ටාංගික මාර්ගයෙනි. ඔහුට නිවන නැත.

    කෙසේවෙතත් මෙහිදී තවත් කරුණක් සඳහන් කළ යුතු ය. හින්දු ආගම වැනි ආගම්වල මේවා සඳහා ස්ථානයක් තිබේ. ඉන්දියානු කථා බලනාවිට ඔබට ඒ උපචාර දක්නට ලැබෙනු ඇත. පැහැදිලිවම එයින් පෙනෙන්නේ හින්දු ආභාෂය බෞද්ධ ධර්මයට මිශ්‍ර කොට ඇති බවයි. එය සිදුකර ඇත්තේ එකක් තමුන්ගේ බඩ තර කර ගැනීමට ය. අනෙක නිවන ඈත් කර තැබීමට ය.

    මෙනිසා බුදුරජාණන්වහන්සේ දෙසූ නිවන් මග ගමන් කිරීමට සිත හදාගන්නා අයවලුන් වේ නම් සම්ම්‍යක් දෘෂ්ටියට විරුදු මිථ්‍යා දෘෂ්ටියෙන් ඉවත් වීමට ද අදිටන් කර ගත යුතු ය. එසේ නොවන්නට කිසිදිනක නිවන නම් ඔබට ලැබෙන්නේ නැත.

    1_IrL8bRB1AdMF_cwDqrW6QQ.png
     

    hpalpola

    Well-known member
  • මාරයා යනු ලෝකය පුරාම විවිධ නම් වලින් හැදින්වෙන චරිතයකි. සමහර අය මාරයා සංකල්පයක් ලෙසින් හදුන්වයි. සමහරු කියන්නේ මාරයා යනු සැබෑ චරිතයක් වන බවයි.

    බුදු දහම තුලද මාරයා සඳහා ස්ථානයක් ලැබී තිබේ. මාරයා විස්තර කිරීමේදී ඒ අනුව නම් 10 ක් පමණ ත්‍රිපිටකය තුලින්ම සොයා ගත හැක. සමහරු මේ පිළිබදව අවධානය යොමු කරමින් එසේ හැදින්වුවද මාරයා යනු සංකල්පයක් පමණකැයි කියති.

    එය බුදු දහමට නොගැලපෙන මතයකි. බුදුරජාණන්වහන්සේගේ දේශනා අනුව මාරයා යනු සංකල්පයක් නොවේ. එය පුද්ගල චරිතයකි. ඒ බවට වුවමනා තරම් සාක්ෂි ත්‍රිපිටකයෙන්ම හමුවේ. ඉන් එක් අවස්ථාවක් වක්කලී සූත්‍රයේ දැක් වේ. වක්කලී සූත්‍රය සංයුක්ත නිකායට අයත් සූත්‍රයකි. මේ නිසා වැඩිදුර විස්තර එම සූත්‍රය පරිශීලනය කර ලබා ගත හැක. සාරාංශයක් ලෙසින් කියන්නේ නම්, වක්කලී භික්ෂුව දැඩි අසනීප තත්වයකට පත්ව සිටි අතර මෙනිසා අවස්ථා කිහිපයකදීම සියදිවි නසා ගැනීමට තරම් හිත පහල වී තිබිනි. වේදනාව ඉවසා ගත නොහැකි වූ තැන උන්වහන්සේ සහෝදර භික්ෂුන් වහන්සේලා අමතා කියන්නේ බුදුරජාණන්වහන්සේ හමු වී තමුන්ගේ තත්වය පිළිබද සැල කර උපදෙස් ලබා ගන්නා ලෙස දන්වා යවයි. ඒ පණිවිඩය ලද පසු බුදුරජාණන්වහන්සේ වක්කලී භික්ෂුව හමුවට පැමිණ ධර්ම දේශනා කර ආපසු ගිජුකුළුපව්වට වඩින ලදී.

    බුදුරජාණන්වහන්සේ කුටියෙන් වැඩි පසු වක්කලී භික්ෂුව සහෝදර භික්ෂූන් වහන්සේලා ලවා තමුන්ව ඇඳ පිටින්ම කාලසිලා විහාරයට වැඩම වූහ.

    පසුව වක්කලී භික්ෂුව එහි සිට බුදුරජාණන්වහන්සේ වන්දනා කිරීමට සහෝදර භික්ෂූන් වහන්සේලා යවන ලදී. ඒ භික්ෂූන් වහන්සේලා ගිය පසු වක්කලී භික්ෂුව ආයුධයකින් ගෙල සිඳ ගත්තේය. අර භික්ෂූන් වහන්සේලා බුදුරජාණන්වහන්සේ හමු වී විස්තර දැන්වීමෙන් පසුව භික්ෂූන් වහන්සේලා සමග බුදුරජාණන්වහන්සේ කාලසිලා විහාරයට වැඩම විය. ඒ වඩින විට, දුරදීම ඇඳ මත පෙරලී ඇති වක්කලී භික්ෂූවගේ මෘත ශරීරය බුදුරජාණන්වහන්සේට පෙනීමට ලැබේ.

