ආමගන්ධ සූත්‍රය (මස්, මාංශ ආහාරයට ගැනීමෙන් සිත අපිරිසිඳු වේ ද යන්න පිළිබඳව සාකච්ඡා වන සූත්‍රයකි.)
බුදුරජාණන්වහන්සේ පහළ වීමට පෙර ආමගන්ධ නම් බ්‍රාහ්මණයා හිමාලයේ අනුගාමිකයන් 500 ක් සමඟ තව්ස්දම් පිරීම සඳහා යොමු ව සිටියේ ය. ඔවුන් මස් හෝ මාංශ ආහාරයට ගත්තේ නැත. සෑම වසරකදී ම ඔවුන් අසල ගම්මානයට පැමිණෙන්නේ ලුණු සහ විනාකිරි රැගෙන යාමට ය. මෙසේ පැමිණි විට ගම්මානයේ වැසියෝ ඔවුන්ට හැකි උපරිමයෙන් සම්මාන සත්කාර කරති. ඒ ඔවුන්ගේ තව්ස් ජීවිතය ගැන සැලකිල්ලට ගනිමිනි.
මෙසේ තිබියදී දිනක් බුදුරජාණන්වහන්සේ ශ්‍රාවක සංඝයාවහන්සේලා සමඟ මේ ගම්මානයට වැඩම කළ සේක. උන්වහන්සේගේ දේශනා ඇසූ ගම්වැසියන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත්විනි. මේ වසරේ දී පසුව ගම්මානයට පැමිණි ආමගන්ධ සහ ඔහුගේ අනුගාමිකයන්ට පෙර මෙන් ගම්වැසියන්ගෙන් සත්කාර නොලැබීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමේ දී බුදුරජාණන්වහන්සේගේ ආගමනය ඔහුට දැන ගැනීමට ලැබිණ. ආමගන්ධ බුදුරජාණන්වහන්සේගේ පහලවීම ඇසූ විට සතුටට පත්විය. ඔහුට ආමගන්ධ ගැන උන්වහන්සේගේ අදහස, එනම් බුදුරජාණන්වහන්සේ ආමගන්ධ වළඳන්නේ ද යන්න පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය විය. ආමගන්ධ බ්‍රාහ්මණයා, ආමගන්ධ ලෙසින් හැඳින්වූයේ මස් සහ මාංශ යි. විමසීමේ දී බුදුරජාණන්වහන්සේ මස්, මාංශ භාවිතය තහනම් නොකර ඇති බව දැන ගැනීමට ලැබීම නිසා ආමගන්ධ තුළ බුදුරජාණන්වහන්සේ සම්බන්ධයෙන් ඇති වූයේ අප්‍රසන්නතාවයකි. නමුත් ඔහුට ඒ පිළිබඳව බුදුරජාණන්වහන්සේගෙන් ම ඇසීමට වුවමනා විය. එනිසා ජේතවනාරාමයට පැමිණි ආමගන්ධ, බුදුරජාණන්වහන්සේ හමු වී මේ පිළිබඳව විමසන ලදි. ආමගන්ධ යනු මස්, මාංශ නොවන බවත් අකුසල් ක්‍රියා බවත් ආමගන්ධට පැහැදිලි කර දුන් බුදුරජාණන්වහන්සේ ආමගන්ධයෙන් වැලකීමට යමකු අදහස් කරන්නේ නම් සෑම අකුසල් ක්‍රියාවකින් ම වැළකිය යුතු බව පෙන්වා දුන්හ. ආමගන්ධ විසින් බුදුරජාණන්වහන්සේගෙන් අසනු ලැබූ ප්‍රශ්නය ම පෙර සිටි කාශ්‍යප බුදුරජාණන්වහන්සේගෙන් තිස්ස නම් ප්‍රවුජ්‍යා විසින් අසන්නට යෙදුනි. පසුව තිස්ස කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයා විය. මේ පිළිබඳව ද සඳහන් කරමින් බුදුරජාණන්වහන්සේ ආමගන්ධට ආමගන්ධ සූත්‍රය දේශනා කරන ලදි. සූත්‍රය අවසානයේ දී බුදුරජාණන්වහන්සේ ගැන පැහැදුණු බ්‍රාහ්මණයාත් ඔහුගේ පිරිසත් බුද්ධ ශාසනයට ඇතුල් වී දින කීපයකින්ම අරහතුන් බවට පත්විනි.
අටුවාචාරී බුද්ධඝෝෂ දක්වන්නේ ආමගන්ධ බ්‍රාහ්මණයා සමඟ බුදුරජාණන්වහන්සේ අතර ඇති වූ සංවාදය, කාශ්‍යප බුදුරජාණන්වහන්සේත් තිස්ස ප්‍රවෘජ්‍යා අතර ඇති වූ සංවාදය නැවත සඳහන් කිරීමක් වන බවයි. සූත්‍රය කියවන විටදී ඒ නාම එනම් කාශ්‍යප සහ තිස්ස යන නම් දක්නට ලැබේ. ඒ අනුව බැලීමේ දී මේ සූත්‍රය විශේෂ සූත්‍රයකි. මන්දයත් පෙර බුදුවරුන්ගේ දේශනා අනුකූල කරගන්නා අවස්ථාවක් වන නිසාවෙනි. වත්මන් බුදුරජාණන්වහන්සේගේ අදහස ද පෙර සිටි බුදුවරුන්ගේ අදහස හා සමාන බව එයින් පෙනී යයි. එයින්ම ප්‍රාඥාවන්තයින් කල්ප කාලයක් පුරා අගයන්නේ එක සමාන අදහස් බව පෙන්නුම් කරයි.
සුත්ත නිපාතයේ දැක්වෙන ආමගන්ධ සූත්‍රයේ පෙල පහතින් දැක් වේ.
දැහැමින් ලත් බොඩහමුය, කර හමුය, චීනමුංය, නිල් පළාය, අල මුල්ය, රුක් ලිය පලතුරුය යන මෙ දෑ වළඳන, කම්සුව නො පතන ශාන්ත පුරුෂයෝ මුසවා නො බණන්නාහ.
කාශ්‍යපයන් වහන්ස, (කපා සෝදා ගැනීම් විසින්) මොනොවට පිළියෙළ කරන ලද, (පිසුම් සුවඳ කුළුබඩු බැහීම් විසින්) මනාසේ නිමවන ලද, මෙරමා විසින් දෙන ලද පිවිතුරු වූ යම් පිණි සුවඳ හැල් බොජුනක් වලඳනා හේ ආමගන්ධය වළඳන්නේය.
බ්‍රාහ්මණ ගුණ නැතිව (බ්‍රාහ්මණජාතිමාත්‍රවූ) බ්‍රහ්මබන්ධුයෙනි, මොනොවට පිළියෙළ කරන ලද, ලිහිණි මස් හා සුවඳහැල් බත් වලඳනුවෝ මැ (තොපි) “මට ආමගන්ධය නො සරුප් වේය” මෙසේ කියව, කාශ්‍යපයෙනි, තෙල අරුත් තොප පුළුවුස්මි, තොපගේ ආමගන්ධය කවර ප්‍රකාර ඇත්තේ ද?
ප්‍රාණඝාත ය, (දඬු මුගුරු ආදියෙන්) හිංසා කිරීම ය, හස්තපාදාදිච්ඡෙද ය, (යදම් හැකිලි ආදියෙන්) බැඳුම ය, අයිනාදන් ය, මුසවා ය, ප්‍රතිඥාඝාත ය, වඤ්චනා ය, නිරර්ථක ශ්‍රන්ථ පිරිවැහුම්ය, පරඹුන් සෙවුම් ය යන තෙල ආමගන්ධ වෙයි. මාංස භෝජන (ආමගන්ධ) නො වේ.
මෙලො වැ කාමයන් හි අසංයත වූ රසයන්හි ගිජු වූ (මිථ්‍යාජීවිකා සංඛ්‍යාත) අපවිත්‍රභාවයෙන් මුසු වූ, දශවස්තුක නාස්තිකදෘෂ්ටිගත්තාවූ (සන්දිට්ඨිපරමාසිතාදී හේතුයෙන්) කරුණු ගැන්විය නොහෙන, (දුර්විඥාප්‍ය) යම් ජන කෙනෙක් වෙත් නම්, තෙල ආමගන්ධ වෙයි. මාංසභොජන (ආමගන්ධ) නො වේ.
යම් කෙනෙක් (ආත්මක්ලමථානුයෝගයෙන්) රූක්ෂ වූවාහු දරුණු (කැකුළු) වූවාහු, පිටුමස් කන්නාහු, මිත්‍රද්‍රෝහී වූවාහු, කුළුණුගුණ නැතියාහු, අතිමාන ඇත්තාහු, පරා අයත් ධන පැහැර ගන්නාහු, කවරකුහටවත් කිසි වතකුත් නො දෙත් නම්, තෙල ආමගන්ධ වෙයි. මාංසභොජන (ආමගන්ධ) නො වේ.