    ඒ මත ශරීරය අසල දූවිලි වලාවක් එහාට මෙහාට ගමන් කරනවා පෙනීමට ද ඇත. ඒ අනුව බුදුරජාණන්වහන්සේ භික්ෂූන්ගෙන් අහන්නේ ඒ දූවිලි වලාව හඳුනා ගත හැකිද යන්නයි. ඔවුන්ට එය පෙනන බවට උත්තර දුන් පසුව බුදුරජාණන්වහන්සේ මෙසේ දේශණා කරයි.

    “මහණෙනි, ඒ පවිටු මාරයාම වක්කලී කුලපුත්‍රයාගේ ප්‍රතිසන්ධි විඥානය කොතැනක පිහිටියේදැයි සොයන්නේය. මහණෙනි, නොපිහිටි විඥානයෙන් යුතුව වක්කලී කුලපුතු ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවියේය.“

    මේ අනුව වක්කලී සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විසින් සංකල්පයක් ලෙසින් නොව පවත්නා ශක්තියක් ලෙසින් මාරයා පිළිබඳව භික්ෂූන්ට දේශනා කර තිබේ. එවැනි විටෙක මාරයා සංකල්පයක් ලෙසින් අර්ථ ගැන්වීමට කටයුතු කිරීම කිසිසේත් සුදුසු නොවේ. අපගේ පියැවි ඇසට මාරයා නොපෙනෙන නිසා මාරයා සංකල්පයක් ලෙසින් ලඝු කොට සැලකීම තුල බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙන්ම උන්වහන්සේ දේශනා කල ධර්මය පිළිබදව ද ඇතිවෙන්නේ සැකයකි. එවැනි සැක නිසා සෝවාන් ඵලය මනුෂ්‍යාගෙන් ඈතට ගමන් කරයි. මෙවැනි කුඩා කරුණු නිසා සිතිය නොහැකි තරම් බරපතල විපාක ලැබීමට හැකියාව ඇත. නුවනින් විමසා ධර්මය තුල හැසිරීමට සියල්ලෝම ධාරණය කර ගත යුතුය.
     

    Attachments

    • mara0101010100101.jpg
      mara0101010100101.jpg
      193 KB · Views: 52
    • Like
    Reactions: S_M_S

    hpalpola

    Well-known member
  • මෛත්‍රිය සහ ද්වේශය මේ පුංචි රටේ හරියට කතා කරන මාතෘකා දෙකක්. මේ පද දෙක යොදන්නේ මිනිස් හැඟීම් නැත්නම් හිතුවිලි දෙකක් හඳුන්වන්න. මෛත්‍රිය කියන හැඟීම නැත්නම් හිතුවිල්ලෙදි සතුට උපද්දවනවා. ද්වේශය කියන හැඟීමෙදි නැත්නම් හිතුවිල්ලෙදි ඊට ප්‍රතිවිරුද්ධව දුක උපද්දවනවා. මේ හිතුවිලි දෙකේ ප්‍රතිඵල තමන්ට වගේම අනුන්ටත් ලැබෙනවා. වැඩියෙන්ම ලැබෙන්නෙ ඉතින් තමුන්ටමයි. බුදුරජාණන්වහන්සේ මේ හිතුවිලි අතරින් වර්ණනා කරන්නේ මෛත්‍රිය විතරයි. ද්වේශය උන්වහන්සේ හෙලාදකිනවා. ඒ වුනාට වැඩේ කියන්නෙ දැන් දැන් අපි දකින්නෙ අහන්නෙ වැඩිපුරම මෛත්‍රියට වඩා ද්වේශය පෙන්වන සිදුවීම් ගැන. ගෙදරදි, වැඩපලේදි, මග තොටේදි වගේ හැම තැනම අප මෛත්‍රියට වඩා ද්වේශය දකිනවා.

    මෛත්‍රිය වැඩිදියුණු කිරීමත් ද්වේශය ඈත් කිරීමත් තමන් විසින් ප්‍රායෝගිකව කල යුතු දේවල්. ඒ වෙනුවෙන් නොයෙක් ක්‍රම තියෙනවා. එකක් ගැන කෙටියෙන් කියන්නම්.