ක්‍රෝධය ද, මදය ද, (චිත්තයාගේ තදබව වූ) ථම්භය ද (ධර්මව්‍යාය කෙට විරුද්ධව) නැගී සිටුම ද, (තමා කළ පව් සැඟවීම ලක්ෂණ කොට ඇති) මායාව ද, (පරලාභ සත්කාරාදියෙහි) ඊර්ෂ්‍යාව ද, (ආත්මොත්කර්‍ෂණ සංඛ්‍යාත) ඵප්සුනුඛස ද මානාති මානය ද, අසත්පුරුෂ ආශ්‍රය ද යන මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.
යම් කෙනෙක් පව් සැහැවි ඇත්තාහු ද, ගත් ණය නසනසුලු වෙත් ද. (නය්‍යායාධිකරණයෙහි දී අල්ලස් ගැනීම් ආදී) කූට ව්‍යවහාර ඇත්තාහු ද, ඉහාත්මයෙහි ම දැහැමි පිළිරූ ඇත්තාහු (දුශ්ශීල) වෙත් ද, මෙලොව් හි යම් අධම නර කෙනෙකුන් අපරාධ කෙරෙත් ද, මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.
මෙලොව්හි, යම් ජන කෙනෙක් ප්‍රාණීන් කෙරෙහි සංයම නැත්තාහු මෙරමාගේ වස්තු පැහැර ගෙන (ඔවුන්ට) වෙහෙස කිරීමෙහි උත්සුක වූවාහු, දුශ්ශීල වූවාහු, කුරුරිකම් ඇත්තාහු, පරොස් බස් බණන්නාහු, ආදර රහිත වූවාහු වෙත් ද මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.
මේ ප්‍රාණීන් කෙරෙහි (ලොභයෙන්) ගිජු වූවාහු (ද්වේෂයෙන්) විරුද්ධ වූවාහු, (මෝහයෙන්) අතිපාත කරන්නාහු, (අකුසල් කිරීමෙහි) නිතර උත්සුක වූවාහු යම් සත්ත්‍ව කෙනෙක් (මෙයින් සැව) පරලොව ගොස් ලොකාන්තරිකාන්‍ධකාර, (නීච කුලාදී ) අඳුරට යෙත් ද, යටිහුරු හිස් ඇත්තාහු නිරයෙහි හෙත් ද, මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.
මසු මස් නොවැළඳීම ද, නග්නතාව ද, හිස මුඩුකිරීම් හා දලමඬුලු දැරීම ද, දූවිලි දැලි ඇඟ තවරාගැනීම ද, රළු ගෝණසම් දැරීම ද, යම්බදු ගිනි දෙවියා පිදීම ද, ලෝකයෙහි යම්බඳු නොයෙක් අමරතප වේ ද, වෙද මන්ත්‍රහෝ හොම කර්ම ද අශ්වමෙධාදි යඥයන් හා ඍතුපසේවනය ද තරණ කළ සැක නැති මිනිසා පිරිසිදු නො කෙරෙත්.
ධෘතිමත් සයිඳුරන්හි ගෝපනයෙන් (ඉන්ද්‍රිය සංවර ශීලයෙන්) යුක්ත වූයේ (ඥාත පරිඥාවෙන්) දැනගත් ඉඳුරන් ඇත්තේ හැසිරෙන්නේය.
(ආර්‍ය්‍යමාර්‍ගයෙන් දතයුතු වූ) සිවුසස් දහම්හි පිහිටියේ (සෙද ගැමි නැණින්) ඉදු මුදු බව්හි රැඳීයේ (අනගැමි මගින්) රාග, ද්වේෂ සඞ්ගයන් ඉක්මවූයේ (රහත් මගින්) පැහූ සව් දුක් ඇත්තේ දෘෂ්ටශ්‍රැත ධර්මයන්හි නො ලැගෙයි.
මෙසේ භාග්‍යවතුන්වහන්සේ මේ අර්ථය පුනපුනා වදාළ සේක, වෙද මන්ත්‍රයන්හි පරතෙර පත් ඒ (තිෂ්‍ය) බ්‍රාහ්මණ, එය දැනගත්තේය.
ආමගනධ (සංඛ්‍යාත ක්ලේශ) යන්ගෙන් මිදුනු, තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍රයන් නැති (බාහිර දෘෂ්ටි වශයෙන් කිසිවෙකු විසිනුදු) නොපැමිණවිය හැකි මුනිරජ විසිතුරු වූ ගයින් මෙය පැවසීය.
බුදුරජුන් ගේ සියලු දුක් දුරලන නිකෙලෙස් වූ සුභාෂිත (ධර්ම) පදය අසා නැමුණු සිතැත්තේ තථාගතයන් වහන්සේගේ (සිරිපා) වැන්දේය. ඒ අස්නෙහිදී ම පැවිද්ද සැලකෙළේය.