    හිතන්න අපිට කෙනෙක් ගැන ද්වේශය ඇති වුනා කියලා. මොකක් හරි හේතුවක් නිසානෙ එහෙම වෙන්නෙ. ඒ හේතුව මොනවා වුනත් මතක තියා ගන්න ඕනා දේ තමයි අපිව හැදිලා තියෙන පංචස්කන්ධය හුස්මක් අරන් පිටකරන වාරයක් පාසා මැරෙන සහ ඉපදෙන බව. ඒක අපිට පියැවි ඇහැට නොපෙනෙන තරම් වේගයෙන් සිද්ධ වෙනවා. ගඟක් ගලද්දි අපි වතුර දැක්කට එක ස්ථානයකදි දකින වතුර හැම වෙලාවෙම එම ස්ථානයෙදි දකින්න වෙන්නෙ නෑ. ඒ වගේ. මේ ඉපැදීම සහ මරණයට පත්වීම හැම සතෙකුටම එක වගේ බලපානවා.

    ඉතින් අපි කාට හරි ද්වේශ කරනවානේ. ඒ කෙනත් මේ විදියටම මැරෙනවා, ඉපදෙනවා. ඒක යම් අවස්ථාවක් නම් ඒ අවස්ථාව වෙලා ඉවරයි. ඒ කියන්නෙ මැරිලා. මැරෙන එක දුකයි කියලා අපි අහලා තියෙනවා. දන්නවත් එක්ක. අපේ ද්වේශයට ලක්වෙන කෙනා මැරෙන බව, ඒ වෙලාවෙදිත් මැරි මැරි ඉපදෙන බව හිතන්න. ඒ මනුස්සයාට ඒක නොතේරෙන නිසා ඒ විදියට හැසිරුනාට ඇයි මම ඒ බව දැනගෙන එහෙම හැසිරෙන්නෙ කියලා හිතන්න. සියළු බුදුවරුන්ගේ දේශනාව අකුසල් නොකර කුසල් වැඩීම නම් ඇයි මම අකුසල් කරන්නෙ, කුසල් කරන්න අවස්ථාවක් ලැබිලා තියෙද්දි කියලා හිතන්න. මැරුණ කෙනෙක්ට, ගෙවුන අතීතයකට වෛර කරලා ජීවත්වෙන තමන්ට ලැබෙන්නෙ මොනාද කියලා හිතන්න.

    මේ විදියට බුද්ධ දේශනාව ප්‍රායෝගිකව යොදාගෙන සතියක්, මාසයක් ජීවත්වෙලා බලන්න. අනිවාර්යයෙන්ම දැනේවි ජීවත් වෙන බව. ඒ වගේම බුදුරජාණන්වහන්සේගේ දේශනාව සදාකාලික සත්‍ය දේශනාවක් බව.

    ආදරේ.

    ආදරේ ගැන කතා කරද්දි මුලින්ම මතකෙට එන්නෙ බුදුරජාණන්වහන්සේව. උන්වහන්සේ තුළ මිනිස්සු වෙනුවෙන් තිබ්බ ආදරේ වෙන කිසිම කෙනෙක් ලඟ තිබුනා කියලා හිතන්න බෑ. අද අපි ආදරේ කියලා කියන්නෙ මොකක්ද කියලවත් හිතාගන්න බැහැනෙ. හරියට අර එක විෂයකට ටියුෂන් පංති ගොඩක් තිබිලා ඒවයෙ ගුරුවරු එක එක විදියට එකම විෂය උගන්වනවා වගේ ආදරෙත් එක එක අය එක එක විදියට අර්ථ නිරූපනය කරනවා. බහුතරයක් නම් කියන්නෙ ආදරේ කියන්නෙ දෙයක් බලාපොරොත්තු නොවී තව කෙනෙක්ට ආදරේ කරන එකය කියලා. ඒත් එතැන ආදරේ කියන වචනය එහෙමමයි. තව අයට අනුව ආදරේ නොලැබි ජීවත් වෙන්න බෑ. එතැනත් ආදරේ කියන වචනය එහෙමමයි. තව අය කියන්නෙ ආදරේ කෙරුවම ඇති ලැබෙන්න ඕනා නෑ කියලා. තව අයගේ ආදරේ මුල් බැල්මෙන් ම ඇති වෙනවා. තව අයට ආදරේ ඇති වෙන්නෙ බැන්දට පස්සෙ.

    ආදරේ කියන වචනය නාම පදයක් නෙමේ. ඒක ක්‍රියා පදයක්. ඒ බව හොඳට තේරෙන්නෙ "I love you" නැත්නම් "මම ඔයාට ආදරෙයි" කියන වචන තුන සැලකුවම. එතැනදි ආදරේ කියන වචනය ක්‍රියාපදයක් විදියට හැසිරෙනවා පේනවා ඇති. ඒ නිසයි මම කිව්වෙ බුදුරජාණන්වහන්සේවයි මුලින්ම ආදරේ දී මතක් වෙන්නෙ කියලා.

    සතර පෙර නිමිති දකින බෝධිසත්වයන්වහන්සේ අභිනිෂ්ක්‍රමනය කරන්න හිතනවා. ඒ ඇයි? මිනිස්සුන්ට මේ ජීවිතේ විඳින්න වෙලා තියෙන දුක දැකලා, ඒ දුකෙන් මිනිස්සුන්ව බේරා ගන්න. රාහුල තුරුල් කරන් නිදන යශෝධරා දිහා බලලා එයාලට දවසක දුක නැති කරන විදිය කියලා දීලා සදාකාලික සතුට විඳින්න සලස්වනවා කියන අධිෂ්ඨානයෙන් බෝධිසත්වයන්වහන්සේ අභිනිෂ්ක්‍රමනය කරනවා. බුදුරජාණන්වහන්සේ බුදුවුනාට පස්සෙ මට්ටකුණ්ඩලී, සුනීත, සෝපාක වගේ අය ලඟට වැඩම කරන්නෙත් ඒ ආදරෙන්. ඊළඟට අංගුලිමාල බවට පරිවර්තනය වෙලා උන්න අහිංසක, ආපහු අහිංසක බවට පරිවර්තනය කරන්න වැඩම කරන්නෙත් ඒ ආදරෙන්. මේ හැමතැනම ආදරේ කියන්නේ ක්‍රියාවක්.

    අද ආදරේ ඇතුලෙ ක්‍රියාවක් තියෙනවාද. ඒක හිතලා බලන්න. ඔයා කෙනෙක්ට ආදරේ නම් මොකක්ද ඔයා කරන ක්‍රියාව. ඇත්ත ආදරේ ඇතුලෙ තියෙන ක්‍රියාව තමයි, ආදරේ ලැබෙන කෙනා ගැන සැලකිල්ල දැක්වීම. ඉංග්‍රීසියෙන් "care" කියලා කිව්වොත් තේරේවි. අපි දකිනවා⁣නේ අද දික්කසාද, නඩත්තු නඩු ගොඩක්. ඒ නඩුවලදි බලන්න එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය ගැන දක්වන සැලකිල්ල අඩු වීම දකින්න නැද්ද කියලා. සමහරක් වෙලාවට සම්බන්දෙ පටන් ගත්ත අලුත නැත්නම් විවාහ වෙලා අවුරුද්දක් දෙකක් යනකම් තියෙන සැලකිල්ල ඊට පස්සෙ අඩු වෙලා යනවා කියලා හුඟක් අය කියනවා. මුලදි වදයක් වෙනකම් අනෙක් කෙනා ගැන හොයා බලපු අය එක ගෙදර ඉඳලත් කෑවද බිව්වද කියලා බලන්නෙ නෑ. ඒ වෙලාවට කියන්නෙ "දැන් ආදරේ අඩුවෙලා කියලා".

    ඒකයි මන් මුලින් ම කිව්වෙ ආදරේ කියද්දි මතක් වෙන්නෙ බුදුරජාණන්වහන්සේව කියලා. උන්වහන්සේගෙන් කොයිතරම් නම් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවාද. එයින් එකක් තමයි ආදරේ කියන්නෙ. ඔයාටත් හිතෙනවානම් ආදරේ ගැන අඩුපාඩුවක්, ඒ අනෙක් අය කරන දේ නොහිතා ඒ අයට ආදරේ කරන්න. සැලකිල්ල දක්වන්න. එතකොට ඔයාටම තේරේවි ආදරේ කියන්නෙ නාම පදයක් නොවේ, ක්‍රියාපදයක් කියලා. ඒක ක්‍රියාවක්. අනෙක් අය ගැන ම හිතලා කරන ක්‍රියාවක්.
    ------ Post added on Apr 9, 2021 at 11:05 AM
     

    hpalpola

    Well-known member
  • සංයුක්ත නිකා⁣යේ සච්ච සංයුක්තයේ තියෙනවා හරි ලස්සන පොඩි සූත්‍රයක්. නම සුරාමෙරය සූත්‍රය. එතනදි බුදුරජාණන්වහන්සේ මෙහෙම දේශනා කරනවා.

    “... මහණෙනි, එපරිද්දෙන්ම මත්වීමට සහ ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කිරීමෙන් වැළකුනාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහු අතිශයින් ස්වල්ප වෙති. මත්වීමට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පානය කරන්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම අතිශයින් බොහෝවෙති. ඊට හේතු කවරේද යත්, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදැනීමය."

    අද ලංකාවේ ආදායම් ඉපැයීම අතින් ඉදිරියෙන්ම තියෙන්නෙ මත්පැන්. කසිප්පු නැති ගමක් නෑ. අරක්කු නැති මගුලක් මල ගෙයක් දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. ඉස්සර පිරිමි විතරයි බාර් පෝලිමේ හිටියෙ. දැන් ගැහැණුත් ඉන්නවා. හැබැයි අමද්‍යප ව්‍යාපාරයක් තියෙනවා. උදේ හවා පන්සිල් ගන්නවා. ඒ සේරම වෙද්දි හොඳම ආදායම් මාර්ගය මත්පැන්. අපි කතා කරන්නෙ අපිව පරද්දන් ඉස්සරහට යන අනෙක් රටවල් ගැන. හැබැයි දැනට බොහොම කලකට කලින් අපි මේ ලෝකෙ තබාගෙන උන්න තැන නරඹන්න, නරඹලා පුදුම වෙන්න සංචාරකයො වෙන රටවලින් මෙහෙ එනවා. ඒ දේවලුත් හිමින් සැරේ විනාශ කරනවා. අන්තිමට බේබදු කමට මුල් තැන.

    පරාභව සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ සුරාවට ඇබ්බැහිවීම පරිහානියට කරුණක් බව. ඉතින් අපි කොහොමද දියුණු රටක් වෙන්නෙ, තනි තනි පුද්ගලයා සුරාවෙන් පරිහානියට යද්දි.

    බුදුරජාණන්වහන්සේ දේශනා කල ධර්මය අපි බුද්ධ ධර්මය විදියට හඳුන්වනවා. මේ ධර්මය කියන්නේ අපි ජීවත් වෙන්න ඕන විදිය පෙන්වන දර්ශනයක්. ඒ විදියට ජීවත්වෙන කෙනෙක්ට පුළුවන් ජීවිතේ දුක නැති කරගන්න. හැමදාම සතුටින් ඉන්න. හිනාවෙලා ඉන්න. ඉතින් බුද්ධ ධර්මය තුළ නොයෙක් ඉගැන්වීම් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම දුක කියන දේ හඳුන්වලා දීමක් එතැන තියෙනවා. ඊළඟට ඒ හඳුනගන්න දුක නැති කරන විදිය එතැන තියෙනවා. අද අපි මේවා ඒ තරම් හිතන්නෙ නෑ. ඒ කියන්නෙ ගණන් ගන්නෙ නෑ. නමුත් දැනට අවුරුදු 50, 60 ට වගේ කලින් උන්න අපේ ආච්චිලා සීයලා ඒ දේවල් බොහොම ආදරෙන් ජීවිතවලට එකතු කරන් සතුටින් ජීවත් වුනා.

    අද අපි බැලුවොත් පෙනේවි 'මම' කියන වචනය 'අපි' කියන වචනයට වඩා වැඩි වටිනාකමකින් භාවිතා වෙනවා. මම, ඒක වචනයක්. අපි, බහු වචනයක්. ඒක මගේ, අරක මගේ, ඕක මගේ, මට ඕනා විදියටයි වෙන්න ඕනා, මට මේක නැත්නම් බෑ වගේ මම මුල් වෙන දේවල් නැත්නම් කතා බහ තමයි අද ඇහෙන්න ලැබෙන්නෙ. එතැනම පේනවා බුද්ධ ධර්මයෙන් අපි ඈත් වෙලා කියලා.

    මම කියන වචනය යොදාගනිද්දිම අපිට නොදැනිම සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ තමයි බලාපොරොත්තු ඇති වෙනවා. ඒ කියන්නෙ මට ඕනා විදියට දේවල් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. මේ නිසා කොයිතරම් නම් පුද්ගල සබඳතා බිඳ වැටෙනවද. හිතන්න උදාහරණයකට ඔබගේ බිරිඳ නැත්නම් සැමියා, ඔබ හිතන්නෙ ඔබ කැමති විදියට ඉඳීවි කියලා. හැබැයි එයා ඉන්නෙ එයාට ඕනා විදියට. සමහරු කැමති නෑ තමුන්ගේ බිරිඳ කොටට අඳිනවට. තව අය කැමැති නෑ තමුන්ගෙ සැමියා ෂර්ට් යට නොකර අඳිනවට. දැන් බිරිඳ කොටට ඇන්දොත් මොකද වෙන්නෙ. සැමියා ෂර්ට් එක යට නොකර ඇන්දොත් මොකද වෙන්නෙ. තරහ යනවා, දුක හිතෙනවා. අපි හිතාගෙන ඉන්නෙ ලෝකෙ ජීවත්වෙන අනිත් අය ජීවත්වෙන්නෙ අපිට ඕනා දේවල් කරන් ඉන්න කියලා. ඒත් ඇත්තට එහෙම නෑ. තමුන්ට ඕන දේ උයලා නෑ නැත්නම් තමන් කැමති විදියට උයලා නෑ කියලා කී දෙනෙක් නම් බඩගින්නෙ ඉන්නවද, බඩගින්නේ ඉඳලා ඇති ද? මෙන්න මේ විශ්වාසය නිසා තමයි හුඟක් පුද්ගල සබඳතා බිඳ වැටෙන්නෙ. මේකට හේතුව වෙන මුකුත් නෙමෙයි අපි කියන දේට වඩා මට මුල් තැන දීම.

    බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නෙ මම ගැන නෙමෙයි, අපි ගැන. පන්සිල් අරන් බලන්න. එතැන තියෙන්නෙ අපි. සිඟාලෝවාද සූත්‍රය අරන් බලන්න, එතැන තියෙන්නෙ අපි. උන්වහන්සේගේ ජීවිතය බලන්න. ජීවත් වුනේ ම අපි වෙනුවෙන් මිසක් මම වෙනුවෙන් නෙමෙයි. ඉස්සර මිනිස්සු එහෙමයි. මෙතනදි මතක් වෙනවා ඉස්සර ගම්වල තිබ්බ දෙයක්. අහලා තියෙනවද 'පිංතාලි' ය කියලා. කෝ අද පිංතාලි. එදා අම්බලන් හැදුව මිනිස්සු. අද අපිට ඒවා පුරාවිද්‍යාත්මක සිහිවටන. කෝ අද අම්බලම්. එදා මිනිස්සු අපි ගැන නොහිතුවා නම් මේ ශ්‍රී ලංකාවේ අද අපිට මෙහෙම ඉන්න පුළුවන් ද. කොහෙත්ම බැහැ. මම සහ අපි අතරෙ ලොකු වෙනසක්, පරතරයක් තියෙනවා. ඒ පරතරය ගැන දැනුම අවබෝධය අපිට ලැබුනෙ බුද්ධ ධර්මයෙන්. අද අපි බණ අහ අහ බුද්ධ ධර්මයෙන් ඈත් වෙනවා. මම දියුණු කරලා අපි නහලා දානවා. ඉතින් අපි දුකෙන්, පීඩනයෙන් ඉන්න පිරිසක් වෙලා.

    නිදහසේ හිතන්න. මට ඕන දේ මට ඕනා විදියට නොවෙද්දි මට දැනෙන්නෙ මොන වගේ හැඟීමක් ද කියලා.

    මම කියන හිතුවිල්ල ඈත් කරන්න නම් අපි ගැන හිතන්න වෙනවා. ආදරේ ලැබෙයි කියලා හිතන්නෙ නැතුව ආදරේ කරන්න බලන්න. දෙනවට වඩා ආපහු ලැබෙයි කියලා නොහිත දෙන්න බලන්න. රටෙන් ලෝකෙන් ගෞරවය, නම්බුව ලැබෙයි කියලා බලාපොරොත්තු නොවී මිනිස්සුන්ට ගරු නම්බු දීලා වැඩ කරන්න. මේ වගේ මම ගැන හිතනවට වඩා අපි ගැන හිතන්න. බලන්න ජීවිතේ පුදුම විදියට වෙනස් වේවි. බුදුරජාණන්වහන්සේ දේශනා කරපු සතුට එතකොට විඳින්න ලැබේවි. ඔබ අද අසතුටින්, තරහෙන්, දුකෙන්, වේදනාවෙන් ඉන්නවා නම් අපි නිසා ඒ හැම දේම නැතිවෙලා යාවි, වෙනස් වේවි. උත්සාහ කරන්න.
    ------ Post added on Apr 16, 2021 at 5:13 PM
     

    hpalpola

    Well-known member
  • ආදරේ ගැන එක එක්කෙනා දරන අදහස් වෙනස්. අපි කතා පොත්වල, කවි වල කියවන්නෙ සිංදු වලින් අහන්නෙ ඒ ඒ කතෘගෙ අදහසට අනුව ආදරේ. සමහරු ආදරේ කියන්නෙ තමුන්ගෙ කර ගැනීම. සමහරු ආදරේ කියන්නෙ අනුන්⁣ගෙ වීමට. මෙනිසා සමහරු ආදරේ ලැබුනම සතුටු වෙනවා. සමහරු ආදරේ නොලැබුනාම දුක් වෙනවා. මිනිස්සු ඇත්තටම ආදරේ කරනවට වඩා උත්සාහ කරන්නෙ ආදරේ ලබන්න. බුදුදහමට අනුව බැලුවම ආදරේ කියන්නෙ පරාර්ථකාමී හැඟීමක්. අල්ලා ගැනීම ආත්මාර්ථකාමී හැඟීමක්. අල්ලා ගැනීමයි අත්හැරීමයි සම්පූර්ණයෙන් ම දෙපැත්තකට යන හැඟීම් දෙකක්. කවදාවත් එකතු වෙන්නෙ නෑ.

    බෞද්ධ සාහිත්‍යයේදී අපිට හම්බවෙන කතාවක් මෙතනදි කියන්න ඕනා. උම්මග්ග ජාත⁣කයෙ තමයි මේ කතාව තියෙන්නෙ. සරලව කියන්නම්.

    අම්මා කෙනෙක් දරුවා එක්ක ඉද්දි දරුවාව අරගන්නවා ගෑණු වෙස් ගත්ත යක්ෂණියක්. අම්මා දරුවාව ඉල්ලලා රණ්ඩු කරද්දි මේ ආරවුල විසඳන්න මහෞෂධ පණ්ඩිතයන්ට බාර වෙනවා. උන්වහන්සේ කරන්නෙ ඉරක් ඇඳලා ළමයා ඒ ඉර උඩ තියලා කාන්තාවෝ දෙන්නට කියනවා ළමයා⁣ව අත් දෙකෙන් දෙපැත්තට ඇදලා තමුන්ගෙ පැත්තට ගන්න කියලා. ඒ විදියට දරුවාව අදිද්දි අත් රිදෙන නිසා දරුවා අඬනවා. ඇත්ත අම්මට මේක දරා ගන්න බෑ. එයා දරුවාව අතාරිනවා. යක්ෂ වෙස් ගත්ත අම්මා දරුවව තමුන්ගෙ පැත්තට අරන් යන්න හදද්දි පඬිතුමා මිනිස්සුන්ගෙන් අහනවා දරුවාගෙ ඇත්ත අම්මා කවුරු කියලස හිතන්නෙ කියලා. මිනිස්සු දරුවාව අතෑරිය කෙනා ඇත්ත අම්මා කියලා කියනවා. ඒ ආදරේ නිසා ඒ අත්හැරීම කල නිසා. ඉතින් දරුවාව ඇත්ත අම්මට ම ලැබෙනවා අවසානයේ. හුණුවටයේ කතාවෙදිත් අපි මේක අහනවා නේ.

    ආදරෙයි අල්ලාගැනීමයි අතරෙ වෙනස නොතේරෙන මිනිස්සු නිසා ජීවිත නොසෑහෙන්න දුකට පත්වෙනවා. ආදරේ කරද්දි කවදාවත් 'ඔයා මගේ. ඔයා මට ඕනා විදියට ඉන්න ඕනා. මන් කැමැති දේ කරන්න ඕනා' කියලා කියන්නෙ නෑ. ආදරේ දී භාවිතා කරන වචනය 'මන් ඔයාගේ' කියන එක. තමුන් ආදරේ කරන කෙනාට කැමැති විදියට ජීවත් වෙන්න, එයාටත් නිදහස විඳින්න ඉඩ දෙන්න ආදරේ දි පුළුවන්. අල්ලා ගැනීමේ දී මේක වෙනස්. අල්ලා ගත් කෙනා 'මන් කියන විදියට ඉන්න බලන්න' නිතරම කියනවා. අඳින්න ඕනා, ගමන් බිමන් යන්න ඕනා, කතා කරන්න ඕනා එයාට ඕනා විදියට. ආදරේ ලැබෙන කෙනා⁣ගේ නිදහස ඒ ආදරෙන් සීමා කරනවා.

    ආදරේ තියෙන්නෙ සතුටු වෙන්න මිසක් අඬන්න, දුක් වෙන්න නෙමෙයි. විශේෂයෙන්ම ආදරේ ලැබෙන කෙනා අඬමින්, පීඩාවෙන් ජීවත් වෙනවා නම් ඒ ආදරෙන් ශතේක වැඩක් නෑ. මේ වෙනස තෝරාගන්න නොහැකි වීම නිසා අද වෙද්දි තරුණ තරුණියො අතර විතරක් නෙමෙයි මැදි වියේ, වියපත් අය අතර නොයෙක් ආරවුල් තියෙනවා. බහුතරයක් දෙනා මානසික පීඩාවෙන් ජීවත් වෙනවා. හැමෝම කැමති තමුන්ට ඕනා විදියට ජීවත් වෙන්න. ඒක හැ⁣මෝගෙම ආශාව. ආදරේ කියන්නෙ ඒ ආශාව නැති කරන එකද කියලා ටිකක් හිතන්න.

    ඒ වගේ හිතෙන වෙලාවලදි අර කලින් අපි කියෝපු කතාව මතක් කරන්න. බුදු දහමෙන් ආදරේ කරන්න උගන්වන්නෙ හරිම ලස්සනට. ආදරෙත් අල්ලාගැනීමත් අතරෙ වෙනස උගන්වන ඒ වගේ වෙන ධර්මයක් තවත් නැති තරම්. ඒක ඉගෙන ගත්තොත් හරිම සතුටින් ජීවත් වෙන්න පුළුවන්.

    මලක ලස්සන දකින කෙනා ඒ මලේ ලස්සන පවතිනවට කැමැති නම් ඒ මල කඩා ගන්නෙ නෑ, ගහේම තියෙන්න අරිනවා. හැබැයි අවශ්‍ය පෝෂණය දෙනවා. මල, ලස්සන නිසා තමුන්ගේ කර ගන්න ඕනා කෙනා ගහෙන් වෙන් කරලා අර ගන්නවා. සමහරක් විට උදේ කඩන මල හවස් වෙද්දි ම පරවෙලා යන්න පුළුවන්.

    මේ දවස්වල අපිට අහන්න බලන්න ලැබෙන ප්‍රමුඛම ප්‍රවෘත්තිය තමයි කොවිඩ් වසංගත තත්ත්වය. විශේෂයෙන්ම ඉන්දියාවේ තත්ත්වය හරිම ඛේදජනකයි. ඒවා දකිද්දි බුදුහාමුදුරුවො දේශනා කරපු ධර්ම කාරණයක් මතක් වෙනවා.

    "මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරති. එකල එක් ගෘහපතියෙකුගේ ප්‍රියවූ මනාපවූ එකම පුත්‍රතෙම කළුරිය කෙළේ වෙයි. පුත්‍රයාගේ මරණයෙන් ඒ ගෘහපතියාහට කර්මාන්ත රුචි නොවෙත්. ආහාරයද රුචි නොවෙයි. හෙතෙම සොහොණට ගොස් ‘එකම පුත්‍රය, ඔබ කොහිද, එකම පුත්‍රය ඔබ කොහිදැයි’ කියමින් විලාප කියති.

    ඉක්බිති ඒ ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක උන්නේය. එසේ උන් ඒ ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

    “ගෘහපතිය, නුඹගේ ඉන්ද්‍රියයන්ගේ ප්‍රකෘති ස්වභාවය නුඹගේ ඉන්ද්‍රියයන්ගේ වෙනස්බවක් ඇතැයි” වදාළේය.

    “ස්වාමීන් වහන්ස, මාගේ ඉන්ද්‍රියන්ගේ වෙනස් බවෙක් කෙසේ නම් නොවන්නේද? ස්වාමීන් වහන්ස, මාගේ ප්‍රියවූ, මනාපවූ, එකම පුත්‍රයා මළේය. ඔහුගේ මරණයෙන් පසු මේ කර්මාන්තයද රුචි නොවෙති. ආහාරයද රුචි නැත. ඒ මම සොහොනට ගොස් ‘එකම පුත්‍රය, ඔබ කොහිද? එකම පුත්‍රය, ඔබ කොහිද? කියමින් අඬමියි” කීය.

    “ගෘහපතිය, ඒ එසේමය. ගෘහපතිය, ශොකය වැළපීම දුකය, දොම්නසය, බලවත් වෙහෙසය, යන මොහු පිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදින්නාහුය.”

    ෴ පිය ජාතික සූත්‍රය ෴

    මේ සම්පූර්ණ සූත්‍රය නෙමෙයි, කොටසක් විතරයි. ධර්මය අකාලිකයි. හැම තැනටම අදාළ වෙනවා. ඒ දර්ශන බලද්දි මේ කරුණ කොයිතරම් නම් ඇත්තද කියලා තේරෙනවා නේද.

    මිනිස්සු කෑ ගහනවා, රණ්ඩු වෙනවා, අඬනවා. ඇයි ඒ? තමුන්ගේ අම්මා, තාත්තා, සැමියා, බිරිඳ, දුව, පුතා වගේ ඥාතියෙක්, හිතවතෙක් කොවිඩ් හැදිලා මැරිලා, නැත්නම් මරණය පෙනි පෙනී ඉන්නවා. කරන්න එයාලා ජීවත් කරවන්න කර ගන්න දෙයක් නැතුව මිනිස්සු අසරණවෙලා. ඒ අතරෙම පෙන්වනවා තව තැන්වල ඒ ඉන්දියාවෙම මිනිස්සු ඡන්ද රැස්වීම්වල නටනවා, මංගල උත්සව පවත්වනවා. අර මැරෙන්නෙ, නැත්නම් පණ අදින්නෙ එයාල⁣ගෙ කෙනෙක් නොවන තාක් ඒ විනෝදෙ.

    අපිත් ලංකාවේ ඉඳියා වුනත් ඒ දුක් විඳින මිනිස්සු දිහා බලලා දුක් වෙනවා, අනුකම්පා කරනවා. බලන්න ඒ සේරමත් එක්ක බුදුහාමුදුරුවො කොයිතරම් නම් ප්‍රඥාවන්තද කියලා. ඒ වගේ දේශනාවක් වෙන මොන දෙවියද නැත්නම් මොන ස්වාමි ද කියලා තියෙන්නෙ. ඇත්ත හැමදාටමත් ඇත්තමයි.

    ෴ ෴ ෴ ෴ ෴

    බණ නම් නිබොරුය මුනිවරයන්නේ
    කය නම් නොතිරය අදහා ගන්නේ
    පණ නම් තණ අග පිනිබිදු වැන්නේ
    පින නම් නොපමාවම කර ගන්නේ

    ෴ ෴ ෴ ෴ ෴
    ------ Post added on Apr 29, 2021 at 8:54 PM